English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන වෙනසක අවශ්‍යතාවය!


දේශපාලන වෙනසක අවශ්‍යතාවය!

ලංකාවේ ආර්ථිකය මේ වනවිට මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ, විදේශ හා දේශීය ණය මත හා බදු මතය එහි ප‍්‍රතිඵලය වී තිබෙන්නේ, සෑම වසරකම රු: බිලියන 1000කට වැඩි මුදලක් හෙවත් ලංකාවේ වසරක රාජ්‍ය ආදායමට සමාන මුදලක් ණය සඳහා වාරික හා පොලී ලෙස ගෙවීමට රටට සිදුව තිබීමය. නිෂ්පාදන ආර්ථිකයක් නොමැති තත්වයක් තුළ පොලී හා වාරික ගෙවීමට නැවත ණය ගැනීමටම සිදුව තිබීමෙන් ලංකාව ණය උගුලක සිරවී ඇත. මේ තත්වය තුළ ආණ්ඩුවේ නාස්තිකාර වියදම්වල බර මෙන්ම ණය ගෙවීමේ බරද පැටවී ඇත්තේ, අමාරුවෙන් ජීවත්වන ජනතාව මතය. අනෙක් අතට ලංකාවේ ආදායම් බෙදීයාමේ විෂමතාවය දිනෙන් දිනම වැඩිවීම මගින්ද පොදු ජනතාව පීඩාවට පත්ව සිටිති. ලංකාවේ ජනගහනයෙන් පොහොසත්ම පවුල් 20% ලංකාවේ ජාතික ආදායමෙන් 54%ක් අත්පත් කර ගනිද්දී ජනගහනයෙන් දුප්පත්ම පවුල් 20% ජාතික ආදායමෙන් අත්පත් කර ගන්නේ 04% ක් තරම් සුළු ප‍්‍රමාණයකි. මෙය කිසිසේත්ම සාධාරණ නොවේ ආණ්ඩුව තවමත් තම ආර්ථික ප‍්‍රතිපත්තිය ලෙස තෝරාගෙන ඇත්තේ, නිෂ්පාදනය නොව ආසියාවේ මැද පංතිය ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපාරය මත පදනම්වූ ආර්ථිකයකි. කැසිනෝ සූදුව, සුරාව, ගණිකා වෘත්තිය සහිත දුරාචාර ආර්ථිකයකි. පවුල්වාදය වටා ගොඩනැගුණු ආර්ථිකයකි. ඒ සමග ආණ්ඩුවේ නාස්තිය,  හොරකම, මූල්‍ය වංචා හා රාජ්‍ය ආයතනවල පාඩුවද රට ආර්ථික වශයෙන් පත්කොට ඇත්තේ, දැවැන්ත විනාශයකටය. ඒ තුළ දේශීය ව්‍යාපාරිකයාද, කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදකයාද, ගොවියාද, කම්කරුවාද පොදු ජනයාද පීඩාවට පත්ව සිටිති.

ඒ අතර ආර්ථික අර්බුදයේ හා මෙම නිදහස් වෙළඳපොළ ආර්ථික ප‍්‍රතිපත්තියේම තර්කානුකූල ප‍්‍රතිඵලය ලෙස රට තුළ වේගයෙන් පැතිරෙමින් පවතින අපරාධ, මත්කුඩු, මත්පැන් හා සමාජ විරෝධී ක‍්‍රියා හේතුවෙන් සහ ඒවා බොහොමයකට රාජ්‍ය බලය හොබවන අය සම්බන්ධ වීම හේතුවෙන් සමාජය විශාල පිරිහීමකට ලක්ව, පොදු ජනතාව එහි ගොදුරු බවට පත්ව සිටිති. නීතිය, සමාජ සම්ප‍්‍රදායන් හා ආචාරධර්ම නොසලකන දේශපාලන බලය නිසා නීතිය රැකිය යුතු ධනේශ්වර ආයතන වන පොලීසිය, අධිකරණය හා අල්ලස් කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන සියල්ලද පිරිහී තිබේ. සමාජ සාධාරණත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය හා වගවීම අරුත් රහිත වචන පමණක් බවට පත්ව තිබේ මෙම තත්වය නිසා පීඩාවට පත් පොදු ජනතාව තුළින්ද, විවිධ ජන කණ්ඩායම් වෙතින්ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය අගයන ප‍්‍රගතිශීලී හා දේශප්‍රේමී බලවේග තුළින්ද රටේ වෙනසක් පිළිබඳ වුවමනාව මතුවෙමින් තිබේ. අර්බුදයට පත් ලාංකේය සමාජය වෙනසක් ඉල්ලා හඬනගමින් තිබේ. සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන් අර්බුදයට පත්ව ඇති ලාංකේය සමාජයට අවැසි වෙනස කුමක්ද යන්න සලකා බැලිය යුතු කාලය එළඹ තිබේ. එය හුදු පාලනයේ සරල වෙනසක්ද නොවේ. ඒ වෙනුවට පවතින සමාජ, ආර්ථික, දේශපාලන දේහයේ ගැඹුරු හා පුළුල් වෙනසක් අවශ්‍ය වේ.

වර්තමානයේ ලංකාව මුහුණදී ඇති මෙම අර්බුදයට ඇත්තේ, එක සැබෑ විසඳුමක් පමණි. එනම් මෙම වැරදි සමාජය එහි ගැඹුරින්ම වෙනස් කරන නව සමාජ පරිවර්තනයකි. සැබෑ ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික සමගිය, සැබෑ ජාතික නිදහස, පුද්ගල නිදහස, හා යහපාලනය ගොඩනැගිය හැකි සමාජයකි. එනම් වර්තමානයේ අපේ රටට ගැලපෙන, නවීන සමාජවාදී ප‍්‍රතිපත්ති මත පදනම් වූ, ජනතාවාදී පාලනයක් සහිත නව සමාජයකි. එවන් සමාජයක් ගොඩනැගිය හැක්කේ බොරු පොරොන්දුවලින් නොව පැහැදිලි හා ස්ථිර ප‍්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කිරීමෙනි.

-හිරෝශාන් ලක්ෂාන්-




2019-09-22
Advertisement

Find us on Facebook