English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට - යුද්ධයෙන් සාමයට - රනිල්
සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ පුරෝගාමියෙක් වූ, ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරියෙකු ද වූ, ප්‍රකට ප්‍රගතිශිලී කිතුණු නායකයෙකු වූ, ලංකා සභාවේ කුරුණෑගල දියෝකීසියේ දෙවන රදගුරු (බිෂොප්වරයා) වූ ලක්ෂ්මන් වික්‍රමසිංහ යනු රනිල් වික්‍රමසිංහ ගේ බාප්පා වේ. කුරුණෑගල සිටින ප්‍රධාන පෙළේ පියතුමෙකු පැවසුවේ එස්මන්ඞ් වික්‍රමසිංහ ගේ සහෝදරයා වුවද, රනිල් ගේ බාප්පා වුව ද රදගුරු තුමා දැඩි ජේ.ආර් ජයවර්ධන රජයේ දැඩි විරෝධිවාදියෙකු වූ බවයි. ඊට හේතුව වූයේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, 1978 ව්‍යවස්ථාව, සිරිමාවෝ බණ්ඩාරනායක ගේ සිවිල් අයිතිවාසිකම් අහෝසි කිරීම වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් නිසා එතුමන් සිය විරෝධය විවෘතව, ප්‍රසිද්ධ ව දක්වා සිටියේ ය. ජේ.ආර් ගේ රජයේ ලාබාලම ඇමතිවරයා වූ රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයෙකු වූ පසු සිය බාප්පා හමුවීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක විය. දන්නා තරමින් 1983 ඔක්තෝම්බර් 23 එතුමා ස්වර්ගස්ථ වන තුරු රජයේ ඇමතිවරයෙක් ලෙස හමුවීමට එතුමන් ඉඩක් ලබා නොදුන්නේ ය. ඒ රනිල් ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී යූ.එන්.පී රජයට ලැබුණු ප්‍රතිචාරය යි.  

2001 වනතුරු ප්‍රගතිශිලී සමාජයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ප්‍රතිචාරයකි. ඊට ප්‍රධාන සිදුවීම් කිහිපයකි. ඉන් ප්‍රධාන වන්නේ 1977 විවෘත අර්ථික ප්‍රතිපත්තිය, 1978 ව්‍යවස්ථාව, 1980 ජූලි වැඩ වර්ජනය දැඩි හස්තකින් මර්ධනය කිරීම, 1981 සංවර්ධන සභා ඡන්ද විමසීමේ ඡන්ද දූෂණයන්, 1981 මැයි මාසයේ දී යාපනය පුස්තකාලය ගිනි තැබීම, මැතිවරණ කාලයන්හිදී ප්‍රචණ්ඩත්වයන් හා දූෂණයන් විශාල වශයෙන් මේ කාලය තුළදී සිදුවීම, යාපනයේ සිදුවූ මර්ධනයන්, 1982 දී පාර්ලිමේන්තු කාලය දිගු කිරීම සඳහා පැවැත්වූ ජනමතවිචාරණය, 1983 ජූලි කලබල ඇති කිරීම හා විනාශය, 1987 ඉන්දු - ලංකා ගිවිසුම, උතුරු නැගෙනහිර ඇති වු  තත්ත්වයෙ දී විනාශ කාරී ලෙස ක්‍රියාත්මකවීම නිසා එය යුද තත්ත්වයක් දක්වා වර්ධනය වීම, ජනතා විමුක්ති පෙරමුණේ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මර්ධනය සඳහා අනුගමනය කරන ලද අසීමිත ප්‍රචණ්ඩත්වය යි. මේ සියළු ප්‍රධාන කරුණු සහ තවත් කරුණු විශාල ප්‍රමාණයක් නිසා එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පක්ෂයක් ලෙස ජනගත විය. ප්‍රගතිශිලී සමාජය ප්‍රතික්ෂේප කළේය.

මේ තත්ත්වය වර්ධනයවීම නිසා 1991 දී විධායක ජනාධිපති ආර්.ප්‍රේමදාස ට තමන්ගේ ම පක්ෂය තුළින් දෝෂාභියෝගයකට මුහුණදීමට සිදුවිය. එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයින් වන ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණි දිසානායක වැන්නන් ය. ඔවුන්ගේ ප්‍රධාන චෝදනාව වූයේ ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂ තුළ හා රට තුළ නැති බවත්, ඒකාධිපතියෙක් බවත් ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවත් ප්‍රකාශ කරමින් පක්ෂයෙන් ඉවත් වූවෝ ය. අවාසනාවකට මෙන් එම ක්‍රමය වෙනස් කිරීමට හෝ ඔවුන්ගේ සටන ජය ගැනීමට ප්‍රථම ඔවුන් දෙදෙනාම ඝාතනයට ලක් විය. විධායක බලයේ වෙනසක් 2015 වනතුරු සිදු නොවුනි.

