English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මිනිසත්කම ඔස්සේ සුවපත් කිරීම: සාධාරණ සංහිඳියාව පිළිබඳ ආවර්ජනාවක් සැඟවුණු ඉතිහාසය

මෑතකදී යාපනයට ගොස් පැමිණි එක් හිතවතියක් එය තමා ගත කළ හොඳම නිවාඩුවක් වී යැයි මා සමග කීවාය. හෝටල් අනර්ඝයි. කෑමබීම ප‍්‍රණීතයි. නරඹන්නට තැන් එමටයි. පාරවල් ද ඉස්තරම්.

මුඛ පරම්පරාගෙත සම්ප‍්‍රදාය

කෙසේ වෙතත්, මා මෑතකදී උතුරට ගිය සංචාරයේ දී දැනුණු හැඟීම් ඊට වෙනස් ය. එහි වෙසෙන මිනිසුන් සමග කතාබහේදී යථාර්ථයන් දෙකක් නැවත නැවතත් ඉස්මතු විය. ඒ, පරාරෝපණය සහ අපේක්ෂා භංගත්වයයි. ඒ දෙකම, සංහිඳියාව ඉදිරියේ ඇති යෝධ බාධකයන් ය.

පරාරෝපණය සහ අපේක්ෂා භංග මංමුළාව

පරාරෝපණය හෙවත් පිටස්තර භාවය පිළිබඳ හැඟීම කෙනෙකු තුළ ජනනය කෙරෙන්නේ, හමුදාකරණය, දකුණුකරණය, කොන් කිරීම සහ නවීකරණය නම් වූ සිව්-කොන් මූලෝපායක් හරහා ය. එහි ප‍්‍රතිවිපාකය වන්නේ, අපේක්ෂා භංග මංමුළාවයි. රතුපස්වල සිද්ධිය, වැලිකඩ කැරලිකාරී සිරකරුවන් ඝාතනය කිරීම, නාගරික වැසියන් උන්හිටි තැන්වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීම, අහස උසට යන ජීවන වියදම සහ අගවිනිසුරුවරියට එරෙහි අසාධාරණ දෝෂාභියෝගය වැනි දකුණෙන් එන ආරංචි, උතුරේ වැසියන්ගේ එකී මංමුළාව තවත් තීව‍්‍ර කරයි. ‘‘එහේ එහෙම නම්, මෙහේ කොහොම වෙයිද?’’ යනුවෙනි ඔවුන් ප‍්‍රශ්න කෙළේ. ‘එහේ’ වඩාත් සන්සුන් විය යුතු සහ පහසුකම් තිබිය යුතු තැනක් විය යුතු වෙතත්, එසේ නොවීම ඔවුන් තුළ ඇති කරන්නේ විමතියකි.

සිව්-කොන් මූලෝපාය

හමුදාකරණය හරහා මිනිසුන්ගේ සිත් තුළ පැලපදියම් වන්නේ, හැම මොහොතකම තමන් දෙස ඇස ගසාගෙන සිටින්නේය යන හැඟීමයි. එවැනි තත්වයක් තුළ, ‘ත‍්‍රස්තවාදය’ සහ ‘යහපත් කල්ක‍්‍රියාව’ වෙන් කරන අපූරු මායිමක් තිබේ. එය නොපැනිය යුතුය. සාමාන්‍ය සමාජ පැවැත්මක් තුළට ගැනෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසම්මුතිය (වෙනස් අදහස් දැරීම), තමාගේම වන පෞද්ගලිකත්වය සඳහා මිනිසා තුළ ඇති මානව ආශාව සහ ප‍්‍රජා කතිකා වැනි සියල්ල වැටෙන්නේ, ‘යහපත් කල්ක‍්‍රියාවට’ අනිත් පැත්තෙනි. එසේම හමුදාකරණයට එක් කෙරෙන තවත් අංගයක් වන්නේ, එය අභ්‍යාස කරන දැවැන්ත බලයයි. උදාහරණයක් වශයෙන්, හමුදාවට අවශ්‍ය වුණොත්, භූමියේ තත්වය නිකංම වෙනස් කළ හැකිය. ජනතා සංවිධානවලට කටයුතු කළ හැක්කේ හමුදාව ඊට අනුමැතිය දෙන්නේ නම් පමණි.

