English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස් නිළධාරීන්ගේ ආකල්ප දැන් ගොඩක් වෙනස් වෙලා - නීතිඥ ජගත් ලියනාරච්චි


පොලිස් නිළධාරීන්ගේ ආකල්ප දැන් ගොඩක් වෙනස් වෙලා - නීතිඥ ජගත් ලියනාරච්චි

2003 අවුරුද්දේ තමයි මම ඉස්සෙල්ලම මානව හිමිකම් කොමිසමෙන් torture project එක අරන් වැඩ කරන්න පටන් ගත්තේ. ඒ කාලේ තිබුන වධහිංසා ප්‍රමාණයට වඩා අද ගොඩක් අඩුයි. මම දිගටම පොලිසියත් එක්ක වැඩ කරනවා. අපිට බැලූ බැල්මට දැනෙන සහ ආකල්ප වශයෙන් වධහිංසා ප්‍රමාණය අඩුයි. පොලිස් නිළධාරීන්ගේ ආකල්ප දැන් ගොඩක් වෙනස් වෙලා. එකක් Fundamental rights Case හින්දා. අනිත් එක වධහිංසා වැළැක්වීමේ පනත (Torture Act) එක හින්දා. හැබැයි වධහිංසා වැළැක්වීමේ පනතට තියෙන තැන දැන් අඩුයි. මෙම පනතෙන් දැන් කලාතුරකින් තමයි නඩුවක් යන්නේ. හැබැයි FR වලට බයයි. අනෙත් එක තමයි අර පරණ පරම්පරාවේ පොලිස් නිළධාරීන් දැන් අයින් වෙලා. අලුත් කට්ටිය උත්සාහ කරනවා වෙන විදිහකට ක්‍රියාත්මක වෙන්න. අපරාධයක් විද්‍යාත්මකව පරීක්ෂණ කරන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා.  

