English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මැතිවරණය අවසන්වන තුරු....තාවකාලික සැපක් පමණයි - රනිල් වික‍්‍රමසිංහ


වසර පහක් තිස්සේ මිනිසුන් රැවටු ජනාධිපති, ඉදිරි මැතිවරණයේදි තමන්ගේ පරාජය පිළිබඳව බියට පත්වි ඇති අතර ඉන් ගැලවිමේ උපක‍්‍රමයක් ලෙසට කාමසුකල්ලිකානු අයවැයක් ලබාදිමට පියවර ගෙන ඇති බවත් නමුත් එය තාවකාලික සැපක් බවත් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

වික‍්‍රමසිංහ මහතා විසින් මෙසේ ප‍්‍රකාශකර ඇත්තේ 19 වෙනි දා කෝටිටෙි මැතිවරණ කොටිඨාශයේ ඡන්දපොළ නියෝජිත පිරිස හමුවිමෙි අවස්ථාවෙිදිය.

එම සහන ක‍්‍රියාත්මක වන්නේ මැතිවරණය පැවැත්වෙන තෙක් පමණක් බවත්, ඒ අයවැයෙන් ලබාදෙන සහන සදාකාලික සහන බවට පත්කර ගැනීම සඳහා කළ යුත්තේ ජාතික මැතිවරණයේ දි ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය පන්නා දැමිම බවත් විපක්‍ෂ නායකවරයා එහිදී ප‍්‍රකාශකර ඇත.

කෝටිටෙි මැතිවරණ කොටිඨාශයේ ඡන්දපොළ නියෝජිත පිරිස හමුවිමෙි අවස්ථාවෙිදි විපක්‍ෂ නායකවරයා සිදුකළ සම්පූර්ණ කථාව මෙසේය.

යුද්ධය අවසන්වූ විට මහින්ද රාජපක්‍ෂ ජනතාව ඉදිරියට පැමිණ දැන් යුද්ධය අවසන් නිසා යුද වියදම් ඉතිරි කර ජනතාව වෙනුවෙන් යොදවන බව පැවසුවා. නමුත් යුද වියදම් නැති වුණාට ආණ්ඩුවේ වියදම් වසරින් වසර වැඩි වුණා. ආණ්ඩුවේ වියදම් වැඩි වුණ නිසා යුද වියදම් ඉතිරි වීමේ වාසිය ජනතාවට ලැබුණේ නැහැ.

නිදහස් අධ්‍යාපන කප්පාදුව පටන් ගත්තේ ද යුද්ධය අවසන් වූ පසුවයි. එමෙන්ම නිදහස් සෞඛ්‍ය කප්පාදුව ද ආණ්ඩුව සිදු කළා.

ජනතාවට සෙත ලැබෙන සියලූම වියදම් සීමා කළ අතර, බදු බර වසරින් වසර වැඩි කළා. නිකුත් කරනු ලබන ගැසට් පත්‍රිකාවක් පාසා බඩු මිල වැඩි කළා. රජයේ සේවකයන්ට වැඩි කරනවායි කියූ රුපියල් 2500 ක මුදල ද වැඩි කළේ නැහැ.

යුද්ධයෙන් පසු ජනතාවට සෙතක් නැහැ :

එනම් යුද්ධයෙන් පසු යුද වියදම් සඳහා වෙන් කර තිබූ මුදල්වලට සිදු වූයේ කුමක් ද?

මහා මාර්ග හා වරායවල් ඉදිකරන බවට ආණ්ඩුව පවසනවා. නමුත් එයින් කිසිදු ප්‍රතිලාභයක් ජනතාවට ලැබුණේ නැහැ. අපි දන්නා තරමට මෙම මාර්ග සහ වරායවල් ඉදිකිරීමට වියදම් වන මුදලට වඩා තුන් ගුණයක් වියදම් කර කොමිස් මුදල තමන්ගේ සාක්කුවට දමා ගන්නවා.

අද නැව් පැමිණෙන්නේ නැති වරායක් හම්බන්තොට ඉදිකර තිබෙනවා. එමෙන්ම ගුවන් යානා පැමිණෙන්නේ නැති ගුවන් තොටුපොළක් මත්තල තිබෙනවා. ක්‍රිඩකයන් පැමිණෙන්නේ නැති ක්‍රිඩාංගනයක් සූරියවැව ඉදිකර තිබෙනවා.

