English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අල්ලපු, පය ගහපු අතු දෙකම නැති කරගත් සිරිසේන


අල්ලපු, පය ගහපු අතු දෙකම නැති කරගත් සිරිසේන

ජනාධිපතිවරයාගේ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මන්ත්‍රණය පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. එහිදී ජනාධිපතිවරයා සුපුරුදු පරිදි හතරවටේට පහර එල්ල කරමින් දීර්ඝ දේශනයක් සිදු කරන ලදී. ඔහුගේ දේශනය පුරාවට ඔහුගේ මුහුණේ ඉරියව් තුළින්ද දේශනයේ අන්තර්ගතය තුළින්ද ඔහු අද පත්වී ඇති දේශපාලන අසරණභාවය දිස් විය.

රට සහ ජනතාව වෙනුවෙන්, මානවවාදී ව මානුෂීය හැඟීමෙන්, අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන අපේ රට අපි අවංකව ගොඩනගමු, දූෂණයෙන්, වංචාවෙන් තොරව අපි රට හදමු කියන ඒ චින්තනයට මේ රටේ දේශපාලනයේ සියයට කීයක් ඉන්නවද. එතන තමයි තිබෙන ප‍්‍රශ්නය. ගෙම්බන් පනිනවා වගේ එහාට මෙහොට පනින්නේ රට වෙනුවෙන් හිතන අය නම් නොවේ. ඒ සියල්ලන් ම තමන් වෙනුවෙන් තමන්ගේ පුද්ගලික අනාගතය ගැන හිතන අයයි.”  මේ ජනාධීපතිවරයා දැක්වූ එක් අදහසක්. ජනාධීපතිවරයා කියන්නේ දූෂණයෙන් වංචාවන් තොරව රට අවංකව ගොඩ නැගීමට හිතන දේශපාලකයන් ලංකාවේ නොමැති බවයි. ජනාධිපතිවරයා මෙහිදී තමා පිරිසිදු යැයි කියන්නට උත්සහ දැරුවද ඔහුත් ඒ දූෂීත දේශපාලකයන් අතර එක් අයෙක්. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයාද ජනාධීපතිවරයා යටතේ ඇති සංස්ථාවක සභාපතිවරයාද අල්ලස් ගැනීමකට අත්අඩංගුවට ගැනීම ජනාධිපතිවරයාගේ පිරිසිදුභාවය දැඩි ලෙස ප්‍රශ්න කලසිදුවීමක්. ජනාධීපතිවරයා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට සිය සහෝදරයකු සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් අද ඒ ආයතනයට අත් වී ඇති ඉරණම මේ සමාජයේ බරපතළ ලෙස සාකච්ඡාවට ලක් විය යුත්තක්. ජනාධීපති දියණිය ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදු කරන කටයුතු හා ඇගේ මැදිහත්වීම් සමාජය තුළ සාකච්ඡාවට ලක් විය යුතු දෙයක්.

ගෙම්බන් පනිනවා වගේ එහාට මෙහාට පනින දේශපාලකයන් ගැන මෙහිදී ජනාධීපතිවරයා විවේචනාත්මකව අදහස් දැක්වුවත් එලෙස ගෙම්බන් පනින ලෙස පැති මාරු කල ලංකාවේ එකම ජනාධීපතිවරයා තමා බව ඔහුට අමතකයි. තමාට ලැබුණු ජනවරමට සම්පූර්ණයෙන්ම පිටු පා තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් එම ජනවරමට විරුද්ධ කණ්ඩායම සමග මෙම ජනාධීපතිවරයා අත්වැල් බැඳ ගත් බව අද ඔහුට අමතකව ගොස් බව පෙනේ. එපමණක් නොව අත්තනෝමතිකව පාර්ලිමේන්තුව කල් දමා මන්ත්‍රීවරුන්ව ගෙම්බන් ලෙස පන්නා ගෙන බලය තහවුරු කිරීමට රාජපක්ෂ කඳවුරට අවස්ථාව ලබා දුන්නේද මෙම ජනාධීපතිවරයායි. ජනාධිපතිවරයාව බරපතළ ලෙස දේශපාලනිකව හුදකලා කළේ මෙම පැතිමාරුවයි.

