English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විසුළු අපරූපක

නපුරු සංඥාවන් එන්න එන්නම පැටව් ගසති. විවාද කාලය කප්පාදු කළ වේලාසන අයවැයක් ගැන නිවේදනය වීමත් සමග ගෑස් මිල අඩු විය. එම මිල අඩු කිරීම ජනාධිපතිවරයා විසින්ම ප‍්‍රකාශයට පත්කරන ලද්දේ, එය හරියට, ඔහුගේ සාක්කුවෙන් දෙන තෑග්ගක් සේ සළකාගෙන මෙනි.

ළඟදීම මැතිවරණයක් ඒමට නියමිතයි. එයින් පසුව නැවත මිල වැඩි කිරීමට පාලකයන්ට පුලූවන.

මිල අඩු කිරීම කෙටි කාලීන වෙතත්, විශේෂයෙන් එය සිදුවන්නේ විදුලිය, ඉන්ධන සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල නම්, එය ගර්හාවට ලක්කළ යුතු නැත. එහෙත් මේ යාප්පුවේ හුදු නිහීනත්වයම, ඡුන්දදායකයා ගැන රාජපක්ෂලාගේ අවතක්සේරුව නැවත වරක් පෙන්නුම් කරන්නකි. ඡුන්දදායකයන් වනාහී, ඕනෑම සාමූහික රැුවටිල්ලක් තුළ පහසුවෙන් ඇන්දවිය හැකි, බුද්ධිහීනයන් සහ ළදරුවන් ය යන්න රාජපක්ෂලාගේ තක්සේරුවයි. ඔවුන් සිතන විදිහට, සමස්ත ලංකා සමාජය, ඉහළ සිට පහළටම, බොරුවෙන් සහ යාප්පුවෙන් යට කළ හැකි සමාජයකි. එනිසා එම රැුවටිල්ල වැසැංගීමේ අවශ්‍යතාවක් නැත. එය අමු අමුවේම කළ හැකිය. අවශ්‍ය වෙතොත්, දේශපේ‍්‍රමය හෝ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය වැනි දවටනයක ඔතා එය පිළිගැන්විය හැකිය.

උදාහරණයක් වශයෙන්, සජින් වාස් ගුණවර්ධන-ක‍්‍රිස් නෝනිස් වීරාඛ්‍යානයේ අළුත්ම ඇඹරිල්ල සැලකිල්ලට ගන්න.

මේ සිද්ධියට නියමිත පරීක්ෂණය තවම අවසන් නැත. (තවම එය පටන්ගෙනවත් ඇත්ද?) එහෙත් කෙහෙලිය රඹුක්වැල්ල දැනටමත් තීන්දුවක් දී අවසානයි. ඔහුට අනුව, කිසිවෙකු කිසිවෙකුට පහර දී නැත. ඇති වී තිබෙන්නේ උණුසුම් වචන හුවමාරුවක් පමණි. එසේ නම් ක‍්‍රිස් නෝනිස් කියන්නේ බොරුවකි. එපමණක් නොව, දොස්තර නෝනිස් ඒ සාදයට සහභාගී විය යුතුව තිබුණේ ද නැත. ඔහු අනාරාධිතයෙකි. එතැනට බලෙන් ගිය අයෙකි. ඒ නිල ආස්ථානයට අනුව, වැරදිකරුවෙකු වෙත් නම්, ඒ දොස්තර නෝනිස්ම මිස වෙනකෙකු නොවේ. තමාට ආරාධනා නොලද තැනකට ඔහු ගියේ නම්, ඔහු සුරාවෙන් මත් නොවුණි නම්, මේ කිසි ප‍්‍රශ්නයක් පැන නොනගිනු ඇත. එසේ විණි නම්, රාජපක්ෂලාව නැට්ටෙන්ම ආරක්ෂා කරමින්, ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ යුක්ති ධර්මය තිතට රජයන්නේ යැයි ලෝකයාට කියමින්, තවමත් ඔහු අපේ ලන්ඩන් නුවර මහ කොමසාරිස්තුමාම වනු ඇත.

එසේම, වැඩකට නැති හුටපටයක් කරට ගැනීම ගැන රඹුක්වැල්ල ඇමතිවරයා මාධ්‍යයටත් දොස් කීවේය. ‘‘මෙය නිල උත්සවයක දී සිදු විණි නම්, එය රටේ ජනතාවටත්, ආණ්ඩුවට සහ මාධ්‍යයටත් ප‍්‍රශ්නයක් වන්නට තිබුණි. එහෙත් පුද්ගලික නිවසක දී සිදු වූ මෙවැනි පුද්ගලික සිදුවීමක් ගැන කැළඹෙන්නට හේතුවක් නැත.’’

