English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දුෂ්ඨ ඒකාධිපති ක්‍රමය වෙනස් කරමු !

දුෂ්ඨ ඒකාධිපති ක‍්‍රමය වෙනස් කිරිම සදහා සියලූ දෙනා එකතු විය යුතු බව ජනාධිපති නීතිඥ ශී‍්‍රනාත් පෙරේරා පවසයි.මහින්දට තුන්වරක් බැහැ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා! යනුවෙන් නුගේගොඩ පැවති විරෝධතා රැලිය අමතමින් නීතිඥ ශී‍්‍රනාත් පෙරේරා අවධාරණය කළේ එක පුද්ගලයෙක්ගේ අතේ බලය කේන්ද්‍රගත වුණොත් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා ඒකාධිපති තැනකට යන බවයි.

එක පුද්ගලයෙක්ගේ අතේ බලය කේන්ද්‍රගත වුණොත් අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයා ඒකාධිපති තැනකට යනවා. රටේ ජනතාවට හිංසාකාරී හානිදායි තත්වයකට බලය යොදවා ගන්නවා. වර්තමාන ලෝකයේ බලය බෙදීමේ න්‍යාය තියෙන්නේ මේ තත්වයෙන් ජනතාව මුදවා ගැනීමට. 1978 හඳුන්වා දුන් ව්‍යවස්ථා බලය බෙදීම තියෙනවා. නමුත් මේක සියුම්ව සලකා බැලූවොත් මේ ව්‍යවස්ථාවේ බලය බෙදීමක් නැහැ. සියලූ බලතල එක් පුද්ගලයෙකු තුළ කේන්ද්‍රගතවෙලා තියෙනවා. විධායක ජනාධිපතිට තියෙන බලය, ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් තමුන්ගේ අණසක යටතේ කි‍්‍රයාත්මක කරවන්නට පාවිච්චි කරන හෙණ්ඩුව විධිවිධාන ගණනාවකින් ජනාධිපතිවරයාට දීලා තියෙනවා.

ඒ එක විධානයක් ගැන විතරක් මම කියන්නම්. ව්‍යවස්ථාදායකය තෝරා පත්කරගෙන අවුරුද්දකට පස්සේ ඕනෑම වෙලාවක විසුරුවා හැරිය හැකියි. ව්‍යවස්ථාදායකයේ ඉන්න මිනිස්සු තමන්ට අවශ්‍ය ආකාරයට නැහැ කියලා ජනාධිපතිවරයාට හිතුණොත් විසුරුවා හැරිය හැකියි. මේ මනාප ක‍්‍රමය තුළ කෙනෙක් පාර්ලිමෙන්තුවට යන්නේ විශාල වියදම් ප‍්‍රමාණයක් දරලා විශාල කැපකිරීමක් කිරීමෙන් පසුවයි. ඒ වගේ තත්වයක් තුළ ජනාධිපතිවරයා හෙණ්ඩුව නැමැති බලය පාවිච්චි කරලා ව්‍යවස්ථාදායකය තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙයවා ගැනීමේ හැකියාව පාවිච්චි කරනවා.

ඒ වගේම මේ ව්‍යවස්ථාදායකය සම්මත කරගන්න අවස්ථාව වෙනකං ඉහළ අධිකරණවලට පත්කිරීම් කළේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ඉන් පසු ඇතිවුණේ වෙනස් තත්වයක්. විනිිශ්චයකාරවරුන් ඉතා හොඳින් කටයුතු කරලා ඉහළ අධිකරණයට යන්න සුදුසුකම් ලබනකොට ඒ පිළිබඳව තීරණය කිරීමේ බලය ජනාධිපතිවරයා ලබාගත්තා. ඒ වගේම ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය අනුව ව්‍යවස්ථාදායකය පාවිච්චිකරලා ඉහළ අධිකරණවල විනිශ්චයකාරවරුන් එළියට දාන හෙණ්ඩුව ජනාධිපතිවරයා පාවිච්චි කරන හැටි අපි දැක්කා. හිටපු අග‍්‍රවිනිශ්චකාරවරිය අධිකරණයේ ස්වාධීනත්වය රැකගන්න උත්සාහ දරනකොට ව්‍යවස්ථාදායකයේ ඉන්න ජනාධිපතිවරයාගේ හෙංචයියන් පාවිච්චි කරලා එතුමියව එළියට දාපු හැටි අපි දැක්කා. අනෙක් විනිශ්චයකාරවරුන්ට දෙන සංඥාව සෙල්ලම් කරන්න එපා කියන එකයි. බලය බෙදීමක් කිනවාය කියන ව්‍යවස්ථාදායකය තුළ එක පුද්ගලයෙකුගේ බලය පාවිච්චි කරලා ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් පාවිච්චි කරන හැටි අපි දැක්කා.

මේ තත්වයෙන් මිදෙන්නට ඕනෑ. ඒ වෙනුවෙන් මේ දුෂ්ඨ ඒකාධිපති ක‍්‍රමය වෙනස් කරන්න අපි සියලූ දෙනා එකතුවෙන්න ඕන බව මං ඉතාම ඕනෑකමින් ඉල්ලා හිටිනව.

උපුටා ගැනීම - Lanka News Alert
-MMP



2014-11-01
Advertisement

Find us on Facebook