English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුවේ මානව හිමිකම් වාර්තාව යළි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණයට !

එලඹෙන සතියෙහි අඟහරුවාදා සහ බදාදා ශ්‍රී ලංකාන්ඩුවේ මානව හිමිකම් වාර්තාව යළිත් වරක් එක්සත් ජාතීන් හමුවෙහි තියුණු විමර්ශනයකට ලක් වෙයි. මෙම විමර්ශණය පැවැත්වෙන්නේ මානව හිමිකම් කමිටුව නමින් හැදින්වෙන විශේඥ කමිටුව අභිමුව ය.

මානව හිමිකම් කවුන්සිලයේ 27 වන සැසිවාරය අවසන් වී සතියක් ගිය තැන සහ ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ පරීක්ෂනය පසුබිමෙහි ඇරඹෙන මෙම විමර්ශණය ශ්‍රී ලංකාවට තීරනාත්මකය. මන්දයත් එහි නිගමන අන්තර් ජාතික පරීක්ෂණය කෙරෙහි ද බලපානු ඇති නිසා ය.

මෙම විමර්ශනය ගැන විමසා බැලිමට පෙර පසුගිය සතියෙහි අවසන් වු මානව හිමිකම් කවුන්සිලයේ 27 වන සැසිවාරය දෙසට යොමු වෙමු. ශ්‍රී ලංකාන්ඩුව ප්‍රකාශණයක් නිකුත් කරමින් කියා සිටියේ තමන්ට පක්ෂව රටවල් 22ක් එක්ව ප්‍රකාශයක් නිකුත් ක‍ල බවයි. එම කන්ඩායම හැදින්වෙන්නේ like minded group නොහොත් සම සිතැති කන්ඩායම කියා ය. එම කන්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළේ ඊජිප්තුවයි. සිය සම සිතැති කන්ඩායම එම ප්‍රකාශයෙහි දී ඊජිප්තුව නම් කළේ ය. එහි තිබුනේ ශ්‍රී ලංකාව ද ඇතුලු රටවල් 18ක් පමණි. 22ක් නොවේ. ඉන්දියාව එම කන්ඩායමේ සිටියේ නැත. ඉන්දියාවට පකිස්තානය සමඟ සම සිතැති වන්නට පුළුවන් කමක් නැති නිසා විය හැකි ය. එම කන්ඩායමෙහි ආසියානු රටවල් වන්නේ පකිස්ථානය, බංගල දේශය, උතුරු කොරියාව සහ මියන්මාරය පමණි.

එම කන්ඩායමේ සිටින සිම්බාබ්වේ, උතුරු කොරියාව, බෙලරුස්, සූඩානය වැනි ඒකාධිපති සහ කිසිදු මානව හිමිකමක් නොසළකන රටවල් දෙස බැලූ විට එම රටවල් මත යැපෙන්නට සිදු වීම කිසිසේත්ම ගෞරවයට කාරණයක් විය නොහැකි ය. එම ප්‍රකාශය ඉදිරිපත් කල ඊජිප්තුව එක් නඩු විභාගයකින් පමණක් හිටපු ජනාධිපති මොර්සි සහායකයින් 529 දෙනෙකු මරණ දඩුවමට නියම කළ රටකි. එහි පවතින්නේ ද හමුදා ආන්ඩුවකි.

ඉන්දියාව සිය ප්‍රකාශයෙහි දී මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ පරික්ෂණය කෙරෙහි විවේචනාත්මක අදහස් පළ කළේ ය. එමෙන්ම ශ්‍රී ලංකාව හා සම සිතැති රටවල් නොකී කරුණු දෙකක් සඳහන් කළේ ය. පළමු වැන්න නම් ශ්‍රි ලංකාවේ සංහිදියාවට සහ වගවීම ඇති කරලීම සඳහා උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව ය. දෙවැන්න නම් ශ්‍රී ලංකාවෙහි දෙමළ ජනයාගේ ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත් 13 වන සංසෝධනය මත එම විසඳුම ගොඩ නැගිය යුතු බවත් ය.

තමන්ට රටවල් 22ක සහයෝගය තිබූ බවට ජනමාධ්‍ය හරහා රාජපක්ෂ ආන්ඩුව කියා සිටියේ බොරු ඇත්ත කිරීමේ ගොබල්ස් න්‍යාය අනුව ය. මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 193ක් සිටින අතර මෙම සම සිතැති කන්ඩායම සමන්විත වුයේ රටවල් 18කින් පමණි!

