English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


සාධාරණය සොයා වසර 2 ½ පුරා අත්වාරුවෙන් කොළඹට එන දිනුෂ


සාධාරණය සොයා වසර 2 ½ පුරා අත්වාරුවෙන් කොළඹට එන දිනුෂ

අසත්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පොලිස් නිලධාරීන්  විසින් පහර දීමේ සිද්ධියක් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර වසර දෙක හමාරක් ගත වුවත් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති පුද්ගලයෙකු අයිතිය වෙබ් අඩවිය වෙත වාර්තා විය.

ඇහැළියගොඩ, නාකන්දල පදිංචි දිනුෂ ලක්මාල් තිලකරත්නට සිය දකුණු පාදය අහිමිව ගියේ හදිසි රිය අනතුරකට ලක් වීම නිසාය. ඉන්පසු ඔහු කෘත්‍රිම පාදයක් භාවිතා කළේය. වෘත්තිය ලෙස ඔහු සිදු කළේ පිත්තල සුර සෑදීමේ කර්මාන්තයය.

2017 ජුලි මස 29 වෙනිදා රාත්‍රියේ දිනුෂ ලක්මාල්ගේ නිවසේ අය හා අල්ලපු නිවසේ පදිංචි අය සමඟ බහිනබස් වීමක් ඇති විය. පසුව එය අවසන් වීමෙන් අනතුරුව දිනුෂ ලක්මාල් නිවසේ ඉදිරිපස ඉඳගෙන සිටියදි රාත්‍රි 9.45 ට පමණ එක්වරම ඇහැළියගොඩ පොලිසියේ උප පොලිස් පරික්ෂක අතපත්තු නම් නිලධාරියා නිවසේ මල් වැටකින් රිංගා විත් ඔහුගේ අත තිබු විදුලි පන්දමකින් පහර දී තිබේ. එහිදි දිනුෂ ලක්මාල් බිම ඇද වැටී ඇති අතර තවත් පැමිණි පොලිස් නිලධාරින් දෙදෙනෙක් විසින් පහර දී අත් මාංචු දමා තාරපාරට ඇදගෙන ගොස් තිබේ. ඇදගෙන යන අවස්ථාවේදිද උප පොලිස් පරික්ෂකවරයා හර දීම නිසා දිනුෂ ලක්මාල්ගේ දකුණු පයේ පැලඳි කෘත්‍රිම පාදය කැඩී ගියේය.

පොලිස් ජීප් රියට ඇද දමා ගත් දිනුෂ ලක්මාල්ව ඇහැළියගොඩ රෝහල් පරිශ්‍රයට රැගෙන ගොස් එහි සිටි අල්ලපු නිවසේ දියණියන් දෙදෙනාවද ජීප් රියට නංවාගෙන පොලිසිය වෙත ගොස් තිබේ.

බහිනබස් වීම පිලිබඳ අල්ලපු නිවසේ සිටි අය  ඇහැළියගොඩ පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බව මෙහිදි දිනුෂ ලක්මාල්ට වැටහුණි.

නමුත් පොලිසියට ඔවුන් පැමිණිලි කර තිබුණේ අල්ලපු නිවෙස් හිමියාට යකඩ පොල්ලකින් පහර දී දියණියගේ රන් මාලය කඩා ගත් බවය.

මෙය අසත්‍ය චෝදනාවක් බව දිනුෂ ලක්මාල් පොලීසියට පවසන්නට උත්සහ කළද ඔහුට ඊට අවස්ථාවක් හිමි වුයේ නැත. ඒ වනවිටත් දිනූෂගේ මුඛයෙන් හා ශරිරයේ තිබු තුවාල වලින් රුධිරය ගලාගෙන යමින් තිබුණද ඊට ප්‍රතිකාරයක් ලබා දීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන නොතිබුණි.

පසු දින දිනුෂ ලක්මාල්ගේ බිරිඳ වු මිහිරි නිසංසලා ඔහුව බැලීමට ඇහැළියගොඩ පොලිස් ස්ථානයට ගිය විට දිනුෂ ඇයට පවසා ඇත්තේ මේ පහරදීම පිලිබඳ රත්නපුර සහකාර පොලිස් අධිකාරිවරයාට දන්වන ලෙසය. මෙය කණ වැකුණු ඇහැළියගොඩ පොලිස් නිලධාරින් මිහිරි නිසංසලා පොලිස් භාරයට ගනු ලැබුයේ දිනූෂ ලක්මාල් කඩා ගත් රන්දම්වැල ඇයට දී ඇති බව පවසමිනි.

