English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ජෝතිෂ්‍ය යාචකයන් නැවතත් කරළියට!

ශ්‍රී ලංකාවේ දේශපාලනය කරනවිට බොහෝවිට වෙනත් රටවල්වල නොකරන දේ කිරීම සිරිතකි. වෙනත් රටවල දේශපාලනය ශ්‍රී ලංකාවේ කරන දේශපාලනයට වඩා වෙනස්ය. ශ්‍රී ලංකාවේ දේශපාලනය මෝඩයා හත්පොළේ ගාගත්තාක් බඳුය. වෙනත් රටවලදී දේශපාලනය කිරීමට ප්‍රතිපත්තිය මූලික අත්‍යවශ්‍ය සාධකයක් වුවද මෙරට දේශපාලනයට එය අවශ්‍ය නැත. ඒ වෙනුවට විවිධ අංශ සඳහා විවිධ පුද්ගල චරිත ආදේශකොට මෙරට ජන මනස තමන්ට අභිමත දිශාවටම වෙනස් කිරීම පමණක් සෑහෙන බව මෙරට දේශපාලකයෝ හොඳින් දැන හඳුනාගෙන සිටිති. අපේ එකා, ගමේ එකා, කැපී පෙනෙන හාදයා ආදී වශයෙන් නොයෙකුත් විලාසිතාවල ජන ප්‍රජාවගේ පහළ මට්ටමේ මානසික හා කායික අවශ්‍යතා පොළඹවාලීම පමණක් මෙරට දේශපාලනයට සෑහෙයි.

ඊට අමතරම නක්ෂත්‍ර, ජෝතිෂ්‍ය, ෆෙන්ෂුයි තව නොයෙකුත් මිථ්‍යා අභිචාරවිධිවලින් ජනප්‍රජාවගේ මනස අන්ධබවට පත්කිරීමද අතවශ්‍ය බවට මෙරට සමහර  දේශපාලකයෝ වටහාගෙන සිටිති.මේ සඳහා දේශපාලන පොරපිටියට විවිධ පුද්ගල චරිත ආදේශකර ඔවුන්ව පුම්බා උඩ ඇරීමට විවිධ ක්‍රියාමාර්ග ගනිති. මේ සඳහා අවශ්‍ය පරිදි රජයේ ජනමාධ්‍ය පමණක් නොව බලයේ සිටින අයට ආවඩා සිය පුද්ගලික න්‍යායපත්‍ර දියත්කොට වැඩි ලාභයක් ඉපයීමට එබඳු කාලවල සිහින දකින පුද්ගලික ජනසන්නිවේදන මාධ්‍ය පවා මෙරටේ කූඨ දේශපාලකයන්ගේ එබඳු විවිධ උප්පරවැට්ටිවලට අවශ්‍ය දරදිය ඉතා නිර්ලජ්ජිත ලෙස සපයනු ලබන ආකාරය සුලබව දැකගත හැකිය. මෙරට ජනතාවගේ හිස නොයෙකුත් මිථ්‍යා විශ්වාස ආදියෙන් පිරවී ළිංමැඬි දූපත් මානසිකත්වයක ඇති බව දන්නා දේශපාලනඥයෝ තව තවත් ජනතාව මිථ්‍යා විශ්වාස ආදියටම යොමුකරවා එහිම ඇලීගැලී සිටිනු දැකීමට කැමැති වන්නෝය.

