English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ළඟ එන අයවැය ඡන්ද සහන මල්ලක්ද? පී.බී. ගෙන් ඉඟියක්

ලබන 24 වනදාට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙන 2015 අයවැය මැතිවරණය ඉලක්ක කරගත් සහන මාලාවකින් පිරී පවතිනු ඇතැයි වාර්තා පළවුවත් ඒ ආකාරයේ අයවැයක් ඉදිරිපත් නොකරන බවට මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සහතික වෙයි.

කොළඹ කොටස් වෙළඳ පොළ සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව අද කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැත්වූ ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳ සමුළුවේදී දෙස් විදෙස් අරමුදල් කළමනාකරුවන් අමතමින් ජයසුන්දර මහතා මේ බවට සහතික විය.

ඔහු මෙහිදී කියා සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර ඉදිරිපත් කරන්නේ වත්මන් රජයේ 10 වන අයවැය බවත් මෙරට ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට හඳුන්වා දුන් ප්‍රතිපත්ති දිශාවම මෙවර අයවැය මගින්ද ඉදිරියට ගෙන යන බවයි.

මේ නිසා, මෙවර අයවැය මැතිවරණ සහන මල්ලක් නොවන බවත් වත්මන් රජය ගෙන යන රටේ සංවර්ධනය ඉලක්ක කරගත් ආර්ථික ප්‍රතිපත්ති දිශාවට සමගාමී වන අයවැයක් යැයි තමා සහතික වන බවත් අයවැය සකස් කිරීමේ ප්‍රමුඛ කාර්ය භාරයක් සිදුකරන මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී කීය.

මෙම ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳ සමුළුවේදී ප්‍රාග්ධන වෙළඳ පොළේ නියුතු වූවන් සහ ආයතින ආයෝජකයින් එක්තැන් කරමින් මෙරට ප්‍රාග්ධන වෙළඳ පොළේ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳ සාකච්ඡා කරන ලදී.

අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, මැදපෙරදිග, එංගලන්තය, යුරෝපය සහ ඇමරිකාව නියෝජනය කරමින් ආයතනික අරමුදල් කළමනාකරුවන් මෙම සමුළුවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, සුරැකුම් පත් හා නියාමන කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා, කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපති වජිර කුලතිලක මහතාද අදහස් දැක්වීය.

ජනාධිපතිවරණයක් පැවැත්වීමට රජය සලකා බලා තිබීම හමුවේ 2015 අයවැය වෙනදාට වඩා කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

2015 වසර වෙනුවෙන් රජයේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ලබන වසර වෙනුවෙන් රජය වියදම් කිරීමට සැලසුම් කර තිබෙන මුදල 2014 වසරට සාපේක්ෂව සියයට 17 කින් පමණ ඉහළ දමා තිබේ.

2015 විසර්ජන පනත් කෙටුම්පතින් රුපියල් බිලියන 3053 ක වියදමක් කිරීමට සැලසුම් කර තිබෙන අතර 2014 වසරේ විසර්ජන පනත් කෙටුම්පතින් වියදම් කිරීමට සැලසුම් කළ වියදම රුපියල් බිලියන 2599 කි.

මේ අනුව, 2015 වසරේදී රාජ්‍ය වියදම රුපියල් බිලියන 450 කින් පමණ වැඩිවීමට නියමිතයි.

රජයේ පොදු සේවා පවත්වාගෙන යාම සඳහා ලබන වසර වෙනුවෙන් ඒකාබද්ධ අරමුදලින් ලබාගැනීමට බලාපොරොත්තු වන වියදම රුපියල් බිලියන 1812 ක් වන අතර ණය සේවාකරණ ගෙවීම්, ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ අංශයේ වියදම්, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම්, අත්තිකාරම් ගෙවීම් ඇතුළත් වන 2015 රජයේ අනිවාර්ය වියදම රුපියල් බිලියන 1241 කි. මෙම වියදම් සියල්ල එකතු වූ විට 2015 සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3053 ක් වේ.

මීට අමතරව, 2014 වෙනුවෙන් සියයට 5.2 ක අයවැය හිඟයක් පවත්වා ගැනීමේ ඉලක්කයෙන් තවදුරටත් ඉදිරියට ගොස් ලබන වසරේදී අයවැය හිඟය සියයට 4.4 ක් දක්වා අඩුකිරීමටත් ආර්ථික වර්ධන වේගය සියයට 8.2 ක් දක්වා වැඩිකිරීමටත් සැලසුම් කර තිබේ.

මේ වසරේ දෙවන කාර්තුවේදී සියයට 7.8 ක ආර්ථික වර්ධනයක් ළඟාකර ගැනීමට ලංකාව සමත්වූ අතර සමස්තයක් ලෙස මේ වසරේදී අපේක්ෂිත ආර්ථික වර්ධනය වන්නේද සියයට 7.8 කි.

2015 වසරේදී රාජ්‍ය ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 6.5 ක් දක්වා වැඩිකිරීමටත් උද්ධමනය සියයට 5.5 ක මට්ටමක තබා ගැනීමටත් අපේක්ෂා කරයි.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට සියයට 75 ක පමණ තිබෙන රාජ්‍ය ණය ප්‍රමාණය ලබන වසරේදී සියයට 71 ක් දක්වා අඩුකිරීමටද සැලසුම් කර තිබේ.

උපුටා ගැනීම - අද දෙරණ

-MMP






2014-10-09
Advertisement

Find us on Facebook