English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපති අපේක්ෂක නව නළු කැල සහ 2015 දීර්ඝ සෙවණැල්ල - රාජන් පිලිප්ස්


ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීම සඳහා ගත් පියවර තුඩුදුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ පොරොන්දුව විකාර අවසානයකින් කෙළවර කිරීමටයි. ඊළඟ ජනාධිපතිවරණය සඳහා දින පවා නියම කිරීමෙන් අනතුරුව මෙසේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යාම, ඔවුන් දෙන්නාගේම පක්ෂ සගයන්ගේ ඇනුම්බැනුම්වලට ඔවුන්ව ලක්කිරීමට හේතු විය. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔවුන් දෙන්නා ගත් මෙම ප්‍රයත්නය, 2015 දී දුන් පොරොන්දුවක් ඉෂ්ට කිරීමට යාමක් නොව, එකිනෙකාට වෙනස් වූ තම තමන්ගේ අභිමතාර්ථ සාධනය සඳහා අවසාන මොහොතේ ආතක්පාතක් නැති වීම නිසා ගත් පියවරකි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් එන සතියේදී සජිත් ප්‍රේමදාසව නම් කිරීමට සිදුවීම, මේ සිද්ධියේ අවසාන ප්‍රතිඵලය වීමට බොහෝ විට ඉඩ තිබේ. එය, එක පැත්තකින් රනිල් වික්‍රමසිංහව ඉවරයක් කර දැමීමේ සිරිසේනගේ දීර්ඝ කාලීන අපේක්ෂාව වක්‍රාකාරයෙන් ඉෂ්ට වීමක් මෙන්ම, අනිත් පැත්තෙන්, ශ්‍රී ලංකාවේ ජනාධිපති වීමට වික්‍රමසිංහ තුළ තිබූ ඉලක්කය සුනුවිසුනු වීමක්ද වන්නේය. තවද, තමාට එරෙහිව පාර්ලිමේන්තුව තුළ ගෙන ආ විශ්වාසභංගයන්ට නිර්දය ආකාරයෙන් මුහුණදෙමින් එයින් ගොඩ ආ වික්‍රමසිංහ, දැන් ලබන සතිය මැද භාගය වන විට, පක්ෂය තුළ මේ තාක් කාලයක් තමන් දැරූ අධිකාරය අතහැර දැමීමේ අවසානයකට ළඟා වෙමින් සිටිනවාද විය හැකිය. ජුලියස් සීසර්ට ද්‍රෝහී වුණේ එක බෲටස් කෙනෙකි. එවැනි දුසිමක් පමණ දෙනා දැන් රනිල් වික්‍රමසිංහව කීතු කරමින් සිටිති. මේ අතර, මාක් ඇන්ටනි කෙනෙකු වශයෙන් රවි කරුණානායකව හඳුනාගන්නා කිසිවෙකුද නැත.

ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස අතර ඇති වීමට නියමිත සටන ගැන මීට සති කිහිපයකට කලින් මම ලීවෙමි. ඒ සටනේ ස්වභාවය ගැන පමණක් නොව, එම අපේක්ෂකයන්ගේ සහ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරවල පවතින සීමාවන් ගැනද වන තවත් කරුණු ගත වූ සති කිහිපය තුළ සැපයී තිබේ. ගෝඨාභයගේ අනුගාමිකයන් සහ පණ්ඩිතයන් කිහිප දෙනෙකු අපේක්ෂා කළ ආකාරයේ මහා ජන රැල්ලක් ඔහු සම්බන්ධයෙන් ඇති වූ බවක් පෙනෙන්ට නැත. මේ දක්වා වන ඔහුගේ ප්‍රචාරක ව්‍යාපාර මාදිලිය සමාන වන්නේ, දේශපාලනික කුතුහලයකට වඩා, සන්නාලීය ඒකාකාරීත්වයට සිතැති වහල් ප්‍රේක්ෂාගාරයක පිහිටුවා ඇති වේදිකාවක් මධ්‍යයේ තබා තිබෙන හුදෙකලා ධර්මාසනයක, කලින් සකස් කරගත් කතාවක්, ලාලසාවකින් හෝ පරිකල්පනයකින් හෝ තොරව ඒකාකාරීව දෙසාබාන දේශකයෙකුට ය. එය, විධිමත් රාජ්‍ය නායකයෙකුගේ කතාවකට ඔබින්නක් මිස, දේශපාලන වාදවිවාද තුළ තෙම්පරාදු වන ලාලසාත්මක පරිසරයක ගැවසෙන ජනාධිපති අපේක්ෂකයෙකුගේ භාවිතයට ගැලපෙන්නක් නොවේ. සාර්ථක නායකයෝ ජනතාව සහ රාජ්‍යය අතර අනුප්‍රාණයෙන් යුතුව මැදිහත් වන්නෝය. දේශපාලනික සන්නිවේදනය, කලින් පිළියෙල කරගත් කතාවක් මුදා හැරීමට වඩා වෙනස් කලාවකි.

රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක මාදිලිය මැතිවරණ වාරය මෝරද්දී මීට වඩා වෙනස් වීමට ඉඩ තිබේ. එහෙත් මේ දක්වා දක්නට ඇති ඔහුගේ ශෛලිය කියාපාන්නේ ජනාධිපතිවරණයක සාටෝපයට ඔහු ආගන්තුක බවකි. ජනාධිපති අපේක්ෂකයෙකු වීමට එය නුසුදුසුකමක් බව මා අදහස් කරනවා නොවේ. ඔහුගේ නුසුදුසුකම් බොහොමයක් ගැන වෙනත් වාර්තාගත කරුණු අනන්තවත් තිබේ. එහෙත්, සිවිල් වැසියන් සමග උරෙනුර ගැටීමේ පුරුද්දක් නැති කම මහා දේශපාලනික රැල්ලක් ඇති කිරීමට බාධාවකි. ඒ අතින් ගත් විට, 1994 දී චන්ද්‍රිකා කුමාරතුංගගේ වසඟයේ ප්‍රහාරය කැපී පෙනේ. මහින්ද රාජපක්ෂත් එවැනි කුසලතා පිරි නායකයෙකි. අනිත් අතට, 2014/2015 කාලයේ මෛත්‍රීපාල සිරිසේන ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයට ගොඩවූ ආකාරයත්, ජනාධිපති වශයෙන් තේරී පත්වීමෙන් වසරක් ගිය පසු විනාශකාරීව ඒ ආකර්ශනය හැකිලී ගිය ආකාරයත් කාට නම් අමතක කළ හැකිද?

මොවුන්ගේ ඡන්ද ව්‍යාපාර සහ අනතුරුව පැමිණි ජනාධිපති භූමිකා පිළිබඳ අත්දැකීම්වලින් උගත යුතු එක් පාඩමක් තිබේ. එනම්, ඡන්ද ව්‍යාපාරයක් සාර්ථකව ගෙන යාම එකක් බවත්, රටක් පාලනය කිරීම වෙනත් එකක් බවත් ය. කෙසේ වෙතත්, කෙනෙකු දක්ෂ ප්‍රචාරකයෙකු නොවන්නේ නම් ඡන්දයක් ජයගත නොහැකි බවත් අප පිළිගත යුතුය. මේ වන විට, ස්වයං-නාශක හරාකිරි සෙල්ලමක නිරතව සිටින්නේ එක්සත් ජාතික පක්ෂය වුවත්, රාජපක්ෂ කඳවුරද මල් යහනාවක් නොවේ. ගන්නා ලද තීරණයක් වෙනස් කිරීමට දැන් ප්‍රමාද වැඩි විය හැකිය. එසේ වෙතත්, දේශපාලනික ප්‍රචාරකයෙකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ තුළ ඇති සීමාවන් මහින්ද රාජපක්ෂගේ හිතට කවදත් වදයක් වූ බවට සැකයක් නැත.