විදුලි බලය නොමැති විදුලි බලාගාරයක් නොරොච්චෝලයේ තිබෙනවා. එමෙන්ම පාරවල් ගණනාවක් තිබෙනවා.

ජනතාවට අත්‍යවශ්‍ය දේ නැහැ :


නමුත් ජනතාවට අත්‍යවශ්‍ය දේ කිසිවක් සිදු වී නොමැත.

නියඟයෙන් පීඩාවට පත් වන උතුරු මැද පළාතට වැව් ඉදිකර නොදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ වැව් ඉදිකර තිබෙනවා.

ආණ්ඩුවේ සංවර්ධන වැඩ පිළිවෙළ මෙයයි. ජනතාවට එසේ නැතිනම් අවශ්‍ය තැනට අවශ්‍ය දේ ඉටු කර දීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ.

රැකියා අවස්ථා බිහි කිරීම සඳහා වත්මන් ආණ්ඩුව යටතේ කිසිදු කර්මාන්ත ශාලාවක් ඉදි වූයේ නැහැ.

කොම්පියුටර් කර්මාන්තය සීඝ්‍රයෙන් වැඩි දියුණු කරන බවට ආණ්ඩුව පැවසුවද එසේ සිදු වූයේ නැහැ. එමෙන්ම අලූත් සේවාවන් ද ඇති වූයේ නැහැ. එසේ නම් ආර්ථිකයක් දියුණු වන්නේ කෙසේද? එක් පිරිසක් මැද පෙරදිග ගොස් නොයෙකුත් දුක්විඳ රටට මුදල් එව්වා.

ආණ්ඩුව ඒ මුදලින් යැපෙමින්, අනෙත් පැත්තෙන් විශාල පොලියට ණය ලබා ගෙන පාරවල් ඉදි කළා. මේ නිසා දූෂණයෙන් රටේ 1% ක් වැනි සුළු කොටසක් පොහොසත් වුණා. ඒ රාජපක්‍ෂ රෙජිමය හා ඒ වටා සිටින හෙංචයියලායි. 99% ක් විනාශයට පත්ව දුක්විදිනවා.

මධ්‍යම පංතිය විනාශ කළා :

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව රට තුළ මධ්‍යම පංතියක් ඇති කළා. රාජපක්‍ෂ රෙජිමය එම මධ්‍යම පංතිය විනාශ කළා.

අද ජනතාව ජීවත් වෙන්නේ බොහෝ අමාරුවෙන්. මධ්‍යම පංතිය, සාමාන්‍ය ජනතාව සහ ගොවි ජනතාව අද ජීවත් වන්නේ ඉතාමත් අමාරුවෙන්.

සෑම පළාත් සභා මැතිවරණයක්ම ජයග්‍රහණය කළ පසු ජනතාව තමන්ට වරමක් ලබා දී තිබෙන බව පවසා අය-වැයේදී බඩු මිල, ඉන්ධන මිල, විදුලි බිල, රීලෝඩ් ඇතුළු සියලූම භාණ්ඩවල මිල වැඩි කළා.

ජනතාව දුෂ්කර ක්‍රියාවන්වලට මුහුණ දුන්නා. රාජපක්‍ෂ රෙජිමය රජ සැප වින්දා. ඌව පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවේ මෙම සෙල්ලම හරි ගියේ නැහැ. ඌව මැතිවරණයෙන් පසුව ආණ්ඩුව බියට පත් වුණා. ඌව පළාත් සභා මැතිවරණයෙන් පසු ආණ්ඩුව තීරණය කළා වත්මන් තත්ත්වය මැද්දේ ඉදිරියට යනවා නම් තමන් ඕනෑම මැතිවරණයක් පරාජය වී සූරා කන අවස්ථා හා හම්බ කිරීමේ අවස්ථා අහිමි වන බැවින් එදා පටන් ගැසට් නිවේදන මගින් බඩු මිල අඩු කිරීමට ආණ්ඩුව පියවර ගත්තා.

ආණ්ඩුව අද බඩු මිල අඩු කරන්නේ ගැසට් නිවේදන මගිනුයි. ගැසට් නිවේදනවලින් අඩු කරන සෑම බඩුවලම මිල ගැසට් නිවේදන මගින්ම නැවත වැඩි කළ හැකි බව අප මතක තියා ගත යුතුයි.

