English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


දිල්රුක්ෂි කළ දේ හරිද?


දිල්රුක්ෂි කළ දේ හරිද?

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනි, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් යෙදුණ දුරකථන සංවාදයක හඬ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විකාශය වෙමින් ඇත.

මෙම හඬ පටය මුදා හැර තිබුණේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අවස්ථාවකදීය. සමාජයේ දැඩි ආන්දෝලනයට තුඩු දුන් මෙම හඬ පටය පිලිබඳ දැන් විවිධ පාර්ශව කථා කරති.

මේ අතර අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනි, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය තමන් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ කළ සංවාදයක් බව නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇති බවද අද (23) පුවත්පත් වාර්තා කර තිබේ.

එමෙන්ම තමන් රජයේ නිලධාරිනියක් නිසා තමන්ට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කළ නොහැකි බවත් එබැවින් මෙහි සම්පුර්ණ හඬපටය සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා හරින ලෙසත් ඇය සිය මුහුණු පොතෙන් ඇවන්ගාඩ් සහාපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

අපට ඇවන්ගාඩ් නඩුව පිලිබඳ මෙහිදි කථා කිරිමට අවශ්‍ය නැත. එය අධිකරණය ඉදිරියේ විභාග කෙරෙන කටයුත්තකි. නමුත් මෙම සිදුවීමත් සමඟ අපට කථා කළ යුතු එක් දෙයක් ඇත. එනම් නිතීපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල්වරියක්ව සිටිමින් නඩුවක සැකකාර පාර්ශවයක් සමඟ මෙලෙස සංවාදයේ යෙදීමය. එය කිසිවිටක අනුමත කළ නොහැක.

2015 දී යහපාලන රජය බලයට පැමිණියේද මහින්ද රාජපක්ෂ සමයේ තිබු මෙවැනි සිදුවීම් වළක්වා ස්වාධීනව නිලධාරින්ට, ආයතන වලට කටයුතු කිරිමට හැකි පරිසරයක් උදා කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් දැන් සිදුව ඇත්තේ මහින්ද පාලන සමයේ සිදු වු දේමය.

දිල්රුක්ෂි ඩයස් මහත්මිය මෙම දුරකථන සංවාදයෙන් පවසන පරිදි කිසියම් අමාත්‍යවරයෙකුගේ උවමනාවට මෙම ඇවන්ගාඩ් සමාගමට නඩු පවරා තිබේ. එම නිසා ඇය මෙම දේශපාලනය ජරා දේශපාලනයක් බවද ප්‍රකාශ කරයි.

කිසිවෙකුගේ උවමනාවකට ඇවන්ගාඩ් සමාගමට එරෙහි නඩුව පැවරුවත් තමන් දැන් ඒ සම්බන්ධයෙන් ඉතාම දුක් වන බව ඇය පවසයි.

රජයේ ආයතනයක නිලධාරිනියක් ලෙස ඇය මේ සිදු කර ඇත්තේ බරපතල වැරුද්දකි. එහෙයින් ඇය පිලිබඳ නීතිපතිවරයා විසින් විශේෂ විමර්ශනයක් කළ යුතුව ඇත.

නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුව පිලිබඳ මහජනතාවට විශ්වාසයක් තැබිය හැකි වන්නේ නැත. වහාම මෙම තත්ත්වය නිවැරදි කළ යුතුව තිබේ. සිවිල් ජනතාව බලාපොරොත්තු වන්නේ රජයේ ආයතන තුල මෙවන් නිලධාරින්, නිලධාරිනියන් නොවේ. කිසිවෙකුගේ බලපෑමක් නොමැතිව ස්වාධීනව වැඩ කළ හැකි පුද්ගලයින් සිටින රටක්, ස්වාධීන ආයතන ඇති රටක් ජනතාවගේ බලාපොරොත්තුවය. එහෙයින් වහාම නීතිපතිවරයා විසින් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ගැන විමර්ශනයක් සිදු කර නැවත එවැන්නක් සිදුනොවීමට වගබලාගත යුතුව තිබේ.

මේ අතර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියද ප්‍රකාශ කර තිබුණේ වහාම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ප්‍රකාශ්‍යක් සිදු කළ යුතු බවය.

 

-මාධවී-




2019-09-23
Advertisement

Find us on Facebook