English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිවරණය අබියස පවත්වන ඇල්පිටිය ඡන්දය


ශ්‍රී ලංකාවේ පහලම මට්ටමේ දේශපාලන ආයතනය පළාත් පාලන ආයතන වේ. පළාත් පාලන ආයතන රහිතව ඍජුව ආණ්ඩුව යටතේ පාලනය වන පුරවර නිර්ණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය තිබුනද වර්තමානයේ ශ්‍රී ලංකාවේ සියළුම ගොඩබිම් ප්‍රදේශ පළාත් පාලන ආයතනයකට අයත්ය. පුරවරයක් හෝ යාබද නගර කීපයක් පාලනය මහා නගර සභා මගින් සිදුවේ. ශ්‍රී ලංකාවේ පළමුවන මහා නගර සභාව වන්නේ කොළඹ මහා නගර සභාව යි. 1865 වර්ෂයේ දී කොළඹ මහා නගර සභා ආඥාපනත ව්‍යවස්ථාදායක සභාව විසින් සම්මත කිරීමත් සමග ම කොළඹ මහා නගර සභාව සංස්ථාපනය විය. 1866 වර්ෂයේ දී ගාල්ල සහ මහනුවර නගර සඳහා වෙනම වූ ආඥාපනත් සම්මත කිරීමත් සමග ම ගාල්ල මහා නගර සභාව සහ මහනුවර මහා නගර සභාව සංස්ථාපනය විය. 1948 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන තෙක් ම පැවතියේ මේ මහා නගර සභා තුන පමණි. පසුව මේ තත්වය වර්ධනය වී සෑම ප්‍රධාන නගරයක් පාසාම නගර සභා හෝ මහ නගර සභා පිහිටුවීම සිදු වුනි. පිටිසර ප්‍රදේශ සහ පිටිසර ප්‍රදේශ වලට මැදිව පිහිටා ඇති කුඩා නගර පාලනය ප්‍රාදේශීය සභා මගින් සිදුවේ.

පළාත් පාලන ආයතන සඳහා සභිකයින් පත්වීම සිදුවන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම මගිනි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (262 වන අධිකාරය) අනුව පළාත් පාලන ආයතනයක සභිකයන්ගේ ධූර කාලය (වසර 4) අවසන් වීමට මාස 06කට පෙර, කාල සීමාව තුළ දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් නිලධරයා (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති) විසින් ඡන්ද විමසීමක් පැවැත්වීමට අදහස් කරන බව දන්වමින් දැන්වීමක් ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් හෝ පළාත් පාලන ආයතන විෂයභාර මධ්‍යම රජයේ අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතනයක් විසුරුවා හැරීමෙන් පසු ඡන්ද විමසීම් නිලධරයා විසින් ඡන්ද විමසීම පිළිබඳ දැන්වීම ප්‍රසිද්ධ කරනු ලැබීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ලැබේ. කෙසේවුවද වර්ෂ 2018 පෙබරවාරි මස 10 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේදී ප්‍රථම වතාවට මිශ්‍ර ක්‍රමයට මෙම ඡන්ද විමසීම සිදු කරන ලදි. එනම් යම් පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාශ මට්ටමින් සහ පොදු ලේඛනයකින් සභිකයින් තෝරා පත් කර ගැනීම සිදුවේ. ඒ අනුව 2017.10.12 දිනැති 2017 අංක 22 දරන ප්‍රාදේශීය සභා සංශෝධන පනත මගින් මෙම ප්‍රමාණයන් පහත ආකාරයට විය යුතු යැයි තීරණය කර ඇත. එනම් කොට්ඨාශ මට්ටමින් 60% ක් සහ සමානුපාතික පදනමින් 40% ක් වේ.

