English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සජිත් පරදා ගෙල සිර කරගමු? - පුණ්‍යා සමරකෝන්
යහපාලනය පත්කරගත් මිනිස්සුන්ටම එය වහ පාලනයක් වී ඇත. දැන් යළිත් යහපාලනය ගෙන ඒමට පෙරට ආ දේශපාලනඥයින්ට තව එක් අවස්ථාවක් ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලන්නට සිදු වී ඇත.

එහෙත් යහපාලනය පොරොන්දු වූ පරිදි හොරු ඇල්ලීමට හෝ දූෂණය වංචාව නතර කිරීම පිණිස අපොහොසත් වුණත් රාජපක්ෂ පාලනය තුළ වළදමා තිබූ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් හා ස්වාධීන අධිකරණය යන සියලු ආකාරයේ මානව සමාජීය මානයන් සුරක්ෂිත කිරීම සඳහා කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්වා දී ඇත. ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට එරෙහිව දුන් ඓතිහාසික තීන්දුව මෙන්ම පසුගියදා පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව ද මෙරට අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ සමානාත්මතාව සුරක්ෂිතව ඇති බවට ලබාදිය හැකි හොඳම මෑතකාලීන උදාහරණ දෙකකි. 

යටිතල පහසුකම් සංවර්ධනය හා සසඳන විට පුද්ගල සංවර්ධනය ඉතා අසීරු කාර්යයකි. නිදහස ස්වාධීන්ත්වය සමානාත්මතාව සංහිඳියාව, මාධ්‍ය නිදහස වැනි නූතන දියුනු සංකල්ප යනු අප වැනි දියුණුවෙමින් පවත්නා රටක් තුළ ස්ථාපනය කිරීම ඉතා දුෂ්කර කාර්යයකි. රටේ යටිතල පහසුකම් සංවර්ධනයට වත්මන් රජය තරමක් අසමත් වුවත් මානව හා සමාජ සංවර්ධනය නමැති දුෂ්කර ඉලක්කය වෙත ලගාවීමෙහිලා බොහෝ දුරට සමත්ව ඇත.  

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩු තීන්දුව පිළිබඳ උදම් අනන සියලු දෙනාට පසුගිය රාජපක්ෂ සමයේ නඩුත් බඩුත් දෙකම හාමුගේ ඔඩොක්කුවේ තිබුන හැටි, නීතිය හිතුත හිතුන අතට නැමුන හැටි, මහා අපරාද, ජීවිත හානි හා දේපල හානි, නඩු නැතිවම වළදැමුන හැටි, මදක් සිහිපත් කරගන්නා ලෙස ඉල්ලා සිටීමට ලේඛකයාට සිතේ. වත්මන් රජයට පරුෂ වචනයෙන් බැනවදින ගමන්ම කොන්ද පන නැති ආණ්ඩුව කියමින් අපහාස කරන අයම එම රජය විසින් ස්ථාපිත සාධාරණ සමාජීය ගුණයන්ගේ සුවඳ සතුටින් භුක්ති විඳිනු දකින්නට ලැබේ. පොදුජන එක්සත් පෙරමුණට සහාය දක්වන මුහුණුපොත් පිටු පුරා ස්වාධීන අධිකරණයට හා යහපාලනයට ස්තුතියයි සටහන් කර තිබිණ. එහි තේරුම්ගැනීමට අසීරු කරුණනම් එවන් යහපත් තත්වයක් යළි වෙනස් කිරීම උදෙසා එම ජනතාවම පෙළගැසෙන්නේ ඇයිද යන්නයි. එහි වඩාත් නරක තත්ත්වය නම් යළි ඔබා බලන්නට යන්නේ පෙර ලිහා බැලූ මල්ලම වීමයි. 