ඒ සඳහා ඡන්ද කාලසීමාව ළංවත්ම ජනමනස තමන්ට අවශ්‍ය දිසාවට වෙනස් කිරීම සඳහා මිථ්‍යා විශ්වාස ආදී දේ සමාජයේ වපුරවිය හැකි පුද්ගල චරිත තමන්ට ළංකර ගැනීමට ශූර සටපකට දේශපාලඥයෝ දක්ෂතා පෙන්වති. මෙබඳු පුද්ගල චරිතවලට මහජනතාවගේ බදුමුදල් වලින් අත්මිට දිගහැර වියපැහැදම්කර තමාගේ පාලන කාලසීමාව දිගුකර ගැනීම පිණිස ඔවුන්ලවා නොයෙකුත් වන්දිභට්ටකම් ඉටුකර ගනිති. තමන්ට ඡන්දය අහිංසක ප්‍රජාව මිථ්‍යාව පෙන්වා රැවටීමට වන්දිභට්ටයින් ලවා සමාජය පුරා බොරුව වපුරවති.මේ සඳහා විවිධ ක්‍රියාමාර්ගවලට අවශ්‍ය අරමුදල් රැස් කරගැනීම සඳහා භාණ්ඩ හා සේවාවලට අයකරන බද්ද වැඩිකරති. ඉන් භාණ්ඩාගාරයේ ගොඩගැසෙන අතිරික්ත ධනය වන මහජන බදු මුදල් තමන්ට අවශ්‍ය ප්‍රචාරය ලබා ගැනීමට මෙබඳු විකාරරූපී කාර්යන්වලට ඉතා නිර්ලෝභීව වියපැහැදම් කරති. නිදහසින් පසු මෙරට පාලනයකළ සෑම පාලකයෙකු සතුව මෙබඳු ගතිලක්ෂණ අඩුවැඩි වශයෙන් තිබිණ. ඒවායින් අනිසි ප්‍රයෝජන ගත්තේ එබඳු අය හට ළංවී සිටි සුළුතරයයි. අහිංසක අසරණ මහජනතාව සැමදා රැවටුනහ. තමන්ට අවශ්‍ය පුද්ගලයින් ළංකර ගෙන ඔවුන්හට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවල විවිධ තනතුරු ප්‍රදානයකර එම තනතුරුවලට අදාළවූ වැටුප් හා වේතන ලබාදෙමින් ඒ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල කිසිදු කාර්යක ඔවුන්ව නොයොදා හුදෙක් තමාගේ මැතිවරණ ප්‍රචාරණ කාර්යන්වලම පමණක් ඔවුන්ව යෙදවීමට තරම් මෙරට දේශපාලකයෝ කෛරාටික වූහ.

සමහර අවස්ථාවලදී රජයේ වියදමින් වෙබ් අඩවි සකස්කර දී තමන්ගේ දේශපාලන ප්‍රචාරණ යාන්ත්‍රණයෙහි යෙදවීමට තරම් දේශපාලඥයින් නිර්ලජ්ජිතවී තිබේ. මෙරට සිට මෙන්ම විදේශවල සිට පවා මෙබඳු වෙඩ් අඩවි ක්‍රියාත්මක වන අතර එදා මෙදාතුර බලයට පත්වූ සෑම රජයකටම පක්ෂපාතීව මහජනතා මතය වෙනස් කිරීමට ක්‍රියාකිරීම මෙහි ඒවායේ ඒකායන අරමුණ විය. පූජ්‍ය, පූජක පක්ෂය මෙන්ම විවිධ ගිහි ජ්‍යොතිෂ්‍යෙව්දීන්, මන්ත්‍රාචාර්යවරු, කට්ටඩීන්, හොර වෙදුන් හා නොයෙකුත් තරාතිරම්වල මිථ්‍යා විශ්වාසවල ගැලී පුද්ගල චරිත යොදවා සමාජ මතය තමන්ට අවශ්‍ය ආකාරයට ප්‍රතිනිර්මාණය කරවීමට තරම් දේශපාලන බලාධිකාරය සූක්ෂම විය. එක් ආකාරයකට මෙය සමාජ ජනමතය උපක්‍රමික ලෙස වෙනස් කිරීමට යොදා ගන්නා මනෝවිද්‍යාත්මක ක්‍රමයක් ලෙස දැක්විය හැක. මෙම තත්වය පසුගිය රාජපක්ෂ රෙජිමය සමයේ පැහැදිලිව පෙනුනු කරුණකි. නැවතත් ජනාධිපතිවරණය ළංව ඇති මෙම වකවානුව තුළ දේශපාලන කරළිය තුළ ජෝතිෂ්‍ය වන්දි බට්ටයන් කරලියට පැමිණ ජනතාවගේ මනස විකෘති කරමින් ජනමතය වෙනස් කිරීමේ කාර්යයේ නිරතව සිටී. තම අපේක්ෂකයාට රාජ යෝගයක් පවතී ඔහුට නැතිනම් ඔහුගේ පවුලේ අයෙකුගේ රාජයෝග බලයකින් අදාළ අපේක්ෂකයා ජයගන්නා බවට මිත්‍යා මත ගෙන හැර දක්වමින් ජනතාව ඒ වෙත ආකර්ශනය කර ගැනීමේ යාචක මෙහෙයුමක ඔවුන් මේ වන විට නිරතව සිටී.

 හිරෝෂන් ලක්ෂාන්




2019-10-08
Advertisement

Find us on Facebook