English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ඝෝඨාට එරෙහි අභියාචනාධිකරණ නඩුවේ තීන්දුවෙන් යළි තහවුරු වූ අධිකරණයේ ස්වාධීනත්වය. - නීතිඥ දුලාන් දසනායක


ඝෝඨාට එරෙහි අභියාචනාධිකරණ නඩුවේ තීන්දුවෙන් යළි තහවුරු වූ අධිකරණයේ ස්වාධීනත්වය. - නීතිඥ දුලාන් දසනායක

රාජ්‍යයක් ස්ථාපිත වී ඇත්තේ ප්‍රධාන අංශ තුනක් ඒකාබද්ධ වීමෙනි. ඒ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට නම් මෙම කුළුණු තුන එකකට එකක් අභිභවායාමකින් තොරව ස්වාධීනව ක්‍රියාත්මක විය යුතුය. එමෙන්ම මෙකී අංශ තුනය පුරවැසියාගේ මානව අයිතිවාසිකම්වලට ගරු කරමින් ක්‍රියාත්මක විය යුතුය. මෙම අංශ තුන අතරින් මහජනතාව විසින් මැතිවරණයකින් පත් නොකරන නියෝජිතයන්ගෙන් අධිකරණය සැදුම්ලත් වෙයි. නමුත් අධිකරණයට බලය ලැබෙන්නේ ව්‍යවස්ථාදායක බලය තුළින් බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙයි.

මෙම ආයතන තුන සංවරණ හා තුලන ක්‍රියාවලියක් මගින් ක්‍රියාත්මක වන්නේනම් එය රටේ ජනතාවට යහපත් වෙයි. නමුත් ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසුනේ එලෙස සංවරණය හා තුලන න්‍යාය තුළ ක්‍රියාත්මක වීමට වඩා විධායක ජනාධිපතිවරයාට අති සුවිශේෂී බලයක් නිර්මාණය කර දීමටය. ඇත්තවශයෙන්ම විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් යටපත් කරගෙන කටයුතු කරන ලදීග ඉහළ අධිකරණයන්ට විනිසුරන් පත් කරන්නේ විධායක ජනාධිපතිගේ තනි කැමැත්තටය. තමන්ගේ පෞද්ගලික නීතිඥයන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බවට පත්කල සුදුස්සන් සිටියදී බයිපාස් කරමින් විනිසුරුවරුන් පත් කල අතීතයක් අපට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතුරින් අගමැතිවරයා පත් කරන්නේද එලෙසය. ඇමතිවරු පත්කරන්නේද එලෙසය. පාර්ලිමේන්තුවේ 2/3 බලයක් වැනි සුවිශේෂි බලයක් ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂයට හිමි නම් තත්වය තවත් දරුණුය. ඔහුට ඕනෑ ආකාරයට පනත් සම්මත කර ගැනීමටත් එපමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තම ඕනෑ එපාකම් අනුව සංශෝධනය කර ගැනීමටත් ජනාධිපතිවරයාට හැකියාව ලැබේ. පසුගිය කාලයේ සම්මත වූ 18 වන සංශෝධනය එවැන්නකි.

මෙලෙස පැවැති තත්වය වෙනස් කරමින් වඩා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් රාජ්‍යයේ ප්‍රධෘන අංශ තුළ ඇති කලේ 19 වන සංශෝධනය මගිනිග එය මගින් යම් ආකාරයක සංවරණ තුලන ක්‍රමයක් ඇති කෙරිණි. ඇමතිවරු පත් කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් ගැනීම ජනාධීපතිවරයාට අනිවාර්ය කෙරුණි. පාර්ලිමේන්තුවේ බහුතර සහය හිමි කෙනාම අගමැති කිරීම අනිවාර්ය විය. මූලික අයිතිවාසිකම් නඩුවලටද ජනාධීපතිවරයාට තිබූ මුක්තිය ඉවත් කෙරුණි. ඉහළ අධිකරණ සඳහා විනිසුරුවන් පත් කිරීමට ජනාධීපතිට පැවැති තනි බලය ඉවත් කෙරුණි. එය ව්‍යවස්ථාදායක සභාවකට පැවරුණි. ඝෝඨාට එරෙහි අභියාචනාධීකරණ නඩුවේ තීන්දුව ලබා දෙනු ලැබුවේද එකී ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කල විනිසුරුවරුන් තිදෙනෙකි.