රාජපක්ෂ රැල්ලක් මේ වන විට ගොඩනැගී නොතිබීමට එකම හේතුව මෙකී ප්‍රචාරක ව්‍යාපාරයේ ආකස්මිකතාව තුළ ඇති දුබලතාව පමණක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ යනු, නඩු ගණනාවක් කරේ තියාගෙන ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම අපේක්ෂකයා ය. ඔහුගේ පස්සෙන් ඔහු වෙනුවෙන් මරාගෙන මැරෙන පිරිසක් සිටින්නා සේම, ඒ හා සමානම වූ මරාගෙන මැරෙන එදිරිවාදීන් පිරිසක්ද ඔහුට සිටිත්. එසේම, ‘ගෝඨා නැතුව වෙන ඕනේ කෙනෙක්’ මාදිලියේ අභියෝගයක් සහිතව ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන පළමුවැන්නාද ඔහු ය. ඔහුට එරෙහිව ඇති නඩු ප්‍රමාණයත්, ‘ගෝඨා නැතුව වෙන ඕනෙ කෙනෙක්’ නමැති ප්‍රහාරයත්, 2015 දක්වා පැවති රාජපක්ෂ පාලනයෙන් සහ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයෙන් ඔහු දායාද කරගෙන සිටින සදාසොත්ති උරුමයන් ය.

විද්‍යාත්මක 2015

එසේ තිබියදී, 2015 න් පසුව ලෝකය වෙනස් වී ඇති බව ගිය සතියේ මාධ්‍ය අමතා සජිත් ප්‍රේමදාස කියා සිටීම අපූරු ය. එය සැබවින්ම ඇත්තක්ද? ලෝකය වෙනස් වී ඇති බව නම් ඇත්ත. එහෙත් ලංකාව නොවේ. 2015 දී බාරගත් කර්තව්‍යයන්ගේ බරෙන් සහ නිම නොකළ තවත් රාශියක් කර්තව්‍යයන්ගේ බරෙන් ලංකාවේ දේශපාලනය නිදහස්ව නැත. ඉහත කී අවස්ථාවේදී 2015 මගහැර යාමට සජිත් ප්‍රේමදාස තැත් කළ අවස්ථාවේම, තවත් ලොසින්ජරයක්ද ඔහු සූප්පු කෙළේය. එනම්, ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය ගැන රටේ ජනතාව සිතන්නේ කුමක්ද යන්න පිළිබඳව කරන ලද කිසි ‘විද්‍යාත්මක සමීක්ෂණයක්’ තමන්ට මෙතෙක් හමු වී නැති බවයි. ඔහු මේ කියන්නේ, 2015 දී මෛත්‍රීපාල සිරිසේන ලබාගත් ඡන්ද මිලියන 6.2 අවිද්‍යාත්මක බවද? 2015 පොදු අපේක්ෂකයාගේ ප්‍රතිඥාවන්ට සහ එදා එක්සත් ජාතික පක්ෂයේ කිසිවකට තමාගේම වන පුද්ගල සම්මාදමක් නොතිබුණු බව ප්‍රේමදාස මහතා කියන්නේ නම් ඒ කතාවේ යම් සාධාරණ බවක් තිබේ. දැන් මරණාසන්නව සිටින ආණ්ඩුව තුළ ඔහුගේ කැපී පෙනෙන කීර්තියකට තිබෙන්නේ, මෛත්‍රීපාල සිරිසේන තමාගේම කැබිනට්ටුවට සහ ආණ්ඩුවට ප්‍රසිද්ධියේ ද්‍රෝහී වූ අවස්ථාවේ ඔහු පිළිබඳ මොළොක් සිතකින් සිටි එකම එක්සත් ජාතික පක්ෂ නායකයා තමා බව ඔහු විසින් පෙන්නුම් කර සිටීම පමණි.

එහෙත් සජිත් ප්‍රේමදාසගේ වර්තමාන ප්‍රමුඛතමයන්, විශේෂයෙන් මංගල සමරවීර වැන්නන් 2015 පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කැරැවීම සඳහා දරදිය ඇද්ද 79 ක් පමණ වන සිවිල් සමාජ සංවිධානවලට පිළිතුරු දිය යුතු ප්‍රශ්න බොහොමයක් තිබේ. ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වීමේ සෑම අයිතියක්ම සජිත් ප්‍රේමදාසට තිබෙන බව ඇත්ත. ඔහුට අද සහාය පළ කරන එම පක්ෂයේ සෑම දෙනාටමත්, සිය පක්ෂයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ රනිල් වික්‍රමසිංහ අභ්‍යාස කරන යකඩ හස්තය බිඳ දැමීමේ අයිතියත් තිබේ. එහෙත්, රනිල් වික්‍රමසිංහගෙන් නිදහස් වීමට හෝ සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට හෝ 2015 දී තමන් පෙනී සිටි ප්‍රතිපත්තිමය ධර්මතාවන් ඔවුන් කුණුකූඩයට දැමිය යුතුද? ඒ දෙකම හෝ එයින් එකක් හෝ 2015 ප්‍රතිඥාවන්ට ද්‍රෝහී නොවී සාක්ෂාත් කර ගැනීමට ඔවුන්ට නොහැක්කේ ඇයි?