ජනතාවට බදු පිට බදු :

ආණ්ඩුව මුදල් හම්බ කිරීමට ප්‍රධාන වශයෙන් සිදු කළේ ජනතාවට බදු පිට බදු පැනවීමයි. අද එම බදු බර නොමැතිව ආණ්ඩුවට ගමන් කිරීමට හැකියාවක් නැහැ. ආණ්ඩුවට මුදල් හම්බ කිරීමේ වෙන කිසිදු මාර්ගයක් නැහැ. දූෂණ නතර කිරීමට ද ආණ්ඩුව සූදානම් නැහැ.

පාඩු පිට පාඩු ලබන මිහින් ලංකා ආයතනයේ සේවාව නතර කරනවා නම් එමගින් බදුවලින් කොටසක් අඩු කරන්නට පුළුවන්. එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවාවට අලූතින් ගුවන් යානා 10 ක් මිලදී ගැනීමට ද ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා.

මේ මුදල ගෙවීමට ද සිදුව තිබෙන්නේ ජනතාවටයි. ආණ්ඩුව විසින් තාවකාලිකව අඩු කරන බඩු මිල දිගටම පවත්වා ගෙන යාමට නොහැකි නිසා හදිසි මැතිවරණයකට ආණ්ඩුව දැන් සූදානම් වෙමින් සිටිනවා.

ඇත්ත වශයෙන්ම මාස 6 කට වඩා කාලයක් මෙම සහන ලබාදීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. එම නිසයි ආණ්ඩුව එම මාස 6 ට කලින් ජනාධිපතිවරණයකට යෑමට සුදානම් වෙමින් සිටින්නේ.

සෑම අංශයකින්ම දූෂණ :


අද සෑම අංශයකින්ම දූෂණ සිදු වනවා. ජනතාවට කිසිදු සෙතක් සිදු වන්නේ නැහැ. රැකියා හා කර්මාන්ත ශාලා ලබා නොදෙන්නේ ඇයි දැයි කියා විමසන විට ආණ්ඩුව පවසන්නේ බැංකු ණය අඩු කර තිබෙන බවත්, උද්ධමනය අඩු කරන බවත් මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාවයකට පැමිණ තිබෙන බවත්. ආණ්ඩුව පරණ බෙර පදය නැවත නැවත ගසනවා. 2009 ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසු වියදම් අඩු කර, උද්ධමනය අඩු කර හා බැංකු පොලී අඩු කිරීමට හැකි වන බැවින් ආර්ථිකය නඟා සිටුවීමට හැකි බව රටවල් ගණනාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබුණා.

අදට අවුරුදු 5 ක් ගත වී තිබෙනවා. කෙසේ වෙතත් අයි.එම්.එෆ්. සංවිධානයට සති දෙක තුනකට පෙර තේරී පත් වූ කළමනාකාර අධ්‍යක්‍ෂකවරිය වන ක්‍රිස්ටීන් ලෙගාඩ් තමන් කළ ක්‍රියාදාමයන් සාර්ථක නොමැති බව ප්‍රකාශ කර සිටියා.

බැංකු පොලිය අඩු වුව ද උද්ධමනය අඩු වුව ද වියදම් අඩු වුව ද ජනතාවගේ ආදායම් වැඩි වී නැහැ. යුරෝපීය ආර්ථිකය ද නඟා සිටුවී නැහැ.

ජපානයේ ආර්ථිකයට ද ඉදිරියට යෑමට ද නොහැකිව තිබෙනවා. ස්වල්ප දෙනෙක් පොහොසත් වුණාට විශාල පිරිසකගේ ආර්ථිකය නඟා සිටුවීමට නොහැකි වී තිබෙනවා. එංගලන්ත මහ බැංකුවේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයා අද බි්‍රතාන්‍ය ජනතාවගේ සත්‍ය ආදායම 2009 වසරට වඩා අඩු බවට ප්‍රකාශ කොට තිබෙනවා. තමන්ට නියම ආදායමට තාම පැමිණීමට නොහැකි බවට ද පවසා තිබෙන අතර, දැන් කර්මාන්ත ක්‍රමක්‍රමයෙන් දියුණුවීමට පටන් ගෙන තිබෙන බව වැඩි දුරටත් පවසා තිබෙනවා.

