English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනමාධ්‍යට එරෙහි මර්ධනයට එරෙහිව !

ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ ඇති සියලූ ආකාර මර්ධනය කිරීම් හා මාධ්‍යවේදින්ට එල්ලකරන  පහරදීම්වලට එරෙහිව ඔක්තෝබර් 02 සහ 03 දෙදින කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ දියත් කෙරිණි. ඒ සඳහා ප‍්‍රාදේශීය මාධ්‍යකරුවන්ද දේශපාලන ක්‍ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරීන්ද මාධ්‍ය නිදහස තේරුම් ගන්නා සහ ඊට හිතැති සිවිල් සංවිධාන නියෝජිතයෝ ද විශාල පිරිසක් සහභාගි වෙමින් වර්ථමාන ආණ්ඩුවේ මාධ්‍ය මර්ධනයට සහ සත්‍ය ප‍්‍රකාශ කිරීම වෙනුවෙන් එල්ලකරනු ලබන තර්ජන, චෝදනා හෙළාදකිමින්, ඊට විරෝධය දක්වමින්  ජනමාධ්‍යට අත තැබීම නවත්වන ලෙසට ආණ්ඩුවට බල කළේය.  

ඔක්තෝබර් 02 වෙනිදා, බදුල්ල ප‍්‍රාදේශීය මාධ්‍යවේදි චන්දන කුරුප්පුආරච්චිට එල්ලවු ප‍්‍රහාරයට විරෝධය පළකිරිමට සහ නීතිඥ නාමල් රාජපක්‍ෂ සහ මංජුල පතිරාජට එල්ලවී ඇති ජිවිත තර්ජන වලට විරෝධය පළකිරිම සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කොටුව දුම්රිය පොල ඉදිරිපිටදි විරෝධතාවක් දියත් කළේය.

සැළසුම් සහගත මෙම ප‍්‍රහාර හා සිද්ධීන් පිටුපස සිටින්නේ රජයේ ආරක්‍ෂ අංශවලට සම්බන්ධ පුද්ගලයින් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර පැවසීය. ගෙවුණු මාසය තුළදී පමණක් රට පුරා විවිධ ප‍්‍රදේශවලදි විශේෂයෙන්ම යාපනය හා ඌවේදි ප‍්‍රාදේශිය මාධ්‍යවේදින් කිහිප දෙනෙකුටම බරපත ප‍්‍රහාර එල්ලවු බව ද ඔහු ප‍්‍රකාශ කළේය.


ශ‍්‍රි ලංකාවේ සැබෑ පසුබිම පිළිබඳව සත්‍ය හෙළිකිරිම සම්බන්ධයෙන් කුපිතවන ආණ්ඩුව සහ ආණ්ඩුවේ වරප‍්‍රසාද භුක්තිවිඳින ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයින් , සැබෑ ජනමාධ්‍ය වෘත්තියක නියැලෙන ජනමාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන්ට ප‍්‍රහාර එල්ල කරයි. එහෙත් ආණ්ඩුව පිළිබඳව කිසිඳු දෝෂයක් මතුනොකරන ප‍්‍රශ්න කිරීමක් නොකරන සුවච කීකරු හීලෑ ජනමාධ්‍ය ආතන හා මාධ්‍යකරුවන්ට එම පුර්ණ මාධ්‍ය නිදහස ඇත.

නව සම සමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න ද මේ බව සනාථ කරමින් කියා සිටියේ එල්ලවන සියලූ ප‍්‍රාහාර, ආණ්ඩුවට එකඟ නොවන මාධ්‍ය ආයතන හා මාධ්‍යකරුවන් ඉලක්ක කරගනිමින් ආණ්ඩුව විසින් ම දියත්කරනු ලබන ප‍්‍රහාර බවයි.







ඡයාරූප - පිලිප් දිසානායක ,ලංකා ෆෝකස්
-MMP



2014-10-03
Advertisement

Find us on Facebook