English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


කිරුළ අහිමි රජු - රනිල්


කිරුළ අහිමි රජු - රනිල්

මාස කිහියක සිට ඔහු ගැන යමක් ලිවීමට සිත් වුවද පසුගිය කාලය පුරාම තිබුණු දේශපාලන අස්ථාවර භාවයන් හමුවේ ඔහුගේ හැසිරීම නිරීක්ෂණය කරමින් සිටි නිසා තවත් කාලයක් ගත විය. නමුත් අවසානයේ දී 2019 ඔක්තෝම්බර් මස 03 වෙනි දින පැවති එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සම්මේලනයේ දී සිදුවූ සිදුවීම් කිහිපයක් නිසා ලිපිය අවසන් කිරීමට බල කෙරිණි. එනම් නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස 2020 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම් කිරීම සඳහා සජිත් පේ‍්‍රමදාසගේ මව හේමා පේ‍්‍රමදාස අතින් අල්ලාගෙන වේදිකාවට කැඳවාගෙන එමින් තම ගෞරවය ප‍්‍රකාශ කිරීම සහ ඉතාමත් නිරවුල් ලෙසත්, පැහැදිලි ලෙසත්, ඔහුගේ නාම යෝජනාව ප‍්‍රකාශ කිරීම සහ ඊට එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනයෙන් අනුමැතිය ගැනීම සිදු කිරීමයි.

හේමා පේ‍්‍රමදාස වේදිකාවට අතින් අල්ලාගෙන පැමිණීම ඉතාමත් සංවේදී අවස්ථාවක් වුවාට සැකයක් නැත. ඒ මොහොත ලංකා දේශපාලන ඉතිහාසයේ වඩාත් ආදර්ශමත් ම සිදුවීමක් ලෙස සැලකෙනු ඇත. තරුණ දේශපාලන නායකයන් ට ඉන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.  ඕනෑම මොහොතක තමන් විශ්වාස කරන දර්ශනය, මතවාදය සහ පක්ෂ වෙනුවෙන් කිරීමට ඇති දේ කිරීම සඳහා නොපැකිළව ඉදිරිපට පැමිණීම ඔහුගේ ස්වභාවය යි.

සජිත් ගේ සහතිකය

සජිත් පේ‍්‍රමදාස 2020 ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජාතික කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කිරීමෙන් පසුව 2019 ඔක්තෝම්බර් මස 01 වෙනි පැවති එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන්ගේ රැුස්වීමේ දී රනිල් ගැන, ”ගරු අග‍්‍රාමාත්‍යතුමා, මේ ජනාධිපතිවරණයේ දී පමණක් නොවේ. මීට ඉහතත් එතුමා කැපවීම් කර තිබෙනවා. මේ අවස්ථාවත් ඒ කැපවීම කරපු අවස්ථාවක්. විශේෂයෙන්ම එතුමා හැම මතයක්ම හොයලා බලලා, මගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයට එතුමා ම යෝජනා කිරීම, මේ එකමුතුභාවයට දැවැන්ත ශක්තියක් වුනයි කියන එක, මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරන්නට  ඕනා.” යයි පැවසුවේ ය.

බාහු ගේ සහතිකය


එමෙන්ම වාමාංශික දේශපාලනඥයෙකු වන ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න පැවසුවේ රනිල් ධනපතියෙක් වුනත්, අපේ වාමාංශික දේශපාලනික අදහස් ඔහු ලවා කි‍්‍රයාත්මක කර ගැනීම පහසු බවයි. මන්ද ඔහු බුද්ධිමතෙක් නිසා බව බාහු කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ සහතිකය

මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් ප‍්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා සමග පැය ගණන් සාකච්ඡා කිරීමේ දී චරිත ඝාතන, අසැබි වදන්, සහ කිසිඳු වැදගත් යමක් කතා නොකරන බවයි. නමුත් රනිල් වික‍්‍රමසිංහ හා සාකච්ඡාවකදී නිරන්තරයෙන් ඉතා වැදගත් කරුණු සාකච්ඡාවන් සිදුවන බවත්, අධ්‍යාපනයක් ලබන බවත් පැවසුවේය. ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ද පසුගිය කාලයේ දේශපාලනයේ දී රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රතිපත්ති කෙසේ වෙතත් යම් දැනුවත් භාවයකින් කි‍්‍රයා කරන බව පෙනී යයි.

