English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම කළ යුතුයි නැත්නම් එතුමා පරාජය කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා! – අතුරලියේ රතන හිමි


මේ ආණ්ඩුව මේ වෙනකොට ජනාධි පතිවරණයක් කැඳවලා තියෙනවා. නැකැත් කරුවන් විසින්, ඉරහඳ තාරකා විසින් තීරණය කරලා තියෙනවා ජනාධිපතිවරණය. අපි කියන්න කැමතියි ජනාධිපතිතුමනි, ජනාධිපති වරණය තීරණය කරන්නේ නීතිය සහ රටේ ජනතාවගේ අභිමතය මිස තමන්ගේ පුද්ගලික කේන්දරය අනුව නෙවෙයි කියලා.

නිශ්චිතව දන්නේ නෑ, අපට ආරංචිවුණා මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් තුමා මේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලියුමක් භාරදීලා තියෙනවා කියලා. අපි මේ සන්ධානයේ එක පක්‍ෂයක්. මෙවැනි ජනාධිපතිවරණයක් තියෙන බව අපේ පක්‍ෂය සමග කවදාවත් සාකච්ඡුා කරලා නැහැ. සන්ධානය සමග සාකච්ඡුාවකුත් නැහැ. කැබිනට් එක සමග සාකච්ඡුාවකුත් නැහැ. අත්තනෝමතිකව තමන්ගේ කේන්දරයට අනුව ජනාධිපති වරණයක් තියෙනවා. මේක වැරදියි කියන්න තරම් අපට කොන්දක් නැද්ද? ආත්ම ශක්තියක් නැද්ද? පෞරුෂයක් නැද්ද? අසාධාරණය ඉදිරියේ නිශ්ශබ්ද වෙන මිනිහා තරම් ලජ්ජා බය නැති මිනිහෙක් නෑ කියලා අපේ බණපදයේ සඳහන් වෙනවා. අධර්මය දැක දැක, අසත්‍යය දැක දැක ඒක කතා නොකරන මිනිහා තරම් අධර්මකාමී මිනිහෙක් තවත් නෑ. ඒ නිසා මේ අධර්මයට, මේ අශ්ලීල ක‍්‍රියාවලියට විරුද්ධව අපි කටයුතු කළ යුතුයි. එහෙම කටයුතු කරන්නේ නැත්නම් අපි නිකංම නිකං බඩවියත වෙනුවෙන් ජීවත්වෙන, ආත්මාර්ථය වෙනුවෙන් ජීවත්වෙන, තමන්ගේ පැවැත්ම ගැන විතරක් හිතන, අන්ත ජරා ආත්මාර්ථකාමී පිරිසක් බවට ඉතිහාසයේ ලියැවෙනවා. ඒක අපි වෙනස් කරන්න ඕනෑ. කොන්ද පණ නැති නිවටයෝ වගේ තවදුරටත් අපි බලාසිටිනවා නම්, අනාගත පරම්පරාව අපිට සාප කරයි. අපි ඒකෙන් ගැලවෙන්නට ඕනෑ.

ආණ්ඩුව කියනවා ජනාධිපතිවරණයක් තියනවා කියලා. අපි කියනවා ජනාධිපතිවරණයක් තියන්න නෙවෙයි දැන් අවශ්‍ය, මේ ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාවයට නැගීමයි ආණ්ඩුව කළ යුත්තේ. ආණ්ඩුව කියලා තියෙනවා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බව. සංශෝධනය කරන බව. ජනාධිපතිතුමා සංශෝධනය කරලා තියෙනවා. මම මන්තී‍්‍රවරයෙක් හැටියට, මහජන නියෝජිතයෙක් හැටියට කනගාටු වෙනවා ආණ්ඩුව විදියට ඒකට ඡුන්දය දීම ගැන. මම ඒක පාපෝච්ඡුාරණයක් හැටියට කරනවා, 18වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි ඡුන්දය දීපු එක වැරදියි කියලා. එතුමා 18වැනි සංශෝධනය කළේ කා සඳහාද? තමන් සඳහාෟ අපි සඳහා නෙවෙයි. තුනෙන් දෙකේ බලයෙන් අඩුම ගානේ එතුමාට තිබුණා හොරු බිහිකරන මේ මැතිවරණ ක‍්‍රමයවත් වෙනස් කරන්න. මේ ආණ්ඩුව එහෙම සංවාදයක් කරලා තියෙනවාද? ආණ්ඩුව ඇතුළේ සංවාදයක් තියෙනවාද? කරන දේවල් ගැන කිසිම කෙනෙක් දන්නේ නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සැලකිය යුතු පිරිසක් මට කිව්වා, ඔබ වහන්සේ මේ සංශෝධනය ගේන්න. අපි සම්පූර්ණ ශක්තිය දෙනවාය කියලා. මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය, සන්ධානයේ ස්ථාවරය අනුව හදපු යෝජනාවලියක්.

