English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


අනවශ්‍ය මරණ වැළැක්වීමේ ප‍්‍රතිපත්තියක් අපට තිබේද.? - බැසිල් ප‍්‍රනාන්දු



අනවශ්‍ය මරණ වැළැක්වීමේ ප‍්‍රතිපත්තියක් අපට තිබේද.? - බැසිල් ප‍්‍රනාන්දු

දැනට රට පුරා සාකච්ඡාවට භාජනය වන එක් ගැටලූවක් නම් සුළු ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා 170 ක් පමණ කාන්තාවන් සියදිවි හානි කර ගෙන ඇති බවය. සුළු ණය ලබා ගැනීම කරා පෙළඹෙන්නේ රටේ දුප්පත්ම කොටස් අතරින්ය. එසේ සුළු ණය සංවිධානාත්මකව ගෙවීමේ ප‍්‍රතිපත්තිය පසුපස පැවතියේද මෙම දුගී කණ්ඩායම් වලට ස්වයං රැකියාවක් කර ගැනීමට මාර්ගය සැලසීම තුළින් ඔවුන් වැටී සිටින්නා වූ ආර්ථික අගාධයෙන් ගොඩ ගැනීමටය. එහෙත් එම සුළු ණය ප‍්‍රතිපත්තිය දැන් යොදා ගෙන ඇති  ආකාරය අනුව සිදුවන්නේ කබලේ සිට ලිපට වැටීමකි.
 
ත‍්‍රස්තවාදී බෝම්බ ප‍්‍රහාරයකට මුහුන දී 250 නොවැඩි ප‍්‍රමාණයකට ජීවිත හානි සිදු වූයේ මෙම අවුරුද්දේ අපේ‍්‍රල් 21 වැනි ඉරිදාය. පාස්කු ඉරිදා ඝාතන පිළිබඳව බලන විට ඉතා පැහැදිළිව පිළිගත යුතු කරුණක් ඇත්තේ රාජ්‍යයට ජන ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ ප‍්‍රතිපත්තියක් නොපැවති බවය. ආරක්ෂක සංවිධාන මෙහෙයවීම හා අධීක්ෂණය කිරීම භාරව සිටි ඉහළම පෙළේ රාජ්‍ය නායකයින් ඔවුන්ට එවැනි යුතුකමක් තිබුණාය කියා පිළිගැනීමක්වත් කර නැත. ඉහළ පෙළේ රහස් පොලිස් හා වෙනත් නිළධාරීන්ද ඔවුන් මත ජන ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම පවරා තිබුණාය යන්න පිළිගෙන නැත. මේ හැර විවිධාකාර වෙනත් මාර්ග වලින් නිරන්තරයෙන් විවිධාකර මිනීමැරුම් සිදුවීමද නැවත නැවත වාර්තා වේ. දැනට මාස ගණනකට පෙර වාර්තා වූයේ පොලිස් නිළධාරීන් කණ්ඩායමක් ඔවුන්ගේ සේවා වසමේ සිටි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන ඉන්පසු ඔවුන් මරා දමා සිරුරු කැබලි කොට වළලා දැමීමේ සිද්ධියකි. මේ හා සමානව සිදුවන ඝාතන උදාහරණ වශයෙන් කුඩු ජාවාරම වැනි ජාවාරම් සම්බන්ධයෙන් සිදුවන ඝාතනද අසීමිතය.

රාජ්‍ය ආයතන වල නොසැලකිල්ල නිසා සිදුවන මරණ ද විශාල වශයෙන් පවතී. විශේෂයෙන්ම වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම නිසා සිදුවන අනවශ්‍ය ජීවිත හානිය සෑම ප‍්‍රදේශයකින්ම වර්තා වේ. එක්කෝ රෝහල් වල බෙහෙත් නැත. ඒවා පිටින් මිල දී ගැනීමට ඉල්ලා සිටීම ඉටු කර ගැනීමට අවශ්‍ය මිල මුදල් නොමැති ජනතාවගේ ප‍්‍රමාණය අතිවිශාලය. මේ අනුව ඔවුන් එක්කෝ ලාභයට වෙදකමක් කර ගැනීමට කරන උත්සාහය නිසා වෛද්‍ය ප‍්‍රතිකාරයට වඩා කිසියම් අධිභෞතික බලයන් ඇතැයි කියන අය පසුපස යමින් ඒ මගින් රෝග සුව කර ගැනීමට කරන උත්සාහයෙන්ද පෙනී යන්නේ තමන්ගේ ජීවිතයට පවතින හානිය සාධාරණව වළක්වා ගැනීමට ඇති හැකියාවක් නොමැති බව පිළිබඳව ජනමනස තුළ ඇති වී ඇති විශාල වෙනසකි.