පරිපාලන සේවයේ ජේෂ්ඨ නිලධාරීයෙක්ගේ සහතිකය

රනිල් වික‍්‍රමසිංහ අප රටේ සිටි දක්ෂතම අධ්‍යාපන ඇමතිවරයා බව සමහරුන්ගේ මතයයි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීම, අධ්‍යාපන පීඨයන් සංකල්පය හා ඒවා රට පුරා ව්‍යාප්ත කිරීම, ගුරුවරුන් පුහුණුව, ජාතික අධ්‍යාපන ආයතනය ඇති කිරීම, පරිගනකයන් විශාල විරෝධයක් මැද්දේ පාසැල් වලට හඳුන්වාදීම වැනි කි‍්‍රයා මාර්ගයන් රැුසක් ගන්නා ලද්දේ ඔහු අධ්‍යාපන ඇමතිවරයාව සිටි කාලයේදීය. ඔහු මෙසේ අධ්‍යාපන ඇමතිව සිටියදී ඔහු සමඟ සේවය කරන ලද ලංකාවේ සිටි ජේෂ්ඨතම පරිපාලන නිලධාරියෙක් පුවත්පතකට පවසා තිබුණේ ඇමති රනිල් උදයේම කාර්යාලයට පැමිණෙන බවත්, අවශ්‍ය කටයුතු සාකච්ඡුා කර, සැලසුම් සකස් කර, අදාල ලියවිලි සකස් කර, අවශ්‍ය ලියවිලි අත්සන් කර, නැවතත් වෙනත් වැඩ කටයුතු වලට යන බවයි. කිසිම දිනක තමන්ගේ ඥාතියෙක්, පක්ෂයේ හිතවතෙක්, මිතුරෙක් රැුකියාවකට ගැනීමට පවසා නොමැති බවයි. මන්ද සේවය කළ දේශපාලන නායකයන් අතරින් දක්ෂතම, අවංකම දේශපාලඥයා රනිල් වික‍්‍රමසිංහ බවයි ඔහු සඳහන් කර තිබුණේ.

නායකයන් අහිමි වන විට පක්ෂය රැක ගැනීම

හතර වතාවක් මේ රටේ අග‍්‍රාමාත්‍ය ධූරය හෙබවූ රනිල් වික‍්‍රමසිංහ දේශපාලනයේ විවිධ තනතුරු හොබවා ඇත. 1993 මැයි 01 වෙනි දින එවකට ජනාධිපති ධූරය දැරූ රණසිංහ පේ‍්‍රමදාස වෙත එල්ල වු බෝම්බ ප‍්‍රහාරයකින් ඝාතනය ලක් වු පසුව අග‍්‍රාමාත්‍ය ධූරයට කෙටි කලකට දැරුවේ ය. රටම ගිනිගත් යුගයක පක්ෂයත් රටේ ආරක්ෂාවත් වෙනුවෙන් විවිධ අපහසු තීරණයන් ගන්නා ලදි. රණසිංහ පේ‍්‍රමදාස, ගාමිණී දිසානායක, රන්ජන් විජේරත්න, ලලිත් ඇතුළත්මුදලි ඝානයන්ට ලක් වී පක්ෂයට අහිමි වන විට වැඩි අත්දැකීමක් නැතිව සිටි රනිල් පක්ෂයේ නායකත්වයට පත් විය. අඩක් මියගිය පක්ෂය නැවත ගොඩනැගීමට සිදුවිය. ඝාතන චෝදනා ලැබ සිටි විශාල පිරිසක් පක්ෂය අහුරා ගෙන සිටියෝය. දුෂිත දේශපාලඥයන් රැුසක් පක්ෂයේ ඉහළම පෙළේ සිටියෝය. මේ සියල්ල මැද රනිල් පක්ෂය බාර ගත්තේය. මේ කාලය තුළ රනිල් අපට එපාම කරපු දේශපාලඥයෙක් විය. යූ.එන්.පී. එක අරහන් විය.