මේ ඒකාධිපති වියරු ප්‍රචණ්ඩ ක්‍රමයට රනිල් වික්‍රමසිංහ කිසිවිට විරෝධයක් දැක්වූයේ නැත. ඔහු ද ඊට අනුගතවෙමින් ඒ ක්‍රමයම තුළම ක්‍රියාත්මක වෙමින් සිටිනු දක්නට ලැබුණි. ඒ නිසාම ඔහුට ද විවිධ චෝදනා එල්ල විය. ඒ අතරින් ඔහුට එල්ල වූ බරපතලම චෝදනාව වූයේ බටලන්ද වධකාගාරය සම්බන්ධ චෝදනාවයි. 1994 දී බලය අහිමි වන රනිල් වික්‍රමසිංහ විපක්ෂයට යයි. වධකාගාරය සම්බන්ධයෙන් නඩුවක් චන්ද්‍රිකා රජය කාලයේ දී විභාග වූ අතර රනිල් ඊට නොබියව මුහුණ දුන්නේ ය. ඔහු විපක්ෂයේ අවුරුදු හතක් රැඳී සිටි නැවත බලයට පත්ව අගමැති ධූරයට 2001 දී නැවතත් පත් වේ.

ඔහු නැවත පත්වන්නේ නව දේශපාලන දැක්මක් සහිතව ය. අරමුණු සහිතව ය.

එහි හොඳින්ම පැහැදිලි වන්නේ ඔහු විසින් යුද්ධය අවසන් කිරීම සඳහා සාම ක්‍රියාවලියට ලබා දුන් දැක්ම සහ ක්‍රියාකාරිත්වයි. නිර්භීත බවයි. ඒ සඳහා සාකච්ඡා වට 06 ක් පැවැත්විය. එම සාකච්ඡාවන් සම්බන්ධීකරණය ලද්දේ නෝර්වේ ප්‍රමුඛ රටවල් කිහිපයකි. ප්‍රධානත්වය දරන ලද්දේ නෝර්වේ නියෝජිත එරික් සෝල්හයිම් ය. 2001 දෙසැම්බර් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලද අතර රජය ද ඊට ප්‍රතිචාර දක්වමින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේය. එතැන් සිට සාම සාකච්ඡා ආරම්භ කිරීමත් සමඟම ද 2003 මාර්තු 31 වන දින දක්වා සාකච්ඡා වට 6 පැවැත් විනි. ඒ තුළින් උතුරේ යුද්ධයෙන් බැට කා සිටි ජනතාවට විශාල සහනයක් ඇති විය. ඒ තුළින් රනිල් උතුර නැගෙනහිර ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් බවට පත් විය. එක්සත් ජාතික පක්ෂයට ද විශාල ජනප්‍රියතාවයක් ඇති විය. වාමාංශික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශිලී කොටස් අගමැතිවරයාගේ ක්‍රියා කලාපය දෙස විමතියෙන් මෙන්ම සතුටින් පසුවූහ. එහෙත් මෙය ඊළාම් බිහි කිරීමක් ලෙස සිතූ කොටස් රට තුළ විශාල විරෝධතා ව්‍යාපාරයක් ඇති කළහ. මෙම ක්‍රියාවලියේ කේන්ද්‍රය වූයේ 2002 පෙබරවාරි 22 අත්සන් කරන ලද සාම ගිවිසුමයි. එය නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් අත්සන් කරන ලදි.