පෝල් කෲෆ්මන්, ජෝශෂ් ස්ටිග්ලිස්:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන තර්කය අද බොහෝ දෙනෙක් පිළිගන්නේ නැහැ. විශේෂයෙන්ම ආර්ථික විශේෂඥ නොබෙල් ත්‍යාගය දිනා ගත් පෝල් කෲෆ්මන්, ජෝශෂ් ස්ටිග්ලිස් යන අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ සටහන සම්පූර්ණයෙන්ම හෙළා දැක තිබෙනවා.

පෝල් කෲෆ්මන් මහතා පෙන්වා දී ඇත්තේ අඩු පොළී අනුපාතික සහ අඩු උද්ධමනය පිළිබඳ සංකල්පය අසාර්ථක බවයි. එනම් මේ සූත්‍ර අනුව ජනතාවගේ ආදායම් වැඩි වී නැති නිසා නිසා දියුණුවක් ඇති වන්නට ඉඩක් නොමැති බවට ද පවසා තිබෙනවා.

ජෝශෂ් ස්ටිග්ලිස් මහතා මාසයකට පෙරදී දෙවතාවක් පවසා සිටියේ අද අපට බලන්න තිබෙන්නේ උද්ධමනය දෙස නොව සාමාන්‍ය ජනතාවගේ ආදායම හා විරැකියාව ගැන බවයි. මෙම ප්‍රධාන ප්‍රශ්න දෙක විසදිය යුතුයි. මෙම ප්‍රශ්න නොවිසදා ඉදිරියට යා නොහැකියි. මෙන්න මේ ආකාරයට අයි.එම්.එෆ්. සංවිධානයේ මතයට විරුද්ධ නව ආර්ථික මත ගොඩනැගී තිබෙනවා.

රටේ ආර්ථිකය දියුණු කර ජනතාවගේ අතට මුදල් නොලැබෙනවා නම් රට තුළ දියුණුවක් ඇති වෙන්නේ නැති බව මෙයින් පැහැදිලිව පෙනී යනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය

එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිය කර්මාන්ත දියුණු කර, විශාල වශයෙන් විදේශ ආධාර ලබා ගෙන අවුරුදු 5 ක් තුළ රැකියා ලක්‍ෂ 10 ක් ඇති කිරීමයි. එමෙන්ම කෘෂි කර්මාන්තය නවීකරණය කළ යුතුයි. වෙළදාම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි.

රට තුළ රුපියල් 30,000 ක 40,000 ක වැටුපක් ලබා ගත හැකි රැකියා බිහි කළ යුතුයි.

පාරිභෝගිකයා සතුව මුදල් තිබෙන විට අවුරුදු තුන හතරක කාලයක් තුළ අපිට ඉදිරියට යාමට හැකි වේවි. ඒ සඳහා අලූත් වෙළෙඳපොළ සොයා ගත යුතු අතර, ඊට සමාන්තරව සම්ප්‍රදායික වෙළෙඳ පොළ ද දියුණු කළ යුතුයි. විශේෂයෙන්ම වැඩි තාක්‍ෂණයක් තිබෙන එමෙන්ම වැඩි වැටුපක් ලබා ගත හැකි ආර්ථික ක්‍රමවේදයක් ඇති කර රටේ තරුණ තරුණියන්ට දායාද කිරීම එක්සත් ජාතික පක්‍ෂයේ අරමුණයි.

බඩු මිල මට ප්‍රශ්නයක් නොවේ:

බඩු මිල අඩු කිරීම මට ප්‍රශ්නයක් නොවේ. ලෝක වෙළෙඳ පොළේ ඕනෑම මොහොතක බඩු මිල අඩු වැඩි විය හැකියි. නමුත් අපේ අරමුණ විය යුත්තේ ඕනෑම මොහොතක ආදායම් වැඩි කිරීමයි. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව යටතේ කෙටි කාලය තුළ ආර්ථිකය නඟා සිටුවා ජනතාවගේ අතට මුදල් ලැබෙන මාර්ගය ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ සඳහා හොඳම ක්‍රමය කුමක් ද? රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමයි. සමන් රත්නප්‍රිය මහතා ඇතුළු කණ්ඩායම මා හමුවූ විට ද පවසා සිටියේ රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කළ යුතු බවයි.

සමහර පුද්ගලික අංශවල වැඩි කර තිබෙන නමුත් අනෙක් අංශවල වැඩි කර නැහැ. පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට ද පියවර ගත යුතුයි.

