English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සාම සාධක මෙහෙයුම් අහිමිවීමෙන් ආර්ථිකයට දැඩි බලපෑමක්, ජනපති හා දේශප්‍රේමින් කෝ?


සාම සාධක මෙහෙයුම් අහිමිවීමෙන් ආර්ථිකයට දැඩි බලපෑමක්, ජනපති හා දේශප්‍රේමින් කෝ?

ශ්‍රී ලංකාවට ඉතා විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද ජාත්‍යන්තර පිළිගැනීමක් හා ගෞරවයක්ද ලබා දුන් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා සහභාගී කර ගැනීම අත්හිටුවීමට  එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව තීරණය කල බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් මහතා ජාත්‍යන්තර ප්‍රවෘත්ති සේවා වෙත නිවේදනය කර ඇත.

රටක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පමණක් නොව මේ සඳහා සහභාගී වූ හමුදා සෙබලුන්ගේ පෞද්ගලික ආර්ථිකයටද මේ මගින් ඉතා විශාල පිටුබලයක් සැපයීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම හදිසි හා දැඩි තීරණයට හේතු වී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධූරයට පත් කිරීමය. මෙම පත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම එක්සත් ජතීනගේ මානව හිමිකම් කවුන්සිලයද දැඩි විරෝධය දක්වා තිබුණි. මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැච්ලට් නිවේදනයක් නිකුත් කරමින් දැඩි ලෙස කියා සිටියේ විශාල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් හා වෙනත් සංවිධාන විසින් ලේඛණගත කර තිබෙන ඔහුට එරෙහි චෝදනා බරපතළ හා එමෙන්ම විශ්වසනීය බවයි.

මෙහෙයුම් සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා හමුදාවල සහභාගීත්වය අත්‍යවශ්‍ය නොවන්නේ නම් මින් ඉදිරියට අලුතෙන් ශ්‍රී ලංකා හමුදා එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට සම්බන්ධ කර නොගන්නා බව ෆර්හාන් හක් මහතා ප්‍රකාහ කර ඇත. ඒ අනුව දැනට සිටින ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් හා සෙබළු නැවත ශ්‍රී ලංකාවට පිටත් කර යවන බවත් ලබන මාසයේදී සිදුවන ගිවිසුම් අලුත් කිරීම මේ තීරණය නිසා සිදු නොවන බවත් ෆර්හාන් හක් මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම පත් කිරීම ජනාධිපතිවරයා සිදු කලේ වීරයෙක් ලෙසිනි. ඔහු ඒ ගැන මහා දේශනද ලබා ‍දෙනු දක්නට ලැබුණි. රටේ මහා දේශප්‍රේමීන් යැයි කියා ගන්නා පිරිස්ද මෙම තීරණයෙන් උදම් විය. මෙම තත්වයෙන් පාඩුව සිදු වන්නේ අද දේශපාලනිකව අනාථ වී සිටින ජනාධිපතිවරයාටවත් ව්‍යාජ දේශප්‍රේමීන්ටවත් නොව රටේ ආර්ථිකයට හා මෙම සාම සාධක මෙහෙයුම් සදහා දැනටමත් සම්බන්ධ වී සිටින හමුදා සෙබළුන්ට හා සම්බන්ධ වීමට බලාපොරොත්තු දල්වා ගෙන සිටි අති විශාල හමුදා සෙබළු පිරිසකටය.

අති විශාල හමුදා සෙබළුන් පිරිසක් මෙම සාම සාධක හමුදාවලට සම්බන්ධ වී තමන්ගේ ආර්ථික දියුණුව සකසා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියහ. අද ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වී තිබේ. ජනාධිපතිවරයා ඔවුන්ට දෙන පිළිතුර කුමක්දැයි අප බලා සිටිමු. තමන්ගේ දේශපාලන ස්ථාවරබාවය ඇති කර ගැනීම සඳහා තමන් බලයට පත් වූ ජනවරමටද පිටුපාමින් සිංහල ජාතිවාදී රාජපක්ෂ කදවුරේ ස්ථාවර වීම වෙනුවෙන් ජනාධීපතිවරයා විසින් කරන ලද තවත් එක් මුග්ධ ක්‍රියාවක් ලෙස මෙම හමුදාපතිවරයා පත් කිරීම හැදින්විය හැක. මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ දේශප්‍රේමය ව්‍යාජ ලෙස කරපින්නා ගෙන එන අවස්ථාවාදීන් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානත්, එමෙන්ම අසල්වැසි රටවල් හා ලෝක බලවතුන් සමග බුද්ධියෙන් ගනුදෙනු කල හැකි සබුද්ධික නායකයෙක්ය.


-දුලාන් දසනායක-

dulandasanayaka@gmail.com




2019-09-26
Advertisement

Find us on Facebook