ඒ නිසා ඔහුව බොහෝ දෙනෙක් හැඳින්වූවේ කොටි හිතවාදියෙකු කියායි. නොමැති නම් නොර්වේ සහ ඇමෙරිකාව කියන විදියට නටන පුද්ගලයෙකු ලෙසයි. මේ නිසා ඔහුට පක්ෂය තුළින් ද බාහිරව ද, වෙනත් දේශපාලන පක්ෂ වලින් ද විශාල විරෝධයක් පැමිණියේය. බොරු චෝදනා ප්‍රකාශයන් ප්‍රචාරය විය. ඒ නිසාම දකුණ තුළ රනිල් ප්‍රමුඛ සාම කණ්ඩායමට විශාල විරෝධයක් මතු විය. දේශපාලන ඊර්ෂ්‍යාව ඊටත් වඩා ඉහළ යමින් රනිල් ප්‍රමුඛ කණ්ඩායමට එල්.ටී.ටී.ඊ හා විදේශීය බලවේග සළුපිළි ඇන්ඳවීම සිදු කරන ලදි. ඒ තුළින් එම ක්‍රියාවලියට විශාල බලපෑමක් කරන ලදි.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් එල්ලා සිටින ලද බොහෝ ඉල්ලීම් රනිල් විසින් ඉටු කරන ලදි. ඒවා පිළිබඳ විශාල විවේචන පසුව මතු වුවද, රටේ ජනාධිපතිනියගෙන් විරෝධතා මතු වුවද රනිල් ඒවා ඉටු කළේය. දකුණ රනිල්ට එරෙහිව යද්දී එල්.ටී.ටී.ඊ සංවිධානය ද රනිල් සැක කළේය. එල්.ටී.ටී.ඊ සංවිධානයට රනිල් ගේ මේ ලිබරල් දැක්ම තමන්ට ඔරොත්තු නොදෙන තරම් දුර යන බවත්, ජනතාව ඔවුන් දෙසට ඇදී යන බවත් එය ඉදිරියේ දී තමන්ට අහිතකර බවත් දැනෙන්නට විය. එමෙන්ම දකුණේ විශාල පිරිසක් උතුරට ගොස් උතුර හා සම්බන්ධතා ඇති කරගන්නා ලදි. සාමාන්‍ය වැසියන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් ඒ අතර විය. ඒ කාලය තුළදී ජාතින් දෙක අතර විශාල බැඳීමක් ඇති විය. වසර 20 ගණනක් අහිමිව තිබූ සම්බන්ධතා වේගයෙන් ගොඩනැගුණි. උතුර යන ගමන් මාර්ග දියුණු විය. ප්‍රවාහන මාර්ග ඇති විය. මාර්ග බාධක ඉවත් විය. ඒ ගැන ද එල්.ටී.ටී.ඊ. සංවිධානය බිය විය.  කෙසේ වෙතත් විවිධ ගැටළු නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය සාම සාකච්ඡා වලින් ඉවත් විය. රනිල් ප්‍රමුඛ රජය එල්.ටී.ටී.ඊ සංවිධානයට අවශ්‍ය ප්‍රමාණයට වඩා සහය දක්වන බව සැක කළ ජනාධිපතිනිය වු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් 2003 නොවැම්බර් 04 වෙනි දින අගමැතිවරයා ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක සිටින අතරතුර දී ඔහු ඉවත් කරමින් පාර්ලිමේන්තු වාරය අවසන් කළේය. ඒ අතරම ආරක්ෂක, අභ්‍යයන්තර කටයුතු හා මාධ්‍ය යන අමාත්‍යංශයන් තමන් වෙත පවරා ගත්තාය. බොහෝ දෙනෙක් සිතුවේ විදේශ ගතව සිටි අගමැති රනිල් නැවතත් රජය ලබා ගැනීමට සටන් කරනු ඇතැයි සිතා ය. නමුත් ඔහු සියළු දෙනාගේ බලාපොරොත්තු බිඳ දමමින් රනිල් ගෙදර ගියේය. ඒ විධායක ජනාධිපතිගේ බලය හොඳින්ම දන්නා නිසා විය හැකිය. එයින් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ප්‍රතිරූපයට විශාල හානියක් වු අතර, ඇය ඒකාධිපතිනියක් ලෙස කටයුතු කළ බවද, කේළාම් සහ විරුද්ධවාදීන්ගේ මතයන්ට ඉඩ දුන් බවට ද මතයක් විය. කෙසේ වෙතත් රනිල් නැවතත් ගෙදරට වී සිටියේය.

