English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ආණ්ඩුවෙන් - ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස් කිරීම හා අපේ ආර්ථිකය


ශ්‍රී ලංකාවේ ආර්ථිකය එක තැන පල්‍වන්නේ දීර්ඝ කාලයක සිටය. ආර්ථික විශේෂඥයන්ගේ වචනයකින් කිවහොත් එය ආර්ථික මන්දනයකි. අපේ නායකයන් ගෝලීය ආර්ථිකය නිරීක්ෂණය කොට ඒ අනුව දේශීය ආර්ථිකය සංවිධාන කළ බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුවෙන් - ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළ අතර පොදු පහසුකම් සංවර්ධන සඳහා විශාල වශයෙන් විදේශීය ණය ලබාගෙන තිබේ. පොදු පහසුකම් සංවර්ධනය නව ආදායම් මාර්ගයක් නොවන බැවින් අවසන් ලෙස ඉතිරි වූයේ ණයභරිත ආර්ථිකයකි. අදටත් අපේ දේශපාලකයන් පසුවන්නේ වැඩවසම් චින්තනය හිස් මුදුනේ තබාගෙනය. එබැවින් ඔව්හු විදේශීය වෙළෙඳාමට හා ඊට අදාළ ගිවිසුම්වලට විරුද්ධ වෙති. ඩොලරයේ ශීඝ්‍ර වර්ධනය, අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ යුද්ධය, ගෝලීය ආර්ථිකයේ සිදුවන තවත් ප්‍රධාන වෙනස්කම්ය. රට මුහුණ දෙන ආර්ථික අභියෝග දෙස බැලුවහොත් කැපී පෙනෙන ගැටලු ගණනාවක් පවතී. රුපියල අවප්‍රමාණය වීම, උද්ධමනය, තෙල් මිල, අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීම, ආනයන සීමා කිරීම, විදේශ ණය හා පොලී ගෙවීම ඒ අතර ප්‍රධාන යැයි සිතන්නට පුළුවන. මේවා සම්බන්ධයෙන් දේශපාලන විවේචන ඉදිරිපත් කිරීම ඉතා පහසුය. එම විවේචන ඇතැම්විට ජනතාව නොමඟ යවන සුලු වේ. විවේචන කෙසේ වුව ආර්ථික අර්බුදවලට මුහුණ දීම පහසු නැත. මේ සඳහා රටේ ආයතන හා නායකයන් එක මණ්ඩපයකට පැමිණිය යුතුය. ආර්ථික සභාව, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, ආර්ථික කටයුතු අමාත්‍යාංශය මේ අතර ප්‍රමුඛ වෙයි.

ජාතික ආර්ථිකය මෙහෙයැවීම සරල කාරණයක් නොවේ. ගෝලීය ආර්ථික ප්‍රවණතා නිරීක්ෂණය කරමින් ආර්ථික තීන්දු ගතයුතු සේම එහිදී මහජනයාගේ ජීවන තත්ත්වය කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. ශ්‍රී ලංකාවේ ආදායම් බෙදී යෑමේ විසමතාවක් පවතී. දුප්පත්කම ද බොහෝ ප්‍රදේශවල ව්‍යාප්තව ඇත. මේ අතර පහළ මැද පන්තියට අයත් විශාල පිරිසක් රට තුළ ජීවත් වෙති. එකිනෙක පළාත් ගතහොත් බස්නාහිර පළාත සම්පත් කේන්ද්‍රගත ස්ථානයක් ලෙස පවතී. මේ විසමතා සැලැකිල්ලට ගනිමින් ආර්ථික තීන්දු හා සංවර්ධන යෝජනා සම්මත කර ගත යුතුය. උතුර හා නැ‍ඟෙනහිර තව ම පවතින්නේ නොසලකා හරින ලද කලාප හැටියට ය. ආර්ථික හා සංවර්ධන තීන්දු ගත යුත්තේ එම පළාත්වලට ද යුක්තියක් ඉටුවන ආකාරයට ය.

පසුගිය අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් මෙරටට ප්‍රධාන ලෙසම විදේශ විනිමය ගලා ආ මාර්ගයක් වූ සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ල වුනි. ඒ හේතුවෙන් සංචාරක කර්මාන්තයේ නියැලී සිටී තරු පහේ සුපිරි හෝටල් වල සිට සංචාරක කර්මාන්තය ආශ්‍රිතව බිහි වෙමින් පැවති කුඩා මට්ටමේ ව්‍යවසායකයින්ට පවා දැඩි අසීරු කාලයක් උදා විය. ඊට පිළියම් ලෙස රජය විසින් සංචාරක කර්මාන්තයේ නියැලී සිටි සුළු හා මධ්‍යපරිමානයේ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු බිඳ වැටීම වැළැක්වීමේ අරමුණින් යුතුව වහා ක්‍රියාත්මක වන පරිදි බැංකු ණය පහසුකම් ලබා දීමට ක්‍රියා කිරීම පැසසිය යුතු කරුණකි. කෙසේ වුවද සංචාරක කර්මාන්තය අසීරු තත්වයක පැවතෙමින් සිට මේ වන විට නැවතත් යථා තත්වයට පත්වෙමින් පවතින මොහොතකදී බෝරා වරුන්ගේ ජාත්‍යන්තර සමුළුව ලංකාව තුළ පැවැත්වීමට කරුණු යෙදීම නොසීතූ ලෙස සංචාරක කර්මාන්තය නැවතත් ඉහළට එසවීමට විශාල දායකත්වයක් දක්වන්නක් බව කිව යුතුය. මෙම සමුළුව හරහා සංචාරක කර්මාන්තය තුළින් මේ වන විට ලංකාවට රුපියල් කෝටී 900ක් ඉක්මවන ආදායමක් ඉපයීමට හැකි වී තිබෙන බවට වාර්ථා වේ.

එසේම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අගමැතිවරයා යෝජනා කරන ප්‍රධාන වැඩසටහන් දෙකක් කෙරෙහි මෙහිලා අවධානය යොමු කිරීම වටී. එක් වැඩසටහනක් වන්නේ දකුණු ආසියාවේ මූල්‍ය කේන්ද්‍රයක් හා ආර්ථික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම ය. අනෙක් වැඩසටහන වන්නේ අපනයන ගම්මාන ඇති කිරීම ය. මේ වැඩසටහන් දෙක ම ප්‍රායෝගික ය. එලෙසම කෙටිකාලීන ප්‍රතිඵල සහිත ය. දකුණු ආසියාවේ ආර්ථික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ භූගෝලීය ඉඩ ප්‍රස්ථා බෙහෙවින් වැඩි ය. අපේ වරාය කටයුතු, ගුවන් ගමන් හා සාගර කලාපය ඊට හොඳින් ම භාවිත කළ හැකි ය. ශ්‍රී ලංකාවට අන්තර්ජාතික පිළිගැනීමක් ද දැන් ගොඩනැඟී ඇති බැවින් තත්ත්වය වඩාත් හිතකර වනු ඇත. අපනයන ගම්මාන ඇති කිරීමෙන් කෘෂිකර්මය පමණක් නොව අපේ සුළු කර්මාන්ත හා ලාක්ෂා කර්මාන්තය ද දියුණු කළ හැකි ය. නමුත් අගමැතිවරයාගේ මෙම සංකල්පයන් ක්‍රියාවට නැංවීම කෙරෙහි ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තීරණාත්මක සාධකයක් වනු නියතය.

හිරෝෂන් ලක්ෂාන්



2019-09-09
Advertisement

Find us on Facebook