English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කතෝලික සභාව නැවතත් ධීවර අයිතීන් පාවා දුන්නා !
ධීවරයින් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන්කරන විට, තමන්ගේ වෘත්තීය අයීතින් වෙනුවෙන් පෙරමුණ අරගෙන කටයුතු කරන විට, ඊට කතෝලික සභාව මැදිහත්වි ඒ සටන් දියාරුකර දමන බවත්, ධීවරයින් හීලෑකරමින් එදා ධිවර සටන කළපුවට සීමා කළ කතෝලික සභාවේ ගරු පියවරු, මෙවර එම සටනම මීගමුව නගර සභා භුමියට සීමාකර දමමින් ධීවරයාගේ අයීතීන් පවා දුන්නේ යැයි සමස්ත ලංකා ධීවර වෘත්තීය සමිතියේ සභාපති අරුන රොෂාන්ත මහතා අද (ජුනි 29) මීගමුවේ සිය කාර්යාලයේදි පැවති හමුවකදී පැවසීය.  

සහනාධාර කියන වචනය ඉදිරියට ගෙන බෙදා වෙන්කර ඇති ධිවරයින් යළි ඒකරාශි කරමින් පසු බසින මේ ස්වභාවය වෙනස් කිරීම සඳහා අපි යමක් කළයුතුයි, ඒ සඳහා යම්කිසි පියවරක් ගත යුතුයි යනුවෙන් ඔහු සඳහන් කළේය.
'මාස තුනකින් තෙල් මිල රුපියල් 25කින් අඩු කරනවා කියලා ජනාධිපතිතුමා කාදිනල් හිමිපාණන්ට කිව්වා කියලා ගරු පියතුමෙක් ඇවිත් ධීවරයින්ට කිව්වා. කිසිම ලිඛිත පොරොන්දුවක් නැහැ. ධිවරයොත් පියතුමන්ලාගේ කීම විශ්වාස කරලා මාරාන්තික උපවාසය අත්හරිනවා කියලා තමන්ගේ සටන අත්හැරියා.

නමුත් එදාම රාත‍්‍රියේදි ධීවර අමාත්‍යංශයේ ලේකම්තුමා රූපවාහිනියෙන් ප‍්‍රකාශ කළේ ධිවරයින්ට සහනාධාර දීමේ විකල්ප වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන බවත් ඒ වෙනුවෙන් විශාල මුදල් සම්භාරයක් ද වෙන්කර අවසන් බවත්.” යැයි පැවසු අරුන රොෂාන්ත, මේ වන තෙක් මෙවැනි තෙල් මිලක් අඩුකිරීමක් සම්බන්ධයෙන් කිසිදු ලිඛිත දැන්වීමක්වත්, නිල වශයෙන් ජනාධිපතිතුමාගෙන්වත්, කාදිනල් හිමිපාණන්ගෙන්වත් කිසිඳු ප‍්‍රකාශයක්, කොහේවත් සඳහන්වී නැතැයි පැවසීය.

'එයින් ම පැහැදිළි වෙනවා, මෙවරත් අපේ ධිවරයින්ගේ සටන නැතිනම් ධීවරයාගේ අයිතින් ලබාගැනීමට කළ අරගලය ගරු පියතුමන් මැදිහත්වෙලා පාවාදුන් බව.” යී අරුන සඳහන් කළේය.

ගරු පියතුමන් ආණ්ඩුවේ ගුන්ඩුවලට හසුවී සිටින බවත්, උන්වහන්සේලාට මේ බැව් නොතේරෙන බවත්, ඉතා හොඳ සංවිධාන ශක්තියක් හා කැපවීමක් තිබුණු ධිවරයින්ව හීලෑකර ගැනීම සඳහා ආණ්ඩුව අපගේ ගරු පියවරුන්ව, කතෝලික සභාව පාවිච්චි කිරීම ඔවුන්ට නොතේරෙන බවත් පැවසු අරුන, ධිවර ජනතාව අතර සිටිය යුතු ගරු පියවරු ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රවලට එකඟ වෙමින් රජයේ නිළධාරීන්ගේ කාර්ය භාරය කිරීම ගැන දැඩි ලෙස කම්පාවට පත්වන බව ද පැවසීය.

තවදුරටත් කරුණු පැහැදිළි කරමින් 'වර්තමානයේදි ධීවරයා තෙල් ප‍්‍රශ්නයෙන් පමණක් නොවෙයි බැටකමින් සිටින්නේ. මීගමුව ධීවරයා මෙන්ම සමස්ත ධිවරයින් ද මුහුණ දෙන වෙනත් දැවෙන ප‍්‍රශ්න කිහිපයක්ම පවතිනවා. ධිවරයා මුහුණ දෙන සියලූම ප‍්‍රශ්නවලට අපි පිළිතුරු සොයන්න  ඕනේ. සරත් ගුණරත්න ඇමතිතුමාගේ ආශිර්වාදයෙන් මිගමුවේ තහනම් පන්න පාවිච්චි කරනවා. මුහුදු පතුලත් එක්කම විනාශ වෙලා යන බොටම් ට්‍රෝලින් ක‍්‍රමයට සරත් ගුණරත්න ඇමතිතුමා අවසර දීලා තියෙනවා. අවුරුද්දයි මාසයක් වෙනවා තෙල් සහනාධාරය නවත්වලා.

සහනාධාර වලට සීමා වෙන්න නෙවෙයි, ධිවරයින්ගේ අයිතීන් දිනා ගැනිම සඳහායි අපි සියලූම දෙනා ඒකරාශිවෙලා කටයුතු කරන්න  ඕනෙ.”යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් අරුන රොෂාන්ත ප‍්‍රකාශ කළේය.


 




2014-06-30
Advertisement

Find us on Facebook