මම මාස තුනක් 2003 අවුරුද්දේ පොලිසියේ survey එකක් කළා. දකුණු පළාතේ පොලිස් ස්ථාන 68 ක් තිබුනා. දකුණු පළාත භාර පොලිස් අධිකාරී ප්‍රතාපසිංහ මහතා හිටියේ. ඒ කාලේ පළාතකට එක අධිකාරීවරයෙක් හිටියේ. දැන් දිස්ත්‍රික්කයකට එක්කෙනෙක් ඉන්නවා. එම 68 ම මාසයකට දවස් දෙකක් හැම පොලිසියකටම ගිහිල්ලා, ගොඩක් වෙලාවට මම ගියේ රෑට. මොකද රෑ තමයි වධහිංසාවට ලක් වුවන් ඉන්නේ සහ සාක්ෂි තියෙන්නේ. මානව හිමිකම් කොමිසමේ මාතර කාර්යාලයේ statistic බැලුවා. පොලිසිය හදන්නේ අපරාධ හෝරාව (crime watch) කියලා එකක්. ඒ වගේ මම හැදුවා වධහිංසා හෝරාවක් (Tortre watch& එකක්. වධහිංසා කරපු දිනය, වෙලාව අරගන්නවා. පැමිණිල්ල දෙනවනේ මානව හිමිකම් කොමිසමට ගැහුවේ කීයටද කියලා. ඒ වෙලාවල් ඔරලෝසුවට දාල බැලුවහම රෑ තමයි ගහලා තියෙන්නේ. ඉතින් ගහන්නේ රෑ නම් අපි දවල් ගිහින් වැඩක් නෑ බලන්න. මම ඊට පස්සේ කොමිසමෙන් අවසර ඉල්ලුවා මට රෑට යන්න දෙන්න කියලා. කොමිෂන් සභාව මට කිව්වා අවසරයක් අවශ්‍ය නැහැ ඕනම වෙලාවක යන්න අවසරය තියෙනවා කියලා. ඊට පස්සේ මම රෑ යන්න පටන් ගත්තා. ඒ වෙලාවට ගොඩක් හමු වුනා වධහිංසාවට ලක් වූවන්. මේ මාස තුනට 101 ක් හමු වුනා. ඉන් 96 දෙනෙකුටම වධහිංසා කරලා තිබුනේ කරුණක් අනාවරණය කර ගැනීම සඳහා නෙවෙයි. ගොඩක් වෙලාවට පොලිසිය කියන කාරණය තමයි මිනිස්සුන්ගෙන් තොරතුරු ලබා ගැනීම සඳහා තමයි පහර දෙන්නේ කියලා. හැබැයි අර 96 දෙනාටම පහර දීලා තිබුනේ කරුණක් අනාවරණය කර ගැනීමේ කාර්යයකට නෙවෙයි. විවිධ හේතු තිබුනා. සමහර අය ළමා අපයෝජන කරපු අය. ඒගොල්ලෝ ගැන නිළධාරීන්ට කේන්ති ගිහින්. සමහර විට හැඟීම් නිසා. මගෙත් ඉන්නවා මේ වගේ දරුවෙක්. ඒවගේ දරුවෙක් නේද මේ. මගේ දරුවට මොකක් වෙයිද ආදී වශයෙන් හිතලා. සමහර අය තරහට, සමහර අයට දේශපාලන හේතු මත, පුද්ගලික හේතු මත පහර දීම් සිද්ධ වෙලා තිබුනා. එක තාත්තා කෙනෙකුට ගහලා තිබුනා. අකමැති ප්‍රේම සම්බන්ධතාවයක් නිසා එයා එයාගේ දුව මරන්න හදලා තියෙනවා. දුවට පිහියෙන් ඇනලා පිහියත් අරන් ඇවිත් පොලිසියට භාර වෙනවා මම දුවව මරලා ආවේ කියලා. පොලිසිය ගිහින් බලන විට දුව මැරිලා නැහැ. පොලිසිය තාත්තව අත්අඩංගුවට ගන්නවා. එයාටත් ගහලා තිබුනා. එතැන කරුණක් හෙළිදරව් කරගන්න දෙයක් නැහැ. එයා ඇවිල්ලා යටත් වෙනවා පිහියත් සමඟ. මට හමු වෙච්ච අයගෙන් හය දෙනෙකුට විතරයි ගහලා තිබුනේ කරුණු අනාවරණය කර ගන්න. ඒ අයගෙනුත් තුන් දෙනෙක් එකම සිදුවීමක. වාහන මල්කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධද කියලා හොයන්න තමයි පහර දීම් කරලා තිබුනේ. මම මේක සාධාරණ survey එකක් කියලා කියන්නේ නැහැ. නමුත් කරුණු අනාවරණය කර ගැනීමට ඉක්මවා ගිය කාරණා වලට පහර දීම් සිදුවෙලා තියෙන බව දැන ගන්න ලැබුනා. දැන් ඇත්තටම පොලිස් නිළධාරීන් තාක්ෂණය පාවිච්චි කරනවා නම් දැනුම පාවිච්චි කරනවා නම් ජනතාවගේ සහාය අපේක්ෂා කරනවා නම් ඒවා හරියට ලබා ගන්නවා නම් පහරදීමකින් තොරව අපරාධ පරීක්ෂණයක් කරන්න පුළුවන්. යම් බැරිම අවස්ථාවක වුනත් අපරාධ පරීක්ෂණයක් පහරදීමකින් කරන්න ඕන කියලා කාට හරි හිතුනත් ඇත්තටම ඒක භයානකය

පොලිසිය අපරාධ කරුවන් නොවන අයව ගෙනැල්ලා අපරාධ වලට සම්බන්ධ බවට fabricate කරනවා වගේම අපරාධකරුවෝත් torture fabricate කරන අවස්ථා තියෙනවා. ඒක නෑ කියන්න බැහැ. පොලිසියත් අනෙක් පැත්තට fabricate කරනවා. ඒ කියන්නේ ගහලා, තුවාල කරලා දුවද්දි අවම බලය පාවිච්චි කළා, වැටුනා වගේ දේවල්. 

