English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මිනීමැරුමක් වසන් කිරීමට ගිය පොලිසියට වැඩ වරදී!


 



2012 වසරේ දී වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටියදී මිය ගිය වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි නිමල් චන්ද්‍රසිරි මහතාගේ මරණය සම්බන්ධයෙන් වාද්දුව පොලිස් ස්ථානයේ එවකට සිටි ස්ථානාධිපති ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග හා නීතිමය පියවර නොගැනීමට ඒරෙහිව ගොනුකල රිට් අයදුම අභියාචනාධිකරණය විසින් පසුගිය අගෝස්තු 30 දා විභාගයට ගැනුනි. ඒහි දී වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ දිවුරැම් ප්‍රකාශයක් මගින් දන්වා  සිටියේ අදාල නිලධාරීන්ට ඒරෙහිව විනය පියවර ගෙන ඇති බවත් මේ වන විට ඔවුන් වැඩ තහනමකට ද ලක් කොට ඇති බවයි.

වැඩ බලන පොලිස්පති දිවුරුම් ප්‍රකාශය මගින් අභියාචානාධිකරණය වෙත දන්වා සිටියේ අදාළ සිද්ධියට වග කිව යුතු පොලිස් නිලධාරින් වන චන්දන සේපාල, සරත් සේනාවර්ධන, සරත් කුමාර හා ලයනල් යන අයට විනය ක්‍රියාමාර්ග ගෙන වැඩ තහනමට ලක් කොට ඇති බවත්, ඒවකට වාද්දුව පොලිස් ස්ථානාධිපතිව සිටි නිමල් කරුණාරත්න යන අයට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් විභාග වන මහාධිකරණ නඩුවේ අවසන් තීන්දුවට යටත්ව විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 12 වන ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව විශ්‍රාම ගැන්වීමට කටයුතු කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් ආරම්භ නොකිරීමත්, පොලිස් පරීක්ෂණ විධිමත් ලෙස සිදු කොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට නිසි ආකාරයකින් විධිමත් දායකත්වයක් සැපයීම පැහැර හැරීම නිසාත් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව දිගින් දිගටම කල් යමින් පැවතුනි. මේ පිළිබඳව අවධානය යොමු කළ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය  නිමල් චන්ද්‍රසිරි මහතාගේ බිරිඳ වන දිලූපා සුදර්ශනී මහත්මිය පෙත්සම්කරු ලෙස ඉදිරිපත් කරමින් අභියාචනාධිකරණය වෙත වර්ෂ 2015 නොවැම්බර් මස 30 වන දින මැන්ඩාමුස් රිට් අයදුමක් ඉදිරිපත් කරනු ලැබීය.

එම රිට් අයදුම මගින් ජාතික පොලිස් කොමිසම හා පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින් වග උත්තර කරුවන් කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂණ විධිමත් කිරීමට සහ අදාළ නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙසට වූ නියෝගයක් වගඋත්තර කරුවන්ට එරෙහිව ලබා දෙන ලෙසයි.

මෙම පෙත්සම අභියාචනාධිකරණය විසින් පිළිගෙන විභාගය සඳහා අවසර ලබා දුන් අතර ඒ අනුව මෙම නඩුව අභියාචනාධිකරණයේ විභාග වන අවස්ථාවේදී පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාග වෙමින් තිබූ නඩුවට අදාළව පොලිස් පරීක්ෂණ කඩිනම් වන බව දැක ගත හැකි විය. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික පරීක්ෂණ කටයුතු අවසන් කොට වර්ෂ 2017 දී නඩු අංක 3499/17 යටතේ පානදුර මහාධිකරණයේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබීය.

එසේම මෙම මැන්ඩාමුස් රිට් අයදුමේ ප්‍රතිඵලයක් වශයෙන් පොලිස්පතිවරයාට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට මෙම සිද්ධිය තවදුරටත් යට ගැසීමට නොහැකි වූ අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට  සිදු විය.

රජයේ වගකිවයුතු ආයතනයන් වන පොලිස් දෙපාර්තමේන්තුව හා ජාතික පොලිස් කොමිෂන් සභාව යටගැසීමට ගිය බරපතල අපරාධයක් සම්බන්ධයෙන් නීතියෙන් ලබා දී ඇති පියවරයන් නිසියාකාරව අනුගමනය කිරීම හේතුවෙන් යුක්තිය ඉටු කරවා ගැනීමට හැකි වූ බවත් අදාළ වගකිව යුතු ආයතනයන්ට තම වගකීම තවදුරටත් පැහැර හැරිය නොහැකි වූ බවත් අධිකරණය ඉදිරියේදී මනාව පෙනී ගියේය. මේ සිද්ධිය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබේ.

හිරෝෂන් ලක්ෂාන්


 

 




2019-09-05
Advertisement

Find us on Facebook