සාම කි‍්‍රයාවලිය සහ වෙනස් රනිල්

රනිල් වෙනස් මිනිසෙක් ලෙස නැවතත් වේදිකාවට එන්නේ 2001 දෙසැම්බර් මස අගමැති ධූරයට පත් වීමෙන් පසුව ය. එතැන් සිට ඔහු ප‍්‍රමුඛ රජය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන සාම කි‍්‍රයාවලිය නිසා රටේ ජනතා විමුක්ති පෙරමුණ හැර සියළුම වාමාංශිකයන්ගේ, සිවිල් සංවිධානයන්ගේත්, ජාත්‍යයන්තර අවධානයටත් ඔහු ලක් වෙයි. ඔහු එම කි‍්‍රයාවලිය තුළ දී වාමාංශික අදහස් දැරූ ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් වඩා ප‍්‍රගතිශිලීව හැසුරුණු බව  ප‍්‍රකට ය. මේ නිසා බොහෝ වාමාංශික කණ්ඩායම් සකී‍්‍රයව එම සාම කි‍්‍රයාවලියට සහභාගි විය. නමුත් කුමණ්ත‍්‍රණකාරීන්ගේ කි‍්‍රයාවලියන් නිසා විශාල චරිත ඝාතතන් සහ ජාතිවාදී ව්‍යාපාරයන් නිසාත්, එල්.ටී.ටී.ඊ. සංවිධානයත් රනිල් කපටියෙක් යැයි සිතූ නිසාත් ඔහු ට නැතත් බලය අහිමි විය. එමෙන්ම රාජපක්ෂ වරුන් විසින් එල්.ටී.ටී.ඊ සංවිධානයට ලබා දුන් කප්පම් නිසා 2005 ජනාධිපතිවරණය ඉතාමත් අසන්න ප‍්‍රමාණයකින් මහින්ද රාජපක්ෂට පරාජය විය. කෙසේ වුවත් නැවතත් රටේ විශාල වෙනසක් ඇති කරමින් නැවතත් 2015 දී අගමැති ධූරයට පත් විය. රනිල් 2010 දී මේජර් ජෙනරාල් සරත් ෆෝන්සේකාට ජනාධිපතිවරණයේදී නාමයෝජනා දෙමින් ද, 2015 මෛති‍්‍රපාල සිරිසේනට නාම යෝජනා දෙමින් ද, කළ විශාල කැප කිරීම පක්ෂ නායකයෙක් වශයෙන් කළ හැකි උපරිම කැපවීමයි. අවසානයේ දී 2019 දී තම නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස වෙනුවෙන් ජනාධිපතිවරණයේ දී නාමයෝජනා දීමෙන් තුන්වෙනි වතාවටත් කැපවීමක් සිදු කර තිබේ.           

ලංකාවේ අප දන්නා දේශපාලන ඉතිහාසය තුළ වැඩියෙන්ම ගැරහුම් ලැබූ දේශපාලඥයා ඔහු ය. තමන්ගේ සියළු ආකාර ස්වභාවයන් ගැන උසුළු විසුළු වලට ලක් වූ දේශපාලඥයා ඔහු ය. ඒත් ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා සිටීමට තරම් උසස් ධර්මතාවයන් ඔහු තුළ විය. කිසිඳු ජනමාධ්‍යයකට, ජනමාධ්‍යවේදියෙක්ට, පුද්ගලයෙක්ට, ආයතනයකට පහර දීමට ඔහු ඉදිරිපත් වූයේ නැත. ඔහු වාචිකව තියුණු විවේචනයන් එල්ල කළා විනා ඒවා ලූහුබැඳ ගියේ නැත. ඊට හොඳම උදාහරණය වන්නේ 2018 අගභාගයේ දී ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් සිදුවන ලද ව්‍යවස්ථා විරෝධී කි‍්‍රයාවලියේ දී දිගින් දිගටම රනිල් ට පහර දුන්නේ ය. ඒ අවස්ථාවේදී සියල්ල ඉවසා සිටි රනිල් වික‍්‍රමසිංහ විසින් ගෞතම බුදුන් ගේ උදාහරණයක් ගෙන නිර්මාණශිලී ලෙස ජනාධිපතිවරයාට පිළිතුරු දුන්නේ ය. සිරස ඔහුට වසර ගණනාවක් තිස්සේ පහර දුන්න ද ඔහු තම අදහස් වෙනස් කිරීමට හෝ සිරස ට පෙරළා පහරදීමට හෝ ගියේ නැත. අවස්ථාවක දී ඔහු විසින් සිරසේ කි‍්‍රයාදාමය විවේචනය කළ නමුත් ඒ විවේචනය ඊට එහා ගියේ නැත.

රනිල් වික‍්‍රමසිංහ ට ද වැරදුනු තැන් ඇත. බටලන්ද සිදුවීම, මහ බැංකු වංචාව සහ තවත් අවස්ථා කිහිපයක් අපට සඳහන් කළ හැක. නමුත් ඔහු ඒ සිදුවීම් මඟහැර ගියේ නැත. සැඟවුණේ නැත. ඒවාට මුහුණ දුන්නේ ය. පරිපාලනයේ දී ඔහු අතින් සිදුවිය හැකි වැරදි සීමා සහිත ය. නමුත් බොහෝ අය චෝදනා කරන පරිදි ඔහු තමන්ගේ රෝයල් මිතුරන් පිරිසකට විවිධ වැදගත් තනතුරු ලබා දෙන බවත්, ඔහු ඊට ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන බවත් සත්‍යය. නමුත් ඒ සෑම අවස්ථාවකදීම ඔහු බොහෝ වෘත්තීයවේදීන් ඊට සම්බන්ධ කරගෙන ඇත. සමහර අවස්ථාවන් වලදී ඔහුට එය වැරදී ඇත. සමහර අවස්ථාවන් වලදී එය ජයගෙන ඇත. නමුත් බොහෝ විට ජනමාධ්‍ය හා විරුද්ධවාදීන් ගේ ඔහුට වැරදුනු අවස්ථාවන් ය.