“2015 ජනවාරි 08වන දා මැතිවරණයේ දී මම උඩුගම් බලා පීනපු කෙනෙක්. එය මොනතරම් අභියෝගයක් ද කියලා එදා දේශපාලන ව්‍යාපාරයේ සිටි අයටත්, රටේ ජනතාවටත් ඒ අවස්ථාවේ පැහැදිලි වුණා. ඒ අභියෝගය ජයග‍්‍රහණය කරලා හදපු ඒ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු අද ඇතැම් අයට අමතකයි.” ජනාධිපතිවරයා මෙලෙස ජනවාරි 8 දේශපාලන පරිවර්තනය ගැන අදහස් දක්වන්නේ තමාට එකී පරිවර්තනයේදී ලබා දුන් පොරොන්දු ඉතා හොඳින් මතක එම පරිවර්තනයේ අරමුණු වෙනුවෙන් තමා අප්‍රමාණව කැප වෙන බවත් කියන්නටය. එකී දේශපාලන පරිවර්තනයට සම්පූර්ණයෙන්ම පිටු පෑවේ අන් කිසි නායකයකු නොව ජනාධීපතිවරයා බව එම පරිවර්තනයට සහය දැක්වූ ලක්ෂ 62ක ජනතාවම දනී. ජනවාරි 8 මැතිවරණයේදී උඩුගම් බලා පීනුවේ ඔහු පමණක් නොවේ. ඒ වන විට මර්ධනකාරී රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නොබියව සටන් කළ මිනිසුන් මෙරට සිටියහ. රාපක්ෂ විරෝධය ජනතාව තුළ පැතිරෙව්වේ ඔවුන්ය. ජනාධීපතිවරයා එම අරගලයට යම් ජීවයක් සැපයීම පමණක් සිදු කරන ලදී. අවසානයේ ජනාධීපතිවරයා තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව නොබියව සටන් කර තමාව ජනාධීපති පුටුවේ ඉන්දවූ ජනතාව තුට්ටුවකට මායිම් නොකර දේශපාලන තීරණ ගත්තේය.

සුපුරුදු පරිදි අගමැතිවරයාට එරෙහිව ඔහුගේ විවේචනයද ඉදිරිපත් විය. පළාත් සභා මැතිවරණය කල් දැමීමේ වරදින් ඔහු හරි අපූරැ ලෙස නිදහස් වෙමින් එහි වරද අගමැතිවරයාට පැටවීය. මේ ආණ්ඩුව පත් වූ දා සිට වගකීමෙන් තොර ඔහුගේ ක්‍රමයයි. ආණ්ඩුවේ සියලු වැරදි අඩුපාඩු ඔහු නොදනී. හොඳ දේ පමණක් ඔහුගේය. ඔහු කුමන දේ කිව්වද පළාත් පාලන මැතිවරණයත් පළාත් සභා මැතිවරණයත් කල් දැමීමේ ප්‍රධාන වගඋත්තරකරුවා වෙන කිසිවෙක් නොව ජනාධීපතිවරයා බව මුලු රටම දනී. මෙම විෂය භාර අමාත්‍යවරයා වූයේ ජනාධීපතිවරයාගේ පාර්ශවයේ ඇමතිවරයකු වූ ෆයිසර් මුස්තාෆායි. ජනාධීපතිවරයාගේ උපදෙස් මත ඔහු විසින් සීමා නීර්ණ වාර්තා සම්බන්දයෙන් සිදු කරන ලද කටයුතු මුලු රටම දනී. සිය පක්ෂයේ දේශපාලන බලය එළිදරව් වීම වැළැක්වීමට ඔහු සෙමෙන් සෙමෙන් මෙම මැතිවරණ කල් දමා ගත්තේය. ඔහුගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් කරන ලද සියලු සෙල්ලම් පරාජය වුනු පසු එක්වරම මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට ඔහුට මතක් විය.

ආණ්ඩුවේ හා විපක්ෂයේ අය උතුරේ නායකයන් සමග බලය වෙනුවෙන් රහස් සාකච්ඡා සිදු කරන බවට චෝදනාවක් ජනාධීපතිවරයා එල්ල කරද්දී එදා තමාව ජනාධීපති පුටුවේ ඉන්දවීමට උතුරේ දේශපාලන නායකයන් හා ජනතාව කරන ලද මෙහෙය ඔහුට අමතක වෙයි. එදාද ඔය දේශප්‍රේමි විරයා බවට පත් වෙමින් උතුරේ ඡන්ද ප්‍රතික්ෂේප කිරීමට ඔහුට තිබුණි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය පිළිබඳවත් ඔහු දැඩි විවේචනයක් එල්ල කරයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලිය ජනවාරි 8 ඔහු බලයට පත් වීමේදී ලබා දුන් දේශපාලන පොරොන්දුවක් මත සිදු වන්නක් බව ඔහු අමතක කරයි. මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාවලියට නිසි දේශපාලන නායකත්වයක් ලබා දීමට නොහැකි වීම ගැන ජනාධිපතිවරයා ඇත්තවශයෙන්ම ලැජ්ජාවට පත් විය යුතුය. ඔහු ඔහුගේ ජනාධිපතිවරන සටනේදී මැන්ඩෙලා ගැන කීවද ඔහුට මැන්ඩෙලා කෙනෙක් වීමට හෝ ඒ අසළට යාමට හෝ නොහැකි වූයේ මෙම දේශපාලන නායකත්වය ලබා දීමට නොහැකි වුනු නිසාය.