රාජපක්ෂ යුගයේ යටිතල පහසුකම් සංවර්ධනය වූ බව ඇත්තය. එල්ටීටීඊ අන්තවාදී ගැටුම හරි හෝ වැරදි කුමන ආකාරයකින් හෝ නිමා වූ බවද ඇත්තය. එහෙත් රාජපක්ෂ යුගයේ ජනතා පරමාධිපත්‍ය, නීතියේ සම ආරක්ෂාව හා අධිකරණයේ ස්වාධීනත්වය වැනි සංකල්ප ගැන කතා කිරීම පවා තහනම් විය. මාධ්‍ය නිදහ මුලුමනින්ම අහිමි වූ අතර රජයට එරෙහිව හඩ නැගූ මාධ්‍ය ආයතන ගිණිබත් කලේය. නිදහස් අදහස් වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යවේදීන් ඝාතනය විය, රැකියා වලින් නෙරපා දැම්මේය. මෙය ලියන ලේඛකයාද එවන් අමිහිරි අත්දැකීමකට මුහුණ දුන් අයෙකි. කතා කිරීමේ නිදහස සිතීමේ නිදහස පවා තර්ජනයට ලක්ව තිබිණ. කාන්තා හින්සනය උපරිම විය. බලය විසින් අන්ධ​ කළ නොහික්මුණු එක් පවුලක් විසින් සමස්ථ​ රටක ජනතාවගේ ඉරණම විසඳීම නැමැති භයංකර​ යුගයක් උදාවිය. කිසිවෙකුට පාලනය කල නොහැකි අත්තනෝමතික බල අධිකාරියක් විසින් සිරගත කළ සමාජයක ජීවත්වීම අතිශය​ පීඩාකාරී වූ බැවින්ම 2015 හංසයා දිනවීමට ජනතාව දිවිපරදුවට තබමින් එලියට බැස්සහ.

ඒ වෙනස තුළ මිනිස්සු නිදහස දිනාගත්හ. ස්වාධීනත්වය දිනාගත්හ. නීතිය ඉදිරියේ සම අයිතිය දිනාගත්හ. මාධ්‍ය නිදහස දිනාගත්හ. අදහස් ප්‍රකාශ​ කිරීමේ අයිතිය හා සිතීමේ නිදසහ දිනාගත්හ. තොරතුරු දැනගැනීමේ අයිතිය දිනාගත්හ. එහෙත් එවැනි උසස් සංකල්ප ඔස්සේ ජීවත්වීමට අවශ්‍ය විනය හා ගුණධර්ම බහුතරය සතු නොවීමේ ප්‍රතිපලයක් ලෙස යළිත් ඒ දිනාගත් දේම වළදමන ලෙස ඉල්ලා සිටින්නෝය​.

වත්මන් රජය එකිනෙකට විරුද්ධ දේශපාලන මතවාද දෙකක කෘතීම එක්කාසුවක් වූ නිසාම රාජ්‍ය පාලනයේදී යම් යම් ගැටළු ඇතිවිය. එකට අත් අල්වාගෙන දෙපසකට යන්නට දඟලමින් අවුරුදු හතරක් ගෙවී ගියේය. ඒ නිසා ජන ජීවිතය තරමක් අවුල් විය. වෘත්තිකයින් හා මාධ්‍ය අයතන මෙම හුදකලා සමාජය මෙහෙයවීමට එක්වනවා වෙනුවට තමන්ට කාලයකින් පසු ලැබුන නිදහස කිසිදු විචාරයකින් වග විභාගයකින් තොරව බුක්ති විඳින්නට පටන්ගත්තේය.  

වැරදි අඩු තැන නිවැරදි කරගැනීම වෙනුවට වැරදි වැඩි තැන තෝරාගැනීම දෙස රට යළිත් යොමුවී තිබීම කණගාටුවකි. එහෙත් දැන් සිදුව ඇත්තේ එයයි. පාරවල් කන්නදැයි අසමින් නිදහස​ ඉල්ලූ අයම දැන් නිදහස කන්නදැයි අසයි. ඒ සාමාන්‍ය ජන සමාජයේ හැටියි. එහෙත් එසේ කියා විචාරයක් ඇති සුලුතරය නිකන් සිටීම අනුවනය. බහුතරයේ මෙම හැසිරීම හා මනෝභාවයන්ගේ පිහිටෙන් බලය අල්ලාගැනීමට දඟලන​ පිරිස් ගැන වහා අවදියක් ජන සමාජය තුළ ඇතිකරවිය යුතුය.   

නීතිය ගරුකරන, සාමය අගයන, අභිමානවත් පුරවැසි සමාජය මේ මොහොතේ කොන්දේසි විරහිතව පෙළගැසිය යුතුය. එක් පවුලකට සීමා වෙමින් යාවජීවව බලයේ සිටිමින් පරම්පරාවෙන් පරම්පරාවට රජවරු පත්කරන ගෝත්‍රික රාජ්‍යයක් ස්ථාපනයට එරෙහිව සිටගත යුතුය. 

ඒ සඳහා මේ මොහොතේ උචිතම කඳවුර කුමක්ද? හැකියාව ඇති අපේක්ෂකයා කවුද? 

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් පිළිබඳ විවිධ මතවාද තිබේ. මෙම ලිපිය ඒ අතුරින් තිදෙනෙකු පිළිබඳව අවධානය යොමුකරයි.  