ජුලි 30 වෙනි දින දහවල් 2.00 ට පමණ දිනුෂ හා මිහිරිව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්තුමිය හමුවට ඉදිරිපත් කර ඇති අතර එම අවස්ථාවේදි දිනුෂ සිය නීතිඥවරයා මාර්ගයෙන් තමන්ට කළ පහර දීම දැනුම් දි ඇත. එහිදි මහේස්ත්‍රාත්වරිය පොලීසියට බැන වැදී ඇප මත දිනුෂ හා මිහිරිව නිදහස් කර තිබේ.

ඇප ලැබීමෙන් පසු දිනුෂ ලක්මාල් අවිස්සාවේල්ල රෝහල වෙත ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන 2017 ජුලි 31 වෙනි දින රෝහලෙන් බැහැරව ගොස් ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වෛද්‍ය වාර්තාවක්ද සමඟිනි.

දිනූෂ ලක්මාල් 2017 අගෝස්තු මස 02 වෙනි දින මේ පිලිබඳ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කර සිටියේ පැමිණිලි අංක 2450/17 යටතේය. ඒ තමන්ට සිදු වූ අසාධාරණයට සාධාරණයක් බලාපොරොත්තුවෙනි.

එකී පැමිණිල්ලට අනුව 2017 නොවැම්බර් මස 16 වෙනි දින දිනුෂ ලක්මාල්ව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා ඇත්තේ වැඩිදුරටත් මේ පිලිබඳ සාකච්ඡා කිරිමටය. එහිදී ඔහුට පහරදුන් ආකාරය පිලිබඳ සම්පුර්ණ වාර්තාවක් ඊළඟ දිනයේදී ඉදිරිපත් කරන ලෙස දන්වා තිබේ.

ඒ අනුව 2018 පෙබරවාරි 01 දින දිනුෂ ලක්මාල් හා උප පොලිස් පරික්ෂක  අතපත්තු කැඳවා දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

නැවත වරක් 2018 ජුලි 26 වෙනි දින දිනුෂ ලක්මාල් හා ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හා උප පොලිස් පරික්ෂක අතපත්තු කැඳවා ප්‍රශ්න කර තිබේ. මෙහිදී දිනූෂ ලක්මාල්වට පහර දුන් බව ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ ඔහුගේ තුවාල කලින් තිබු ඒවා බවය. මෙහිදී මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත්තේ චුදිතයෙකු වුවත් තුවාල තිබුණා නම් ප්‍රතිකාර ලබා දිය යුතු බවත් මෙයින් පෙනී යන්නේ පොලිස් නිලධාරින් විසින් එය පැහැර හැර ඇති බවත්ය.

එකී දිනයෙන් පසු නැවත මානව හිමිකම් කොමිසමෙන් දිනූෂට ලියුම් පැමිණියේ නැත. ඔහු දිගින් දිගටම බලා සිට පසුව මීට මාස කිහිපයකට පෙරදි මානව හිමිකම් කොමිසම වෙත ගොස් ඒ පිලිබඳ විමසා ඇත.

ඒ අනුව නැවත වරක් ඉකුත් සැප්තැම්බර් 02 වෙනි දින මානව හිමිකම් කොමිසමේ පෙනී සිටින ලෙසට ඔහුට ලිපියක් ලැබී ඇත.

මේ ආකාරයෙන් ඔහු වසර දෙක හමාරක් පුරා ඇහැළියගොඩ සිට කොළඹට තනි වාරුවකින් පැමිණෙන්නේ සාධාරණත්වයක් බලාපොරොත්තුවෙනි. නමුත් දිනෙන් දිනම එම සාධාරණත්වය ඔහුගෙන් ඈතට යන බව ඔහු අයිතිය හා පවසා සිටියේ දුක්මුසුවය.

-මාධවී-




2019-09-26
Advertisement

Find us on Facebook