උතුරේ විශේෂිත අනන්‍යතාව සහ ජන ඌරුව, දකුණේ පරිකල්පනයකට අනුගතව නිරතුරුව යළි පිළිසකර කිරීම, දකුණුකරණය ඔස්සේ සිදුවෙයි. එය, එක සේ අභිමානවත් සංස්කෘතීන් දෙකක් අතරේ ඉබේ සිදුවන අහිංසක මිශ‍්‍රණය අභිබවා යන්නකි. උතුරේ පවතින මානව සම්පත් නොතකා වෙනත් පළාත්වලින් ගෙන්වන ගොඩනැගිලි කම්කරුවන් සහ හෝටල් සේවකයන් වැනි පිරිස් තුළින් එය පෙන්නුම් කෙරේ. වෙනත් පළාත්වලින් සිංහල ගොවියන් ගෙනැවිත් උතුරේ පදිංචි කැරැවීමේ සැලසුම් තුළ එය පෙනෙන්ට තිබේ. ඒවාට රාජ්‍ය අනුග‍්‍රහය ලැබීම උතුරේ ජනතාව තුළ දනවන්නේ අප‍්‍රසාදයකි. දෙමළ ජනතාවගේ සජාතීය භාවය ඒ මගින් බිඳෙන්ට ඇති හැකියාව ඔවුන් තුළ දනවන්නේ බියකි. මේ හිතුවක්කාරී ප‍්‍රවණතාවයේ සමස්ත බලපෑම කියාපාන්නේ, දැනටමත් අනාරක්ෂිත භාවයට පත්ව සිටින උතුරේ ජනතාවකගේ සාමුහික විශ්වාසය දකුණේ පාලකයන් විසින් නොතකා හැරෙන බව ය.

උතුරු පළාත් සභාව, විවිධ ප‍්‍රජා සංවිධාන, සුළු ජාතිකයන්ගේ ආගම්, මහජන සමූපකාර ව්‍යාපාර වැනි දේවල්වලින් සැදුම්ලත් උතුරේ සමාජ ජීව ගුණය නංවාලිය හැකි විකල්ප බලවේගයන්හි බලපෑම, හමුදාකරණය මගින් අකර්මණ්‍ය කෙරේ. මෙයාකාරයෙන් ඔවුන්ගේ සමාජ අවකාශය නායයාම සහ එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, ඉහත කී සංස්ථාවන් බෙලහීනත්වයට ඇද දැමීමත් සමගම, ඊට සමානුපාතිකව (දකුණු) බල කේන්ද්‍රය උතුරේ එකම ආරක්ෂකයා සහ එකම ප‍්‍රතිපාදකයා බවට පත්වීමටත් පාර කැපේ.

නවීකරණය යනු, භාණ්ඩ සහ සේවාවන්හි කඩිනම් සැපයුමත්, ලාභ වෙනතක හරවන මහ පරිමාණ සංවර්ධනයත් සඳහා වන තවත් වචනයකි. මහාමාර්ග, විදුලිය සහ තොරතුරු තාක්ෂණ සේවාවන්හි වර්ධනයත් සමග විවිධාකාරයේ බැංකු සහ මූල්‍ය සමාගම් එකට යන්නේ එබැවිනි. තැලී පොඩි වී සිටින උතුරු වැසියා, මේ අතිශය සීග‍්‍ර සහ කුරිරු පෙළඹවීම ඉදිරියේ ප‍්‍රතිචාර පාන්නේ, මූල්‍ය ණයගැති භාවයකට යට වෙමිනි. උදාහරණයක් වශයෙන්, සිය දරුවන්ට ප‍්‍රථම වතාවට නැරඹිය හැකි රූපවාහිනියක් සඳහා ණයක් ලබා ගන්නා තෙක් දෙමාපියන්ට නින්ද යන්නේ නැත.

පරිහානිය නරඹන පේ‍්‍රක්ෂකයෝ

අවස්ථාවෙන් ලද හැකි වාසිය වෙනුවෙන් සිය අභිමානය හුවමාරු කරගන්නා සුළුතරයක් උතුරේ සිටින අතරේ, අනිත් පැත්තෙන් බහුතරයක් ජනතාව තමන්ගේම පරිහානිය දෙස බලා සිටින පේ‍්‍රක්ෂකයන්ගේ තත්වයට ඇද දමා ඇත. අතමිට නැතිව ආර්ථිකය සරි කර ගැනීම සඳහා දඟලන, තමන්ව වෙලා ගත් ව්‍යසනකාරී සිදුවීම් ගැන ප‍්‍රජාවක් වශයෙන් සාකච්ඡුා කිරීමේ දේශපාලනික අවකාශයෙන් වියෝ කරන ලද මෙකී ජනතාව ගැන කතා කිරීමට පිටස්තර ලෝකයාට නිදහස තිබීම උත්ප‍්‍රාසාත්මක ය. එහෙත් එම ජනතාවට සිදුව ඇත්තේ, තමන්ගේම වන සිවිල් පාලනය සහ සමාජ සම්පත්, ඉහත කී හමුදාමය, සමාජ-සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික ප‍්‍රවාහයන් මගින් උදුරා ගැනෙන සැටි, දෛනික ජීවන අරගලයට උරදෙන අතරේ, අසරණව බලා සිටීමටයි.