මෙහිදී ඉතිහාසය පරණ විදිහටම නැවත කැරකීගෙන එන බවක් පෙනෙන්ට තිබීම කාගේත් හිත් පාරවනසුළු ය. මංගල සමරවීර එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක අතහැර 2005 දී මහින්ද රාජපක්ෂ සමග එකතු වීමේදී ඔවුන්ද (එනම් මහින්ද සහ මංගලද) කෙළේ එතෙක් චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ තමන් උරදුන් ව්‍යවස්ථාවට අදාළ සහ ජාතික සංහිඳියාවට අදාළ ප්‍රතිපත්ති පැත්තකින් තැබීමයි. පසුව මහින්දගේ ආණ්ඩුවෙන් කැඩුණු මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂයට එක් විය. එය, මංගලගේ පැත්තෙන් ගත් විට කොතෙක් දුරට ප්‍රතිපත්තිමය කාරණයක් මත සිදු වූවක්ද, කොතෙක් දුරට තමා අපේක්ෂා කළ අගමැති ධුරය මහින්දගෙන් නොලැබී යාම හේතුකොටගෙන සිදුවූවක්ද යන්න අපි නොදනිමු.

දැන් නැවතත්, ජනාධිපති සජිත් ප්‍රේමදාස කෙනෙකු යටතේ මංගල සමරවීර අගමැතිකමට ඇස ගසාගෙන සිටින බවට කතාවක් තිබේ. කෙනෙකු තමන්ගේ ආශාවක් පසුපස්සේ පැන්නීමේ වරදක් නැත. විශේෂයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු එසේ කිරීමේ කිසි වරදක් නැත. එහෙත්, එසේ ස්වකීය ආශාවක් පස්සේ පැන්නීම, 2015 දී තමන් ගත් ස්ථාවරයන් අතහැර දැමීමට හේතුවක් කරගත යුත්තේ ඇයි? ඉදිරි දින කිහිපයේදී පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා, මේ කාරණා අරභයා වන සජිත් ප්‍රේමදාසගේ ස්ථාවරයේ වටින්ගොඩින් වෙනසක් සිදුවීමට ඉඩ තිබේ. එහෙත් එවැනි ප්‍රගතිගාමී ආස්ථානයක් වටින්ගොඩින් නොගොස් කෙලින්ම ගත නොහැකි වුණේ ඇයි? උදාහරණයක් වශයෙන්, ‘විද්‍යාත්මක සමීක්ෂණ’ සහ ‘2015 පසු පසු ලෝකය ඉදිරියට ගොස්’ ඇති බවට පුහු කතා නොකියා, ගිය සතියේම එවැනි ස්ථාවරයක් ඔහුට ප්‍රකාශයට පත්කළ නොහැකි වුණේ ඇයි?

ඔවුන් කැමති වුණත් නැතත්, ගෝඨාභය රාජපක්ෂටවත් සජිත් ප්‍රේමදාසටවත් 2015 සෙවනැල්ලෙන් ගැලවිය නොහැක. ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ගත් විට, 2015 දී මතු වූ ප්‍රශ්න ඔහු හැකි තාක් දැන් අමතක කිරීමට බලනු ඇත. මන්ද යත්, 2015 දී මහින්දව පරාජය කෙරුණේ ඒ ප්‍රශ්න නිසා වන බැවිනි. 2015 විනිශ්චය ආපසු හැරවීමට නම්, දකුණේ අති විශාල ජන රැල්ලක් ඔහු වෙනුවෙන් ඇති විය යුතුය. එවැන්නක් දැනට නම් පේන තෙක් මානයක නැත. සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ගත් විට, 2015 දී මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කිරීමට පෙරමුණ ගත් සන්ධානයෙන් විශාල පදාසයක්වත් තමන් වෙත දිනා නොගෙන, ඉදිරි ජයග්‍රහණයක් ගැන ඔහුට සිතාගැනීමේ පුළුවන් කමක් නැත. 2015 ජයග්‍රහණය කළ එකී සන්ධානය දැනටමත් විසිරී ගොසිනි. එසේම, 2019 දී (පළාත් පාලන මැතිවරණයේදී) මෛත්‍රීපාල සිරිසේන ලබාගත් ඡන්ද ප්‍රමාණය, දැනට විසිරී සිටින 2015 සන්ධානයේ අඩුව පිරවීමට තමාට කොහෙත්ම ප්‍රමාණවත් නොවන බවත් සජිත් ප්‍රේමදාස අමතක නොකළ යුතුය.

