English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ඇයි, රටකට හඳහනක් නැද්ද? - ගාමිණී වියන්ගොඩ
දැන් බලන්නේ ජනාධිපතිවරයාගේ හඳහනයි. එනම්, ඔහුගේ කලදවස සරු වීමේ සුභ නැකත ගැනයි. මේ ජනාධිපතිවරයා බලයට ආ දා සිට ඔහුගේ කලදවස සරු වන තරමට රටේ කලදසාව නරක් වූ බව දැන් අපි දනිමු. එය වටහා ගැනීමට, යුද්ධයෙන් පසු රාජපක්ෂ ගෙනා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන විතරක් වුවත් සිතා බැලීම ප්‍රමාණවත් ය. ඒ මදි නම්, සරත් ෆොන්සේකාට සහ අගවිනිසුරු ශිරානී බණ්ඩාරනායකට සැලකූ ආකාරය ගත හැකිය. මේ දෙන්නාම, රටේ ඉතිහාසය තුළ තීරණාත්මක ආකාරයකින් රාජපක්ෂ බලය තහවුරු කළ අයවළුන් ය. සරත් ෆොන්සේකාගේ යුද ජයග්‍රහණය හරහා තමාගේ දේශපාලනික හයිය සරි කර ගත් මහින්ද රාජපක්ෂ, ඊළඟට, ශිරානී බණ්ඩාරනායකගේ ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය යටතේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ව්‍යවස්ථාමය ඒකාධිපතිත්වයත් සරි කර ගත්තේය. අන්තිමට ඒ දෙන්නාටම එකම හැන්දකින් ඔහු ඛෙදුවේය.

ළමයෙකු නැලවීමට කියන බොරුවක් වැඩිහිටියෙකු රැවටීමට අප කියන්නේ නැත. හේතුව, එම ළමා බොරුව වැඩිහිටියා විශ්වාස නොකරති යි යන අඩමානය නිසා පමණක්ම නොවේ, ළමා බොරුවකින් රැවටීමට උත්සාහ කිරීම තමාගේ වැඩිහිටි ගර්වයට අපහාසයක් වශයෙන් එම වැඩිහිටියා ගනිති යි යන සැකයත් නිසා ය. මේ නිසා නත්තල් සීයාගේ කතා රටක ජනතාවකට කීමට සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙකු පෙළඹෙන්නේ නැත.

මහින්ද රාජපක්ෂ යනු “සාමාන්‍ය” රාජ්‍ය නායකයෙකු නොවේ. චන්ද්‍රිකා කුමාරණතුංග විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට ජනතා විමුක්ති පෙරමුණට ලිඛිතව පොරොන්දු වූවාය. ඇය බලයේ සිටි 11 අවුරුද්ද තුළ ඒ පොරොන්දුව ඈ ඉෂ්ට කෙළේ නැත. “සාමාන්‍ය” රාජ්‍ය නායකයෙකු/නායිකාවක් එසේ ය. මහිින්ද රාජපක්ෂත් එම පොරොන්දුවම දුන්නේය. එහෙත්, චන්ද්‍රිකා සේ ඔහු එම පොරොන්දුව ඉටු නොකොට පැහැර හැරියා පමණක් නොව, එම පොරොන්දුවේ ඉඳුරා ප්‍රතිපක්ෂයට යමින්, 18 වැනි සංශෝධනය හරහා එය තවත් තිරිහන් කොට, ජීවිතාන්තය දක්වා වුවත් එම තනතුරේ තමාට රැඳී සිටීමට අවශ්‍ය කරන ව්‍යවස්ථාමය ප්‍රතිපාදනත් සකසා ගත්තේය. ඔහු “අසාමාන්‍ය” නායකයෙකු වන්නේ එබැවිනි.

ඉතිං, ජනාධිපතිවරයාගේ හඳහන හොඳ වීම, අනිවාර්යයෙන්ම අනිත් පැත්තට, රටේ හඳහන නරක් වීමක් වන බව නිසැකයි. ඒ හඳහනේ අනිත් පැත්තේ, රටේ ජනතාවගේ හඳහන “අලිඛිතව” ලියැවී තිබේ. ඒ නිසා දෝ, නක්ෂස්ත්‍රකරුවන් පුද්ගලයන්ට හඳහන් හැදුවාට රටවල්වලට වෙනම හඳහන් හදන්නේ නැත. හේතුව, රටක් හරියටම ඉපැදුනු දවසක් බලා ගන්නට පුලූවන් කමක් නැති නිසාත්, රාජ්‍ය නායකයාගේ හඳහනේම අනිත් පැත්තේ රටේ හඳහනත් අනිවාර්යෙන් සටහන් වී තිබීමත් නිසා වන්නට පුලූවන.
මහින්ද රාජපක්ෂගේ හඳහන ලිවීමේදී නක්ෂස්ත්‍රකරුවන් කෙළේ, ඒ වන විටමත් ලියැවී ඇති “ග්‍රහ මාරුවකට” මහින්ද රාජපක්ෂගේ නම ඇතුළත් කිරීම පමණි. මෙය සමාන වන්නේ, ඉස්පිරිතාලයක් ළඟ ඉන්නා සාස්තරකාරයන් අත බලා කියන තොරතුරුවලටයි. ඔහු බලන අත්වල රේඛාවන්ගෙන් එම පුද්ගලයාට රෝග බිය ඇති බව ඔහු “නිවැරදිව” කියයි. අළුත්කඩේ ඉන්නා සාස්තරකාරයා අත බලන කෙනෙකුට කියන්නේ නඩුහබ තිබිය හැකි බවයි. ඔවුන් කරන්නේ, අදාළ පුද්ගලයා සිටින පරිසරය සහ ඊට අදාළ තවත් සාධක ගණනාවක් ගැන සිතා, බොහෝ දුරට නිවැරදි විය හැකි දත්ත කිහිපයක්, අල්ල අයිති පුද්ගලයාට කීමයි.