මේ හැර රටේ ජලමාර්ග සියල්ලක්ම පාහේ විවිධාකර කෘෂිකාර්මික හෝ වෙනත් කෘමි නාෂක බෙහෙත් පාවිචිචිය හේතු කොට ගෙන වකුගඩු රෝග හා ඒ ආකාර බරපතල රෝග පැතිරී යාමද විශාල වශයෙන් සිදු වේ. ලංකාවේ සමහර පළාත් වල ජනගහණයෙන් වැඩි කොටසක් වතුර සමඟ ඇති විෂ වර්ග නිසා ඇති වන වකුගඩු රෝග පැතිර යාම පිළිබඳ සාකච්ඡාව පටන් ගෙන දැන් බොහෝ කාලයක් වන නමුත් මේ පිළිබඳව සැලකිය යුතු සාධනීය වෙනසක් සිදු වී නොමැත.

වේතන වැඩි නොවන නමුත් බඩු මිල විශාල වශයෙන් ඉහළ යාම නිසා පවුල් වල වියදම දරා ගැනීමට බැරි වීමෙන් ඇති වන ලෙඩ රෝග හා මානසික තත්ත්වයන්ද රටපුරා විශාල වශයෙන් පවතී. වරක් වීරවරුන් වශයෙන් සලකනු ලැබූ සොල්දාදුවන්ගේ විශ‍්‍රාම වැටුප පවා අඩු කිරීමට හෝ නැති කිරීමට ගන්නා උත්සාහයට විරුද්ධව බරපතල විරෝධතාවයක් ප‍්‍රකාශයට පත් වූයේ නොබෝදාය.
 
මේ සියල්ල හා මීට සමාන තවත් සිදුවීම් මගින් පැහැදිළිව ප‍්‍රකාශයට පත් වන්නේ ජීවිත ආරක්ෂා කිරීම පිළිබඳ වගකීම රජයන් විසින් පැහැර හැර ඇති බවය. මෙහි රජයන් යනුවෙන් අදහස් කරන්නේ පවතින ආණ්ඩුව පමනක් නොව මෙතෙක් කාලයක් පැවති ආණ්ඩු සියල්ලම ගැනය. ජීවිත ආරක්ෂා කිරීමේ ප‍්‍රතිපත්තියක් ප‍්‍රබලව ප‍්‍රකාශයට පත් කිරීමට කිසිම ආණ්ඩුවකට වුවමනාකමක් පැවතියේ නැතිවා පමනක් නොව එය එසේ කිරීමට බැරි වීම වරදක් ලෙස සැලකීම පවා ලංකාවේ සිදු වන්නේ නැත.

