English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මේ රටේ මිනිස් ජීවත වලට සැබෑ වටිනාකමක් දුන්නේ සිවිල් සමාජයයි! - සජිත් ප්‍රේමදාස
අත්තනෝමතික, ආඥාදායක පාලනයෙන් පසු මේ රටේ මිනිස් ජිවිත වලට සැබෑ වටිනාකමක් ලබා දෙමින් රට තුල දැවැන්ත වෙනසක් කරන්නට මෙරට සිවිල් සංවිධාන විශාල දායකත්වයක් ලබා දුන් බව එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (09) දින පැවති සිවිල් සමාජ සමුළුවේදීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සිවිල් සමාජ සමුලුව අද (09) දින පස්වරුවේ කොළඹ, නව නගර ශාලාවේදි පැවැත්විණි. සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව විසින් මෙම සමුලුව සංවිධානය කර තිබුණි.

මෙහිදි සිවිල් සමාජ සහ වෘත්තිය සමිති එකමුතුව විසින් සකස් කරනු ලැබු “අලුත් ශ්‍රි ලංකාවක් ගොඩනැඟීම සඳහා වු සිවිල් සමාජ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ යෝජනාවලිය” අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත පිළිගන්වනු ලැබුණි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ,

මානව හිමිකම්, භාෂණයේ නිදහස, දේශපාලනයේ නිදහස, පොදු ජනතාවට නිදහසේ ජිවත් වීමේ අයිතිය තහවුරු කිරිම උදෙසා ඉතා වැදගත් කාර්යභාර්යයක් ඉෂ්ඨ කළේ මේ සිවිල් සංවිධානයි. ඒ ගැන මම ඔවුන්ට ඉතාම කෘතඥ වෙනවා. එළැඹෙන ජනාධිපතිවරණය අපේ රටේ ජනතාවට වැදගත් තීන්දුවක් ලබා ගැනීමට අවස්ථාවක් තියෙනවා. ලබා ගත් ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරනවාද? මිනිසුන් මහමඟ ඝාතනය කරනු ලැබු ඒ කාලයට නැවත රට ගෙන යනවාද? යන්න තීරණය  කිරිමේ වගකීම රටේ ජනතාවට තියෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් පහුගිය කාලේ කෙලසුණා. රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය භිෂණය මුදුන්පත් කරමින් මේ රටේ භීතියක් ඇති කර තිබුණා. අපි නැවතත් ඒ යුගයට යනවද? නැද්ද? යන්න රටේ ජනතාව තීරණය කළ යුතුයි. පොදු ජනතාව පානීය ජලය ඉල්ලා රට පුරා රැව් දෙද්දි මේ රටේ තාවකාලික භාරකරුවන් ඊට උත්තර දුන්නේ ටී 56 ගිනි අවියෙන්. ඒ වගේම අර්ථසාධක අරමුදල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් උද්ඝෝෂණය කළ නිදහස් කලාපයේ සේවකයින්ට වෙඩි තැබු හැටි, ධීවරයන්ගේ ඉන්ධන මිල අඩු කරන්න කියලා ඔවුන් පාරට බැස්ස වෙලාවේ ඇන්ටනී ධීවරයා තුවක්කුවට බිලි වු හැටි මේ රටේ ජනතාවට අමතක නැහැ.

ඒ නිසා මානව අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදය ,ජිවත් විමේ අයිතිය තවදුරටත් ආරක්ෂා කරමින් ඉදිරියට මේ රට ගෙන යාමට ඉඩ ලබා දිම රටේ ජනතාවගේ යුතුකමක්.

මෙහිදි අදහස් දැක් වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

ඒකාධිපති පාලනයට විරුද්ධව සටන් කළ සිවිල් සංවිධාන ලබා දුන් සහාය, දායකත්වය අපට අමතක නැහැ.අපි අපේ ආණ්ඩුවක් හැදුවට පස්සේ ඔවුන්ගේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න අපි තිරණය කළේ ඒ නිසයි. එළැඹෙන අපේ රජයකදි අපේ ප්‍රධාන දේ වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගන්න එකයි.

අපි පහුගිය වසර හතර හමාර තුල ජිවිත නැති කළේ නැහැ. අපි ජිවිත ආරක්ෂා කළා. ඒ අයගේ ජිවිත වලට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පුලුවන් වුනේ මේ රටේ නීතියට විතරයි. අපි 19 වෙනි සංශෝධනයෙන් ඔබේ නිදහස තවත් දියුණු කළා. පාර්ලිමේන්තුවට වගකියන පාර්ලිමේන්තුවක් ඇති කළා. ස්වාධීන කොමිසන් ඇති කළා. අධිකරණයේ ස්වාධීනත්වය ඇති කළා.

අපි දැක්කා දින 52 දි දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් මේ සිවිල් සංවිධාන ඉදිරියට ආපු හැටි. අද මේ සියල්ල තුල විනිවිද භාවයක් තියෙනවා. තවදුරටත් ඒක ආරක්ෂා කර ගන්න නම් එළැඹෙන ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස දිනවිය යුතුයි.

මෙහිදි රාජා උස්වැටකෙයියාව මහතා විසින් සිවිල් සමාජ ප්‍රතිඥාව ඉදිරිපත් කළේය.

එමෙන්ම මෙහිදි අමාත්‍ය මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ආදි පිරිසක් සමුලුව ඇමතතූහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමි, තීනියාවල පාලිත හිමි,  රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලීප් දිසානායක, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය එච්. ඩබ්ලිව් සිරිල්, සාධාරණ සමාජයක් සඳහා වෘත්තීය සමිති ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, රාජා උස්වැටකෙයියාව, ෂෙහානා විල්කාසිම්, ප්‍රියදර්ශනී ආරියරත්න, බ්‍රිටෝ ප්‍රනාන්දු  ඇතුලු සිවිල් සංවිධාන රැසක පුද්ගලයින් එක්ව සිටියහ.

-ශානිකා මාධවී-




2019-10-09
Advertisement

Find us on Facebook