තුන්වැනි අපේක්ෂකයා

ගෝඨාභයට සේම සජිත්ටත්, ඔවුනොවුන්ගේ පක්ෂවලින් අපේක්ෂකත්වය ලබාදීමට පෙරමුණ ගත් බලවේගවලට, ජනාධිපතිවරණයකදීත් ඒ ආකාරයෙන්ම ඒ අපේක්ෂකයන් සඳහා ඡන්ද දිනා දීමට සමත් වේද යන්න සහතික නැත. ගෝඨාභය රාජපක්ෂටත්, සජිත් ප්‍රේමදාසටත් ඔවුන්ගේ පක්ෂ තුළ බලපෑම් ඇති කොට අපේක්ෂකත්වය ලබා දීමට කටයුතු කෙළේ ව්‍යපාරික ආයතන කිහිපයක සහ මාධ්‍ය ආයතන කිහිපයක මුදල් බලය බව රහසක් නොවේ. එවැනි තත්වයක් තුළ තුන්වැනි ශක්තිමත් අපේක්ෂකයෙකු නොමැති වී නම් මේ දෙදෙනා අතර තරගය සරල එකක් වීමට තිබුණි. එහෙත් ශක්තිමත් ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂකයෙකු වශයෙන් අනුර කුමාර දිසානායක තරගයට පැමිණීම නිසා, මොවුන් දෙන්නා අතර තරගය වඩාත් සංකීර්ණ වනු ඇත.

රටේ මාධ්‍ය ආවරණය තුළ එක්සත් ජාතික පක්ෂයේ හරා-කිරි අවුල අද මුල් තැනට පත්ව තිබීම නිසා ජනතා විමුක්ති පෙරමුණට මේ අවස්ථාවේ ලැබිය යුතු අවධානය මගහැරී යයි. කෙසේ වෙතත්, ගෝඨාභය හෝ සජිත් සම්බන්ධයෙන් මෙන්, මාධ්‍ය මුදල් අනුග්‍රහය ජනතා විමුක්ති පෙරමුණට හෝ අනුර කුමාර දිසානායකට ලැබෙන්නේ නැත. එය, ජනතා විමුක්ති පෙරමුණට වෙස්වළා ගත් ආශීර්වාදයක්ද විය හැකිය. මන්ද යත්, ඔවුන්ගේ අපේක්ෂකත්වය ජනතා-ප්‍රමුඛ එකක් මිස මුදල්-ප්‍රමුඛ එකක් නොවන බැවිනි. එසේම, ගෝඨාභය හෝ සජිත්ට වඩා අනුර කුමාර දිසානායක වඩාත් දක්ෂ සහ ජනතාව අතරේ අනුප්‍රාණය ඇති කැරැවිය හැකි නායකයෙකි. එසේම, ජ.වි.පෙ/ජා.ජ.බ. ව්‍යාපාරය යනු පැරණි ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාව හෝ පැරණි අනුගාමිකත්වය හෝ නොවේ. වෘත්තිකයන් සහ විද්වතුන් අතරේ පමණක් නොව, ව්‍යාපාරික පංතිය අතරේ පවා අද ජ.විපෙ. අත්කරගෙන තිබෙන සහාය, කැපී පෙනෙන අලුත් වර්ධනයකි. ඔවුන් පෙනී සිටින්නේද පොදු අභිවෘද්ධිය පිළිබඳ අරමුණකිනි. ඔවුන්, ගෝඨාභය රාජපක්ෂ වටා අද පෙලගැසී සිටින, පැවති රාජපක්ෂ රෙජිමය යටතේ වරදාන ලද වෘත්තිකයන් සහ විද්වතුන්ගෙන් වෙනස් ය.