කොඳුරා ඇසෙන පැනය

‘‘මේක නවතින්නේ කවදා කොතැනින්ද?’’ යන්න, සංවේදී සහ දැනුම් තේරුම් ඇති ශ‍්‍රී ලාංකිකයන්ගේ තොල් අතරේ කොඳුරා ඇසෙන ප‍්‍රශ්නයයි. අඩු වශයෙන්, ශක්‍යතා හතරක් ඇති බව පෙනේ.

1. තැනින් තැන අභ්‍යන්තර විරෝධය මතුවීම: දෙමළ ප‍්‍රජාව අතරේ දැන් හිස ඔසවන කුල පීඩනය සහ ජාතිකවාදී බෙදුම්වාදයේ ආකර්ශණය අතර සිදුවන සංයෝගයක් හරහා, අපේක්ෂා භංග සහ කරකියාගත හැකි දෙයක් නැති තරුණයන්ව නැවත වරක් සටන්කාමී විමුක්ති ව්‍යාපාරයන් දෙසට දැක්කිය හැකිය.

2. උතුර ගලවා ගැනීම හෝ කොළඹ ගලවා ගැනීම සඳහා ඇති විය හැකි බාහිර ඇඟිලි ගැසීම්: කා වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත් වුවත්, එවැනි මැදිහත්වීම්වල එක කෙළවරක තිබෙන්නේ අපේ සම්පත් අත්පත් කර ගැනීම සහ උපාය මාර්ගික වාසි සළසා ගැනීමයි. අද ලෝකයේ කිසිවෙක් කිසිවෙකුට නිකං උදව් කරන්නේ නැත.

3. ඉහත කී ශක්‍යතාවන් දෙකේ මිශ‍්‍රණයක්, කුඩා සිරියාවක් බවට ලංකාව පත්කරන, දිග් ගැස්සෙන ගැටුමකට පාර කැපිය හැකිය. මානව ගැටුම සහ මානව විඳවීම පතුරුවාලීම සඳහා, මානව අවශ්‍යතාව සහ මානව තණ්හාව, සහයෝගීතා භජනයකට යන්නේ අපූරු ආකාරයකිනි.

4. පරස්පරතාවන් සහිත භූමියක්: යටපත් කරන ලද, රොඩුබොඩු ජනතාවක් එක පැත්තක සිටිති. ධනය සහ සැපත සොයන උන්තතිකාමී බලගතු බලවේග තවත් පැත්තක සිටිති. වෙනම ආකාරයක ‘ලයින්’ පේලි අස්සේ අපූරුවට සඟවා සිටින, අනිත් පීඩිත දෙමළ ප‍්‍රජාවගේ කඳුකරේ පරස්පරයට එය සමාන ය.

අනාරක්ෂාව ඔස්සේ අපේක්ෂාව

සමගි සම්පන්න සහ ඒකාබද්ධ ශී‍්‍ර ලංකාවක යහපතට එකී ශක්‍යතා කිසිවක් ඉවහල් නොවන නිසා, එක් පැහැදිළි සහ නිවැරදි විකල්පයක් ඉස්මතුව කැපී පෙනෙයි. එනම්, විවිධාකාරයෙන් පීඩාවට පත් දෙමළ, මුස්ලිම් සහ සිංහල යුද-වින්දිතයන්ගෙන් පටන්ගෙන, මානවීකරණය ඔස්සේ ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයක් වෙත දිවෙන විචාරශීලී ප‍්‍රතිපත්ති වෙනසක් තුළින් (මහඇමතිවරයාගේ මධ්‍යස්ථ නායකත්වයෙන් යුත්) යාපනය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තරම් වන යෝනිසෝ මනසිකාරයකට දැන්වත් කොළඹ පාලනය එළැඹීමයි.

