English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බෝරාවරුන්ගේ 9 වන සමුළුව


වර්තමාන සමාජය මුස්ලිම්වරු ගැන වැඩි වශයෙන් කථා කරන්නට ගත්තේ ඉකුත් අපේ‍්‍රල් මස 21 වෙනි පාස්කු දින මෙරට පිපිරී ගිය බෝම්බ ප‍්‍රහාර මාලාවත් සමගිනි. එම බෝම්බ ප‍්‍රහාරයෙන් පසු මෙරට බොහෝ දෙනාට මුස්ලිම්වරු සියලූ දෙනා පෙනෙන්නට ගත්තේ සහරාන්ලා මෙනි.

සහරාන් පාස්කු දින ගිනි තබන රට කෙමෙන් කෙමෙන් සන්සුන් වෙද්දි ඉකුත් මැයි මාසයේදි කුරුණෑගල වෛද්‍ය සාෆිගේ වද සැත්කම් යළි රටම ගිනි තැබීමට සමත් විය. මීට ප‍්‍රධාන වශයෙන් හේතු වුයේ එක්තරා ජාතික පුවත්පතක ගිය සිරස්තලයක් නිසාවෙනි.

ඉන් අනතුරුව රට්ටුන්ට කථා කරන්නට වෛද්‍ය සාෆි මාතෘකාවක් විය. දැන් ඔහුද රට්ටුන්ගේ මතකයෙන් ඉවතට යද්දි නැවතත් රට්ටුන්ට කථා කිරිමට දෙයක් මතුව ඇත. ඒ බෝරා ගැනය.

"බෝරා" යන්න අපට නුහුරු වචනයකි. බොහෝ දෙනා බෝරා ගැන දැන සිටියේද නැත. නමුත් මේ දින වල සියලූ දෙනා කථා කරන්නේ බෝරා ගැනය.

බෝරා යනු, ඉස්ලාම් ආගමේ ප‍්‍රධාන වශයෙන් නිකායන් දෙකකි. එනම් අරාබි සම්භවයක් ඇති සුන්නි මුස්ලිම්වරු හා ඉන්දියානු-ඉරාන සම්භවයක් ඇති ෂියා මුස්ලිම්වරු ලෙසිනි. සුන්නි මුස්ලිම්වරු සියයට අනු අටක් සිටින අතර ෂියා මුස්ලිම්වරු සිටින්නේ සියයට එකයි දශම නමයක් ලෙසිනි. මෙම ප‍්‍රධාන නිකායන් දෙකට අමතරව තවත්  නිකායක් තිබේ. එය ඇෆ්ගනිස්ථානු-ඉන්දියානු-පකිස්ථානු සම්භවයක් ඇති කාදියාන්වරුය. ඔවුන් ඇත්තේ දශම එකක් පමණි.

බෝරා යනු ෂියා නිකායට අයත් ඉස්මයිල් ශාඛාවේ උප නිකායකි. මොවුන්ගේ නිජබිම වන්නේ ඊජිප්තුව වේ. ෂියා නිකාය මධ්‍යස්ථවාදී  නිකායක් ලෙස සලකනු ලබන අතර අන්තවාදී ස්වරූපයක් උසුලන්නේ නැත. නිතරම අරාබි ඇදුම් නොඅඳින මොවුන් ජිවත් වන පරිසර වටපිටාව හා මිත‍්‍රශිලිව කටයුතු කරන ආගමික චාරිත‍්‍ර වලට මුල්තැන දෙන කොටසකි. දිනකට පස් වතාවක් දෙවියන් නමදින මේ බෝරාවරුන් රාමසාන් උපවාසය පවා නිසියාකාරව සිදු කරන කොටසක් ලෙස සැලකේ. බෝරාවරුන් යනු ව්‍යාපාරික ලොකේ වැජඹෙන කණ්ඩායමකි.

වෙළෙන්ඳා යන අර්ථය දෙන බෝරාවරු විශ්වාස කරනුයේ තමන්ගේ නායකයාගෙන් පැවත එන උරුමක්කරු වර්තමානයේ ඔවුන් අතර සිටින බවය. මේ උරුමක්කරුවා තමන්ගේ අනන්‍යතාව හෙළිකොට බෝරාවරුන්ගේ නායකත්වය ලබාගෙන ඔවුන් සියලූ දෙනාට සාමය උදා කරනු ඇති බවට විශ්වාස කරනු ලබයි.

බෝරාවරු ලංකාවට අලූත්ද?

ප‍්‍රසිද්ධියක් නොලැබුවද බෝරාවරුන්ගේ මෙරට ඉතිහාසය 1839 පමණ දක්වා විහිදේ. ලංකාවට පැමිණි පළමු බෝරා ව්‍යාපාරිකයා වුයේ ජාෆාර්ජි ඊසාජිය. ඔහු ඉන්දියාවේ සිට මාලදිවයින බලා මුහුදු මාර්ගය ඔස්සේ ගමන් කරමින් සිටියදි කුණාටුවකට හසු වීමෙන් ගාල්ල වරායට සේනදු වී තිබුණි. අනතුරුව ඔහු මෙරට වෙළඳාමට අත් පොත් තැබීය. ඒ උම්මලකඩ වලට සහල් මාරු කිරිමෙනි. ඉන් අනතුරුව බෝරාවරුන් මෙරට ව්‍යාප්ත වී  ඇත. අපේ රටේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරික සමාගම් වන අක්බාර් බ‍්‍රදර්ස් හා ජාෆර්ජී ද බෝරාවරුන්ය.

