English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රාජපක්ෂ ආශ්චර්යයේ එක් දවසක් !

2014 ඔත්තෝබර 21වන අගහරුවාදා තමයි දවස.

හීනෙන් වාගේ උදෑසනම ස්කයිප් නලා නාදය පරිගණකය දෙදරුම් කැව්වේ ය.
‘කොහොම ද?‘ ඇසුවෙමි. කතාව ගලා ආවේ ආසියාවේ රාජපක්ෂ ආශ්චර්යේ සිට ය.
‘ජන්දේ ජනවාරියෙලු නේද?‘ කෙහෙළිය හෙළිකර තිබූ සුප්‍රසිද්ධ රහස ගැන ඇසුවෙමි.
‘ මොනවද කියන්නේ, තියෙන දවසත් දන්වනෙ, ලංකාවේ එක් කෙනෙක් හැර අනෙක් හැමෝම දන්න රහසක් ඒක. ‘
‘ ඒ කව්ද?‘
‘වෙනින් කව්රුත් නොවෙයි, මැතිවරණ කොමසාරිස්තුමා!‘
‘බකස්!‘ හිනා කන හිනා!!

හිනාවෙලා දවසේ වැඩ පටන් ගන්න වාසනාවක් තියෙන්න ඹ්නෑ යැයි කියූ ආශ්චර්යේ හඩ නෑසී ගියේ ය.

‘ ලංකාවේ එහෙම වෙන්නේ නෑ, එංගලන්තෙ, එංගලන්තෙ‘ යැයි මෙට්ටය පිලිකන්නේ තිබෙන අන්තර් ජාල රේඩියෝව විහිලු කරන්නට පටන් ගත්තේ ය.

ධිවරයෝ පිරිසක් මීගමුව පැත්තේ සිට කොළොම් පුර බලා එමින් සිටියහ. මාලු ටික රට යවා ගන්න බැරිවේදෝ යැයි ඔව්හු මුමුනමින් සිටියේ තරහෙන් මෙනි.

ලංකාවේ කෙළවල්ලා මාලු කිලෝවක් ස්විස්ර්ලන්තයේ පරසිදු මනොර් සුපිරි වෙළද සැල් ජාලයේ අලෙවි වන්නේ රුපියල් 7500කට බවත් හාල් මැස්සෙක් රුපියල් සියයක් වන බවත්  කීවෙමි. මාලු කෑල්ල මස්කට් කැල්ලක් මෙන් කපා වීදුරු ලැල්ලේ තබා තිබෙන්නේ ශ්‍රී ලංකා නම ද සමඟ හරි අපූරුවට ය. ආශ්චර්යයක් නොවෙයි ද? කාට ද ආඩම්බර කියා ඇසුවෙමි. ඔව්හු හිල්ලූහ.

ධීවර මහත්වරු යමින් සිටියේ පුංචි උද්ඝෝෂනයකට ය. යුරෝපා සංගමය ශ්‍රී ලංකා මාලු ආනයනය 2015 ජනවාරියේ සිට නතර කරන බවට කර ඇති අනතුරු හැඟවීමෙන් ඔව්හු තැති ගැනී සිටියහ. ‘ අපි යන්නේ ධීවර අමාත්‍යාංශයට මේ ගැන කියන්න‘ යැයි නායකයා කිවේ ය.

‘මාලු මාලු මාලු මේ දැන් ගෙනාපු මාලු‘  යැයි ආයෙම අන්තර් ජාල රේඩියෝව ජංගි අන්දන්නට මෙන් ගායනයක් පටන් ගත්තේ ය. ස්විස්ටර්ලන්තයේ කොහෙන් ද දැන් ගෙනාපු මාලු! ඔය රේඩියෝව ගත්තෙත් අපේ මාලු අපටම ගිනි ගනන්වලට විකුණන මනොර් එකෙන්. ඒක වෙන්නැති.

එවිට ම මාලිගාවත්ත ධීවර අමාත්‍යංශයේ සිට ගල් පොරියල් එකක් ආවේ ය. ධීවර අමාත්‍යංශයේ මාලු වෙනුවට ගබඩා කර තිබුණේ ගල් ය. උද්ඝෝෂනයට ආ ධීවර මහත්වරු  ගල් පෝරියල් එකෙන් සිය හිස් බේරා ගැනීමට හැරුණු හැරුණු අත දිව යමින් සිටියෝ ය. ‘කාපියව් මාලු වෙනුවට ගල්‘ යැයි ලයිසන් චන්ඩියෙක් හූ කිව්වේ ය. ගල් පෝරියල්කාර අමාත්‍යංශ නිලධරයෝ ජනෙල් තිර මෑත් කොට ‘දීපල්ලා‘ යැයි කෑ ගැසූහ. ‘උන් එන්න ඇත්තේ යුරෝපා සංගමෙන් යූරෝ අරන්. ද්‍රෝහියෝ, ජාති භෂ්ඨයෝ‘ යැයි දෝංකාර දෙමින් ගල් තව තවත් පතිත වූහ.