ප්‍රධාන මිනුම් දණ්ඩය වනුයේ රජයේ සේවකයින්ට රුපියල් 10,000 කින් පඩි වැඩි කිරීමයි.

මෙය ක්‍ෂණිකව මුදල් අතට ලැබෙන ක්‍රමයක් වශයෙන් සැලකිය හැකියි.

එවිට මුදල් සංසරණය වැඩිවී සෑම කඩ සාප්පුවක්ම දියුණු වනවා. නිෂ්පාදන කරුවන්ට ද මෙයින් ප්‍රතිලාභ ලැබෙනවා.

එවිට වැඩි වැඩියෙන් සේවකයන් බඳවා ගැනීමට ඔවුන් පියවර ගනීවි.

එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප මෙන්ම දීමනාව පිළිබඳවද අපේ අවධානය යොමු වී තිබෙනවා. එම දීමනාව තමන්ගේ විශ්‍රාම වැටුපට ලබා දීමය අප පියවර ගන්නවා. අපේ පළමු ක්‍රියාව රජයේ සේවකයන්ගේ අතට රුපියල් 10,000 ක් ලබාදීමයි.

විශ්‍රාමිකයින්ට විශාල ප්‍රශ්නයක් :


විශ්‍රාමිකයින්ට ද අද විශාල ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන්ම වැටුප් විෂමතා පිළිබඳ විශාල ප්‍රශ්න තිබෙනවා. එම වැටුප් විෂමතා ප්‍රශ්න විසඳීමට ක්‍රියා කරන බව මා පැහැදිලිව කියා සිටිනවා. මෙම ප්‍රශ්නය පැයකින් දෙකකින් විසදිය නොහැකි නිසා විශ්‍රාමිකයින් සඳහා මාසිකව වැඩිපුර රුපියල් 2500 ක් ලබා දෙමින්, ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට ද පියවර ගන්නවා.

වේතන ලැබූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝ පිරිසක් බැංකුවල ස්ථිර තැන්පත් කර තිබෙනවා. එම මාර්ගයෙන් ලැබූ පොලියෙන් ආර්ථිකය නඩත්තු කිරීමට පියවර ගත්තා. අද පොලිය අඩු වී ඔවුන් අසරණ තත්ත්වයට පත්වී තිබෙනවා. ඕනෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ ස්ථිර තැන්පතු සඳහා පළමු ලක්‍ෂ 10 සඳහා 10% ක පොලියක් ලබා දෙන බව සහතික වනවා.

ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ් අරමුදල අද බංකොළොත් භාවයට පත්ව තිබෙනවා. එම ගැටලූ විසඳීමට පියවර ගන්නා අතර, විශ්‍රාම යන විට තමන්ට අදාළ මුදල ලැබීමට හා ඒ සඳහා හොඳ පොලියක් ලබාදීමටද අප ක්‍රියා කරනවා.

ඉන්ධන ගාස්තු :

අද ඉන්ධන ගාස්තු විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. විදුලි බල නිෂ්පාදන ගාස්තුව හා මෙහෙයුම් වියදම් ගාස්තු දිහා බලන විට අපේ විදුලි බිල ගාස්තු 20% – 25% කින් අඩු කළ හැකියි. ප්‍රමාණවත් ජලය තිබෙන නිසා මෙය ලේසියෙන් කරන්නට පුළුවන්.

නමුත් වත්මන් ආණ්ඩුව ඒ දේ සිදු කර නැහැ. ලෝක වෙළෙඳ පොළ හා සාධාරණ මෙහෙයුම් ගාස්තු අනුව තෙල් සංස්ථාව ක්‍රියා කරනවා නම් පෙට්‍රල් මිල ද විශාල වශයෙන් අඩු කිරීමට හැකියි.

එක පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් නොව 50 කින් අඩු කිරීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කළ හැකියි. මේ සියලූ ගාස්තු අඩු වන විට ජනතාවගේ අතේ මුදල් ඉතිරි වන අතර සෑම විටම මුදල් පරිහරණය වන නිසා ආර්ථිකය තව තවත් ඉදිරියට යනවා.

තෙල් මිල සෑම විටම ඉහළ අගයක් ගන්නා නිසා විදේශ ආයෝජිකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැහැ. එමෙන්ම වත්මන් ආණ්ඩුව කෙරෙහි විදේශ ආයෝජකයින්ට කිසිදු විශ්වාසයක් ඇත්තේ නැහැ.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් යටතේ විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බිය වන්නේ නැහැ.