ඇත්ත වශයෙන්ම නම් මෙම සම සිතැති කන්ඩායම මානව හිමිකම් කවුන්සිලයේ 27 වන සැසි වාරයේ යෝජනා සාකච්ජාවට ගත් දෙදින තුල ඇද ගෙන නාගත්තේ ය. ඒ ඒ රටවල දේශපාලන ක්‍රම තුළ සිවිල් සමාජ සංවිධානයන්ට අවකාශය ලබා දීම සහතික කිරීම සඳහා ඉදිරිපත් ක‍ල යෝජනාවේ හරය ඉවත් කිරීමට ශ්‍රී ලංකාව හා සම සිතැති කන්ඩායමේ නායක ඊජිප්තුව ගෙන ආ සංසෝධන සියල්ල පරාජය විය. එමෙන්ම ‘මානව හිමිකම්, ලිංගික ලැදියාවන් සහ පුමිතිරි අනන්‍යතාවය’ නමින් ඉදිරිපත් වු ලිංගික සමරිසියනගේ අයිතිවාසිකම් පිළිබඳ යෝජනාවට ඊජිප්තුව ගෙන ආ සංසෝධන සියල්ලම ද පරාජයට පත් විය. පරාජය වූ සංසෝධන විස්සකට ආසන්න ය. ඉන්දියාව යෝජනාවට විරුද්ධව හෝ පක්ෂව ජන්දය පාවිච්චි කළේ නැත.

දැන් එලඹෙන මානව හිමිකම් කමිටුවේ විමර්ශනයට යමු.

1945 වර්ශයෙහිඇරඹි එක්සත් ජාතින්ගේ සංවිධානය 1948 දී එහි වැදගත්ම ලියැවිල්ල වන මානව හිමිකම් ප්‍රකාශනය එළි දැක්වුවද එහි නමින්ම පෙනෙන පරිදි එය ගිවිසුමක් නොවී ය. හිමිකම් සඳහා නීතිමය රාමුවක් එහි නොතිබිණ. මානව හිමිකම් කමිටුව ඇරඹෙන්නේ එම අඩුව පිරිමසා ලමින් 1966 දී එජා සංවිධානය සම්මත කර ගත් සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර් ජාතික ප්‍රඥප්තිය (ICCPR – අයිසීසීපීආර්) මත ය. ඊට කරුණු ඉදිරිපත් කිරීමට ගිවිසගත් රටවල් බැදී සිටින අතර එසේ නොකරන්නේ නම් ඒක පාර්ශවීයව වුව විමර්ශනයක් පැවැත්වීමට මානව හිමකම් කමිටුවට අයිතිය තිබේ.

කමිටුව,එජා සාමාජික රටවල නිර්දේශ මත එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය විසින් අනුමත කරනු ලබන බෙහෝ කොට නීති දැනුමක් සහිත, විශේෂඥයින් 18 දෙනෙකුගෙන් සමන්විත වෙයි. මෙම 18 දෙනාගෙන් ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයට 4/5 දෙනෙකුගේ කන්ඩායමක්ප්‍රධානියකු ද ඇතිව පත් කෙරේ. විමර්ශනයෙහි එල්ලය වන්නේ ශ්‍රී ලංකාව කොතරම් දුරට සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර් ජාතික ප්‍රඥප්තිය(අයිසීසීපීආර්) ක්‍රියාත්මක කර ඇත්තේ ද යන්න සොයා බැලීම යි.

සෑම රටක්ම පස් වසරකට වරක් මානව හිමිකම් කමිටුවට සවිස්තරාත්මක වාර්තාවක් සපයා එය ඉදිරියට පැමිණිය යුතු ය. ශ්‍රී ලංකාව පිළිබඳ අවසන් වාර්තාව 2002 වර්ශයේ දී ඉදිරිපත් කරනු ලදුව 2003 වසරේදී විමර්ශනය පැවැතිණි. 2007 වර්ශයෙහි ඉදිරිපත් කළ යුතු වූ වාර්තාව රාජපක්ෂ ආන්ඩුව ඉදිරිපත් කළේ 2013 වසරේ දී ය! ඒ තරමට කාර්‍යක්ෂමය!

ආන්ඩුවේ වාර්තාව, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින්ගේ වාර්තා සහ සිවිල් සමාජ සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු පදනම් කරගනිමින් මානව හිමිකම් කමිටුව විසින් විමර්ශනයට ලක් කැරෙන කරුණු ලැයිස්තුවක් සකස් කර එය අදාළ රටට යවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළෙස සකස් කරන ලද කරුණු ලැයිස්තුවෙන් පෙනෙන්නේ මෙම විමර්ශනය කොතරම් භාරධුර වන්නේ ද යන්න යි.

