English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂාකර ගැනීමේ වගකීම!




ප්‍රජාතාන්ත්‍රික අයිතීන් ආරක්ෂාකර ගැනීමේ වගකීම!

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් වී සිටීම සුවිශේෂී තත්වයකි. ඒ අතරින් රාජපක්ෂ රෙජිමය ඉදිරිපත් කරන අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කරලියට පැමිණියද ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳව පැන නැගී ඇති කසුකුසුව තවමත් නිම වී නොමැත. එසේම ඔහුව ජනපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට රාජපක්ෂ පවුල තුළ ආරවුලක් ඇති වී තිබෙන බවට ද කනින් කොනින් වාර්තා වේ. කෙසේ වුවද ගෝඨභය රාජපක්ෂ කඳවුර මේ අවස්ථාවේ ප්‍රබල ලෙස මතු කර දක්වන්නේ රටේ ආරක්ෂාව කඩා වැටී විනය පිරිහී ඇති බවයි. ඒ නිසා තමන් බලයට පත්වී ආරක්ෂාව හා විනය ශක්තිමත් කර සංවර්ධන වැඩ පිළිවෙල ඉදිරිය පවත්වාගෙන යන බව ඔහු පවසයි.
 
අනෙක් අතට හංසයා ලකුණින් තරග කිරීමට බලාපොරොත්තුවන එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තම පියාණන් 80 දශකයේ ගෙන ගිය උදා ගම්මාන වැඩ සටහන යළිත් ඒ අයුරින්ම ක්‍රියාවට නංවමින් රට වටා නිවාස ඉදිකරමින්, චෛත්‍ය හා වෙහෙර විහාර ගොඩනංවමින්, පොඩි මිනිහා ශක්තිමත් කරන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කරන බව පවසයි.

නමුත් 2015 දී ජනාධිපතිවරණ සටනේ මුලික හරයන් වූ ඒකාධිපති ව්‍යවස්ථාව අහොසිකර නව ව්‍යවස්ථාවක් ගොඩනැගීම, නීතියේ ආධිපත්‍ය තහවුරැ කිරීම, රාජ්‍ය සේවය ස්වාධීන හා කර්යක්ෂම කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ, ජාතික සමගිය ගොඩනැගීම සදහා සංහිදියා යන්ත්‍රණය ගොඩනැගීම ඇතුලු යහපාලන මූලධර්මයන් පිළිබදව මෙම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ඒතරම් අවබෝධයකින් කටයුතු කරන බවක් නොපෙනේ.

මෙවන් තත්වයක් යටතේ සිවිල් සමාජය 2015 දී ජනතාව වෙත අත්කර දුන් ඒ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් තව දුරටත් ආරක්ෂා කරමින් ඒවා ඉදිරියට ගෙන යාම මේ වන විට අවිනිශ්චිත සහ අභියෝගාත්මක තත්වයක පවතින බව කිව යුතුය.  දිනා ගත් ප්‍රජාතාන්ත්‍රික නිදහස ඇතුළු මහජන හිත සුව පිණිස සිදු කළ රාජ්‍ය යාන්ත්‍රණ ප්‍රතිසංස්කරණ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ඒවා තවදුරටත් ආරක්ෂාකර දීමේ වගකීම නැවතත් සිවිල් සමාජය වෙතම පැවරී තිබේ. 


හිරෝෂන් ලක්ෂාන්





2019-10-01
Advertisement

Find us on Facebook