අපේම ඇඟ මස් ලේ නහරවලින් සැදුම්ලත් පොදු ජනතාවක් තැලී පොඩි වී අනේකාකාර සීරීම් ජාලයක සිර වී සිටියදී, ආර්ථික සහ දේශපාලනික වශයෙන් හයිරංකාර ස්ථරයකට වැඩියෙන් සාවධාන වීම මගින් පෙන්නුම් කරන්නේ, මනෝඥ පාලනයක ප‍්‍රමිතිය බිඳීමින්, ඉතිහාසය නොතකා හැරීමකි. ඕනෑම ශිෂ්ට සමාජයක මනෝඥ පාලනයක් තමන්ගේ මූලික ශක්තීන් මුදාහැරින්නේ වඩාත් පීඩාවට පත් සහ හානියට පත් ජනතාවක් ගොඩගැනීමටයි. එසේම, දීර්ඝ කාලයක් තිස්සේ එසේ එක දිගට පීඩාවට සහ හානියට පත්ව සිටින්නන් යම් අවස්ථාවක නිදහස පතා නැගිටීම නොවැළැක්විය හැකි බවත් ඉතිහාසය පෙන්වා දෙයි. සානුකම්පික බැවහැර ඥානයෙන් කළමනාකරණය කරගත හැකි තත්වයක්, එවිට වඩාත් සංකීර්ණ අර්බුදයක් බවට පත්වන්නේය.

අනිත් අතට, ළිං ගැට්ටේ සිටින ජනතාවක් කෙරෙහි මූලික අවධානය යොමු කෙරෙන විට, බලය හොබවන කොටස් තම තමන්ගේ අනන්‍ය මූලෝපායන් ගැන නැවත සිතා බැලීම ද අත්‍යාවශ්‍ය වන්නේය. කොළඹ සහ යාපනය සම්බන්ධයෙන් ගත් විට එහි අදහස වන්නේ, සිංහල සහ දෙමළ ජාතිකවාදී අධි-මාමකත්වයේ සකල නිරූපණයන්ගෙන් එම දෙපාර්ශ්වයම කැඞී වෙන් විය යුතු බවයි. අර්බුදකාරී ගැටුම ඇති කෙළේ සහ වර්ධනය කෙළේ එවැනි ස්ථාවරයන් විසිනි. සහයෝගීතාව, සංහිඳියාව සහ සමෝධානයට (එක්කාසු වීමට) අද බාධ කරන්නේත් ඒවාමයි.

සාධාරණ ඉදිරි මාවතක්

හතර පැත්තෙන් පීඩාවට පත්ව අසරණ අඩියක සිටින ජනතාවක් අතරේ, මානවීකරණය හරහා ප‍්‍රජාතන්ත‍්‍රීයකරණයකට යොමු වීම මගින්, භාවිතයෙන් ගත් විට මුලින්ම අපේක්ෂා කෙරෙන්නේ, සමාජ-ආර්ථික ස්ථාවරත්වයක් මත පදනම් වන ගෞරවාන්විත ජීවන මාදිලියක් සහතික වීමයි. බොහෝ විට හදිසි වැදගත්කමක් නැති වෙනත් යටිතල සංවර්ධන වැඩ සටහන් සඳහා වැය කරන දැවැන්ත ධනස්කන්ධය ගැන සිතන විට, එවැනි ජනතාවකගේ ජීවිත ගැටගසා ගැනීමේ ආධාරකයක් වීම සහ ඔවුන්ගේ නිවාස පහසුකම් සපයා දීම, රටේ ජාතික අයවැයට මහ බරක් නොවේ.

නැවත නැවතත් අවතැන් වූ සහ නැවත නැවතත් පදිංචි කැරැුවූ ජනතාවට සිදුව ඇත්තේ කඨෝර බිමක, කඩමාලූ පැල්වලට ගාල් වීමට බව අමතක නොකළ යුතුය. එසේ හෙයින්, ඔවුන්ට සැපයෙන ජීවනාධාර තුළට, ඔවුන්ගේම දහඩිය මහන්සියෙන් හරිහම්බ කරගත හැකි ස්ථාවර සහ විධිමත් ආර්ථික ප‍්‍රතිලාභ සැලසෙන වාතාවරණයක් ඇති වන තෙක්, ඔවුන්ට සැපයෙන යැපුම් ආධාර පවත්වා ගත යුතුව තිබේ. හැම පැත්තකින්ම කෙලසන ලද ජනතාවකට ස්වායත්ත ජීවිකාවක් ගොඩනගා ගත හැක්කේ ඉන් පසුවයි. එක සැරේකට පමණක් සීමා වන ආධාරයක් ඔවුන්ට කොහෙත්ම ප‍්‍රමාණවත් නොවන්නේ එබැවිනි.