බයක් සිතුනි. පසුගිය දා බර්ලිනයට ගොස් ආ නිසා සාක්කුවේ යූරෝ විස්සක් තිහක් තිබූ නිසා ය. මානව හිමිකම් කවුන්සිලය පැත්තට යන අංක 15 ට්‍රෑම් රථය නැවතූ සැනින් ඇතුලට පැන්නෙමි.

සිය බැනර හකුලා ගත් ධීවර මහත්වරු ආපසු ගියෝ ය. ‘වහාම මෙම ප්‍රහාරය ගැන පරීක්ෂණයක් තබනු‘ යැයි රාජපක්ෂ උතුමාණෝ නියෝග කල බව වාර්තා බැලයකු වාර්තා කර තිබුණි.

 ‘රාළහාමි මං ස්පාඥයට මංඤොක්කා පටවනවා මේං කොම්පඤ්ඤ වීදියෙන්‘ යැයි නහයට නාහන කොල්ලෙක් කෑගසමින් සිටියේ පොලිස් නිලධාරියකු පේන තෙක් මානයකවත් නොසිටි නිසා ය. සුරුස් ගා කලුපාට ඩිපෙන්ඩරයක් ඇදී ගියෙන් කොල්ලා කළබලයට පත් විය.

ඩිපෙන්ඩරය කෙලින්ම ගියේ කොම්පඤ්ඤ වීදියේ පිහිටි වරාය අධිකාරයේ පුහුණු ආයතනයට ය. ඉන් බැස ගත්තේ එජාප මංත්‍රී පිරසකි. යකඩ ගේට්ටුව වසා තිබුණි. වීරයකු ඉදිරිපත් වී බලයෙන්ම ගේට්ටුව ඇර ගත්තේ ය. ‘‍මේ හේවුඩ් එකට ද ඇවිල්ල තියෙන්නේ? ‍‘ මංත්‍රීවරු උඩ බිම බැලුවෝ ය. බැලූ බැලූ අත අපුරැවට අදින ලද ජනාධිපතිතුමාගේ සහ එතුමාගේ පුත්‍ර රත්නයේ පින්තූරය.කලාගාරයක් වගේ ය. නිල බලකායේ දැවැන්ත කටවුටයකි. කැමරා අල්ලමින් ජනමාධ්‍යවේදීහු පින්තූර ගන්නට පටන් ගත්හ.

වරායේ මුදලින් ජන්ද ප්‍රදර්ශනයට චිත්‍ර අදින කස්ටිය ටිකක් තිගැස්සුනි. එහෙත් සැනින් ‘ධීවර මහත්වරුන්ට දුන් සබ්බුවම දීපල්ලා යැයි‘ දුරකථන නියෝගය දෙවරක් පෙරන ලද අරක්කුද සමඟ ය පැමිණියෙන් හීතල වූ ලේ ගිනි ගැනුනි.

දවසේ දෙවන ගල් පෝරියල් වරුසාව  අරඹුනි. එතැන ද නිල් සායම් සමඟ ගල් ද ගබඩා කර තිබුණේ රාජපක්ෂ බෙහෙත ඕනෑම කෙනෙකුට දීමට ය. ‘කැමරා කුඩු කරපල්ලා‘ යැයි දෙපා නරියෙක් කෑ ගැසුවේ ය. ජනමාධ්‍යවේදීන් හඹා ගල් පියාඹා ආවේ ය. වාහන විදුරු බිදුණි. ‘තුන් පාරක් කෑවා මදිද? ආයෙම එන්නේ‘ යැයි ඝෝෂාකල නිල බලකා කටවුටයෙන් මතුව ආ නාමල් රාජපක්ෂ පෙනුමැති හාදයෙක් ‘ආයෙම හම්බන්තොට සෙල්ලම් පිස්තෝල කෑම ඕන වෙලාද?‘ යැයි‍‍ ගෙරෙව්වේ ය‍.

පසුබැසීම ඇ ගට ගුණ බව තේරුම්ගත් මංත්‍රී පිරිස පොටෝ හරිද අසා රිවස් ගියර් දැමූහ.
පසුව ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ වරාය පාසැලේ ගල් පෝරියල් ප්‍රින්සිපල් කියා සිටියේ බලයෙන් ඇතුලු වූ නිසා තමන් ප්‍රහාරයක් එල්ල කළ බව ය‍.

