English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


"දේශීය බීජ හා ආහාර ස්වෛරිභාවය රැක ගැනීම තහවුරු කරමු" - බත් කන ශ‍්‍රී ලාංකීක

"අපට ජීවත් වීමට අයිතියක් ඇත. යහපත් නීරෝගි ජීවිතයක් උදෙසා පෝෂ්‍යදායි, ගුණාත්මක ආහාර වේලක් ලැබීමට ද අපට අයිතියක් ඇත. රටක ආහාර නිෂ්පාදනය, ආනායනය, අලෙවි හා පාරිභෝජන ක‍්‍රියාවලිය සකස්විය යුත්තේ රටේ පුරවැසියන්ගේ එම අයිතිය ආරක්‍ෂාවන පරිද්දෙනි." එහෙත් සිදුවන්නේ ඊට හාත්පස විරුද්ධ ක‍්‍රියාවලියක් යැයි ඊයේ (ඔක්තෝම්බර් 16) පස්වරුවේදි, දිවයිනේ නන් දෙසින් කොළඹ කොටුවට ඒකරාශි වුණු සිය ගණනක් ජනතාව එක හඩින් ප‍්‍රකාශ කළෝය.

සැබැවින්ම එය, වර්තමානයේදි රටේ ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියට එරෙහිව පවතින අක‍්‍රමිකතා, අර්බුද, ගැටලූ වලට විරෝධය පෑමේ විරෝධතාවයකි. උත්සාහයකි. ඒ විරෝධතාවය සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණි ගොවි, ධිවර, කම්කරු ශ‍්‍රමිකයින් ද සිවිල් සංවිධාන නියෝජිතයින් ද බෞද්ධ හා කිතුණු පුජක පැවදි කණ්ඩායම් ද වැඩිමහල්ලාගේ සිට කුඩා දරුවන් දක්වා මිනිස් ජීවිතයට ආදාරය කරන , මහා පොළොවට ආදාරය කරන , විශ්වයට ආදාරය කරන පිරිස් ජාති හා ආගම් භේදවලින් තොරව තවලම් බැඳගෙන අගනගරයට පැමිණ සිටියහ. ඇතැම් ගොවි මහතුන් සිය  පවුල් පිටින්ම පැමිණ සිටියහ.

ඔක්තෝම්බර් 16 දිනට යෙදෙන ලෝක ආහාර දිනය සමරනු වස්, ඔක්තෝම්බර් 11වෙනි දා ගමන් අරඹමින් දිවයිනේ නගර 25ක් සිසාරා මිනිසුන් දැනුවත් කළ බීජ තවලම ඊයේ කොළඹට ළඟාවී සිය තවලම් කාර්යය නිම කළේ, කොටුව දුම්රියපොල ඉදිරිපිටදී තවත් බස් හා දුම්රිය මගින් විශාල පිරිසක් දේශිය බීජ රැකගැනීම සහ ආහාර ස්වෛරීභාවය පිළිබඳව දැනුවත් කරමිනි.

"අදට යෙදෙන ලෝක ආහාර දිනය ඉලක්ක කරගනිමින් බීජ අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලෙසට සතියක කාලසීමාව තුළ අපි උත්සාහා කළේ අපේ රටේ ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියට අදාළව තිබෙන ගැටලූකාරි තත්ත්වයන් පිළිබඳව ජනතාවගෙත් ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගෙත් අවධානය යොමුකරවා ගන්නයිි. ඒ තුළින් පවතින අර්බුද වලට යුක්තිය ඉටුකරවා ගන්නටත්, හැමදෙනාම රැකෙන, සමානාත්මතාවය ආරක්‍ෂාවෙන සංවර්ධනයක් ඇතිකරවා ගන්නත්, අනාගත ලෝකයේ පැවැත්ම තහවුරු වෙන ප‍්‍රති උත්පාදනයක් සහිත සමස්ත ක‍්‍රියාවලියක් ගොඩන්න කියා බලකර ඉල්ලා සිටිමටත් තමයි අපි උත්සාහා කළේ," යනුවෙන් තවලමක අවශ්‍යතාවය වුයේ කුමක් දැයි විමසු විට තවලමේ සංවිධායකයෝ කීහ.

ඒ උත්සාහාය ක‍්‍රියාවට නැංවිම සඳහා තවලම ගමන්ගත් සෑම නගරයකදීම ඒ ඒ සංස්කෘතීන්ට අයත් අංගයන් ඉදිරිපත් කිරීමටත් , නොයෙකුත් බීජ වර්ග හුවමාරු කරගැනීමටත් , පවතින තත්ත්වය පැහැදිළි කරවමින් දැනුවත් කිරීම් ද විවිධ හමුවීම් , අත්පත‍්‍රිකා බෙදා හැරිම් හා  වීදී නාට්‍ය දර්ශන පැවැත්වීමටත් තවලම්කරුවෝ ක‍්‍රියාත්මක වී ඇත.