පොලිසිය අපරාධ මවා පානවා වගේම වධහිංසාවක් සිද්ධ කරලා ඒක පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී අවම බලය පාවිච්චි කිරීමක් කියලා කියනවා. ඒ වගේම අපරාධ කාරයනුත් තමන් විසින්ම තුවාල සිදු කරගෙන පොලිසිය පිට වරද පැටවීමේ කාර්යයත් තියෙනවා. හැබැයි අද වෛද්‍ය විද්‍යාව යම් ආකාරයකට දියුණු වෙලා තියෙනවා. විශේෂයෙන් වධහිංසාව සමම්න්ධව අධිකරණ වෛද්‍ය විද්‍යාව අද සෑහෙන්න දියුණු වෙලා. අද පුහුණුව ලත් විශේෂඥ අධිකරණ වෛද්‍ය වරයෙකුට බොරු කරන්න බැහැ. ඔවුන්ට එම විශේෂඥතාවය තියෙනවා. ඒ වගේම අද ලංකාවේ දියුනු වෙලා තියෙනවා අධිකරණ මනෝ විද්‍යාව කියන එක. ඒක නිසා mental assessment බඑ එකක් ගන්න පුළුවන්. ඉස්සර දැක්කේ අපි කායික වධහිංසා විතරනේ. තුවාල තියෙනවද ඒවා ධාරිතද තාරිතද කැඩුම් බිදුම් කියෙනවද බරපතල ද සුළුද විතරයි බැලුවේ.  

අධිකරණ මනෝ වෛද්‍ය විශේෂඥයෙකුට පුළුවන් ඔහුගේ තාක්ෂණික ක්‍රමය පාවිච්චි කරලා වින්දිතයෙකුට මානසික වධහිංසාවක් වෙලාද කියලා බලන්න. එතකොට ඒ විශේෂඥවරයා දෙන සාක්ෂිය විශේෂඥ සාක්ෂියක් විදිහට අධිකරණය විසින් පිළිගන්නවා. එය අභියෝගයකට ලක් කරන්න පුළුවන් තවත් විශේෂඥයෙකුට විතරයි. විශේෂඥ සාක්ෂි කැඳවීම සාර්ථක ක්‍රමයක්. ලංකාවේ ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. සෑම අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකුටම දැනෙනවා යම් ආකාරයකට පුද්ගලයෙකුට මානසික වධහිංසාවක් වෙලා තියෙනවා කියලා මූලික අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් අනිවාර්යෙන් ඔහු අධිකරණ මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා. එතකොට ඒ වෛද්‍යවරයාට පුළුවන් පරීක්ෂණයක් කරලා ඔහුට මානසික වධහිංසාවක් වෙලා තියෙනවද ඒකේ බලපෑම මොකක්ද කියලා හොයලා බලන්න. ඒක විද්‍යාවක් විදිහට ලෝකයේ දියුණු වෙලා ගොඩක් කල්. අපේ රටේත් අවුරැදු 10 ක් විතර තිස්සේ පාවිච්චි වෙනවා.

වධහිංසාවෙදි සිද්ද වෙන්නේ පිස්සු නෙවෙයි. වධහිංසාවකදී එක එක මානසික තත්වයන් බවට පත් වෙනවා. ඒක සාමාන්‍ය පුද්ගලයෙකුට පේන තත්වයකට එන විට ඒක ගොඩක් දුරදිග ගිහින්. හැබැයි වෛද්‍යවරයෙකුට යම් යම් ආකාරයට ඔහුගේ විශේෂඥතාවය පාවිච්චි කරලා ඔහුට ඊට කළින් නිරීක්ෂනය කරගන්න හඳූනාගන්න පුළුවන්. සරල උදාහරණයක් විදිහට කිව්වොත් අපිට පියවි ඇහැට පේන එකයි අන්වීක්ෂයකින් බලන එකයි අතර වෙනස වගේ.

ලංකාවේ මම දකින හැටියට police torture education කියන එක ෆේල්. ඒ education ෆේල් වෙන්න හේතුව තමයි පොලිසියත් එක්ක කරන ගනුදෙනුව ෆේල්. ලංකාවේ කාලයක් මත්ද්‍රව්‍ය නිවාරණ අධ්‍යාපනය ෆේල්වුනානේ. ඒ කියන්නේ දෙන පණිවුඩ නෙගටිව් විදිහට බලපානවා.

