English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අතවර සිද්ධිය වහනවා වෙනුවට ඒ ගැන පුළුල් පරීක්‍ෂණයක් කළ යුතුයි

ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටියදී අතවරයට ලක්වී පැමිණි උදේනි ධම්මිකා සම්බන්ධයෙන් මේවන විට හටගෙන ඇති ප්‍රශ්නය සරල දෙයක් නොවන බව එතෙර අපි සංවිධානයේ සභාපති පා.මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා කියයි.

මෙම සිද්ධිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා එම සංවිධානය විසින් අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ‘එතෙර අපි’ සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ලක්‍ෂමන් නිපුනආරච්චි, භාණ්ඩාගාරික නීතිඥ ජානක අධිකාරි යන අය ද සහභාගී වූ අතර එහිදී ඔවුන් දැක්වූ තවත් අදහස් පහත පරිදිය.

ලක්‍ෂමන් නිපුනආරච්චි මහතා අදහස් දක්වමින්  -

මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමේ මූලික අවශ්‍යතාවය පැන නැගුණේ ඕමානයේ ගෘහ සේවයට ගොස් සිටියදී අතවරයට ලක්වී පැමිණි උදේනි ධම්මිකා සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ප‍්‍රශ්නය සාකච්ඡා කිරීමටයි. මෙහිදී ප‍්‍රධාන ප‍්‍රශ්න තුනක් ඇතිවී තිබෙනවා. ඕමානයට ගොස් සිටියදී අතවරයට ලක්වීම, ගැබ් ගැනීම සහ ඕමානයේ සුරක්‍ෂා නිවසේදී සිදුවූ අඩම්තේට්ටම් යන කාරණා පිළිබඳව දැඩි අවධානය යොමුකළ යුතුව තිබෙනවා.

දැනට වාර්තාකර තිබෙන අන්දමට උදේනි ධම්මිකා ගැබ් ගත්තාද නොගත්තාද යන්න සොයා බලනවාට වඩා ඇයව අතවරයකට ලක්වී තිබීම සනාත වී තිබෙනවා. ඕමාන් රජයේ දැඩි නීති රීතිවලට අනුව මේ සම්බන්ධයෙන් එරට පොලීසිය පරීක්‍ෂණ පවත්වා නඩු දමා තිබෙනවා. නමුත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය මැදිහත්වී එම නඩුව ඉවත්කරගෙන තිබෙනවා. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් මේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට මංගල රන්දෙනිය මහතාගේ මූලිකත්වයෙන් පරීක්‍ෂණ කමිටුවක් පත්කර ඕමානයට යවා තිබුණා. පරීක්‍ෂණ කමිටුවක මූලික වගකීම වන්නේ අදාළ කමිටුව පත්කර වගකිව යුත්තාට වාර්තාව බාර දීමයි. නමුත් මෙම කමිටුව ඕමානයේ සිට මෙරටට පැමිණෙන අතර කටුනායක ගුවන්තොටුපොලේදීම මාධ්‍යයට කරුණු ඉදිරිපත්කර තිබෙනවා. ඒ අනුව පැහැදිලි වන්නේ කමිටුව පත්කිරීමේ අරමුණ ඇමතිවරයා හෝ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය බේරා ගැනීම බවයි.

