English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


රාජපක්ෂ පාලනයේ මුදල් ගිලින බහිරවයන්ට ගොදුරු වූ “ණය” කුළුණ


රාජපක්ෂ පාලනයේ මුදල් ගිලින බහිරවයන්ට ගොදුරු වූ “ණය” කුළුණ

මෙරට ගොඩනැඟිලි හා සන්නිවේදන ක්ෂේත්‍රයේ වැදගත් පියවරක් වු කොළඹ, ඩී.ආර්.විජේවර්ධන මාවතේ බේරේ වැව අසබඩ ඉදිකෙරුණු නෙලුම් කුළුණ විවෘත කෙරුණේ ඉකුත් 16 දාය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කුළුන විවෘත කෙරුණු අතර එහිදි අපූරු හෙළිදරව්වක් ජනාධිපතිවරයා විසින් සිදු කළේය. සැබවින්ම මෙය හෙළිදරව්වකට වඩා මහජනතාව මතට හෙලු බෝම්බයක් වැනිය.

එනම් නෙලුම් කුළුණ තැනීමේදි බිලියන දෙකක වංචාවක් සිදුව ඇති බවය.

නෙලුම් කුලුණ ඉදිකිරිම සඳහා 2012 වසරේදි ශ්‍රි ලංකා රජය විසින් චීනයේ සී.ඊ.අයි,ඊ.සී සහ ඇලිට් (ඒ.එල්.අයි.ටී) යන සමාගම් අතර ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබු බවත්, මෙරට රජය නියෝජනය කරමින් විදුලි සංදේශ කොමිසම එකී ගිවිසුමට අත්සන් තැබු බවද ජනාධිපතිවරයා පැවසුවේය. ඒ අනුව එම ඉදිකිරිමට අත්තිකාරම් මුදල් වශයෙන් ශ්‍රි ලංකා රජය 2012 වසරේදී “ඇලිට්” සමාගමට රුපියල් කෝටි 200 ක මුදලක් ගෙවු බවත් පසුව කළ සොයා බැලීමකදී එවැනි සමාගමක් නැති බවට තොරතුරු හෙළි වු බවද ඔහු පවසා තිබුණි. මෙකී ඉදි කිරීම සඳහා චීනයේ “එක්සිම්” බැංකුව මුලදි රුපියල් බිලියන 16 ක මුදලක් ලබා දුන් බවත්, නමුත් මුදල් සහ සමාගම පිලිබඳ තොරතුරු නොමැති නිසා “එක්සිම්” බැංකුව ණය මුදල රුපියල් බිලියන 12 කට සීමා කළ බවද ඔහු හෙළි කර තිබුණි.

“ඇලිට්” සමාගමේ ලිපිනය චීනයේ, බීජිං නුවර බවට තොරතුරු ලැබුණත් එවැනි සමාගමක් පිලිබඳව චීනය තුලවත් ඉන් බැහැර රටකින්වත් සොයා ගැනීමට නොහැකි වු බවද, ඔහු හෙළි කර තිබුණි.

නෙලුම් කුළුනේ ඉදිරි කටයුතු සඳහා රුපියල් කෝටි 300 ක මුදලක් අවශ්‍ය බවත් ඒ සඳහා මුදල් යොදවන්නේ මෙරට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට, අධ්‍යාපනයට, සෞඛ්‍යට සහ සංවර්ධනයට යෙදවීමට තිබෙන මුදල් බවත් ජනාධිපතිවරයා පැවසීය.

මෙම කුලුණ ඉදිකිරීම සඳහා ලබා ගත් ණය මුදලේ වාරිකය ලෙස වසරකට රුපියල් කෝටි 240 ක මුදලක් ගෙවීමට තිබෙන අතර ඉකුත් වසරේදි කෝටි 240 ක් ගෙවු බවද මේ වසරේදී ණය වාරිකයට අදාලව රුපියල් කෝටි 120 ක් දැනටමත් ගෙවා ඇති බවත්, මේ ආකාරයෙන් වසර 10 ක් යනතුරු රුපියල් කෝටි 240 බැගින් ගෙවිය යුතු බවද ඔහු පවසා තිබුණි.

වර්ග කිලෝමීටර 30,600 ක භූමියක ඉදි කර තිබෙන මෙම නෙලුම් කුළුණ දකණු ආසියාවේ උසම විදුලි සංදේශන කුළුන ලෙස සැලකේ. බහුකාර්ය කුළුනක් වන මෙය මීටර් 356 ක් උසය. මේ සඳහා ඇස්තමේන්තු ගත වියදම වුයේ ඇමරිකානු ඩොලර් මිලියන 104.3 කි. කුළුන විවෘත කෙරුණද මෙහි සම්පුර්ණ වැඩකටයුතු මෙතෙක් නිම වී නොමැත. නමුත් කුළුන විවෘත කෙරුණි.

මේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදු වු තවත් අපූරු මගඩියක් බව ජනාධිපතිවරයාගේ හෙළිදරව්වෙන් පෙනී යන කරුණකි.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට මහතා සිය මුහුණු පොතේ පළ කර තිබුණේ මෙය ජනාධිපතිවරයා නිවැරදි තොරතුරු ලබා ගැනීමකින් තොරව සිදු කර ඇති ප්‍රකාශ්‍යක් බවත් වහාම නිවැරදි කළ යුතු බවය.

එමෙන්ම එවකට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව National Electronics Import And Export Corporation (CEIEC) සහ Aerospace Long March International Trading Company (ALIT) යන සමාගම් දෙකට ඉදිකිරිම සඳහා 2010 ඔක්තෝම්බර් මස 29 වෙනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද නෙලුම් කුළුනේ ඉදිකිරිම් පිලිබඳව සාකච්ඡා කිරිමට චීනයට ගිය අවස්ථා කිහිපයකදීම ඇලිට් සමාගමේ සභාපතිවරයා සමඟ සමාගමේ අනෙකුත් සමාජිකයින් සමඟ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ද ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින්ද සාකච්ඡා කර ඇති බවත් අනුෂ පැල්පිට මහතා සඳහන් කරයි.

මෙකී සියලු දත්ත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඇති බවත් ඇලිට් සමාගමේ සභාපතිවරයා ටෙන්ඩර් මණ්ලයේ සභාපති වු එවකට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සමඟ චීනයේ ඇලිට් ප්‍රධාන කාර්යාලයේදි සාකච්ඡා කරන අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක්ද මුහුණු පොතේ පළ කර තිබුණි.

මෙම නෙලුම් කුලුණ නිසා මේ වන විට එක් පුද්ගලයෙකුද ජිවිතක්ෂයට පත්ව තිබේ. ඒ කිලිනොච්චි ප්‍රදේශයේ තරුණයෙකි. ඔහු නෙළුම් කුලුනේ ඉදිකිරිම් වල යෙදී සිටියදි ඉකුත්  වසරේ ජුනි මසදී බිමට වැටී මිය ගියේය.

එමෙන්ම මෙම නෙලුම් කුලුනේ විශාල ජල නලයක් පුපුරා ගියේ ඉකුත් අප්‍රේල් මාසයේදීය. එය වාර්තා කිරිමට මාධ්‍යවේදින් ගියද ඊට අවස්ථාව හිමි වුයේ නැත.

රාජපක්ෂ පාලන සමයේ මුදල් ගිලින බහිරවයන්ගේ නෙලුම් කුලුණ එක් ව්‍යාපෘතියක් පමණක් විය.

සිංගප්පූරුවේ අවි ආයුධ වෙළඳ ව්‍යාපාරයක් වන “ඩී.එස්.එලයන්ස්” සමාගම යුක්රේන රාජ්‍යයට අයත් අවි ආයුධ සපයන සමාගමක් වන “යුක්රින්මාෂ්” ආයතනයෙන් මිග් යානා මිලදී ගෙන ඒවා මෙරට හමුදාවට විකිණිම සිදු කර තිබුණේ 2000 වර්ෂයේ සිටය.නමුත් මෙම ගුවන් යානා යහපත් මට්ටමක නොතිබුණු හෙයින් 2006 වසරේදි එවකට සිටි ගුවන් හමුදාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කොට මිග් 27 ගුවන් යානා මිලදී ගැනීම අත්හැර දැමිය යුතු බවත් වෙනත් රටකින් මේ පිලිබඳ සෙවිය යුතු බවත් ප්‍රකාශ කර තිබුණි.

