English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සිවිල් සමාජය විසින් හමුදා නිලධාරියෙකු ඉදිරිපත් කිරීම කොහෙත්ම සුදුසු නෑ! - රුකී ප්‍රනාන්දු


සිවිල් සමාජය විසින් හමුදා නිලධාරියෙකු ඉදිරිපත් කිරීම කොහෙත්ම සුදුසු නෑ! - රුකී ප්‍රනාන්දු

ප්‍රජාත්‍රන්තවාදී සමාජයක, ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියාත්මක වන දේශපාලන ව්‍යහුයක් තුල දිර්ඝ කාලයක් හමුදාවේ සේවය කරපු නායකයෙක් ජනාධිපතිවරයා වීම සුදුසු නැති බව මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මහතා පවසයි.

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉදිරිපත් වීම පිලිබඳ සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසුවේය.

ඉදිරියේදි පවත්වන ජනාධිපතිවරණයට දේශපාලන පක්ෂ වලිනුත් සිවිල් ව්‍යාපාර වලිනුත්  අපේක්ෂකයෝ ඉදිරිපත් කිරිමට පටන් ගෙන තිබෙනවා. ඒ වගේම අපේක්ෂකයෝ කිහිප දෙනෙකුත් මේ වනවිට පත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේත් වෙනත් රටවල් වලත් සිද්ධ වෙන්නේ සාම්ප්‍රදායික, ඓතිහාසික වශයෙන් ක්‍රියාත්මක වෙච්ච දේශපාලන පක්ෂ වලින් තමයි දේශපාලන අපේක්ෂකයෝ පත් කරන්නේ. මෙච්චර කලක් ලංකාවේ ජනාධිපතිවරු පත් වෙලා තියෙන්නෙත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ අනුග්‍රහයෙන් ආපු අපේක්ෂකයෙක් විතරයි. ඊට පිටින් ආපු කෙනෙකුට ජනාධිපතිවරයෙකු වන්නට අවස්ථාවක් ලැබිලා නැහැ. ඒත් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදි වෙනත් කණ්ඩායම් වලිනුත් අපේක්ෂකයින් නම් කරන්න පටන් අරන් තියෙනවා. මේ එක අපේක්ෂකයෙකු වන්නේ හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහත්තයා. මෙහිදි මතුවන ප්‍රධාන කාරණාව තමයි හිටපු හමුදාපතිවරයෙක් ජනාධිපතිවරයෙක් වීමට සුදුසුද කියන එක. මෙය ඒ පුද්ගලයාට පමණක් අදාල දෙයක් නොවේ. පොදුවේ එය මුලධර්මයක් සහ ප්‍රතිපත්තිමය අදහසකි. ප්‍රජාතන්ත්‍රවාදයේ විශේෂ සලකුණක් තමා විසංවාදයට ඉඩක් ලැබීම. විවාදයට ඉඩක් ලැබීම. හමුදාව යනු ඒ දෙකම නැති තැනකි. ප්‍රධානියාගේ අණ ප්‍රශ්න කිරිමකින් තොරව ක්‍රියාත්මක වන සම්ප්‍රදායක් ඕනෑම හමුදාවක තියෙන්නේ.හමුදාවේ ස්භාවය එයය. දශක ගණනාවක් හමුදාවේ සේවය කරලා, හමුදාවේ ප්‍රධානියා වශයෙනුත් කටයුතු කරපු කෙනෙක් එකපාරටම වෙනස් වෙයි කියලා හිතන්න අපට අමාරුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක රාමුවක් තුල නායකයෙක් වීම අමාරු වෙනවා හමුදාවේ සේවය කළ අයෙකුට.

ලංකාවේ සන්දර්භය තුල යුද හමුදාවට විවිධ අවස්ථා වලදි විවිධ චෝදනා එල්ල වෙලා තියෙනවා බරපතල අපරාධ සම්බන්ධයෙන්. නිත්‍යානුකූල නොවන ඝාතනය කීරීම් හා අතුරුදහන් කරවීම්. අපි දකිනවා දකුණේ, බස්නාහිර ආදි පළාත් තුල භීෂණය කාලයේ 1987-1988-1989 කාලයේ බරපතල චෝදනා යුද හමුදාවට එල්ල වෙලා තියෙනවා. ඒ වගේම යුද්ධය ආශ්‍රිත උතුරු-නැගෙනහිර  පළාත් වල සිද්ධ වු අපරාධ සම්බන්ධයෙනුත් චෝදනා එල්ල වෙලා තියෙනවා. යුද්ධයෙන් පසුවත් වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ අවස්ථාවේදිත් රතුපස්වලදි වෙච්ච ඝාතන සම්බන්ධයෙනුත් යුද හමුදාවට චෝදනා එල්ල වෙලා තියෙනවා. මේ චෝදනා සම්බන්ධයෙන් ආයතනයක් විදිහට යුද හමුදාවට  ඒ නිලධාරින් සම්බන්ධයෙන් වග වීම කියන දේ ඉෂ්ඨ වෙලා නෑ. ඒ හිටපු උසස් නිලධාරින් යම් යම් සාධනීය ප්‍රකාශන කරලා තිබුණත් ඒ වගවීම කියන එක නිසි ලෙස වෙලා නැහැ.

විශේෂයෙන්ම අපි දැක්කා මහේෂ් සේනානායක මහත්තයා හමුදාපති වෙලා ඉන්න කාලයේ පවා හමුදාවට චෝදනා එල්ල වුනා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ අධිකරණයෙන්. ඔවුන් ඒ පරික්ෂණ ක්‍රියාවලියට සහ අධිකරණ ක්‍රියාවලියට සහයෝගය දක්වන්නේ නැහැ කියලා. ඒකට හොඳම උකාහරණය තමයි අතුරුදහන් වු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරලා තියෙන නියෝග. මේ වගේ සන්දර්භයක් තුල ලංකාව වගේ රටක හිටපු හමුදා නිලධාරියෙක් සිවිල් ව්‍යාපාරයක අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරිම හුඟක් භයානක දෙයක්. එය සුදුසු නැති දෙයක් ලෙස මම දකිනවා.

සිවිල් ව්‍යාපාර වලින් විකල්ප  අපෙක්ෂකයන් ඉදිරිපත් කිරිම සුබදායක දෙයක් ලෙස මම හිතනවා.ඒක අපි තවදුරටත් කරන්න උත්සහ කළ යුතු දෙයක්. සිවිල් ව්‍යාපාර වලට දේශපාලයෙන් තොරව සම්පුර්ණයෙන්ම ඉවත් වෙලා ඉන්න අවස්ථාවක් නැහැ කිසිම රටක. අපේ ජන ජිවිතයට, මානව හිමිකම් වලට, ප්‍රජාතන්ත්‍රවාදයට කෙලින්ම සම්බන්ධ දෙයක් දේශපාලනය. නමුත් සිවිල් ව්‍යාපාර වලින් අපේක්ෂකයෙක් නම් කරද්දි හමුදා නිලධාරියෙකු ඉදිරිපත් කිරිම කොහෙත්ම සුදුසු වන්නේ නැත.

-ශානිකා-





2019-10-02
Advertisement

Find us on Facebook