English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ටෙලිවිෂන් හා රේඩියෝ විකාශන බලපත්‍ර ලබා දී ඇත්තේ කාටද?
IMS panel discussion on media ownership

මේ වන විට විද්‍යුත් චුම්බක සංඛ්‍යාත පරාසයේ අලුත් රේඩියෝ චැනල සඳහා අවකාශය නැති බව ද, ශ්‍රී ලංකාවේ ගූගල් බැලුන් ව්‍යාපෘතිය හිරවීමට ද මෙම සංඛ්‍යාත පරාසයේ ගැටලු බලපෑ බව ද හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සූරිය පවසයි. ඔහු විසින් කොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු හා තවත් තොරතුරු පදනම් කරගෙන කරන ලද අධ්‍යයනයක් ඇසුරෙන් නීතිඥ ජගත් ලියනආරච්චි විසින් කරන ලද අධ්‍යයනයක කරුණු සැප්තැම්බර් 24දා කොළඹදී පැවැත්වුණ සාකච්ඡා සභාවකදී අවධානයට ලක් විය.

ඇමති අවසරය මත පෞද්ගලික අංශයට රේඩියෝ විකාශ කළ හැකි බව 1966 අංක 37 ගුවන් විදුලි සංස්ථා පනතේ 44 වගන්තියේ දැක්වෙන බව ද, ඇමතිවරයා බලපත්‍ර නිකුත් කරන ආකාරය, වැඩසටහන් අධීක්ෂණය , හිමිකාරිත්වය, ගාස්තු ආදිය ගැන නියෝග ගැසට් කළ යුතු වන මුත්, මේ දක්වා ම එය සිදු කර නැති බව ද ජගත් ලියනආරච්චි පෙන්වා දුන්නේ ය.

“දැන් ගුවන් විදුලි බලපත්‍ර 25ක් නිකුත් කර තිබෙනවා. ඒවා ඉතා අවිධිමත්. 22ක් ම තාවකාලික පදනම මත නිකුත් කර ඇත. තුනක ඒවා වලංගු කාලය ගැන සඳහනක් නැහැ.’

1982 අංක 6 දරණ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යටතේ ද සමාන විධිවිධාන තිබේ. එම පනත අනුව, ඇමතිවරයාට අධික බලතල ප්‍රමාණයක් හිමි වී තිබෙන බව ද, ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් 1966 ගුවන් විදුලි සංස්ථා පනතට වඩා 1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත පසුගාමී බව ද ජගත් ලියනආරච්චි පෙන්වා දුන්නේ ය.

“දැනට භූමිගත (UHF, VHF) නාලිකා 32ක්, ජංගම දුරකථන නාලිකා 1ක් , කේබල් විකාශන 10ක්, චන්ද්‍රිකා විකාශන 8ක් තිබෙනවා.”

රූපවාහිනී හා රේඩියෝ විකාශ සඳහා සංඛ්‍යාත වෙන්කිරීමේ බලය තිබෙන්නේ ශ්‍රී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ය.

ඔවුන් FM රේඩියෝ නාලිකා 20ක්, කෙටි හා මධ්‍යම තරංග විකාශ එක බැගින් (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට) , භූමිගත නාලිකා 17ක්, චන්ද්‍රිකා විකාශන පහක් සහ කේබල් රූපවාහිනී සේවා තුනක් සඳහා සංඛ්‍යාත වෙන් කර දී තිබෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බව ජගත් ලියනආරච්චි පෙන්වා දුන්නේ ය. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යා සම්බන්ධ ගැටලු තිබෙන බව ද ඔහු පැවසී ය.

හිමිකරුවන් අධ්‍යයනය කරන Media Ownership Monitor Sri Lanka ‍වෙබ් අඩවිය අනුව, ප්‍රේක්ෂක පදනමින් 77%ක පංගුවක් හිමි රූපවාහිනී නාලිකාවල අයිතිකරුවන් වන්නේ කැපිටල් මහරාජා (සිරස), පවර් හවුස් (දෙරණ), ඒබීසී (හිරු) සහ රජය (රූපවාහිනී / අයිටීඑන්) යන ආයතනවලටයි. රජය හැර අනෙක් සමාගම් තුනම පවුල් තුනකට අයිති ය.

රේඩියා් ශ්‍රාවකයන්ගෙන් 74%ක් අයත් වන්නේ පෞද්ගලික සමාගම් හතරකට ය. ඒවා නම්,
ඒබීසී (හිරු), කැපිටල් මහරාජා (සිරස), පවර් හවුස් (දෙරණ) සහ ඇසෙට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ටිං (නෙත් එෆ්එම්) ය.