ගොවිතැන් කටයුතු :

ගොවිතැන් කටයුතුවලට ස්ථාවර මිලක් ලබා දීමට ද පියවර ගත යුතුයි. එවිට ගොවීන්ගේ අතට ද මුදල් ලැබෙනවා. 2002 වසරේ පඩි වැඩි කිරීමට ද මට හැකි වුණා. එමෙන්ම කෝට්ටේ යුගයෙන් පසු සහල්වලින් රට ස්වයං පෝෂිත කිරීමට ද අපේ ආණ්ඩුවට හැකි වුණා.

එමෙන්ම කෘෂි භෝගවලට ලබා දෙන සහතික මිල වැඩි කළ යුතුයි. උදාහරණයක් වශයෙන් නාඩු වී සඳහා කිලෝවකට රුපියල් 45 ක් සහ සම්බා වීවලට කිලෝවකට රුපියල් 50 ක් ද ලබාදී මෙම ක්‍රියාව ආරම්භ කිරීමට පුළුවන්. අපේ දේශීය නිෂ්පාදනය ආරක්‍ෂා කිරීමට පියවර ගත යුතුයි.

සමෘද්ධි ලාභීන් සඳහා ද මුදල් ලබා දිය යුතුයි. ඔවුන්ට ද වියදම් කිරීම සඳහා අතට මුදල් ලබා දිය යුතුයි.

දූෂණයෙන් මුදල් හම්බ කර සීසෙල්ස් වැනි විදේශ රටවල බැංකුවල තැන්පත් කිරීමට අපේ පාලනය යටතේ කිසිවකුට ඉඩ තබන්නේ නැහැ. එක් එක් කණ්ඩායම් සඳහා උපරිමයෙන් රුපියල් 200 කින් සමෘද්ධි වැඩි කිරීමට පියවර ගත යුතුයි.

ළඳරුවන් අතර මන්දපෝෂණය ;

ළඳරුවන් අතර මන්දපෝෂණය අඩු කිරීම සඳහා දරුවෙකු උපදින විට රුපියල් 20,000 ක් ලබා දීමට පියවර ගන්නවා.

අපට අවශ්‍ය වන්නේ රටේ ආර්ථිකයට මුදල් යොදවා එමගින් රටේ නිෂ්පාදනය වැඩි කිරීමයි.

මේ වැඩ කටයුතු කිරීම සඳහා මුදල් සොයා ගන්නේ කෙසේ දැයි සමහරුන් ප්‍රශ්න කරනවා.

මිහින් එයාර් ගුවන් සමාගමේ, ශ්‍රී ලන්කන් එයාර් ගුවන් සමාගමේ, මහා මාර්ග සංවර්ධන අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ඇතුළු රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා නතර කළොත් අපට රුපියල් බිලියන 350 ක් පහසුවෙන්ම සොයා ගත හැකියි.

මීට අමතරව නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආරක්‍ෂා කර නඟා සිටුවීම සඳහා ද එක්සත් ජාතික පක්‍ෂයට විධිමත් වැඩ පිළිවෙළක් සහ සැලැස්මක් තිබෙනවා. මේ වැඩ කටයුතු කිරීම සඳහා අප කළ යුත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී හෝ මහ මැතිවරණයේදී සියලූ පාර්ශ්වයන් එකට එක්ව ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය පන්නා දැමීමයි.

සදාකාලික සහන

ආණ්ඩුව ඉදිරි ජාතික මැතිවරණ වෙනුවෙන් මෙවර ඉදිරිපත් කරන්නේ කාමසුඛල්ලලිකානු යෝගය පදනම් කර ගත් අය-වැයක් වන නමුත් එමගින් ලබා දෙන සහන සදාකාලික වන්නේ නෑ.

ඒ සහන ක්‍රියාත්මක වන්නේ මැතිවරණය අවසන් වන තුරු පමණයි. ඒ අය-වැය මගින් ලබා දෙන සහන සදාකාලික සහන බවට පත් කර ගැනීම සඳහා ඔබ කළ යුත්තේ ජාතික මැතිවරණයේදී ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය පන්නා දැමීමයි.

-MMP





2014-10-21
Advertisement

Find us on Facebook