2018 කුමණ්ත‍්‍රණය ජය ගැනීම

2018 ඔක්තෝම්බර් මස 26 වෙනි දින රාති‍්‍රය එළඹෙන මොහොතේ රටටත් රාති‍්‍රය උදා කරමින්, ව්‍යවස්ථා විරෝධී කුමණ්ත‍්‍රණයක් දියත් කරමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් ව්‍යවස්ථානුකූල අගමැතිවරයා නීත්‍යානුකූල නොවන ආකාරයට ඉවත් කරමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව 2015 දී ජනාධිපති ධූරයෙන් ධූරයෙන් ඉවත් කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නීත්‍යානුකූල නොවන අගමැති වරයෙක් වශයෙන් පත් කරන ලදි. මේ සිදුවීම වන විට අගමැති රනිල් වික‍්‍රමසිංහ සිටියේ ගාල්ල ප‍්‍රදේශයේ සංචාරයක නියැලෙමින් ය. වහාම ඔහු අරලිය ගහ මන්දීරයට පැමිණෙියේය.

සිදුවීම් රැසක් හමුවේ එක්සත් ජාතික පෙරමුණු මන්තී‍්‍රවරු රැසක් ද, එක්සත් ජාතික පක්ෂයේ සමාජික සමාජිකාවන් ද අරලිය ගහ මන්දීරයට පැමිණියෝය. මුලදී රනිල් වික‍්‍රමසිංහ විසින් යම් කිසි පසු බැසීමක සිටියත්, පසුව සියළු දෙනාගේම සහයෝගය තමන්ට තිබෙන බව දැනගත් පසුව සෘජුව සිටියේය. එහෙත් සිවිල් සමාජය නියෝජනය කරමින් එහි කාර්යයන් සඳහා දිවා ? නොබලා වෙහෙසෙනු පිරිසට සජිත් පේ‍්‍රමදාසත්, රවි කරුණානායකත් එහි නොමැති බව විශේෂයෙන් කැපී පෙනෙන්නක් විය. එහි දී පිරිස අතර සාකච්ඡුා වූයේ මේ වන විටත් සජිත් පේ‍්‍රමදාස මෛති‍්‍රපාල සිරිසේනත් සමඟම අගමැති ධුරය සඳහා සාකච්ඡා කරමින්, වරින් වර ඔහු හමුවීම සඳහා ඔහුගේ නිල නිවසට යන බවයි. ඒ අතර තමන් සමග මන්තී‍්‍රවරුන් 20 දෙනෙක් සිටින බව පවසමින් රවී කරුණානායක ද මෛති‍්‍රපාල සිරිසේන සමග හෝ වෙනත් බලවත් විපක්ෂ මන්තී‍්‍රවරයෙකු සමග සාකච්ඡා පවත්වමින් සිටින බවට රාවයක් පැතිර ගියේය. තමන්ගේ දේශපාලන පක්ෂයේ ප‍්‍රබලම දේශපාලන ගමන් සගයන් දෙදෙනක්ගේ සහය නොමැතිව ඔහු සටනට, අසලම සිටි පිරිස සමග සටන් වැදීම ආරම්භ කළේය.

විවිධ අර්බුදයන් මැද කාලය ගෙවී ගිය අතර, සිදුවූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාදාමයට එරෙහිව විශාල ජනතාවක් පෙළ ගැසෙමින් සිටියෝය. ඒ සියල්ල මැද රනිල් වික‍්‍රමසිංහ වටා එක් රොක් වූ එක්සත් ජාතික පක්ෂයට ආදරය කළ ඇමතිවරුන්, සියළු මට්ටමේ මන්තී‍්‍රවරුන්, ජේෂ්ඨ සමාජික සමාජිකාවන්, පාක්ෂිකයන් මෙන්ම එක්සත් ජාතික පෙරමුණට අයත් නායක නායකකරාදීන් ද ඔහු සමග රොද බැඳ ගත්හ. ඔවුන් හමුවේ විශාල අභියෝගයක් තිබුණි.