දොස්තර නෝනිස් කට වහගෙන ගියොත් ඔහුට නිවිහැනහිලේ ඉන්නට ලැබේවි. එහෙත් ඔහු යුක්තිය ඉල්ලා සිටියොත්, ඔහුගේ අතීත සහ වර්තමාන ක‍්‍රියාකාරකම් ඇතුළු තවත් බේගල් ඔහුට එරෙහිව නිර්මාණය කෙරෙනු නියති. නිහීනයා සහ අවලමා වන්නේ දොස්තර නෝනිස් බවත්, මොනිටර් මන්ත‍්‍රී වාස් ගුණවර්ධන වනාහී ආර්යාවකගේ කීර්ති නාමය ආරක්ෂා කර දීමට අභීතව ඉදිරිපත් වූ අසහාය ශ‍්‍රීමත් ගැලහාඞ් කෙනෙකු බවත් සහතික කෙරෙන සාක්ෂිකරුවන් ද ඉදිරිපත් කෙරෙනු ඇති. එසේම රාජපක්ෂලා ඊළඟ වටයෙනුත් ජයග‍්‍රහණය කළහොත්, මොනිටර් මන්ත‍්‍රී වාස් ගුණවර්ධනට නිර්දය ලෙස පහර දුන්නේ දොස්තර නෝනිස් යැයි දිව්රා කියන සාක්ෂිකරුවන් ද ඉදිරිපත් කෙරෙනු ඇති.

බි‍්‍රතාන්‍ය කොන්සර්වෙටිව් පක්ෂයේ වාර්ෂික සම්මේලනයේ දී, බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා දොස්තර නෝනිස්ට මෙසේ කී බව සැළයි: ‘‘දැන් ඔබට තේරෙනවා, ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන අපි මෙච්චර කතා කරන්නේ ඇයි කියලා.’’

රාජපක්ෂගේ අධර්මයෙන් බැටකෑ අනන්තවත් දෙමළ, මුස්ලිම් සහ සිංහල වින්දිතයන් ගැන දොස්තර නෝනිස්ට මතක් වෙයි ද? බල අපහරණය සහ දණ්ඩමුක්තිය (දඬුවම් නොවිද අපරාධ කිරීමට ඇති හැකියාව), තව තවත් බල අපහරණයටත්, තව තවත් දණ්ඩමුක්තියටත් තුඩු දෙනු ඇති බව, අඩු වශයෙන් දැන්වත් දොස්තර නෝනිස්ට වැටහෙයි ද?

ගෝත‍්‍රවාදී අර්ථශාස්ත‍්‍රය

සිගරට් පැකට්ටුවේ කවරයේ සියයට 80 ක ඉඩ ප‍්‍රමාණයක් රූපමය අවවාද පළ කිරීමට ඉල්ලා ගිය සතියේ විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් අවුරණ ලදි. මීට කලකට පෙර එම යෝජනාවම පාර්ලිමේන්තුවේ ඒකච්ඡුන්දයෙන් සම්මත විය. එහෙත් පසුව ලංකා දුම්කොළ සමාගම ඊට එරෙහිව අධිකරණයට ගියේය. එහි දී පාර්ලිමේන්තු තීරණය පසෙක ලෑ අධිකරණය, රූපමය අවවාද සඳහා සිගරට් පැකට්ටුවේ කවරයේ ඉඩ ප‍්‍රමාණයෙන් සියයට 60 ක් පමණක් ප‍්‍රමාණවත් වන බවට තීන්දු කෙළේය.

මෙවර එම යෝජනාව නැවත වරක් විජේදාස රාජපක්ෂ ගෙන ඒමට තැත් කළ අවස්ථාවේ ආණ්ඩුවේ ස්ථාවරය වුණේ, අධිකරණ තීන්දුවට තමන් හිස නැමිය යුතු බවයි. මේ කාරණය සම්බන්ධයෙන් නඩු තීන්දුවක් ඇති බවත්, අධිකරණයට ගෞරවයක් වශයෙන් මෙම යෝජනාව පාර්ලිමේන්තුව සම්මත නොකළ යුතු බවත්, වැඩබලන සෞඛ්‍ය ඇමති ලලිත් දිසානායක කියා සිටියේය.