විශාල දේශපාලන අර්බුදයන් මැද රනිල් 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. තමන්ට දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් තිබූ සහය නිසා එම ඡන්දය තමන්ට ජනාධිපතිවරණය ජයගත හැකි බව රනිල් විශ්වාස කළේය. ඔහුට ඒ සඳහා සහය ලැබෙන බවට ඉගි පළ කිරීමක් ද තිබිණි. නමුත් කිසිවෙකුත් නොසිතූ ලෙස රනිල් වික්‍රමසිංහට හෝ කිසිඳු අපේක්ෂකයෙකුට ඡන්ද දීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ඡන්ද පොළට ආවේ නැත. එහිදී දකුණු ප්‍රදේශයෙන් එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ඡන්ද 4,706,366 ක්ද, මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානය 4,887,152 ක්ද ලබාගත්තේ ය. ඒ අනුව වැඩි ඡන්ද 180,786 වැනි සුළු ඡන්ද ප්‍රමාණයකින් මහින්ද රාජපක්ෂ බලයට පැමිණියේය. මේ ගැන පසුව දැන ගැනීමට ලැබුණේ බැසිල් රාජපක්ෂ හා ටිරාන් අලස් එක්ව එල්.ටී.ටී.ඊ සංවිධානයට ඡන්දය වර්ජනය කිරීම සඳහා අල්ලස් ලබා දුන් බවයි. මේ සම්බන්ධයෙන් වීඩියෝවක් පාර්ලිමේන්තුවේදී පෙන් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීපති සූරියආරච්චි අද්භූත අන්දමින් රිය අනතුරකින් මියගියේය.

එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් රනිල් පරාජය කිරීමට කරුණු විමසූ විට ඔවුන් පවසා සිටියේ මහින්ද නයෙක් බවත්, රනිල් කපටි නරියෙක් බවත් ය. රනිල් ඉතා උපක්‍රමශිලීව තමන්ගේ බලය ආක්‍රමණය කරන බව එල්.ටී.ටී.ඊ නායකත්වය පවසා සිටියේය. රනිල් ගේ උපක්‍රමයන් නිසාත්, සාම සාකච්ඡා නිසාත්, එල්.ටී.ටී.ඊ සමාජික සමාජිකාවන් අතරත්, පොදු මහජනතාව අතරත් අදහස් වෙනස් වෙමින් පවතින බව ඔවුන්ගේ අදහස විය. කරුණා වෙන්ව යාමට රනිල් ගේ මැදහත් සාම සාකච්ඡාවන් හේතු බව ඔවුන්ගේ මතය විය. කෙසේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගැටළුවලට විසඳුම් සෙවීමට රනිල් ගත් උත්සාහයන් මීට හේතු වු අතර, ඔහු උපක්‍රමශිලීව එල්.ටී.ටී.ඊ ය අතරමං කිරීමට සැලසුම් කිරීමට උත්සාහ කළා ද විය හැකිය. කෙසේ වුවත්, යුද්ධයකින් එල්.ටී.ටී.ඊ ය යුද්ධකින් පරාජය කිරීමට වඩා එය යුක්ති සහගත මෙන්ම,ජනතාවාදී ය. එසේ වූවා නම් මේ සා විශාල යුද සෙබළුන් පිරිසක් සහ සිවිල් වැසියන් පිරිසක් මිය යන්නේ ද නැත. රනිල් ගේ දැක්ම තේරුම් ගත හැකි වූයේ කිහිප දෙනෙකුට පමණි. කෙසේ වෙතත් සාමකාමී රජය විනාශ කිරීම සම්බන්ධයෙන් පියවර ගත් ජනාධිපතිනිය චන්ද්‍රිකාටත්, මහින්ද මුදල් වලට ඡන්දය වර්ජන කළ ප්‍රභාකරන් ද ජීවිතයේ ඉහළම දේශපාලන පාඩම් පසුව ඉගෙන ගත්තෝ ය. නමුත් රනිල් තවමත් බලයේ ය. 

රනිල් 2001 සිට ගන්නා ලද ක්‍රියා මාර්ග නිසා ඔහු වටා එක්වූවෝ සම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂකයින් පමණක් නොවීය. මානව හිමිකම් සංවිධාන, සිවිල් සංවිධාන, වාමාංශික කණ්ඩායම් ඔහු වටා එක්රොක් වී සිටියහ. රනිල් ඔවුන්ගේ විශ්වාසය දිනා ගෙන තිබිණි. 2005 ඡන්ද ව්‍යාපාරයේ දී රනිල් සිදු කරන ලද කතාවන් වලදී අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදයත්, ජනවාර්ගිය ගැටළුව සඳහා දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන බවට අදහස් ඉදිරිපත් කළේය. ඒ දිනවල දී ඔහු දකුණේ දී මෙන්ම උතුරේ දී ද පැවසුවේ 1983 දී තම රජය සිදු කරන ලද ක්‍රියාදාමය සම්බන්ධයෙන් තමන් දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලන බවයි. මේවා පැවසීම නිසා තමන්ට ඡන්ද නොලැබෙන බවත්, තමන් මේවා පවසන්නේ තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව බවය.