ගෝඨාභයගේ ආධාරකරුවන්ට අවශ්‍ය කරන්නේ පැරණි ක්‍රමය යළි ස්ථාපිත කොට, දූෂණය සහ ඥාති සංග්‍රහය කරලියට ගැනීමටයි. අනිත් අතට, ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන්ට අවශ්‍ය කරන්නේ ක්‍රමයේ වෙනසකි. දූෂණයෙන් තොර ආණ්ඩුවක් සහ පරිපාලනයකි. 2015 දී මෛත්‍රීපාල වටා රැස්වුණු සිවිල් සංවිධාන 79 න් 30 ක් අද අනුර කුමාර දිසානායකට සහාය දක්වයි. ඒ තත්වය තුළ සජිත් ප්‍රේමදාස 2015 උරුමයට පයින් ගැසුවොත් එම උරුමයේ පූර්ණ හිමිකාරීත්වය පැවරෙනු ඇත්තේ අනුර කුමාර දිසානායකට ය. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය දුර්වල වුණොත් සහ ජේ.වී.පී/ජා.ජ.බ ව්‍යාපාරය තර වුණොත්, රාජපක්ෂ විරෝධී ඡන්ද තමන් වෙත ආකර්ශනය කර ගැනීම සඳහා මේ තරගකාරීන් අතරේ වන තරගය වෙනස් තලයකට සේන්දු විය හැකිය. ජේ.වී.පී./ජා.ජ.බ. ව්‍යාපාරය දැනටමත් සුළුජාතික ආකර්ශනය දිනා ගැනීමට පේවී සිටී. ඒ ව්‍යාපාරය සඳහා වන ඕනෑම වර්ධනයක්, සුළු ජාතික ප්‍රජාව අතරේ පමණක් නොව, එක්සත් ජාතික පක්ෂය කෙරෙහි දැනට කලකිරී සිටින එක්සත් ජාතික පාක්ෂිකයන් අතරේද ආකර්ශනයකට තුඩුදෙනු ඇත.

රනිල් වික්‍රමසිංහ වැලැක්වීමට බලන්නේ ඒ අවදානමයි. එය වැලැක්වීම සඳහා සිටින සුදුසුම අපේක්ෂකයා තමන් බව ඔහු සිතයි. ඔහු නැතොත්, ඊළඟට ඔහු සිතන්නේ කරූ ජයසූරිය ගැන මිස සජිත් ප්‍රේමදාස ගැන නොවේ. එහෙත් රනිල් වික්‍රමසිංහ කිසිවක් නොකර අනවශ්‍ය ලෙස දීර්ඝ කාලයක් කාලය කාදැම්මේය. දැන්, ඔහු ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබෙන්නේ, පෙරහැර ගිය පසුව ය. කෙසේ වෙතත්, මේ වන විට සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් තෝරා පත්කර ගැනීමට නියමිතව ඇති තත්වයන් යටතේ, රනිල් වික්‍රමසිංහ සැක කළ අවදානම, එනම් එක්සත් ජාතික පක්ෂ පදනම නායයාම වැලැක්වීම, සජිත් ප්‍රේමදාසගේ වගකීමක් බවට පත්වෙයි. ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඇති අභියෝගය වන්නේ, 2015 දී රාජපක්ෂ කඳවුර සමග සිටි කොටස්වලට අමතරව ස්වකීය ආධාරකාර පාර්ශ්වය තව තවත් වැඩි දියුණු කර ගැනීමයි. අනුර කුමාර දිසානායක ඉදිරියේ ඇති අභියෝගය වන්නේ, ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්විය හැකි බලවේගයක් බව මේ ජනාධිපතිවරණයේදී පෙන්නුම් කිරීමයි. ඊළඟ සති කිහිපය තුළ මේ කරුණු වඩාත් ඉස්මත්තට විත්, අනාගත ගමන් මග ගන්නා දිසාව පෙන්නුම් කරනු ඇත.

රාජන් පිලිප්ස්

*2019 සැප්තැම්බර් 21 වැනි දා ‘‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ A New Cast Of Presidential Candidates & The Long Shadow Of 2015 නමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා




2019-09-26
Advertisement

Find us on Facebook