මේ නම්, දෝෂාභියෝග දවස්වල ආණ්ඩුව ගත් ස්ථාවරයට සපුරා ප‍්‍රතිපක්ෂයයි. එදා ආණ්ඩුවේ මැති ඇමතිවරුන් නැගී සිටියේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා කිරීමටයි. පාර්ලිමේන්තුවට ඉහළින් කිසිවක් හෝ කිසිවෙකු නැතැ යි එදා ඔවුහූ මොරගා කීහ. පාර්ලිමේන්තු කටයුතු කෙරෙහි ඇඟිලි ගැසීමටවත්, පාර්ලිමේන්තුවේ තීරණවලට උඩින් යාමටවත් අයිතියක් අධිකරණයට නැතැ යි එදා ඔවුහූ පෙන්වා දුන්හ.

මේ අනුව අපට පැමිණිය හැකි නිගමනය මෙසේය: පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ රාජපක්ෂලාට එසේ අවශ්‍ය වූ විට ය. අධිකරණය උත්තරීතර වන්නේ රාජපක්ෂලාට එසේ අවශ්‍ය වූ විට ය. වැදගත් වන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හෝ නීතිය හෝ සම්ප‍්‍රදාය හෝ නොව, රාජපක්ෂ පවුලේ ඕනෑ එපාකම්, බැඳියාවන් සහ අවශ්‍යතාවන් ය.

ගෝත‍්‍රය රජයයි

ගෝත‍්‍රික අර්ථශාස්ත‍්‍රය, ගෝත‍්‍රික දේශපාලනයට නැතිවම බැරි අනුපූරකයකි. රොජර් ඕවන් පෙන්වා දුන් පරිදි, ‘පුද්ගලවාදී ජනාධිපති බලයක්’ මත පදනම් වූ රාජකීය ජනරජයන්, පවතින බල ව්‍යුහයන්හි ඇතැම් මූලික වෙනස්කම්වලින් තොරව, පවත්වාගෙන යා නොහේ. එවැනි වෙනස්කම් අතර, ආර්ථිකය, අධිකරණය සහ හමුදාව මත විධායකයේ පාලනය අභ්‍යාස කිරීම ඇතුළත් ය. ශ‍්‍රී ලංකාවේ එවැනි පූර්ව-කොන්දේසි බොහොමයක් මේ වන විට අත්පත් කර ගැනෙමින් තිබේ. රාජපක්ෂලා ඊළඟ ජනාධිපතිවරණයත් දින්නොත්, ඒ නායයාම නතර කරනු බොරු.

2012 දී දෝෂාභියෝගී අර්බුදය උග‍්‍ර වෙද්දී පවා, විසර්ජන කෙටුම්පතක් හරහා විශේෂ වගන්ති කිහිපයක් රාජපක්ෂලා අළුතෙන් හඳුන්වා දුන්හ. එම වගන්ති සකස්ව තිබුණේ, මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති බලය කප්පාදු කිරීමටයි. එවැනි එක වගන්තියක් හරහා ජනාධිපතිවරයාට පැවරුණු බලතල අනුව, පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රුපියල් බිලියන 1295 ක් දක්වා ණය ලබා ගැනීමට ඔහුට අවසර සැපයුණි. තවත් වගන්තියක් අනුව, යම් විශේෂිත කාර්යයක් සඳහා අයවැයෙන් හෝ ඒකාබද්ධ අරමුදලෙන් කලින් වෙන් කරන ලද යම් මුදලක් පාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව, එම කාර්යයෙන් ඉවතට ගැනීමට මුදල් ඇමතිවරයාට (එනම්, ජනාධිපතිවරයාට) අවසරය සැපයුණි. ඒ සඳහා ඔහුට කිරීමට තිබුණේ එක දෙයක් පමණි. එනම්, කැබිනට් මණ්ඩලයේ රබර් මුද්‍රාව ලබා ගැනීම පමණි.

අපේ ව්‍යවස්ථාව මේ විෂය සම්බන්ධයෙන් ඉතා පැහැදිළි ය: මූල්‍ය කටයුතු පාලනය කරන්නේ පාර්ලිමේන්තුව මිස ජනාධිපතිවරයා නොවේ. ඒ වූ කලී, විධායක ජනාධිපතිවරයෙකුට අසීමිත බලතල පැවරෙන තත්වයක් තුළ, යම් විදිහක හෝ තුලනයක් පවත්වා ගැනීම අරභයා වූ අල්ප පියවරකි. ඉතිං, අත්තනෝමතික බලය පස්සෙන්ම කෑදරකමින් දුවන රාජපක්ෂලා බැලූවේ මේ ප‍්‍රජාතන්ත‍්‍රීය සොච්චමත් ඩැහැගැනීමටයි. එ ද, ව්‍යවස්ථානුකූලව නොව, කූටෝපායෙනි.