දැන් මැතිවරණ පිළිබඳව සාකච්ඡුාව රටපුරා පැතිර යද්දී මතුවන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් නම් විවිධ පක්ෂ වල ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන තුළ ජන ජීවිතය ආරක්ෂා කිරීම පිළිබඳ ප‍්‍රතිපත්තිය කුමන ආකාරයකින් ප‍්‍රකාශයට පත් වී තිබේද යන්න පිළිබඳවය. ණයබරින් සියදිවි හානි කර ගන්නා තත්වයට පත් වී ඇති දුගීන් එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා විවිධ පක්ෂ වලින් කරනු ලබන යෝජනා මොනවාද ? එම ප‍්‍රශ්නය සැලකිල්ලට ගත යුතු තරම් ප‍්‍රශ්නයක් නොවන බව ප‍්‍රකාශ වන ආකාරයෙන් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන සකස් වී තිබේ නම් එම ප‍්‍රතිපත්ති රටේ පවතින තත්ත්වයට කොපමන ප‍්‍රමාණයකින් ගැලපේද ? පාස්කු ඉරිදා වැනි ප‍්‍රහාර වළක්වා ගැනීමටත් ඒ මගින් ජන ජීවිත විනාශ වීම වළක්වා ගැනීමටත් විවිධ පක්ෂ වලින් කරනු ලබන යෝජනා මොනවාද ? තවද රටේ පවතින ආරක්ෂන යන්ත‍්‍රණය ශක්තිමත් කර ඊට අදාළ පුහුණුව හා විනය ගොඩනැගීම සඳහා පවතින ප‍්‍රතිපත්ති මොනවාද ? රටේ ජල මාර්ග කෘෂිනාශක හා හා විෂ වර්ග වලින් ආරක්ෂා කර ගැනීම සඳහා කුමන වර්ගයේ ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශයට පත් වී තිබේද ? රටේ ණය බර වැඩිවන ආකාරයෙන් ජීවන වියදම වැඩි කිරීමට නිරන්තරයෙන්ම විවිධාකාර බදු ජනතාව මත පැටවීම වළක්වා ගැනීම සඳහා පවතින ප‍්‍රතිපත්ති මොනවාද ? විශ‍්‍රාම වැටුප් හා වෙනත් සේවා වරප‍්‍රසාද නැති කිරීමට ගන්නා උත්සාහය නතර කිරීම සඳහා කුමන වර්ගයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් ඉදිරිපත් වී තිබේද?

ජීවිතය  ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රතිපත්ති මාලාවක් වෙනුවට රටේ ණය  හා පොළී ගෙවමින් රටේ සියලූම ධනය ජනතාවට නොව පිටරට සංවිධාන වලට ගෙවීමේ ප‍්‍රතිපත්තිය ජනජීවිතයට විශාල වශයෙන් බලපවත්වන සාධකයක්ව පවතිද්දී එම සාධකය නැති කර දැමීමට හෝ අඩු කර දැමීමට කුමන වර්ගයක ප‍්‍රතිපත්ති පවතින්නේද ?

රජයේ දේපල පුද්ගලික දේපල බවට හරවා ගැනීමට කරන උත්සාහය තුළින් ජනතාවගේ ජීවිත වල ප‍්‍රශ්න විසඳීමට ඇති සම්පත් ඔවුන්ගෙන් අහිමි කොට පුද්ගලික ආයතන වලට පවරා දීම මගින් රටේ ආර්ථිකය විනාශ වන ආකාරයට හා ජීවිත ආරක්ෂාව සඳහා ඇති බැදුම් නැති කිරීමට ගන්නා උත්සාහය වළක්වාලීම ස`දහා ප‍්‍රතිපත්තියක්වත් සකස් කර ගැනීමට නොහැකි වන තරමට ලංකාවේ දේශපාලන ක‍්‍රමය දුප්පත් වී පවතින්නේද ?

ජීවිත ආරක්ෂාව සමාජ සංවිධානයක පවතින ප‍්‍රධානම වුවමනාව වේ. ලංකාව සංවිධානාත්මක සමාජයක් වශයෙන් මෙම මූලිකම වුවමනාවට උරදීම සඳහා පොළඹවා ගැනීම කෙරෙහි සිවිල් සංවිධාන හා වෙනත් වෘත්තීය සමිති හා එවැනි ජන සංවිධාන වලින් කිසියම් උත්සාහයක් ගෙන තිබේද ? මේ සියල්ල ජනතාවගේ ජීවිතය හා අනාගතය කෙරෙහි බලපාන හා අනාගත පරපුරක ජීවිත සමඟ සෙල්ලම් කිරීමක් පවතින නිසාම මේ පිළිබඳව මහජන සාකච්චාවක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍යව පවතී.


බැසිල් ප‍්‍රනාන්දු




2019-10-01
Advertisement

Find us on Facebook