දැන් මේ සියල්ල නොසලකා ජනාධිපතිවරණයක් තියන්න යනවා. අයවැය කලින් තියනවා. අපි ඉතාමත් පැහැදිලිව මේ ආණ්ඩුවට කියනවා ව්‍යවස්ථා සංශෝධනය කොට මිසක් ජනාධිපතිවරණයක් නොපැවැත් විය යුතුයි කියලා. හරිෟ ජනාධිපතිවරයා එසේ නොසලකා ක‍්‍රියාකළොත් අපිට මොකක්ද කරන්න පුළුවන්? ඔබතුමාලා හිතන්නේ මොකක්ද කරන්න පුළුවන්? අනේ ජනාධිපතිතුමා කමක් නෑ අපි ඉල්ලමු, මොනවා වුණත් මේ අන්තර් ජාතික බලපෑමක් තියෙනවා, ලෝකේ හෙල්ලෙන්න යනවා, ඒ නිසා ඔබතුමා තව සැරයක් කොහොමහරි ඉල්ලන්න ඕනෑ කියලා අපි පස්සෙන් යන්න ඕනෑද? කුමක්ද අපි කළ යුතු න්‍යාය පත‍්‍රය? මොකක්ද ඔබතුමන්ලා හිතන්නේ? (සභාවෙන්: එළවන්න ඕනෑෟ) තව ටිකක් හයියෙන් කිව්වා නම් හොඳයි. අපි ඉමුද ආණ්ඩුවත් එක්කම? (සභාවෙන්: යන්න ඕනෑෟ) කරන්නේ නැත්නම් මොකද කරන්නේ?

අපි පැහැදිලිව කියනවා, මේ ජනාධිපතිවරයා මේ සංශෝධනය කළ යුතුයි. ජනාධිපතිවරයාට අපි කියනවා, ඔබතුමා බලයට පත්කරන්න අපි දායකවුණා. බලයට ගේන්න අපි කළ දේ ගැන ඔබතුමා හොඳටම දන්නවා. එනිසා අපි ඔබතුමාගෙන් කරුණා මෛත‍්‍රී පූර්වකව ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයකට යන්නේ නැතුව මේ ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම කළ යුතුයි. කරන්නේ නැත්නම් මොකද කරන්නේ? එතුමා පරාජය කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවාෟ (සභාවෙන් අත්පොළසන්) හැම දෙයක්ම කරනවාෟ උපවාසද, සත්‍යග‍්‍රහද හැම දෙයක්ම කරනවාෟ ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය කළ යුතුමයි. තුනෙන් දෙක අපි අරන් දෙන්නම්. තුනෙන් දෙකේ ප‍්‍රශ්නයක් නෑ, (සභාවේ සිටි කොමියුනිස්ට්, සමසමාජ පක්‍ෂ නායකයන්ගෙන්) ඔබතුමන්ලාත් සහයෝගය දෙනවාද? (ඔවුහු හිස වනා ඔව් කියති.) අපි ජාතික හෙළ උරුමය ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ මට කියලා තියෙනවා සහාය දෙනවා කියලා. එක්සත් ජාතික පක්‍ෂය කියලා තියෙනවා සහාය දෙනවා කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල පිරිසක් කියලා තියෙනවා සහාය දෙනවා කියලා? තවත් කවුද ඕනෑ? අපි දිනලා තියෙන්නේ.

