English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලංකාව ජිනීවා මානව හිමිකම් කමිටුව ඉදිරියේ

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සලකා බැලූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ‘වධහිංසාවෙන් නිදහස’ ඇතුළු සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද සාක්ෂි පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත මණ්ඩලයෙන් ප්‍රශ්න කළ බව ජිනීවා නගරයෙන් වාර්තා වෙයි.


අද බදාදා පැවැත්වුන සැසි වාරයේ දී කරුණු දැක් වූ ‘වධහිංසාවෙන් නිදහස’සංවිධානයේ වෛද්‍ය මණ්ඩලයේ ප්‍රධානී දොස්තර ජුලියට් කොහෙන් කියා සිටියේ, සිදු කෙරෙමින් පවතින වධහිංසා ගැන ඉදිරිපත්ව ඇති ප්‍රබල සාක්ෂි සම්බන්ධයෙන් මානව හිමිකම් කමිටුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාව විසින් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලබන බවයි.

මානව හිමිකම් මණ්ඩලයේ සභාපති ශ්‍රීමත් නයිගල් රොඩ්ලි අදහස් දක්වමින්, ශ්‍රී ලංකාව තුළ 2011වසර තුළ වධහිංසා සිදු කිරීම් දිගටම සිදු කෙරුණ බව වධහිංසාවන්ට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට දක්නට ලැබුණ බවයි සඳහන් කළේ.
සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්

මෙය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ 112 සැසි වාරයයි.

අද නිම වුණේ එම සැසි වාරයේ ශ්‍රී ලංකාව පිළිබඳ පස්වැනි වටය වූ බවයි, ජිනීවා නගරයේ සිටින මානව හිමිකම් ක්‍රියාධර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය බීබීසී සන්දේශයට කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ මෙම මානව හිමිකම් කමිටුව සලකා බලන්නේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය ඒ ඒ රටවල් විසින් ක්‍රියාවට නංවනු ලබන්නේ කෙසේද යන්න බවත් සුනන්ද දේශප්‍රිය පවසයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වලට අදාළ ප්‍රශ්න පිළිබඳව දීර්ඝ වශයෙන් කමිටුව ඉදිරියේ සාකච්ඡා කෙරුණ අතර ආණ්ඩුවේ නියෝජිතයන් රට තුළ එවැනි ප්‍රශ්න නොමැති බව පැහැදිලි කරනු ලැබීමට දීර්ඝ කාලයක් ගත් නමුත් එක්සත් ජාතීන්ගේ කමිටු සාමාජිකයන් ශ්‍රී ලංකාවේ තත්වය ගැන ගැඹුරින් හදාරා තිබුණ ආකාරයක් දක්නට ලැබුණ බවයි සුනන්ද දේශප්‍රිය පවසන්නේ.

පැය හතළිස් අටක්



මෙතෙක් පිළිතුරු නොදුන් ප්‍රශ්න වලට පිළිතුරු දීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට පැය හතළිස් අටක කාලයක් ලැබෙන බව සඳහන් කරන සුනන්ද දේශප්‍රිය, ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරෙන කමිටු නිර්දේශ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා ආණ්ඩුව බැඳී සිටින බවත් සඳහන් කරයි.

එම පියවර නොගත්තොත් තවත් අවුරුදු පහකට පසුව මෙම එක්සත් ජාතීන්ගේ කමිටුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට සිදු වන්නේ තවත් බරපතළ චෝදනා පත්‍රයකට පිළිතුරු දීමට වන බවත් ඔහු පෙන්වා දෙයි.

උපුටා ගැනීම - බීබීසි සංදේශය
-MMP



2014-10-08
Advertisement

Find us on Facebook