කමිටු වාර්තාව අවසානයේ මේ පිළිබඳව සඳහන්කර තිබෙනවා ”සමස්තයක් ලෙස ශී‍්‍ර ලංකාවේ කීීර්ති නාමය කැළැල් කිරීම යන කරුණ මත මෙම සිදුවීම පසුපස ඇති අදෘෂ්‍යමාන හස්තය හඳුනාගත යුතුය. එනිසා මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙනු ලබන අතර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට හා විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍යාංශයට මෙම සිදුවීම මගින් වූ හානියට නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම සඳහාත් ගැබ් ගැනීමක් සිදු නොවූ උදේනි ධම්මිකා ගැබ් ගැනීමක් සිදුවූ බව ප‍්‍රකාශ කිරීම නිසා ඇයට සිදුවූ හානියට වන්දියක් ගෙවිය යුතු බැවින් වගකිවයුත්තන්ගෙන් වන්දි ලබාගැනීම සඳහා ගරු අධිකරණය වෙත නඩුවක් ගොණු කිරීමට කටයුතු කරනු ලැබේ”. මේ අපරාධය සිදුවුණේ ඕමානයේ. නමුත් අපේ රටේ අධිකරණයට නඩුවක් ගොනු කිරීමට අමාත්‍යාංශය උත්සාහ කරනවා. ඕමාන පොලීසිය විසින් පවරා තිබූ නඩුව ඉල්ලා අස්කර ගත්තේ මේ රටින් යැවූ පරීෂක්‍ණ කමිටුවෙන්. මෙරටට පැමිණි පසු දැන් නැවත වෙනත් අයට විරුද්ධව නඩු පවරන බව ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ සමස්ත කි‍්‍රයාවලිය පිළිබඳව බරපතළ සැක සංකා ගණනාවක් මතුවී තිබෙනවා. ඕමානයේ සේවය කළ ශී‍්‍ර ලංකා තානාපතිවරයා ආපසු කැඳවාගනු ලැබූයේ මේ සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් කිරීමට උත්සාහ කිරීම නිසා බව දැන් තහවුරු වී තිබෙනවා. ඕමාන් රජය උදේනි ධම්මිකාගේ මානව අයිතීන් සුරක්‍ෂිත කිරීමට ඒ රටේ නීතිය අනුව කටයුතු කළා. නමුත් මේ ආණ්ඩුව සිදුකළේ ඕමානයේ සිටින හාම්පුතා ගලවා දීමට කටයුතු කිරීමයි. උදේනි ධම්මිකාට ලබාගත යුතු වන්දියක් මේ නිසා ඒ රටින් ලබාගන්න නොහැකි වුණා.

මේ තත්වය හුදකලා සිද්ධියක් නොවෙයි. ගෘහ සේවය පිළිබඳව මතුව තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක සමස්ත මුහුණුවර පෙන්වන සාධකයක් තමයි උදේනි ධම්මිකා කියන්නේ. තානාපති කාර්යාල හෝ සුරක්‍ෂා නිවාස හෝ මේ රටෙන් විදේශගත වෙලා ඉන්න ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් අවශ්‍ය නිසි සොයා බැලීම කරන්නේ නැහැ. සාධාරණය ඉෂ්ට කරන්නේ නැහැ. ඒ කාර්යාලවල ඉන්නේ සුදුසුකම්වලට පත්කළ නිලධාරීන් නොවෙයි. නෑදෑ හිතවතුන්. ඔවුන්ව ආරක්‍ෂා කරගැනීමට කි‍්‍රයා කරමින් සිටිනවා. ඒ හැර මෙරටට විශාලම විදේශ විනිමය ප‍්‍රමාණවක් උපයා දෙන විදේශ රැකියා නියුක්තිකයන් පිළිබඳව සාධාරණය ඉටුකරන්නේ නැහැ. රට විරුවෝ කියා නම් දැම්මාට වැඩක් නැහැ. ඔවුන් පිළිබඳව රජයේ නිසි සැලකිල්ල යොමු නොකර සිදුකරන සියලු කටයුතු ව්‍යාජයක්.

උදේනි ධම්මිකා සම්බන්ධයෙන් ඕමාන් රජයේ පරීක්‍ෂණ නතර කළ තැන් සිට නැවත කරගෙන යාමට රජය මැදිහත් විය යුතුයි. ඒ නිවසේ හාම්පුතාගෙන්, එරට පොලීසියෙන්, සුරක්‍ෂා නිවාසයෙන්, තානාපති කාර්යාලවලින් තොරතුරු ලබාගත යුතුයි. විදේශ රැකියාවල යෙදී සිටින ශී‍්‍ර ලාංකික කාන්තාවන්ගේ ආරක්‍ෂාව විශේෂයෙන් තහවුරු කළ යුතුයි. ඒවගේම උදේනි ධම්මිකාට මේ රටේ නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව සකස්කර දිය යුතුයි. ඇයට අවශ්‍ය නිසි ආරක්‍ෂාව ලබාදිය යුතු බව අපි රජයට අවධාරණය කරනවා."