නැවතත් ජනාධිපතිවරයා සුපුරුදු පරිදි 19වන සංශෝධනයට එරෙහි වෙයි. 19 වන සංශෝධනයෙන් ජනාධීපතිවරයා කිසිදු බලයක් නොමැති තත්වයකට පත් වූ බවත් ඉදිරියේදී පත්වන ජනාධීපතිවරයා මේ තරම්වත් බලයක් ඇති අයකු නොවන බවත් ඔහු විවේචනාත්මකව පවසයි. විධායක ජනාධීපති ධූරය ඒ ආකාරයට වෙනස් වීම ජනවාරි 8 දේශපාලන පරිවර්තනයෙන් බලාපොරොත්තු වුනු දෙයක් බව ජනාධීපතිවරයා මතක් කර ගැනීම වටියි. විධායක ජනාධීපති ධූරය තමා අහෝසි කරන බව පැවසූ ජනාධීපතිවරයා විධායක ජනාධීපතිව ධූරයට ඒ ආකාරයට වෙනසක් සිදු වනවා නම් සතුටු විය යුතුය.

මම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කළා. ජනතාවගේ නිදහස සහතික කළා. ආණ්ඩුවේ කිසිම වෙඩිල්ලක්, දේශපාලන හේතුවක් හෝ පෞද්ගලික හේතුවක් මත රටේ පුරවැසියෙකුට පත්තු නොවූ එකම යුගය මගේ යුගය කියලා මම තමුන්නාන්සේලාට පැහැදිලිව කියනවා. ගෙවල් ගිනි තිබ්බේ නැහැ. මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ නැහැ. ජනාධිපති ආරක්ෂක අංශය, හමුදාව මිනීමරන්න, වැරදි වැඩවලට යෙදෙව්වේ නැහැ. ඒ කිසිම චෝදනාවක් මගේ කාලයේ නැහැ. මම ඒ ගැන සතුටු වෙනවා. ඒ වාර්තාව පිහිටුවන්න මට පුළුවන්කම ලැබුණා.” මේ ප්‍රකාශය නම් සහතික ඇත්තය. නමුත් මෙය ජනාධීපතිවරයා පමණක් තනිවම කල දෙයක් නොවේ. මෙය ඇත්තටම සිදු කළේ ජනවාරි 8 වෙනස ඇති කල මහජන ව්‍යාපාරයයි. ජනාධිපතිවරයා ඔහ කියන කටයුතු සියල්ල ඉතා ඉහළින් පසුගිය රාජපක්ෂ රෙජිමය සිදු කරන ලදී. ජනවාරි 8 වෙනස එම කටයුතුවලට එරෙහිව පුළුල් මහජන බලවේගයක් විසින් නිර්මාණය කරන ලද්දක්. ඒ තුළින් මහජනයාට කතා කිරීමට විරෝධය දැක්වීමට පුළුල් අවකාශයක් නිර්මාණයවීම හරහා තුවක්කු පත්තු කිරීමට පෙර දෙවරක් හිතන්නට ඕනෑම නායකයෙන් පෙළඹෙයි. ජනාධිපතිවරයා කියන මෙම තුවක්කු පත්තු නොවීමේ ගෞරවය සමස්ත ආණ්ඩුවටම හිමි විය යුතුයි. ජනාධිපතිවරයා මේ සියලු ගෞරවය ආපස්සට හරවා ගත්තේ ජනාධීපතිවරයා කියන පරිදි හොඳින්ම ජනතාවට එරෙහිව තුවක්කු පත්තුකල ජනවාරි 8 වනදා මෙරට ජනයා පළවා හරින ලද කණ්ඩායමකට ඔහු විසින්ම බලය ලබා දීම මගින්.

ඔහු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම පරිණත බවක් ඔහු කියා සිටියද ඉතිහාසයේ ජනාධීපතිවරයකු කරන ලද අපරිණතම ක්‍රියාව ඔහු පසුගිය ඔක්තෝබර් 26 වන දා සිදු කරන ලදී. ඒ තම ජනවරම නියෝජනය කරන ලද කඳවුරට මුළුමනින්ම පිටු පාමින් ඉහත කී පරිදි ජනවාරි 8 පළවා හැරි කන්ඩායමට බලය ලබා දීමට ඔහු විසින් කටයුතු කිරීමයි. මේ මගින් අවසානයේ ජනාධීපතිවරයා ජාත්‍යන්තරවත් ජාතිතවත් දේශපාලනිකව හුදකලාභාවයකට පත් විය. අද ඔහුට තිබෙන ලොකුම ගැටලුව නම් පොදු ජන පෙරමුණ ඔහුව තඹේකට මායිම් නොකිරීමයි. එක්සත් ජාතික පක්ෂයද ඔහුව මායිම් නොකරයි. දැන් මේ වන විට ජනාධීපතිවරයා අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැති තත්වයට පත් වී සිටියි. ඒ නිසා කෙසේ හෝ ඉදිරි මැතිවරණ ජය ගැනීමට තමාගේ සහය අත්‍යවශ්‍ය තත්වයකට පත් කර ගැනීමට කුමන හෝ ගේමක් ගැසීමට ජනාධීපතිවරයා ඉදිරියේදී උත්සහ දරනු ඇත. නමුත් එය පහසු නොවනු ඇත.


-නීතිඥ දුලාන් දසනායක-




2019-09-05
Advertisement

Find us on Facebook