වධහිංසා සම්බන්ධවත් අධ්‍යාපනය ඇත්තටම ඒ ගැන හිතලද වැඩ කරන්නේ කියලා ප්‍රශ්නයක් මට තියෙනවා Anti torture field එකේ පොලිසියත් එක්ක දිගටම වැඩ කරන හින්දා මම දන්නවා ඒ ගොල්ලන්ට යන පණිවිඩය මොකක්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව යටතේ තහනම් නිසා මූලික අයිතිවාසිකම් නඩුවක් වැටෙයි. එහෙම නැත්නම් 1994 අංක 22 දරණ වධහිංසා වැළැක්වීමේ පනත යටතේ වධහිංසා නඩුවක් වැටුනොත් ගොඩක් බරපතලයි. එතකොට පොලිසියට එහෙම කියනවා හැරෙන්නට පොලිසියට උගන්වන්නේ නැහැ වධහිංසාවකින් තොරව කොහොමද පරීක්ෂණයක් කරන්නේ කියලා. ඔතන කෙනෙක් වැඩ කරන්නේ ආකල්ප, දැනුම, කුසලතා කියන තුන අනුවනේ. වධහිංසා විරෝධී ආකල්ප, වධහිංසා විරෝධී දැනුම, වධහිංසා විරෝධී කුසලතා පොලිසියට දෙන්න ඕන. ඒක නොදී පොලිසියට කියලා වැඩක් නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හෝ වධහිංසා පනත ගැන. ඔය දෙකම පොලිස් පුහුණුවේදී උගන්වනවා. අවුරැදු 10 ට පස්සේ අපි ආයෙත් පොලිසියට ඒවා උගන්වලා වැඩක් නැහැ. ලංකාවේ පොලිසියේ වධහිංසා අඩු කරන්න නම් Anti torture දැනුම ආකල්ප කුසලතා දෙන්න ඕන. ඒක දෙන්න බැරිනම් අපි සුපුරුදු විදිහට ඉන්නම්. අපිට ගහන්නත් එපා කියනවා. අපි අපරාධ පරීක්ෂණ කරන්නෙත් නැහැ. අපරාධ වැළැක්වීමට තියෙන බාධා මොනවද කියලා ලැයිස්තුවක් හදන්න කිව්වොත් ඒගොල්ලෝ ලැයිස්තු හදනවා. ලැයිස්තු හදලා ඒවා වැඩිම බලපෑම තියෙන තැන ඉඳලා අඩුම බලපෑම තියෙන තැන දක්වා ලැයිස්තු ගත කරනවා. එක කළාම වධහිංසාවට එරෙහි නීතිය කියන එක තියෙන්නේ 20 වන ස්ථානයේ විතර. ඒකත් පොලිස් නිළධාරීන් බාධකයක් විදිහට හඳුනා ගන්නවා. හැබැයි ඒ බාධකය තියෙන්නේ 20 වන ස්ථානයේ විතර. ඒ ගොල්ලොන්ට ඊට වඩා බාධක තියෙනවා සම්පත් පිළිබඳ ප්‍රශ්නය, තාක්ෂණය නැතිකම පිළිබඳ ප්‍රශ්න, ජීප් එකට ඩීසල් මදිකම, ඉහළ නිළධාරීන්ගේ අයුතු බලපෑම්, දේශපාලනඥයන්ගේ බලපෑම්, ඉහළ නිළධාරීන්ගේ අපරාධ පරීක්ෂණ අංශ වලින් නිසි සම්බන්ධීකරණයක් නැතිකම, ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුවයි පොලිසියයි අතර සම්බන්ධය නැහැ. ඒවායේ සම්බන්ධීකරණය අඩුයි. රස පරීක්ෂක යැව්වහම වාර්තා ප්‍රමාදයි. නීතිපති යැව්වාම වාර්තා ප්‍රමාදයි. දැන් ඔය වගේ ගොඩක් තියෙනවා අපරාධ විමර්ශනයන් වලට වන බාධාවන්. එතනදි අපි හරියට සම්බන්ධ වෙනවා නම් පොලිසියත් එක්ක එයාලගේ ආකල්ප වලට කතා කරන්න පුළුවන්. කුසලතාවය වර්ධනය කරන්න පොලිස් පුහුණුවීම් වල තියෙන්න ඕන.