බෝරා සමුලූව

මේ දිනවල බම්බලපිටිය හුසෙයිනි මස්ජිද් පල්ලිය (බෝරා පල්ලිය) කේන්ද්‍ර කර ගනිමින් බෝරා ජාත්‍යන්තර සමුලූවක් පැවැත්වේ. අෂාරා මුබාරකා නම් වු මෙම ආගමික උත්සවය ඉකුත් 31 දා ආරම්භ වුයේ බෝරාවරුන්ගේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයිය දිනා මුෆද්දල් සෙයිෆුද්දීන් තුමාගේ ප‍්‍රධානත්වයෙනි. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ආරාධනයෙනි.

නබි මුහම්මුද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්තුමාගේ මුණුපුරා වන ඉමාම් හුසෙයින් සිහිකිරිම සදහා අෂාරා මුබාතේ දේශනාව පැවැත්වේ. මෙම දේශනාව වසරකට වරක් කිසියම් රටක පැවැත්වෙන අතර ඊට සියලූම රටවල් නියෝජනය කරමින් බෝරාවරුන් එක් වේ. ඇතැම්හු පවසන ආකාරයට මෙවැනි ආගමික උත්සවයක් පැවැත්වීම ඒ රටට ආශිර්වාදයක් බවද පැවසේ.

ඉකුත් දා මෙරට ආරම්භ වු බෝරා සමුලූව මේ මස 9 වෙනි දින තෙක් පැවැත්වෙන අතර ලොව රටවල් 40 කට අයත් බෝරා ආගමිකයෝ 21,000 කට අධික පිරිසක් මේ සදහා එක්ව සිටිති.

අධික බැතිමතුන් පිරිසක් මේ සදහා සහභාගී වීම හේතුවෙන් බම්බලපිටිය අවට විශේෂ රථ වාහන තදබදයක්ද ඇති විය. මේ නිසා වෙනම විශේෂ වු රථ වාහන සැලැස්මක් සැකසිමටද පොලිස් මුලස්ථානයට සිදු විය.

බෝරාවරුන් ගැන විරුද්ධත්වයක්

මේ අතර මෙම මුස්ලිම් ආගමික සමුලූවට විරෝධය පා සිංහල බලමුලූව විසින් උද්ඝෝෂණයක් පැවැත් වීමට සුදානම් වන බවට බම්බලපිටිය පොලිසියට ලද තොරතුරක් මත බම්බලපිටිය පොලිසිය අලූත්කඩේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ඉල්ලා තිබුණි.

ඒ අනුව අධිකරණය විසින් සියලූ කරුණු සලකා බලා අපරාධ නඩු විධාන සංග‍්‍රය යටතේ 106 වගන්තිය යටතේ අලූත්කඩේ මහේස්ත‍්‍රාත් අධිකරණ බල සීමාවේ කිසිදු ප‍්‍රදේශයක සැප්තැම්බර් 10 වෙනිදා තෙක් උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් ඉකුත් 01 දා නියෝගයක් නිකුත් කර තිබුණි.

මේ අතර බෝරා නිසා කොළඹ අවට ගව සංහාරයක් සිදුවන බව සත්ව හිංසා ජාතික එකමුතුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

එමෙන්ම මේ බෝරා සමුලූව ගැන සමාජ මාධ්‍ය ඔස්සේද විවිධ මත පළවන්නට විය. බොහෝ දෙනෙක් කියා තිබුනේ බෝරාවරුන් බම්බලපිටියේ ආධිපත්‍ය පතුරවාගෙන සිටින බවයි. ඉන් ඔවුන් උත්සහ දැරූවේ කුඩා ගිනි පුපුරක් දැල්වීමටය.

බෝරා සමුලූවෙන් අපිට ලැබෙන වාසි


මේ අතර සංචාරක ප‍්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් මහතා ප‍්‍රකාශ කර තිබුණේ මෙම බෝරා සමුලූව නිසා මෙරටට රුපියල් බිලියන නවයක ආදායමක් හිමි වෙන බවය. පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසු මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් වන්නේද බෝරාවරුන්ය. එමෙන්ම මේ වන විට කොළඹ අවට සියලූම හෝටල් පිරි ඉතිරි ගොස් ඇත්තේ මෙම සංචාරකයින්ගෙනි.

ඇතමුන් විශේෂ කොට දක්වන ආකාරයට බෝරා සමුලූවක් මෙරට පැවැත්වෙනුයේ පළමු වරට නොවේ. මීට පෙරද 2007 දි එල්.ටි.ටී.ඊය පැවති යුද්ධය නිසා කඩා වැටී තිබු මෙරට ආර්ථිකය ගොඩනැංවීමට බෝරා සමුළුවක් මෙරටදී පැවැත් වු බව අමතක නොකළ යුතුය.


-මාධවී-




2019-09-06
Advertisement

Find us on Facebook