මෙවර 2018 පැවති පළාත් පාලන මැතිවරණ ක්‍රමයේදී සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදු කර තිබුණි. ඒ අනුව පළාත් පාලන ආයතන සංඛ්‍යාව සහ සභික ධූර සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස්  තිබුණි.  මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 335 ක් වන අතර එය 341 දක්වා වැඩිවී තිබේ. පොළොන්නරුව මහනගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා අලුතින් එකතුවීම ඊට හේතු විය. එහෙත්, 2018 ජනවාරි 30 වන දා නාම යෝජනා ගැටලුවක් මත ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් හේතුවෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. අදාළ අතුරු තහනම නඩුව විභාගකර අවසන් වන තෙක් ක්‍රියාත්මක බැවින් අද ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්ද විමසීම සිදු නොවුනි. ඒ අනුව ඡන්ද විමසීම සිදුකෙරුනේ පළාත් පාලන ආයතන 340 ක් සඳහා පමණි.

පසුව අදාළ පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු 30 වන දින තම තීරණය දෙමින් දන්වා සිටියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්විය යුතු බවත් එහිදී මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද නාම යෝජනා නැවත භාර ගත යුතු බවත්ය. ඒ අනුව සභිකයින් 28 තොරා ගැනීම සඳහා ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට කොට්ඨාශ මට්ටමින් 17 දෙනෙකුත් එමෙන්ම දෙවන ලැයිස්තුවෙන් 11 දෙනකු වශයෙන් සභිකයින් 28 දෙනා තෝරා ගන්නා බවට සහ එම මැතිවරණය ඔක්තෝබර් මස 11 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් මේ වන විට වාර්ථා වී තිබේ. මීට පෙර අවසාන වරට ඇල්පිට්ය ප්‍රාදේශීය සභාව පළාත් පාලන මැතිවරණයක් පවත්වා සභිකයින් තෝරා පත් කර ගනු ලැබුවේ 2011 වර්ෂයේදීය. එහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා දේශපාලන පක්ෂ 06 ක් තරග කර කරනු ලැබූ අතර එහිදී ලබා ගත් ජන්ද ප්‍රතිඵල හා ආසන ගණන පහත පරිදි විශ්ලේෂණය කළ හැක.

දේශපාලන පක්ෂය

ලබා ගත් ජන්ද සංඛ්‍යාව

ජන්ද ප්‍රතිශතය

ලබා ගත් ආසන සංඛ්‍යාව

එක්සත් ජනතා නිදහස් සන්ධානය

19,954

58.54%

10

එක්සත් ජාතික පක්ෂය

10,427

30.59%

04

ස්වාධීන කණ්ඩායම

2539

7.45%

01

ජනතා විමුක්ති පෙරමුණ

1100

3.23%

0

සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය

56

0.16%

0

රුහුණු ජනතා පෙරමුණ

10

0.03%

0


2011 පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබුවේ පැරණි ක්‍රමයට හෙවත් සමානුපාතික ක්‍රමයටය. නමුත් මෙවර මිශ්‍ර ක්‍රමය යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පවත්වනු ලබන්නේ ප්‍රථම වතාවට වන හෙයින් මෙම විශ්ලේෂණයේ ප්‍රතිඵල සැලකිය යුතු ලෙස වෙනස්වනු නොඅනුමානය. එසේම මෙහිදී 2011 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ලියාපදිංචි ඡන්ද දායකයින් 49113 දෙනෙකු සිටි අතර මෙවර 2019 ඔක්තෝබර් 11 වන දින මැතිවරණය පවත්වන කාලවකවානුව වන විට එම සංඛ්‍යාව 4271 කින් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව මේ වන විට ඡන්ද දායකයින් 53384 දෙනෙකු ලියාපදිංචිව ඇත. කෙසේවුවද ජනාධිපතිවරණ ඡන්ද උණුසුම වැඩි වෙමින් පවතින මෙවන් අවස්ථාවකදී පළාත් පාලන ආයතනයක ඡන්ද විමසීමක් පැවැත්වීමට කරුණු යෙදී තිබීම ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් කෙරෙහි තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇති බවට දේශපාලන කරලිය තුළ මේ වන විට දැඩි ලෙස කතා බහට ලක් වෙමින් පවතී.

-හිරෝශාන් ලක්ෂාන්-



2019-09-06
Advertisement

Find us on Facebook