මේක මේ ජනාධිපති වරයාගේ ක‍්‍රියාකාරිත්වයක් පමණක් නෙවෙයි. 1988 හැටදහසකට වැඩි ජීවිත මියගිය කැරැුල්ල එදා ජේආර් ජයවර්ධන මැතිතුමාගේ ඒකාධිපතිත්වයේ ප‍්‍රතිඵල. එදා ජනමත විචාරණයක් තියන්නේ නැතිව පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බා නම් ප‍්‍රභාකරන් විතරක් නෙවෙයි විජේවීර මහත්තයාත් පාර්ලිමේන්තුවට එනවා. සමාජ කැරලිවලට මඟ පෑදුවේ එදා තනි පුද්ගලයෙක්. ගිවිසුම් අත්සන් කළේ මන්ත‍්‍රීවරු ඇපේට අරගෙන. ඉල්ලා අස්වීමේ ලියුම් සාක්කුවේ දාගෙන. ශ්‍රේෂ්ඨාධි කරණයට ගල් ගහපු, අත්තනෝමතිකව අධිකරණය පාලනය කරපු අඳුරු යුගයක අත්දැකීම් අපි ලැබුවේ ලේ කඳුළුවලින් වන්දි ගෙවලා. අද අපි ඒක නිවැරදි කළේ නැත්නම්, අයෙත් අවුරුදු දහයකට මෙහා පැත්තේ අපට එන්නේ, ආයෙත් ලේ කඳුළුවලින් අම්මලා තාත්තලා අඬාවැටෙන, මිනීවළවල්වල ඇටකටු හාරන, තමන්ගේ රත්තරන් පුතා කෝ කියලා අඬන අඳුරු යුගයක්. ඒ යුගය වළක්වන්න පුළුවන් හිත පපුව තියෙන මිනිස්සුන්ට පමණයි. ඒක අපේ වගකීම. ඒ වගකීම අපි ඉෂ්ඨ කළ යුතුයි.

පහුගිය මැතිවරණවලදී ජනාධිපතිතුමා යනවා මැතිවරණ කරන්න. රාජ්‍ය පාලනය සියල්ල තියලා එතුමා ඌවේ ඡුන්දයේ. මක්නිසාද එතුමාගේ පුතාගේ මනාප වැඩිකළ යුතුයි. ජනාධිපතිවරණයක් තියන්න තියෙන නිසා ඕක කොහොම හරි දිනාගත යුතුයි. එතුමා දහඩිය දාගෙන දුක් මහන්සිවලා අන්තිම අමාරුවෙන් ජීවිතෙන් ලොකු කාලයක් කැපකළේ ඌවේ ඡුන්දය දිනන්න. අපි අහන්නේ, ඌවේ ඡුන්දේට ජනාධිපතිතුමා යන්න ඕනෑද? අවශ්‍ය නැහැ. අපි යෝජනා කරලා තියෙනවා. සියලූ පළාත් සභා මැතිවරණ එක දිනයක පැවැත්විය යුතුයි. බලය යොදලා වරින්වර නෙවෙයි. ඒ වාගේම මහ මැතිවරණය ජනාධිපතිවරණය එකවර පැවැත්විය යුතුයි. මනාප ක‍්‍රමය අහෝසි කළ යුතුයි.

මේක නීතියක්. මේක ධර්මයක්. ඒක තහවුරු කරගැනීම සඳහා නිශ්චිතව ඉදිරි කාලයේදී කටයුතු කළ යුතුයි. ජනාධිපතිවරයා මේ යෝජනාවලියට අනුව ගෞරවාන්විත පුරවැසියෙක් වෙනවා. අපි කැමති ජනාධිපතිතුමා එවැනි ගෞරවාන්විත රාජ්‍ය නායකයෙක් වෙනවාට. ඔය වටේ ඉන්න කේවට්ටයො ටිකයි, බමුණෝ ටිකයි එහකතුවෙලා එතුමා දාන්න යන්නේ පහුගිය නායකයො ගෙදර ගිය පිරිහිච්ච තත්ත්වයටයි. එතුමා දේශපාලනයෙන් සමුගත යුත්තේ පිරිහිච්ච නායකයෙක් හැටියට නෙවෙයි. ඒ නිසා ජනාධිපතිතුමාට ඉතා ඕනෑකමින් කියන්නේ, ඔබතුමාට ගෞරවාන්විත රාජ්‍ය නායකයෙක් හැටියට තවත් රාජ්‍ය බලයේ ඉන්නත් පුළුවන්. කීර්තිමත් රාජ්‍ය නායකයෙක් හැටියට සමුගන්නත් පුළුවන්. ජීවිතයේ වටින්නේ කොහොමහරි බලයේ ඉඳලා චුත වෙන මිනිහෙක් නෙවෙයි. රට තුළ, ඉතිහාසය තුළ යමක් කරලා තමන්ගේ නම තියලා යන මිනිහෙක් හැටියට.