2015 දී රනිල් වටා විශාල විකල්ප බලවේග රැසක් එක්ව සිටියේ ය. ඒ මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහිව නැගුණු විරෝධතාවයන් නිසා ය. විධායක ජනාධිපතිධූරය විනාශ කාරී ලෙස භාවිතා කිරීම නිසා ඊට එරෙහිව පූජ්‍ය සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය, පුරවැසි බලය ඇතුළු සිවිල් සංවිධාන, වෘත්තීය සමිති රැසක් එක් විය. අනාගත වඩාත් සාධාරණ සමාජයක් සඳහා වූ ලියවිලි සකස් වූ අතර ඒවා එවකට විපක්ෂ නායක රනිල් විසින් ඔවුන් වෙතටම ගොස් ලබාගෙන, ඔවුන් සමග සාකච්ඡා කරමින් එම බලවේග සමඟ එක්විය. නමුත් රනිල්ට ජයග්‍රහණය කිරීමට හොඳම අවස්ථාව තිබියදී  මුත් ඒ ගැන සැක සිතූ කණ්ඩායම් ඒ සඳහා විකල්පයක් ලෙස දුටුවේ චන්ද්‍රිකා බන්ඩාරනායකගේ යෝජනාවක් වූ මෛත්‍රිපාල සිරිසේනයි. ඉන් පසුව සිදුවූ සිදුවීම් අපි දනිමු. පූජ්‍ය සෝභිත හිමියන් ඇතුළු සිවිල් සමාජය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ජනාධිපතිගේ විධායක බලය අහෝසි කිරීම සඳහා වූ 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එකග වූ රනිල් ඒ සඳහා හැකි සියළුම පියවරයන් ගත්තේ ය. එය රට නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට හැකි එකම මාර්ගය ලෙස සැලකූ රනිල්, එය සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයෝගයක් ලබා දුන්නේ ය.

2001 පසුව රනිල් සැම විටම ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ලෙස හැසිරී ඇති බවට තවත් උදාහරණ ඕනෑ තරම් ඇත.