ඒ ආකාරයෙන්ම, 2005 දී නක්ෂස්ත්‍රකාරයන් මහින්ද රාජපක්ෂට කීවේ, ඒ අවස්ථාවේ ඔහු වටා තිබුණු පරිසරය විසින් කියා දුන් දත්ත කිහිපයකි. ඒ පරිසරය ඔහුට තනා දුන්නේ තමා බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා දැන් කියයි. “හෙල්පිං හම්බන්තොට” සිද්ධියේ දී තමාට හිරේ දැමිය හැකිව සිටි මහින්ද රාජපක්ෂව එම චෝදනාවෙන් නිදොස් කොට ගෙදර යැවීම ගැන සරත් නන්ද සිල්වා දැන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටී.

කෙසේ වෙතත්, ඔහු කියන එක කාරණයක් සමග එකඟ වීම අසීරුයි. ඔහු විසින් මහින්ද රාජපක්ෂව අධිකරණය හරහා නිදොස් කළ පමණින් මහින්ද රාජපක්ෂ 2005 ජයගත්තේ නැත. ඇත්ත, “හෙල්පිං හම්බන්තොට” සම්බන්ධයෙන් මහින්දව වැරදිකරු කරනු ලැබුවේ නම්, 2005 දී ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව නිසැකවම නොලැබී යන්නට තිබුණි. එහෙත් එහි අනිත් පැත්ත, එනම් නීතියෙන් නිදොස් කළ පමණින් රාජපක්ෂ 2005 ජයගත්තේ යැයි කීම පටු අර්ථ ගැන්වීමකි. 2005 ජය ගැනීමට මහින්ද රාජපක්ෂට සරත් නන්ද සිල්වාට වඩා ආධාර කළ වෙනත් පුද්ගලයෙකු සිටියේය. ඒ, වේලූපිල්ලේ ප්‍රභාකරන් ය. ඔහු එම උදව්ව කෙළේ, 2005 දී උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය කිරීමෙනි. එසේ නොවිණි නම්, මහින්ද රාජපක්ෂ එම ජනාධිපතිවරණය ජයගත් ඡන්දවලට වැඩි ඡන්ද ප්‍රමාණයකින් එදා ජය ගනු ඇත්තේ රනිල් වික්‍රමසිංහයි. මේ නිසා, මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය එක් ප්‍රධාන සාධකයකට අප ලඝු කරන්නේ නම්, ඒ සරත් නන්ද සිල්වා නොව, වේලූපිල්ලේ ප්‍රභාකරන් ය.

දැන් මේ කාරණා දෙක එකට ගත් විට, මහින්ද රාජපක්ෂගේ එදා හඳහන අනිත් පැත්තේ, රටේ හඳහනට අමතරව වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ හඳහනත් ලියැවී තිබුණි. ප්‍රභාකරන්ට එදා වික්‍රමසිංහව පෙනුණේ, තමන්ව සාම උගුලක හිර කර ගැනීමට වලිකන කපටියෙකු ලෙසිනි. ඒ නිසා, සිංහල-බෞද්ධ මතවාදය හිසින් ගත් මහින්ද රාජපක්ෂ වැනි නායකයෙකු බලයට පත්වීම ප්‍රභාකරන් දුටුවේ, තමාගේ සිහිනය, එනම්, වෙනම රාජ්‍යය ලබා ගැනීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර අනුකම්පාව තමාගේ පැත්තට දිනාගත හැකි පරිසරය තමා වෙනුවෙන් නිර්මාණය කර දෙන පහසු නායකයෙකු වශයෙනි. මහින්ද රාජපක්ෂ සිංහල-බෞද්ධ කමක් ගැන දකුණේ කෑගහන තරමට උතුර වෙන්වීමේ තර්කණය සවිබල ගැන්වෙනු ඇතැ යි යන්න ප්‍රභාකරන්ගේ දේශපාලනික උපකල්පනය විය. එහෙත්, කරුණු පෙළගැසුණේ වෙනත් ආකාරයකටයි. ඒ ගැන ආගිය තොරතුරු කවුරුත් දනිති.