මෙම ප‍්‍රයත්නය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කෙරුණු අවස්ථාවේ, ඇතැම් වගන්ති සැබවින්ම ව්‍යවස්ථා විරෝධී වන බව පෙන්වා දුන් අධිකරණය, ‘‘ජනාධිපතිවරයා විසින් ලබාගන්නා ණය සඳහා පාර්ලිමේන්තු අවසරයක් අවශ්‍ය කරන සේ 2013 විසර්ජන කෙටුම්පතේ වගන්ති සංශෝධනය කළ යුතු’’ යැයි නියෝග කෙළේය. වෙනත් වචනවලින් කිවහොත්, අධිකරණය උත්සාහ කෙළේ, මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු උත්තරීතර බලය ආරක්ෂා කර දීමයි. එහෙත් පාර්ලිමේන්තුවේ තමන් සතු බහුතරයේ බලය පාවිච්චි කරමින් රාජපක්ෂලා මේ අධිකරණ නියෝගය ඔලූවෙන් සිටවූයේය. ඒ අනුව, අදාළ වගන්තියට වෙනත් සංශෝධනයක් එක් කරමින් ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවම පිරිමසින ලදි. එම සංශෝධනයෙන් කියැවුණේ, ජනාධිපතිවරයා විසින් ණයක් ගත් පසුව ඒ පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. මීට එරෙහිව විපක්ෂය විරෝධය දැක්වූ අවස්ථාවේ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නීතිපතිවරයා විසින් අර්ථ නිරූපණය කරන ආකාරයට තමන් කටයුතු කොට ඇති බව ආණ්ඩුව කීවේය. එනම්, අධිකරණයටත්, රටේ ව්‍යවස්ථාවටත්, පාර්ලිමේන්තුවටත් ඉහළින් නීතිපතිවරයාව ස්ථාපනය කෙරෙන බවයි. ඉතිං, නීතිපති කටයුතු කරන්නේ ජනාධිපතිවරයා යටතේ නිසා (එය 2010 දී රාජපක්ෂලා ඇති කර ගත් තවත් වෙනසකි), ජනාධිපතිවරයා දැන් හැම අතකින්ම උත්තරීතර වන බව එහි අදහසයි.

නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගෝත‍්‍රික පාලනයේ ගොදුරක් වන විට, විසුළු අපරූපක සාමාන්‍ය නියාමය බවට පත්වෙයි.

2015 වර්ෂය සඳහා වන වැය ශීර්ෂය යටතේ, ජාතික අයවැයෙන් සියයට 63 ක් වෙන් කොට ඇත්තේ රාජපක්ෂ දෙදෙනෙකු- මහින්ද සහ බැසිල්- යටතේ ඇති අමාත්‍යාංශ වෙනුවෙනි. රාජපක්ෂ පාලනය දිගටම පැවතියොත් අපේ දෛවය සැදුම්ලනු ඇත්තේ, ගෝත‍්‍රික දේශපාලනයකින්, ගෝත‍්‍රික අර්ථ ශාස්ත‍්‍රයකින් සහ ගෝත‍්‍රික යුක්ති ධර්මයකිනි. සිදුවන්නේ කුමක් දැ යි නොතේරෙන තරමට අප මුග්ධ යැයි ඔවුහූ සිතති. අපේම ආත්මාර්ථය ගැන පවා නොතැකීමට තරම් අප අන්දමන්දව ඇතැ යි ඔවුහූ සිතති. එහි දී ඔවුන් නිවැරදි ද? ක‍්‍රිස් නෝනිස් තනියෙන් කළ දේ අපි සාමූහිකව කරන්නෙමු ද? යම් දවසක අප සියල්ලන්වම නැතිභංගස්ථාන කළ හැකි අතක් බලගන්වා, ශක්තිමත් කිරීම?

2014 ඔක්තෝබර් 12 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Grotesqueries නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’.


- තිසරණී ගුණසේකර
- MMP




2014-10-18
Advertisement

Find us on Facebook