පක්ෂය නායකත්වය දරා සිටීම ගැනත් විවිධ චෝදනා තිබේ. නමුත් වර්තමානයේ ජනාධිපතිධූරයට පත්ව සිටින සජිත් ප්‍රේමදාස තවමත් පනස් ගණන් වල මුල් හරියේ ය. ජාතික මට්ටමේ නායකත්වය දැරීම යනු පහසු කාර්යයක් නොවේ. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව. මහින්ද රාජපක්ෂ ගණයේ නායකත්වයක් දැරීම එතරම් අපහසු නොවේ. තමන්ට විරුද්ධ වන්නන්ට ගෙදරට ගෙනැවිත් පහර දීම්, වෙනත් කණ්ඩායම් ලවා පහර දීම්, රටින් පැන්වීම්, විවිධ අඩම්තේට්ටම් කිරීම ද, දූෂිතයන්, හොරුන්, මත්ද්‍රව්‍ය වෙළෙන්දන් ඡන්ද ව්‍යාපාරයන් සඳහා සහ වෙනත් අකටයුතුකම් සඳහා යොදවාගෙන දේශපාලන කරගෙන යෑම් වැනි දෑ රනිල් සම්ප්‍රදාය නොවේ. එහෙත් සාපේක්ෂව අපගේ රටේ දේශපාලන සංස්කෘතිය අනුව බොහෝ දේශපාලන පක්ෂ දෙකේම සිට්න බොහෝ අය දේශපාලන වශයෙන් දූෂිත ය. රනිල් ටද දේශපාලන කිරීමට සිදුව ඇත්තේ එවැනි කණ්ඩායම් අතර ය. නමුත් රනිල් පක්ෂය තුළ සාපේක්ෂව වෙනසක් ඇති කර ඇත. එනම් මෑතදී සිදු වූ ස්ත්‍රී දූෂණ, හොරකම්, මැරකම්, ප්‍රචණ්ඩත්වයන් පසුපස සිටියේ මහින්ද ගේ පොහොට්ටු අනුගාමිකයන් ය. ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න වැනි පුද්ගලයන් සහ තවත් නව මුහුණු රැසක් එක්සත් ජාතික පක්ෂයට එක්වන්නේ ඒ අනුව ය. රනිල් ට එරෙහිව ඉවත් වූ පිරිසගෙන් යම් හෝ දේශපාලන පරිනතභාවයකින් ක්‍රියා කරන්නේ ආචාර්ය සරත් අමුණුගම පමණි. බොහෝ දෙනෙක් ඉවත් වී නැවතත් පක්ෂය සමග සම්බන්ධකම් පැවැත්වීම සඳහා පැමිණියෝය නොමැති නම් අතරමං වූවෝ ය. තරුණයන් මුහුකුරා යනතුරු, පක්ෂයේ නායකත්වය දැරීමට තරම් විශ්වාස වන්තයෙකු බිහි වනතුරු ඔහු බලා සිටියේය. සජිත් තාමත් ඒ සඳහා සුදුසු නැති බවත්, ඔහු වටා සිටින්නේ කිලී මහරාජා වැන්නවුන් නිසාත්, ඔහු ඉවසා සිටියේය. ඒත් සියල්ලන්ගේ කැමැත්තට ඉඩ දී පසුව මේ තමන්ගේ අවස්ථාව නොවන බව දැන සජිත් ප්‍රේමදාස ට අවස්ථාව දුන්නේ ය. රනිල් වටා බුද්ධිමත්, තරුණ නායකත්වයක් ගොඩනැගෙන බව ඔහුට පෙනී ගියේ ය. රනිල් පක්ෂය තුළ සිදු කරන ලද හැසිරීම් දීර්ඝ කාලීනව අධ්‍යයනය කිරීමේ දී මැදහත් සිතින් ඒ දෙස බලන්නෙකුට පෙනෙන්නේ ඔහු සියල්ල සිදුකිරීමේදී පක්ෂ රැකීම පළමු අධිෂ්ඨානය හා ප්‍රතිපත්තිය වු බවයි.

දැන් රනිල් හංස ගීතය ගැයුව යුතු කාලයයි. ඔබමාගේ න්‍යාය අනුගමනය කළ යුතු කාලයයි. එනම් දැන් සජිත් තමන් අගමැති කරයිදැයි බලා නොසිට විශ්‍රාම ගැනීමයි. ඔහු මේ අවස්ථාවේදීද ඊට උත්සාහ කළ අවස්ථාවේදීත් පක්ෂ ජේෂ්ඨයන් ඊට විරුද්ධ වූ බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. මන්ද මහින්ද චන්ද්‍රිකාට කළ දේ සජිත් රනිල් ට නොකරයි කියා සිතිය නොහැකිවාක් මෙන්ම, සජිත් එසේ නොකළ ද සජිත් වටා සිටින තිරයෙන් පිටුපස නාට්‍යය රග දක්වන්නන් එසේ නොකරයි යැයි සිතිය හැකි ද නොවේ. රනිල් තරම් දැනුමක්, හැකියාවක්, දක්ෂතාවයක් තිබෙන දේශපාලඥයෙක් ලංකාවේ පමණක් නොව ආසියාවේ ද සිටිතැයි සිතිය නොහැකි ය.  

  මම නිදහසට වූ දීර්ඝ මාවතේ ගමන් කළෙමි. මා එහි පය නොපැකිළ සිටීමට උත්සාහ කළෙමි. එහෙත් මා වැරදි පියවර ද ගෙන ඇත. එක් කන්දක් තරණය කළ විට තවත් එවැනි ම කඳු රාශියක් තරණය කිරීමට ඇති බව මම සොයා ගතිමි. මා වටා ඇති දීප්තිමත් පරිසරයත්, මා ගෙවා ඇති දුර ආපසු බැලීමටත් මම මොහොතක් විවේකයක් ගතිමි. මට විවේක ගත හැකි හැක්කේ මොහොතක් පමණි. ඒ නිදහසත් සමඟ වගකීම් වැඩි වු හෙයිනි. මට පසු බා සිටිය නොහැක. මගේ ගමන දීර්ඝ ගමන තවම අවසන් වී නොමැත.”

නෙල්සන් මැන්ඩෙලා - නිදහස සොයා ගිය ගමනක් - මහින්ද හත්තක 




2019-10-07
Advertisement

Find us on Facebook