කෙසේ වෙතත්, රටේ ජනතාවට මෙහිදී මගහැරෙන එක කාරණයක් තිබේ. එනම්, රාජපක්ෂගේ හඳහන අනිත් පැත්තේ එසේ ලියැවී තිබූ ප්‍රභාකරන්ගේ අපලය තරමටම නරක අපලයක් තමන් වෙනුවෙන් ද එදා සිටම ලියැවී තිබුණු බවයි. ප්‍රභාරකරන්ට ලැබුණු සබ්බුව ගැන අද උදම් අනන දකුණ, රාජපක්ෂලා තමන්ට සළකන්නේ ඊට වෙනස් අයුරකින් නොවන බව තේරුම් ගැනීම ප්‍රමාද කරන්නේ එබැවිනි.

ඊයේ (28) කන්තලේ දී මුස්ලිම් ජනතාවට මේ ජනාධිපතිවරයා දුන් එක් පොරොන්දුවක් අර මුලින් කී නත්තල් සීයාගේ කතා ද පරදවයි. මේ රටේ වෙසෙන සෑම මුස්ලිම් ජාතිකයෙකුටම අඩු වශයෙන් ජීවතේ එක වරක් හෝ මක්කම වැඳ පුදා ගැනීමට රාජ්‍ය සම්පත් යෙදවෙන වැඩ පිළිවෙලක් තමන් ඉදිරියේදී සම්පාදනය කරන බව ඔහු කීවේය. ලංකාවේ මුස්ලිම් ජනගහනය මිලියන 2 කට ආසන්නයි. එම ප්‍රමාණයෙන් ලක්ෂ පහක් මේ වන විට මක්කම ගොස් ඇතැ යි උපකල්පනය කළත්, තව ලක්ෂ 15 ක් මක්කම වන්දනාව සඳහා ඉතිරිව සිටිති. සාමාන්‍යයෙන් මාසයක කාලයක්වත් ගත වන මේ වන්දනාව සඳහා එක පුද්ගලයෙකු සඳහා වැය වන අඩුම වියදම ලක්ෂ 5 කි. ඒ අනුව, මේ මුළු පිරිස සඳහා රජය දැරිය යුතු දළ වියදම රුපියල් කෝටි 75,000 කි. මේ වනාහී, ගලගොඩඅත්තේ ඥානසාර නැමැති භික්ෂුවගේ වටිනාකම ය. එක භික්ෂුවක් ඒ සා වටිනාකමකින් යුක්ත වීම අපට ප්‍රශ්නයක් නොවේ. අපේ ප්‍රශ්නය වන්නේ, ඔහු සඳහා වන ඒ වියදම මහිින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ සාක්කුවෙන් වෙනුවට අපේ සාක්කුවෙන් දැරීමට සිදුවීමයි.

ඊළඟට, මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂට ජනාධිපති ධුරයේ සිටීමට සිදුවන කාලය කොච්චරද?
වසරකට මක්කම වන්දනාවේ යාම සඳහා සෞදි අරාබියෙන් නිකුත් කරන වීසා කෝටාවක් තිබේ. රටින් රටට එය වෙනස් වන අතර ලංකාවට අවුරුද්දකට ලැඛෙන්නේ හජ්ජි වීසා 3000-5000 ත් අතර ප්‍රමාණයක් පමණි. එසේ හෙයින් ලංකාවේ සෑම මුස්ලිම් ජාතිකයෙකුම මක්කම යැවීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට තව වසර 300 ක් ගත වෙනු ඇත.

රටක ජනතාවක් බබ්බු වශයෙන් සළකන රාජ්‍ය නායකයෙකු ඒ රටේ ජනතා අභිමානයට නිගා කරන්නෙකි. ඔහුට ජනතාව යනු තමාගේ දාම් ලෑල්ලේ එහා මෙහා කැරැවිය හැකි ඉත්තන් රංචුවකි. ඉතිං, ප්‍රකෝටි ගණන් ලෝක ප්‍රජාවගේ ආගමික නායකයා වන පාප් වහන්සේගේ ලංකා ගමනත් පරදුවට තබමින්, මෝඩ ජ්‍යොතිෂඥයෙකු කියන පරිදි ජනාධිපතිවරණයේ දවස තීරණය කරන රාජ්‍ය නායකයෙකුගේ හඳහන රටට හොඳ හදහනක් වීමට නම් පුලූවන් කමක් නැති බව හුදී ජනයා දත යුතුය.

ගාමිණී වියන්ගොඩ
   ඡායාරූපය උපුටා ගැනීම - Lanka Focus
   -MMP




2014-10-31
Advertisement

Find us on Facebook