එසේ ස්ථාවර වීමෙන් පසු, මේ ග‍්‍රාමීය සහ අර්ධ-නාගරික ප‍්‍රජාවන්, ස්වකීය අවශ්‍යතා සාධනය සම්බන්ධයෙන් පමණක් නොව, ඊට වඩා පුළුල් ප‍්‍රාදේශීය-ජාතික ආර්ථිකය බලගැන්වීමටත් තරම් වන ශක්තියකින් සහ පුරෝගාමීත්වයකින් යුක්ත වනු නිසැකයි. එවැනි ජනතාවකට, උදාහරණයක් වශයෙන්, හැම පැත්තකින්ම බැටකෑ ගොවි සහ ධීවර ප‍්‍රජාවන් සඳහා සපයන ජීවනෝපායික ආධාර, කිසි විටෙක ජාතික සම්පත් නාස්ති කිරීමක් නොවේ. එවැනි වැඩ සටහන් වෘත්තීය මට්ටමෙන් පටන්ගන්නේ නම් සහ දේශපාලඥයන්ගේ සටකපටකම්වලින් අත්මිදී, අදාළ ජන කොටස් සමග සෘජු සාකච්ඡුා මාර්ගයෙන් ක‍්‍රියාත්මක කරන්නේ නම්, ඒවා නිසැකවම අනාගත ආර්ථික වර්ධනය සඳහා වන ඵලදායී ආයෝජනයන් වන්නේය.

තීරණාත්මක ප‍්‍රශ්නය

වර්තමාන ජිනීවා හාහෝව කෙරෙහි එවැන්නක බලපෑම කෙසේ විය හැකි දැයි නිශ්චිතව කීමට පුලූවන් කමක් නැත. තත්වය බැ?රුම් ය. එහෙත් ඉතිහාසය යම් පාඩම් කියා දෙන බව පැහැදිළියි. තැලූණු ජනතාවකට සාධාරණ ගෞරවයකින් යුතුව සළකන විට මතුවන දයානුකම්පාවේ, සත්‍යයේ සහ යශෝනාමයේ නැවුම් ස්වභාවය තුළින්, එකිනෙකාට කෙනිහිලිකම් කිරීමෙන් වෙනස්ව, ත්‍යාගශීලී, සත්කාරක දේශයක, නිදහස සහ සමානාත්මතාවය භුක්ති විඳිමින් අභිමානයෙන් යුතුව එකට ජීවත් වීමේ අත්‍යාවශ්‍යතාව පෙනෙනු ඇත.

බලය බෙදා හැරීමේ සහ ස්වාධීන ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආයතන පිළිබඳ වඩාත් සංකීර්ණ ප‍්‍රශ්නවලට ඇමතිය යුත්තේ එතැන් සිට ය. නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය මෙන්ම, ඝාතනය වූ සහ අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලිය යුත්තේ එතැන් සිට ය. අපටමත්, අප එකිනෙකාට සහ අපේ දරුවන්ටත් අප වගකිව යුතු, යුද්ධ වකවානු සහ ගැටුම්කාරී වකවානු තුළ අප අනුගමනය කළ කල්ක‍්‍රියාවේ ආචාරවිධීන් ගැන අප සිතා බැලිය යුත්තේ එතැන් සිට ය. මිනිස් කම වෙත නැවත අවතීර්ණ වීම, සුවපත් කිරීම් සහ සංහිඳියාව හරහා එළැඹෙන යුක්තිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සදාතන පෙරගමන්කරුවා වන්නේය.

දකුණු අප‍්‍රිකාවේ ‘සත්‍ය සහ සංහිඳියා කොමිසම’ සාර්ථක වීම සඳහා මුලින්ම වර්ණභේදවාදයේ අමානුෂික උවදුර පහ කළ යුතු විය. බෙදී වෙන් වී කැඞී ගිය ජාතියක් තුළ සුවපත් වීමක් සාධනය කර ගත හැකි වුණේ එතැන් සිට ය.

සත්‍යය සහ ත්‍යාගශීලීත්වය ඔස්සේ මුලින්ම ජනනය කෙරෙන යුක්ති ධාර්මික ගරුත්වය, තිරසාර සුවපත් වීමේ කි‍්‍රයාවලියකට සහ සංහිඳියාවකට ඇති නොවරදින මග බවට කිසි සැකයක් නැත. එය, කොතැනත්, කවදත් එලෙසම ය. අපේ ආදරණීය ශ‍්‍රී ලංකාවට පමණක් එය වෙනස් නොවේ.

සියල්ලන්ට සාමය සහ දේවාශීර්වාදය.

රදගුරු දුලිප් ඩි. චිකේරා


*‘දි අයිලන්ඞ්’ පුවත්පතේ සහ ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ, කොළඹ රදගුරු දුලිප් ඩි. චිකේරා ලියූ Healing Through Humanisation: A Reflection on Just Reconciliation නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.


-MMP





2014-10-22
Advertisement

Find us on Facebook