English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


උතුරු සංචාරයේ අභිලාෂය !

උතුරු පළාත් සභාව තමන්ට වැඩකිරීමට නොදී බාධා කරන බවත්, රජය විසින් එම පළාත් සභාවට වෙන්කරන ලද මුදල් වලින් ඔවුන් උතුරේ ජනතාවට සේවය නොකරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කළේය. 
 

ජනාධිපතිවරයා එසේ ප‍්‍රකාශ කළේ් පසුගිය ඉරිදා දහවල් කිළිනොච්චි නගරයේ දී පැවති ජනහමුවකදීය. කිළිනොච්චියේ උත්සව කිහිපයකට සහභාගී වූ ජනාධිපතිවරයා දින තුනක් උතුරු පළාතේ සංචාරයේ යෙදිනි.

එසේම රට බෙදීමේ ප‍්‍රතිපත්තියත්, රට දෙකඩ කිරීමේ අභිලාශයත් ඉවත් කර ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයෙන් සහ දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා එවිට ඔවුන් ඉල්ලා සිටින ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට තමන් සූදානම් බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයක උණුසුමින් රටම වෙලී ඇති අවස්ථාවකදී ජනාධිපතිවරයා විසින් මෙවැනි ප‍්‍රකාශයක් සිදු කිරීම පිළිබඳව අප පුදුම විය යුතු නැත. මේ ප‍්‍රකාශයෙන් ජනාධිපතිවරයා විසින් පණිවුඩ කිහිපයක්ම දකුණේ ජනාතාවට දීමට උත්සාහ කරන බව පෙනීයයි. ඉන් පළමුවැන්න වන්නේ උතුරු පළාත් සභාව අදක්ෂ බවයි. නැතහොත් උතුරු පළාත් සභාව තමන්ගේ පළාතේ ජනතාව වෙනුවෙන් කිසිම සේවයක් නොකරන බවයි. දෙවැන්න සහ ප‍්‍රධානම කාරණය වන්නේ දෙමළ ජාතික සන්ධානය රට දෙකඩ කිරීමේ උත්සාහයක නිරතවී සිටින බව විශේෂයෙන්ම දකුණේ ජනතාවට එ්ත්තු ගැන්වීමයි.

වෙන කිසිම පළාත් සභාවක් පිළිබඳව විවේචනය නොකරන ජනාධිපතිවරයා උතුරු පළාත් සභාව විවේචනය කරන්නේම එම පළාත් සභාව පිළිබඳව ඇති නොකැමැත්ත නිසාමය. එනම් එම පළාත් සභාව තමන්ට බලය අහිමි වූ එකම පළාත් සභාව වන නිසාත්, එහි බලය ඇත්තේ දෙමළ ජාතික සන්ධානයට වන නිසාත්ය. එසේම එම පළාත් සභාවේ දෙමළ ජතික සන්ධානයට විශාල බලයක් ඇත. එබැවින් ප‍්‍රචාරණ වාසිය සඳහා කෙතරම් ව්‍යාපෘති එම පළාත තුළ කි‍්‍රයාත්මක කලත් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයට උතුරු පළාත තුළ දේශපාලන වාසි ලබා ගැනීමට නොහැකිය. උතුරු පළාත් සභාව ජනතාව සමග කි‍්‍රයාකාරී වන කුමන හෝ කටයුත්තකට රජය ඉඩ නොදේ.



එම පළාත් සභාවේ බලය දෙමළ ජාතික සන්ධානය විසින් හිමිකර ගත්තේ ජනතා කැමැත්තෙන් බව රජය නොසලකා හරින කාරණාවකි. එසේම එම මැතිවරණය සාධාරණ මැතිවරණයක් ද නොවේ. සාධාරණ මැතිවරණයක් වූයේ නම් එහි ප‍්‍රතිඵලය මෙයටත් වඩා රජයට අවාසිදායක වීම නොවැළැක්විය හැකිව තිබුණි. පසු ගිය ජනාධිපතිවරණයේ දී උතුරු පළාත ජනාධිපති රාජපක්ෂ පරාජයට පත් විය. දෙමළ ජාතික සන්ධානය ට ඇති බලය මත ඉදිරි ජනාධිපතිවරණයක දී උතුරේ දී අත්වන පරාජය ඉතාමත්ම දැවන්ත එකක් වනු නොඅනුමානය. එ් අනුව දැන් සිටම උතුරු පළාතේ රජයේ බලපෑම තියුණු කිරීමට රජය උත්සාහ දරමින් සිටී. එම නිසාම දැන් රජයට එරෙහි කිසිදු විරෝධතාවයකට එම පළාත තුලදී ඉඩ නොදීමට ආරක්‍ෂක අංශද වග බලා ගනී. ජනාධිපතිවරයා ගේ සංචාරයට දින දෙකකට පෙර වවුනියාව නගරයේ පැවැති උද්ඝෝෂණයේ සංවිධායකවරයාට උද්ඝෝෂණය පැවැත්වීමට දින දෙකකට පෙර අමානුෂික ලෙස පහර දීමද අහම්බයක් ලෙස සැලකීමට නොහැකිය.

මෙවැනි පහරදීම් පිළිබඳ ප‍්‍රවෘත්ති ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට හසුවන්නේ ද නැත. නමුත් දෙමළ ජාතික සන්ධානය රට බෙදීමට රට දෙකඩ කිරීමට කටයුතු කරන බවට වන ප‍්‍රවෘත්ති වලට ප‍්‍රමුඛස්ථානයක් හිමිවේ. එ් නැවත වතාවක් දේශපේ‍්‍රමී සහ දේශද්‍රෝහී පිල් දෙකක් බෙදීම මගින් දකුණේ සිංහල ජනතාව මත ජාතිවාදය වපුරා ඉදිරි මැතිවරණ වලදී දේශපාලන වාසි ලබා ගැනීමටය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට නම් ඊළම අත්හරින ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටින්නේ ද එ් නිසාය. ජනාධිපතිවරයා එසේ පවසන්නේ තම රජයේ අමාත්‍යවරයෙකු වන ඊළාම් මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (ඊපීඞීපී) නායක ඩග්ලස් දේවානන්දා පසුපසින් තබාගෙනය. දැන් ජනාධිපතිවරයා කරන කියන සෑම කාරණාවකම ඉලක්කය වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය යි. ජනාධිපතිවරයාගේ තුන්දින සංචාරය අතරතුරදීම ‘යාල් දේවී’ වසර විසි හතරකට පසු යාපනයට යන්නේ ද එ් නිසාමය.

-වසන්ත රනිල් 
පිංතූර - අන්තර්ජාලයෙන්   




2014-10-15
Advertisement

Find us on Facebook