අභියෝගයන් හමුවේ මුහුකුරා ගිය නායකත්වය

ක‍්‍රමයෙන් තමන්ගේ ආත්ම ශක්තියත්, ආත්ම විශ්වාසයත් දිනාගත් රනිල් වික‍්‍රමසිංහ විශාල ජනතාවකගේ විශ්වාසයත් දිනා ගැනීමට සමත්විය. එමෙන්ම ඔහු තමන්ගේ ඒ අසීරු කාලයේ දී කිසිඳු පීඩනයක් නොපෙන්වා, ඉතා බුද්ධිමත්වත්, ජාත්‍යයන්තර දේශපාලනයේ සිටින පරිනතම දේශපාලඥයෙක් තමන්ගේ ඉතා තියුණු දේශපාලන හැසිරීම් පෙන්වමින් අරගලයට නායකත්වය දුන්නේය. පුද්ගලයෙක් වශයෙන් ඔහුට ආවේනික වූ ලක්ෂණ තිබේ. ඉතා වැදගත් කරුණු රැසක් ඔහුගේ කතාවන් වල තිබුණුු ද, ඒවා චතුර ලෙස ඉදිරිපත් කිරීමටත්, ජනතාවට ආකර්ශණය වන ලෙස දේශපාලන පරිසරයේ හැසිරීමටත්, ඔහු දක්ෂතාවයක් නොදක්වයි. ළමුන් වඩා ගැනීම්, වයසක පුද්ගලයන් හා කතා බහ කිරීම්, පන්සල් සංචාරයන් හා අපේ හාමුදුරුවනේ කියමින් ඇන්ඳවීම් ඔහු දක්ෂතාවයක් නොදක්වයි.  

ජනතාවට ආකර්ශණය වන අයුරින් වෙනත් පුද්ගලයන් අපහාසයට, උපහාසයට පත් කරමින් ඉදිරිපත් කරන දෙපැත්ත කැපෙන, ආත්ම ගෞරවයට හානි කර කරුණු දේශපාලන වේදිකාවන් හී ඉදිරිපත් නොකරයි. එමෙන්ම බොරු, ආත්ම වර්ණනාවන් ඉදිරිපත් නොකරයි. තමන්ට අවේනික රටාවකින් අදහස් ඉදිරිපත් කරන ඔහු කිසිවිට තමන් නොදන්නා කරුණු අතිශෝක්තියකින් ඉදිරිපත් නොකරයි. ඒ තුළින් දේශපාලන වාසි ලබා නොගනියි.

දැයට ඉතිරි කළ දේ


රනිල් වඩාත් සේවයක් කර ඇත්තේ අධ්‍යාපන සේවය යි. ඔහු ගුරුවරුන් බිහි කිරීමට විද්‍යා පීඨ ඇති කළේය. පාසැල් වලට විශාල විරෝධතා මැද පරිගනක හඳුන්වාදුන්නේය. විශ්ව විද්‍යාල කිහිපයත් බිහි කළේය. සාම කි‍්‍රයාවලියට නායකත්වය දුන්නේ ය. ලේ වැගිරීමකින් තොරව ජනවාර්ගිය අර්බුදය නිම කිරීමට විශාල උත්සාහයක් දැරුවේය. 19 වෙනි සංශෝධනය හා වෙනත් ප‍්‍රගතිශිලී යෝජනා රැසකටම නායකත්වය දුන්නේය. විකල්ප සිවිල් ව්‍යාපාරයන් විසින් හඳුන්වාදුන් නව අදහස් වලට ඇහුම්කන් දුන්නේ ය. ඒවා කි‍්‍රයාත්මක කිරීමට කි‍්‍රයාත්මක වූවේය. වර්තමානය වනවිටත් රට පුරා විශාල සංවර්ධන ව්‍යාපෘතින් කි‍්‍රයාත්මක කරවයි.

ඉදිරි ඡන්දයෙන් පසුව රනිල්ගේ මෙහෙවර අවසන් වනු ඇත. එහෙත් ඔහු කිරුළ දැරිය යුතු වුවත් කිරුළ අහිමි රජෙක් ලෙස ඉතිහාසය විසින් සඳහන් කරනු ඇත. එමෙන්ම රටට විසින් බිහි කරන ලද බුද්ධිමත් ම නායකයෙකු ලෙස තම දේශපාලන ජීවිතය අවසන් කරනු ඇත. අදට වඩා ඔහු නොමැති දින ඔහු ගේ අගය පක්ෂයටත්, රටටත් දැනෙනු ඇත.

සුදේශ් ද සිල්වා  





2019-10-06
Advertisement

Find us on Facebook