"මේ සියලූ ක‍්‍රියාකාරකම් ඔස්සේ අපේ උත්සාහය වුයේත් ඉදිරියටත් වෙන්නෙත් බීජ, ජලය, ඉඩම් හා ආහාර සඳහා ඇති අයිතින් පිළිබඳව ගැඹුරු සාකච්ඡවක් සමාජය තුළ ඇතිකරවාලීමයි." යැයි තවලමේ එක් සංවිධාන පාර්ශවයක් වන මොන්ලාර් ආයතනයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්‍ෂ මහතා අයිතියට ප‍්‍රකාශ කළේය. 

රට වටා මිනිසුන් දැනුවත් කිරිමෙහිලා ක‍්‍රියාත්මක වුණු දින පහක බීජ තවලම, සංවිධානය කර තිබුණේ ගොවි සංවිධාන සහ මහජන සංවිධාන කිහිපයක්ම ඒකරාශිවෙමින් සාදා ගත් "බීජ අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය" විසිනි. බීජ තවලම ඔක්තෝම්බර් 11 වෙනිදා ආරම්භ වුයේ උතුරේ දී, කිළිනොච්චි මුරුකුන්ඩි කෝවිලේ සිටය. 

උතුරේ සිට දකුණට ගොස් දකුණෙන් කොළඹ අගනගරයට පැමිණියේ සාධාරණ හා තිරසර ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියක් ගොඩනැගීම සඳහා වන ප‍්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනාවලියක් රජයට භාර දීම සඳහාය. එහෙත් ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් සහ ආහාර හා නිෂ්පාදන පිළිබඳ කාර්ය සාධන බලකායේ සභාපති ලලිත් චන්ද්‍රපාල මහතා වෙත එම යෝජනා ලියවිල්ල භාරදීමට 16 වනදා පස්වරු 3 ට යොදාගෙන තිබු වේලාවේදි එම කථිකාව සිදුකිරීමට ඔහුට අසීරු යැයි ඊයේ (ඔක්තෝ: 16) උදැසන දන්වා ඇත. එබැවින්, සැළසුම් කළ අයුරින් එම කාර්යය සිදුකිරීමට නොහැකි වු බැවින්,  එළඹෙන සතියේ දිනෙක එම යෝජනාවලිය භාරදීමට සැළසුම් කරන්නේ යැයි චින්තක රාජපක්‍ෂ  මහතා අයිතියට ප‍්‍රකාශ කළා. 

ශ‍්‍රි ලංකාවේ ආහාර ස්වෛරීභාවය සහතික කිරීම සඳහා සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින් විසින් සිදුකරනුලබන කාර්යභාරය අති විශාල යැයි සඳහන් කරන බීජ අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, රටේ ජනගහනයෙන් අති බහුතරයක් වන ගොවීන් , ධිවරයින්, වතුකම්කරුවන් , කිරි ගොවීන් , වනය ආශ‍්‍රිතව ජිවිකාව ගෙවන්නන් ඇතුළු ආහාර නිෂ්පාදකයින්ගේ ජිවිකාවන් ආරක්‍ෂා කිරීම සඳහාත් රටේ ජනතාවට ප‍්‍රමාණවත් පෝෂ්‍යදායි ආරක්‍ෂාකාරි සහ සංස්කෘතියට ගැළපෙන තිරසර හා පරිසර හිතකාමි ආහාර ක‍්‍රමවේදයක් ගොඩනැගීම සඳහාත් අවශ්‍ය සැළසුම් සකස් කිරීම රජයේ වගකීම බව සඳහන් කරයි.

එම වගකීමට, මඟපෙන්වීමක් වශයෙන් ගොවි, ධීවර, වතු කම්කරු සංවිධානයන් හි යෝජනාවන් අඩංගුකර රජයට භාරදීමට සුදානම් කර ඇති කෙටුම් පතෙහි ප‍්‍රධාන මුලධර්මයන් තුනක් පාදක කරගනිමින් විස්තරාත්මකව යෝජනා 06ක් සටහන් කර ඇත.

රජයට ඉදිරිපත්කරනු ලබන සමස්ත යෝජනාවලිය පීඞීෆ් ලිපිගොණුවක් ලෙසට අමුණා ඇත.

ඡායාරූප සඳහා පිංතුර කවුළුව බලන්න


සටහන සහ ඡායාරූප  -  මෙලනි මානෙල් පෙරේරා



2014-10-17
Advertisement

Find us on Facebook