අද වෙනකොට දවසකට එකොළහත් දහතුනත් අතර මිනිස්සු වකුගඩු රෝගය නිසා රජරට ප‍්‍රදේශයේ මියයනවා. අද රජරට ප‍්‍රදේශය විසාලාවක්. එහේ ගොවියන්ගේ වතුර ටිකවත් දෙන්න ප‍්‍රමුඛතාවයක් දෙන්නේ නැත්තේ ඇයි? ඇයි මේ බහුජාතික සමාගම්වල වැඩ නවත්වන්නේ නැත්තේ? අපිට සාමාන්‍ය හෘදය සාක්‍ෂියට දැනෙන දේ තමයි මේ සමාගම් මේගොල්ලන්ව අත්අඩංගුවට අරගෙන. ඒ අයගේ සල්ලිවලට යටත්වෙලා ඉවරයි. නැත්නම් මිනිස්සු මැරෙද්දි ඇයි දේශපාලන තීන්දුවක් ගන්න බැරි? දිවුලපිටියේ ආසනයේ පවුල් ඒකක හතලිස් පන්දාහක කුඩු ගහන අය ඉන්නවා දහදාහක්. ගමක් ඉතිරිවෙන්න පුළුවන්ද? සිංහල බෞද්ධයා රැුකෙයිද? අද ගමක් නැහැ. අපි සංවර්ධනය කරනවා කියලා මහ ඉහළින් පාරවල් හදාගෙන යනවා. විලාසිතා විච්චූරණ සංදර්ශන පවත්වාගෙන යනවා. නමුත් අද සම්පූර්ණයෙන් අපේ ගම ඉවරයි. මිනිස්සු කියන්නේ කුඩුයි දේශපාලනයයි සම්බන්ධයි කියලා. අපේ හදවතින් කියනවා මේ මත්ද්‍රව්‍ය මේ තරම් පැතිරෙන්නේ යම්කිසි දේශපාලනික ක‍්‍රියාවලියක් එක්ක කියලා. මතට තිත යටතේ ගම්වල සදාචාරය සංස්කෘතිය එක්තරා ප‍්‍රමාණයකටවත් ආරක්‍ෂා වෙයි කියලා අපි හිතුවා. අද මොකද වෙලා තියෙන්නේ? ගම්වල ඇමතිවරුන්ම එතනෝල් ගෙන්වනවා. ඇමතිවරුන්ගේම බාර් තියෙනවා. ඇමතිවරුන්ම රෙස්ටුරන්ට් පටන් අරගෙන තියෙනවා. ඈත පිටිසර ගම්දනව් දක්වා බේබදු සංස්කෘතියක් අලූතෙන් උත්පාදනය කරලා තියෙනවා. සංගීතය කලාව සම්පූර්ණයෙන් වනවැදිලා. ආධ්‍යාත්මයක් නැති සමාජයක් බවට, සංස්කෘතික සෝදාපාළුවට ලක්වෙච්ච සමාජයක් බවට අද අපි පත්වෙලා තියෙනවා. ආධ්‍යාත්මික අංගවිකල තත්ත්වයට සමාජය පත්වෙලා තියෙනවා. අද දේශීය ව්‍යාපාරික පන්තිය අඬාවැටෙනවා. මේ ආණ්ඩුව යටතේ වර්ධනය කළ දේශීය ව්‍යාපාරිකයෝ කවුද? හැදිලා තියෙන්නේ කැසිනෝකාරයෝ. එතනෝල්කාරයෝ.

අපි සියලූම දෙනා එකතුවෙලා විශාල ජනබලයක් බවට පත්වුණොත්, වමේ පක්‍ෂ, දකුණේ පක්‍ෂ, ජාතිකවාදී පක්‍ෂ සියලූ දෙනාම එක පෙරමුණක ඉඳගෙන එක බලයක් බවට පරිවර්තනය වුණොත් මේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා යටතේම මේක අපට තහවුරු කරරගන්න පුළුවන්. ඒකට අවසාන බින්දුව දක්වාම අපි උත්සාහ කළ යුතුයි. අර කේන්දරකාරයන්ගේ නැකැත්කාරයන්ගේ නැකැත් පරාජය කළ යුතුයි. ජනතාවගේ හා බුද්ධිමතුන්ගේ හෘදය සාක්‍ෂිය ජයග‍්‍රහණය කළ යුතුයි. අපි හයියෙන් හුස්මක් අරගෙන මේ රට අපිට හදන්න පුළුවන් කියා හිතලා රට තනි පුද්ගලයකුට පවුලකට හිරකරන්නේ නැතිව ඒ සඳහා ක‍්‍රියාකරමු.

උපුටා ගැනීම රාවය පුවත්පත - 19.10.2014
-MMP



2014-10-20
Advertisement

Find us on Facebook