නමුත් එම ප්‍රකාශය තුට්ටුවකට මායිම් නොකළ එවකට සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ඥාතියෙකු වු උදයංග වීරතුංග හා ඔහුගේ මිතුරෙකු වු යුක්රේනියානු ජාතික ඩිමිටෝ පෙරෙගුඩෝව් යන අයගේ උවමනාව මත යුක්රේනයෙන් මිග් 27 ගුවන් යානා ගැනීමට අනුමැතිය ලබා දුන්නේය. මෙය මෙරට ගුවන් හමුදාවේ යෝජනාවක් ලෙස ඩිමිටෝ පෙරෙගුඩෝව් වෙත ඉදිරිපත් කරමින් ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක විය. එහිදී යුක්රේනයට අයත් “යුක්රින්මෑෂ්” යන ආයතනයක් ඉදිරිපත් කල ගණුදෙණුවක් ලෙස මෙහිදි ගිවිසුම් 2006 දි අත්සන් තැබුණි. නමුත් මෙම “යුක්රින්මෑෂ්” යන ආයතනය සැබවින්ම එරට ආණ්ඩුව හා සම්බන්ධ වුවක් නොවුණි.එහෙත් මෙරට රජය විසින් එකී ගිවිසුමට අනුව සියලු ගෙවීම් සිදු කිරිමට තිබුණේ “බෙලිමිස්ස හෝල්ඩින්ස්” සමාගම නැමැති සමාගමකටය.

එක් යානයක් ඩොලර් මිලියන 2.4 බැගින් මිග් යානා මෙරට විසින් මිලදී ගෙන තිබු අතර, පසුව හෙළිවුයේ එවැනි සමාගමක් නොමැති බවය. මෙම හෙළිදරව්ව සිදු කර තිබුණේ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා සන්ඬේ ලීඩර් පුවත්පත මඟිනි.  මෙම මිග් යානා ගණුදෙණුව පසුපස ඔහු දිගින් දිගටම හඹා යන්නට වු අතර අවසානයේ සිදු වුයේ ඔහුගේ ජිවිතය අතරමඟ නැවතීමය.

ඉතා සුක්ෂම ආකාරයට විවිධ සංවර්ධනයන්ට මුවාවෙමින් රාජපක්ෂ පාලකයින් මුදල් ගසා කෑවේ මහජනතාවට නොදැනෙන්නටය.

ශ්‍රි ලංකා ගුවන් සමාගමට රුපියල් මිලියන ගණනින් පොලු තැබීම, ක්‍රිෂ් ගණුදෙණුව, සිරිලිය සවිය ගිණුම් වංචාව, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මුදල් ගසාකෑම මෙයින් අතලොස්සක් පමණි.

කෙසේ නමුදු දැන් අලුත්ම හෙළිදරව්ව වන නෙලුම් කුලුණේ මුදල් ගසා කෑම ජනාධිපතිවරයා පවසන ආකාරයට ඔහු දැන සිටි කරුණකි. එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වත්මන් සභාපතිවරයා වන්නේද ජනාධිපතිවරයාගේ සොහොයුරෙකි.

ඔවුන් මෙපමණ මුදල් අවභාවිතාවක් පිලිබඳ දැනගෙන නිහඬව සීටීමෙන් ජනතාවට කරන්නේ බලවත් අසාධාරණයකි. මේ ණය ගෙවන්නේ මෙරට ජනතාවගේ බදු මුදල් වලිනි. එහෙයින් මෙම බිලියන දෙකේ වංචාවේදි ජනාධිපතිවරයාද සෘජුව වගකිවයුතුව ඇත්තේ වැරදිකරුවන් දැන දැනත් ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමට ක්‍රියා නොකිරිම නිසාය.

ජනාධිපතිවරයා මෙම හෙළිදරව්ව මෙම අවස්ථාවේ සිදුකර බලාපොරොත්තු වන්නට ඇත්තේ ජනාධිපතිවරණයේදි වැඩි වාසියක් ඔහුගේ පැත්තට ගන්නට විය හැකිය. නමුත් එය ඔහුටම කැරකී ගියේ ඔහු නොසිතූ ආකාරයටය.

නෙලුම් කුළුනේ කැරකෙන භෝජනාගාරයකට ගොස් ආහාර වේලක් ගැනීමට අපේ සාමාන්‍ය ජනයාට නම් කෙදිනකවත් නොහැකි වනු ඇත. ඔවුන්ට සිදුව ඇත්තේ නෙලුම් කුළුණ වටේ කැරකී කැරකී මොනවා හෝ යමක් බඩට දා ගැනීමටය. එහෙත් නෙලුම් කුලුණ ඉදි කෙරුණේ, තව ණය ගෙවීමට ඇත්තේ මේ රටේ සාමාන්‍ය මහජනතාවගේ මුදලින් බව රටේ පළමු පුරවැසියා මෙන්ම සෙසු පැළැන්තිද අමතක නොකළ යුතුය.

-මාධවී-




2019-09-18
Advertisement

Find us on Facebook