මංත්‍රිවරු පසුබැස ගිය ද පාර්ලිමේන්තුව අසළ උෂ්ණත්වය ඉහළ යමින් තිබුණි. තුන් දහසක් පමණ දරුවෝ සංගීතකාර උද්ඝෝෂයන් පිරිවරා කෝට්ටේ මනරම් පාර්ලිමේන්තුව බලන්නට යමින් උන්හ. සබරගමුවේ දී සිය සගයින්ට කළ විපතට විරෝධයක් බවට පෙරලා ගත් සරසවි සිසු සිසුවියෝ අත තිබුණේ සටන් පාඨ ලියූ කඩදාසි පමණි. මේ කඩදාසි ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනු ඇතැයි උදෑසන සිට එල්ල කරන ලද ජයග්‍රාහී ගල් පොරියල්වලින් කුල්මත්ව සිටියෝ බියට පත්ව සිටියහ.

දෙවසරකට පෙර කටුනායක නිදහස් වෙළද කලාපයේ සාමකාමී උද්ඝෝෂණයක නියුතු වූ කම්කරුවන්ට වෙඩි තැබීමට ත්‍යාගයක් වශයෙන් බ්‍රසීලයේ තානාපති ධුරයෙන් පුදන ලද හිටපු පොලිස්පති බාලසූරියට දැන් එලඹ තිබුණේ යලි වැඩ පෙන්වීමේ අවස්ථාවකි. මන්ද යත් ගල් පොරියල් කසකරුවන් විසින්රතු එලි දල්වන එළඹෙන ජනාධිපතිවරණ කාලය උදෙසා බාලසූරියට පොලීසිය බාර දී ඇති නිසා ය.

මැස්සන් විසි දෙනෙකු මරා දමා එක පාරට විසිදෙනයි කියමින් වැසියන් බියගැන්වූ  ජනප්‍රවාද ගත කපටියා නිල ඇදුම් හැඳ පාර්ලිමේන්තු පාරේ අටවා තිබූ මාර්ග බාධක එහා පැත්තට වී වරෙව් කියමින් දත්කූරු කමින් සිටියේ ලේ රස බැලීමට මෙන් ය. උන්ඩ වෙනුවට ජලය: ජල කාලතුවක්කු. ගෑස් වෙනුවට කදුලු ගෑස්. ‘කැමට වරෙල්ලා!‘

‘අපටත් හොං කොං වල වාගේ පාර්ලිමේන්තුවටම එන්න කියළ සාකච්ජාවක් දෙයිද දන් නෑ‘  ලාබාල ශිෂ්‍යාවක් ඇසුවේ ය. ඇය සිටියේ හොං කොං ශිෂ්‍ය අරගලයේ මානසික කොටස් කාරියක වෙමිනි. මේ දවසේම කිලෝමීටර 3,910කට එපිටින්  රාජපක්ෂ  ආශ්චර්යට සහමුලින්ම  වෙනස් සැබෑ ආශ්චර්යක් සිදු වෙමින් තිබු බව ඇය දැන සිටියේ ය. එනම් දින ගණනාවක් පුරා සිය නගරයේ මාවත් අල්ලාගෙන සාමකාමී උද්ඝෝෂණයක නිරත වෙමින් සිටින ඇය වැනිම දරු කැළක් සමඟ රටේ ඉහළම ප්‍රධානීන් විසඳුමක් සොයා එදින උදය වරැවේ සාකච්ජා වටයක් පැවැත් වූ බවයි.

සාකච්ජා අරහං දිසානායක පාර්ලිමේන්තුවට වී  දෙසවනම පාර දෙසට උලුක්කු කර ගෙන සිටියේ වෙඩි හඩ ඇසෙන තුරු ය.

අවසානයේ දී බාලසුරිය තමන් ලද  ලකුණු ගණන් කරමින් සිටියේ තුවාල වූ ශිෂ්‍යයින්ගේ ගණනිනි. විස්සකට ගුටි, තුනක් රොහලේ.  ‘ගල් පොරියල් දෙකයි, කඳුලු ගෑස්  ප්‍රහාර එකයි සර්‍‍‘.

ඒ සවස් යාමයේ ම රතන හාමුදුරුවෝ රතන සූත්‍රය මුමුනමින් අරලිය ගහ මන්දිරයට වැඩම කරමින් සිටියේ  යහ පාලනය ඇති කරන සිය 19 වන සංසෝධනය ද වඩම්මාගෙන ය.  අට වසරක සම්මා දිට්ටියෙන් පසු එහිමියෝ රාජපක්ෂ ආශ්ර්යයේ ග්‍රහණයෙන් මිදී සිටිය හ.

19වන සංසෝධනය රාජපක්ෂ උතුමානෝ සිය අතට ගත්හ. එහිමියන් අතට කමිටුවක් දුන්හ.

ගල් පොරියල් දෙකයි.
වතුර කදුලු ගෑස් පොරියල් එකයි.
පරීක්ෂන එකයි.
කමිටු එකයි.
දවස ඉවරයි.
අන්තර් ජාල රේඩියෝව බණ පටන්ගෙන තිබුණි.
අබ සරණයි.



සුනන්ද දේශප්‍රිය



2014-10-28
Advertisement

Find us on Facebook