එහි සදහන් කරුණු අතර මෙසේ ද වෙයි:

18වන සංසෝධනය මගින් ස්වාධීන කොමිසන් සභා අඩපණ කිරීම නිසා ඇතිවන බලපෑම් මොනවාද යන්න; මානව හිමිකම් කොමිසම ස්වාධීන කර ඇත්තේ ද , ඒ කෙසේ ද යන්න; ස්ත්‍රීන්ට එරෙහිව කැරෙන විෂම සැළකීම් සහ ලිංගික වධ හිංසා මෙන්ම ගෘහස්ත ප්‍රචන්ඩත්වය දුරු කිරීමට ගෙන ඇති පියවර මොනවා ද යන්න; තවමත් පවත්නා හදිසි නීති රෙගුලාසි සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අයිසීසීපීආර් ප්‍රඥප්තියට අනුකූල ද යන්න; යුද්ධයේ මානව හිමිකම් කෙලෙසීම් පිලිබඳ වගවීමේ ප්‍රශ්ණ විසදීම පිනිස ගෙන ඇති පියවර මොනවාද යන්න; ඒ සඳහා අන්තර් ජාතික සහාය ලබා ගැනීමට කල්පනා කරන්නේ ද යන්න; යුද සමයේ මානව හිම්කම් කෙළෙසීම් පිළිබඳ යුද හමුදා විමර්ශනයේ ප්‍රගතිය කුමක් ද යන්න; උගත් පාඩම් කොමිසමේ ක්‍රියාත්මක කිරීම පිණිස ඇතුල් කර නැති එනමුත් යහපාලනයට වැදගත් වන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ ද යන්න; අදහස් ප්‍රකාශනයේ නිදහසට ඇති බාධා පිළිබඳව; සුලුතර ප්‍රජාවන්ගේ අයිතීන් පිළිබඳව; වව්නියාව සහ වැලිකඩ සිරකරු ඝාතන පිළිබඳව යනාදී වශයෙනි.

මෙම කරුණු ලැයිස්තුවට ශ්‍රී ලංකාන්ඩුව විසින් ඉදිරිපත් කරන ලද පිළිතුරු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ සියලු මානව හිමිකම් සුරැකිව පවතින අතර ආන්ඩුව මානව හිමිකම් සම්බන්ධයෙන් කිසිදුබාධා කිරීමක් කරන්නේ නැත. ශ්‍රී ලංකාව ඒ අනුව මානව හිමිකම් පරාදීසයකි.

එසේ නමුත් මෙම කරුණු සම්බන්ධයෙන්ම වාර්තා දුසිමක් පමණ සිවිල් සමාජ සංවිධාන විසින් ඉදිරිපත් කර තිබේ. ඒ අතර ප්‍රථම වතාවට මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් මුස්ලිම් ලේකම් කාර්යාංශය විසින් ඉදිරිපත් කරන ලද මාහැඟි ලියැවිල්ලක්ද වෙයි. අධිකරණ ස්වාධීනත්වය සහ අගවිනිසුරු දෝශාභියෝගය පිළිබඳ ද වාර්තා ගණනාවකි. ආන්ඩුවේ තර්ක මහත් අභියෝගයට ලක් කැරෙන කරුණු බොහෝ වාර්තාවන්හි අඩංඟු ය. ඹක්තොබර් 07 වන දින සවස සහ 08 වන දින උදය වරුවෙහි ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනය පැවැත්වෙයි. එහිදී ශ්‍රී ලංකාන්ඩුවට ප්‍රධාන කරුණූ ඉදිරිපත් කිරීමට ද සිවිල් සමාජ සංවිධාන සඳහා කෙටි කරුණු දැක්වීම් නවයකට ද අවස්ථාව ලැබේ. අනතුරුව කමිටුව ප්‍රශ්ණ විමසමින් විමර්ශනය පවත් වනු ඇත.

මෙම විමර්ශනයේ අවසානයෙහි අවසන් නිරීක්ෂන යනුවෙන් දැක්වෙන නිර්දේශයන් ඇතුළත් වාර්තාවක් මානව හිමිකම් කමිටුව විසින් ප්‍රසිද්ධියට පත් කරයි. ඔක්තොබර් 30 දා පවත්වන ප්‍රසිද්ධ සාකච්ජාවක දී ශ්‍රී ලංකාව පිළිබඳ නිර්දේශ ද එළි දැක්වෙනු ඇත. ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ තවත් වාර්තාවක් වනු ඇති එය දැනට මහ කොමසාරිස් කාර්යලයෙන් කෙරීගෙන යන ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂනයට ඌණ පූරණයක් වනු ඇති බව නොඅනුමාන ය.


සුනන්ද දේශප්‍රිය





2014-10-05
Advertisement

Find us on Facebook