මෙරට විප්ලවීය එළඹුමකින් දේශපාලන වේදිකාවට ගොඩ වූ කඳවුරක් වන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර දිසානායක යනු ඒ මහා දේශපාලන ව්‍යාපාරයේ හරය හා ආකෘතිය අත්හල අයෙකි. අද වන විට ජනතා විමුක්ති පෙරමුණ වටා රොක්ව සිටින්නේ කුඩා විකල්ප කණ්ඩායම් කිහිපයකි. දැන් දැන් අනුර කුමාර දෙමළ හා මුස්ලිම් ඡන්දදායකයින් අතර ජනප්‍රිය වෙමින් සිටී. එතෙක් මෙතෙක් දෙමළ ජනතාව වෙත ලබාදුන් එකම ඡන්ද පොරොන්දුව හෙවත් ෆෙඩරල් සිහිනය අනුර කුමාර විසින් ද අලෙවි කරමින් සිටී. 2015 දී හංසයා ලකුණට හිමිවූ ඡන්ද සිය ඉලක්කය කරගත් අනුර පිළ මෙරට තෙවැනි බලවේගය සඳහා හොඳ තරගයක් දීමට අපේක්ෂා කරයි. 

අනෙක් විකල්ප අපේක්ෂකයා මහේෂ් සේනානායකය. මහේෂ් සේනානායක ජනප්‍රිය වුනේ පසුගියදා ඇති වූ ත්‍රස්ථ ප්‍රහාරය සමගය. එතෙක් ඔහු කරලියේ සිටියේ නැත. මාධ්‍ය විසින් පුම්බා සකසන ලද තමාගේම ප්‍රතිරූපයට මහේෂ් සේනානායක මුලා වී ඇතැයි ලේඛකයාට සිතේ. එහෙත් ඔහුද මෙම තරගයේ මුහුණු පොත් පිටු අතර ජනප්‍රිය චරිතයකි. මහේෂ්ගේ පිටුපස වඩාත් වැඩියෙන් සිටින්නේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අගයමින් 2015 හංසයා සමග සිටගත් සිවිල් ක්‍රියාකාරීන්ය. තරමක් හෝ මධ්‍යස්තව සිටින සිංහල බෞද්ධ​ ඡන්දදායකයින්ද මේ මෙහෙයුමට සහාය දක්වයි. 

2015 රාජපක්ෂ පාලනය නිමාකිරීමේ කාර්යභාරයේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකළ කඳවුර හෙවත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස මෙවර ඉදිරිපත් වන්නේ එහි නියෝජ්‍ය නායකයා වූ සජිත් ප්‍රේමදාසය. 

සජිත් ප්‍රේමදාස පිළිබඳ පක්ෂයේ නියෝජිතයින් අතර මෙන්ම පාක්ෂිකයින් අතරද විවිධ​ මතවාද ඇත. හන්සයාගේ සෙසු ප්‍රධාන කඳවුරු දෙකක් වන දෙමළ සංධානය​ තවමත් නිහඬය​. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩී ගොස්ය. ජනතා විමුක්ති පෙරමුණ වෙනම ඉල්ලයි. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ක්‍රියාකාරී නැත. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ බිම්මට්ටමින් විශාල පිබිදීමක් ඇතිව තිබේ. 

එක්සත් ජාතික පක්ෂය යනු ඉතා දුෂ්කරම අවස්ථාවේදී පවා සියයට 35 ඉක්මවූ ඡන්ද පදනමක් තබාගත හැකි පක්ෂයයි. එපමණක් නොවේ, සජිත් ප්‍රේමදාස මේවනවිට එක්කාසු කරගෙන ඇති ඡන්ද ගොඩ අනුර කුමාර දිසානායක හෝ වෙනත් කිසිදු අපේක්ෂකයකුට තනි තනිව එකතු කරගත නොහැකිය. එවැනි පක්ෂයක අපේක්ෂකයා නොසලකා හැරීම මේ මොහොතේ ඉතාමත් භයානකය. එහි ප්‍රතිඵලය​ වන්නේ එක් පවුලක් වටා රාජ්‍ය බලය ගොනුවන අඳුරු යුගයකට යළිත් රට ඇද දැමීමයි. 2015 එම ගෝත්‍රික පාලනයෙන් රට මුදාගත් අයට එම පාලනයම යළි තහවුරු කිරීමට සෟජුව හෝ වක්‍රාකාරව සහාය දිය හැකිද? 

නිදහස් නිවහල් සමාජයක් පතන නිදහස් චින්තනයක් දරන පිරිස කුමන හේතුවක් මත හෝ සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප කිරීමෙන් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ එය නොවේද?

පුණ්‍යා සමරකෝන්

උපුටා ගැනීම colombotelegraph.com




2019-10-08
Advertisement

Find us on Facebook