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දක්වමින් -

"උදේනි ධම්මිකාගේ සිද්ධිය සරල එකක් නෙවෙයි. මේ තත්ත්වය මාධ්‍ය මගින් ඉස්මතු කිරීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. විදේශ රැකියා ප‍්‍රවර්ධන අමාත්‍යාංශය අද කටයුතු කරමින් ඉන්නේ ඔවුන්ගේ කීර්ති නාමයට හානිවීම පිළිබඳව අධිකරණමය කි‍්‍රයාමාර්ග ගන්න තැනක. බලාගෙන ගියාම ඕමාන් ජාතිකයා අතරව කර තිබෙන්නේ විදේශ රැකියා ඇමතිටද කියන ප‍්‍රශ්නය මතුවෙනවා. එහෙම නැත්නම් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයටද කියන ප‍්‍රශ්නය මතු වෙනවා. දැන් දඬුවම් කරන්න උත්සාහ කරන්නේ ජනමාධ්‍යවේදීන්ට. මාධ්‍යවේදීන්ට අනතුරු අඟවන්නේ කට වහගෙන ඉන්න කියලයි. ස්වාධීන, අපක්‍ෂපාතී විදේශ තානාපතිවරුන්ට අනතුරු අඟවන්නේ ගුටි කාගෙන ඉල්ලා අස්වීමට සූදානම් වන ලෙසයි. එහෙම නැත්නම් ගෙදර යාමට සූදානම් වන ලෙසයි. කි‍්‍රස් නෝනිස් සිද්ධියේදී වගේම ඕමානයේ හිටපු තානාපතිවරයා හදිසියේ ගෙන්වා ගැනීමෙන් තහවුරු කෙරෙන්නේ මෙම තත්ත්වයයි. විමර්ශන කමිටුව ඕමාන් රජය සමඟ ඒකාබද්ධ පරීක්‍ෂණක් නැවත ආරම්භ කළ යුතුයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්වී අතවර සිද්ධිය වහනවා වෙනුවට ඒ ගැන පුළුල් පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි.

මේ ආණ්ඩුවේ එහෙයියෝ කරන වැරදි ආරක්‍ෂා කරන ඕනෑම කෙනෙකුට තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන්. උදේනි ධම්මිකා වෙනුවෙන් හාම්පුතා බේරාගැනීමට ඉදිරිපත් වෙන්නෙත් මේ තත්වය නිසයි. නමුත් තානාපති කාර්යාල නිලධාරීන්ගෙන් වගේම සුරක්‍ෂා නිවසේ නිලධාරිනියන්ගෙන් උදේනි ධම්මිකාට සිදුවූ අතවර පිළිබඳව නිසි පරීක්‍ෂයක් පැවැත්විය යුතුයි. උදේනි ධම්මිකා සිද්ධිය වගේම රිසානා සිද්ධියේදී ආණ්ඩුව කි‍්‍රයා කළේ වගකීමකින් නෙවෙයි. රිසානාට මරණ දණ්ඩණය නියම කර තිබියදී සෞදි රජය එක්ව අවශ්‍ය අවබෝධය ගොඩනගාගෙන තිබුණේ නැහැ. අන්තිමට රිසානා ඝාතනය කෙරුණා. උදේනි ධම්මිකා වෙනත් ආකාරයකට ඝාතනය කළා. එයට විරුද්ධව කටයුතු කළ තානාපතිවරයාව නැවත මේ රටට කැඳවා ගත්තා.

අපි අවධාරණය කරන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා රජය මැදිහත්වී මේ පිළිබඳව වගකීම් සහගත සහ සාධාරණ පරීක්‍ෂයක් පැවැත්විය යුතු බවයි. එසේ නොකර සිදුවීම් වසා ගැනීමට යම් දේවල් කිරීම අපි හෙළා දකිනවා. මේ නිසා විදේශ රැකියා නියුක්තියේ සිටින ලක්‍ෂ ගණනක් හට සිදුවන අසාධාරණයට විරුද්ධව අපි කි‍්‍රයා කරනවා. සමස්ත විදේශගතවන කාන්තාවන් පිළිබඳව වගේම විවිධ අවදානම් වෘත්තීන්වල යෙදී සිටින වැඩකරන ජනතාව පිළිබඳවත් කටයුතු කිරීම අපි සූදානම්. ඔවුන්ට සිදුවන අසාධාරණකම් පිළිබඳව නිර්භයව කටයුතු කරන මාධ්‍යවලට අපි ස්තුතිවන්ත වෙනවා. උදේනි ධම්මිකා සිද්ධියේදී සාධාරණ සහ අවශ්‍ය ප‍්‍රමාණයට තොරතුරු වාර්තා කිරීම නිසා මේ රටේ ජනතාවට විදේශ සේවා ප‍්‍රශ්න පිළිබඳව නිසි අවබෝධයක් ලැබුණා. විදේශගතව රැකියා කරන සමස්ත ශී‍්‍ර ලාංකිකයින්ගේ අයිතීන් ආරක්‍ෂා කර දෙන්න අපි මැදිහත් වෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑම් කරනවා."

උපුටා ගැනීම - දෙ
-MMP



2014-10-09
Advertisement

Find us on Facebook