“බලපත්‍ර ලබාදීමේ කොන්දේසි ව්‍යාකූලයි. ආරම්භය, විද්‍යුත් පිටපත් දින 60ක් සංරක්ෂණය, හිමිකාරිත්වය වෙනස් වේ නම් දැනුම් දීම, වෙළඳ දැන්වීම් ආචාර ධර්ම, බලපත්‍රය ප්‍රදර්ශනය කිරීම, දේශපාලකයන්ට අධ්‍යක්ෂ මණ්ඩලයට බැඳෙන්නට බැරිබව, අන්තර්ගතය ආදිය සම්බන්ධ කොන්දේසි තිබෙනවා,” යි ජගත් ලියනආරච්චි මහතා පෙන්වා දුන්නේ ය.

සාකච්ඡා සභාවේ සිට අදහස් දැක්වූ මාධ්‍යවේදිනී තනුජා ජයවර්ධන පෙන්වා දුන්නේ සියලු මාධ්‍ය මෙකී සියලු කොන්දේසි විවෘතව ම කඩකරන බවයි.

එහෙත් මීඩියා මොනිටර් ඕනර්ෂිප් ආයතනයේ අධ්‍යයනයන් අනුව දේශපාලකයන්ට මාධ්‍ය ආයතන හිමිකරගැනීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් නැති බව සාකච්ඡා සභාව මෙහෙයවූ නාලක ගුණවර්ධන පෙන්වා දුන්නේ ය. ඒ අනුව, වර්තමාන හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය හිමිකාරිත්වය දරන බව ඔහු පැවසී ය.

කොන්දේසි කැඩීම, හිමිකාරිත්ව ආකෘති වෙනස් වීම හා ඒ බව දැනුම් නොදීම, ගාස්තු නොගෙවීම, බලපත්‍ර කොන්දේසි අනුව වැඩසටහන්අන්තර්ගතයන් පවත්වාගෙන නොයාම, වාර්ගික අසමගිය ඇති කිරීම, නීතිය හා සාමය කැඩීමට පෙළඹවීම ආදී කරුණු රැසක් මත බලපත්‍ර අහෝසි කිරීමට හැකි ය.

එහෙත්, මේ පිළිබඳ තමන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් මාස එකහමාරක් පමණ ගත වී තිබියදීත් ප්‍රතිචාර ලැබී නොමැති බව සාකච්ඡා සභාවට සහභාගි වූ නීතිඥ ජගත් වික්‍රමනායක පෙන්වා දුන්නේ ය. එයට ප්‍රතිචාර වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර පැවසුවේ එම පැමිණිල්ල විභාග කර ඇති බව හා ඉදිරියේදී ඒ පිළිබඳ දැනුම්දීම් කරනු ඇති බවයි. කෙසේ වෙතත්, ජනමාධ්‍ය සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා ඒවායේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහජන මතයක් නිර්මාණය වීමට අවශ්‍ය බව ලේකම්වරයා පැවසී ය.

විද්‍යුත් මාධ්‍ය හිමිකරුවන්ගේ සංසදය නියෝජනය කරමින් එහි ආරම්භක සභාපති සහ වර්තමාන උපදේශක නීතිඥ රවි ජයවර්ධන පැවසුවේ තම සන්සදය නියෝජනය නොකරන්නේ එක් මාධ්‍ය ආයතනයක් පමණක් බවයි. මෑත කාලීන සංවේදී සිදුවීම් වාර්තාකරණයේදී විද්‍යුත් මාධ්‍ය අතර ආචාරධර්ම සම්බන්ධයෙන් සම්මුතියකින් කටයුතු කිරීමට හැකි වීම ජයග්‍රහණයක් බව ද, සෙමින් නමුත් ඉදිරි ගමනක් මාධ්‍ය හිමිකරුවන් පැත්තෙන් සිදුවෙමින් තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

පුවත්පත් සම්බන්ධයෙන් ප්‍රේක්ෂක පැමිණිලි විමසීමට පුවත්පත් පැමිණිලි කොමිෂම තිබුණ ද, විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් එවැනි මහජන පැමිණිලි විමසීමේ ක්‍රියාවලියක් නැතිකම ද මෙහිදී අවධානයට ලක් විය.

මෙම සාකච්ඡා සභාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ද ආරාධනා කර තිබුණමුත්, එහි නියෝජිතයකු එයට සහභාගි වූයේ නැත. ඡායාරූපයේ දැක්වෙන්නේ ඔවුන් සඳහා වෙන් කර තිබුණ පුටුව සංකේතාත්මකව හිස්ව තබන ලද අන්දමයි.

උපුටා ගැනීම - http://praja.lk





2019-09-25
Advertisement

Find us on Facebook