නඩු තීන්දුවෙන් ඉස්මතු වුනු අධිකරණයේ ස්වාධීනත්වය

රටක නීතියේ පාලනය ස්ථාපිත කිරීමට නම් විනය ගරුක රටක් හදන බවට බෙරිහන් දෙන බොරු කයිවාරු වලින් වැඩක් නැත. ඒ සඳහා අවශ්‍යම අංගය වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීමයි. අධීකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීමට අධිකාරීවාදී පාලකයන්ට නොහැකිය. එය කල හැකි වන්නේ මැදහත් පාලකයන්ටය. 19වන සංශෝධනය මගින් මෙම අධීකරණයේ ස්වාධීනත්වය ඇති කරලීම ජනාධීපතිගේ තනි කැමැත්තට විනිසුරුවරුන් පත් කිරීම නවතා දමන ලදී. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවන ලදී. අද වන විට ඉහළ අධිකරණවල විනිසුරුවරුන් බවට පත් වන්නේ මෙම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලත් පුද්ගලයන්ය. එපමණක් නොව මෙම ව්‍යවස්ථාදායක සභාවද අගවිනිසුරුවරයාගේ නිර්දේශ ලබා ගත යුතු විය.

මෙම තත්වය මත අධිකරණයට දේශපාලන ඇගිලි ගැසීම් අවම වී ඇත. එමෙන්ම කොන්ද පණ ඇතිව වැඩ කල හැකි විනිසුරුවරුන් පත් වී ඇත. අද ආණ්ඩු පක්ෂයට ප්‍රධාන විරුද්ධවාදියා වන ඝෝඨාභයගේ නඩු කටයුතු සඳහා ඔහු බොහෝ සහනයන් ඉහළ අධීකරණයන්ගෙන් ලබා ගන්නා බව පෙනේ. ගෝඨාභයගේ පුරවැසිභාවය ප්‍රශ්න කල මෙම නඩුවේද තීන්දුව ගෝඨාභයට පක්ෂපාත වී ඇත. එනම් මෙහිදී ආණ්ඩුවේ අවශ්‍යතා ඉටු කිරීමට අධීකරණය ක්‍රියා නොකරන බව පැහැදිලිව පෙනේ. අධීකරණයට වඩාත් ස්වාධීනව ආණ්ඩු බලයට නොසැලී කටයුතු කළ හැකි වාතාවරණයක් සකස් වී ඇත. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද පැවසුවේ අධීකරණය ස්වාධීන බවත් අධීකරණයෙන් අපට පිහිට ලැබෙන බවත්ය. ඔහු පමණක් නොව විමල් වීරවංශ, ජී. ඇල් පීරිස් වැන්නන්ද එය නිතර කියයි. මේ ආකාරයට යුක්තිය ඉටු කර ගත හැකි වාතාවරණයක් එදත් තිබුණේ නම් ශිරාණි බණ්ඩාරනායක මැතිනිය තාමත් මේ රටේ අගවිනිසුරුවරිය වීමට ඉඩ තිබුණි. එමෙන්ම සරත් ෆොන්සේකා හිරේ නොයන්නටත් ඉඩ තිබුණි.

මෙම තීන්දුව මගින් අධීකරණයේ ඉහත කී ස්වාධීනත්වය ඉස්මතු වීම තීන්දුවේ පරාජයට වඩා වැදගත් ජයග්‍රහණයකි. යහපාලනය උදා කරලීමට අති විශාල වැඩ කොටසක් සිදු කල මෙම නඩුව පැවරූ තේනුවර හා වියන්ගොඩ යන දෙපළටද සමස්ත සිවිල් සමාජයටද මෙයින් සතුටු විය හැක්කේ අධීකරණයේ ස්වාධීනත්වය ඉස්මතුව පෙනෙන බැවිනි.

මහාමාර්ග තැනීම, ගුවන් තොටුපොළවල් තැනීම, වරාය වල් තැනීම වැනි කාර්යයන්ට වඩා සිය දහස් ගුණයක් වටිනා කාර්යයකි අධිකරණයේ ස්වාධිනත්වය ඇති කිරීමට පියවර තැබීම. එය ඉටු වී ඇති බවට හොඳම සාක්ෂි ගණනාවක් 19වන සංශෝධනය ස්ථාපිත කිරීමෙන් පසු පසුගිය අවුරුදු කීපයක කාලය තුළ ඕනෑ තරම් ඇත.

අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ තවදුරටත් මෙම තත්වය ඉදිරියට ගෙන යනවාද පැවැති පසුගාමී තත්වයට යනවාද යන්නයි. ඝෝඨාට එරෙහිව පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශ කල පසු අධිකරණ සම්ප්‍රදාය හා ගෞරවය කෙළසමින් අධිකරණ ශාලාවේ ප්‍රීති ඝෝෂා නැගූ නිතිඥයන් පිරිසගෙන්ද ඇසිය යුත්තේ ඔබට අවශ්‍ය මෙවන් අධිකරණයක්ද නැත්නම් රාජපක්ෂ යුලයේ මෙන් අධීකරණයක්ද යන්නයි.

-දුලාන් දසනායක-




2019-10-07
Advertisement

Find us on Facebook