වධහිංසාවෙන් තොරව ජීවත් වීම කියන එක මානව අයිතියක්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙනුත් ඒක දීලා තියෙනවා. ඒ වගේම 1994 අංක 22 දරණ වධහිංසා වැළැක්වීමේ පනතෙනුත් වධහිංසාව අපරාධයක් විදිහට හඳුනා ගෙන තියෙනවා. විශේෂයෙන් පොලිසියෙන් වධහිංසාවන්ට භාජනය වන තැනැත්තන් හට ප්‍රතිකර්ම සඳහා ආකාර තුනකට යොමු වෙන්න පුළුවන්. එකක් තමයි මූලික අයිතිවාසිකම් නීති ක්ෂේත්‍රය, දෙවැන්න තමයි අපරාධ නීති ක්ෂේත්‍රය තෙවැන්න තමයි ආයතනික නීති පටිපාටි යටතේ. වින්දිතයෙකුට සහන ලැබෙන්නේ මූලික අයිතිවාසිකම් ක්‍රියාවලියකට ගියොත් එහෙම නැත්නම් අපරාධ නඩු කටයුත්තට ගියොත්. මුලික අයිතිවාසිකම් නඩුවක් නම් කෙනෙකුට පුද්ගලිකව දාන්න පුළුවන්. නමුත් අපරාධ නඩුවකට යන කොට නීතිපතිවරයා විසින් මහාධිකරණයක පැවරිය යුතු වෙනවා. එතකොට වින්දිතයා සාක්ෂිකරැවෙක් පමනයි. ඒනිසා ඔහුට පුළුවන් වෙන්නේ පොලිසියට කටඋත්තර දෙන්න, අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට සහභාගි වෙන්න සහ ඊට පස්සේ අධිකරණයේදී සාක්ෂි ලබා දීම කියන කාරනා විතරයි. 1994 අංක 22 දරණ වධහිංසා වැළැක්වීමේ පනත භාවිතාව අන්තිම දුර්වල මට්ටමක තමයි අපේ රටේ තියෙන්නේ. මම හිතන්නේ 150ට වඩා අඩු චෝදනාපත්‍ර ගණනක් තමයි මේ වෙනකොට අධිකරණයට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒවායින් 10 ටත් අඩු ප්‍රමාණයක් තමයි වැරදිකරැ වෙලා තියෙන්නේ. අනෙක් සියල්ලම නීතිපති දෙපාර්තමේන්තුව පරාජය වෙලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පරාජයට පත්වුනත් අවසානයේ පරාජයට පත්වන්නේ වින්දිතයා. අපි දන්නා බොහොම බරපතල වධහිංසා සිදුවීමකදි වින්දිතයාගේ සාක්ෂිය ලබා ගැනීමට දින කිහිපයකට කළින් වින්දිතයා වෙඩි තියලා මරලා දානවා. ජෙරාඩ් පෙරේරා සිදුවීම. එතකොට එවැනි අවස්ථා වලටත් අපේ රටේ වධහිංසා වින්දිතයන් පත් වෙලා තියෙනවා. මම දකින්නේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ පමාද වෙන්න එක හේතුවක් විදිහට මම දකිනවා පොලිසියේ නිළධාරීන් සම්බන්ධව පරීක්ෂණය කරන්නේ පොලිසියමයි. පොලිසියේ තියෙන විශේෂ විමර්ශන අංශයක් මගින් තමයි මේ පරීක්ෂන කරන්නේ. එතකොට ඒක ස්වාධීන නැහැ. සමහරු නීතිපති දෙපාර්තමේන්තුවට දොස් පවරනවා. ඔවුන්ට කොපමන ලිපි ගොනු භාරදුන්නත් ඒවා වධහිංසා වැළැක්වීමේ පනත යටතේ පවරන්නේ නැතිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවරන්න කියලා උපදෙස් ලැබෙනවා කියලා. එතකොට කවුරුත් පරීක්ෂා කරලා නැහැ. අපි දකින්නේ නීතිපති දෙපාර්තමේන්තුව විදිහට යවන ගොනු වලින් හරි අඩකට වැඩි ප්‍රමාණයක් වධහිංසා වැළැක්වීමේ පනත යටතේ පැවරෙන්නේ නැතිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පනවන්න යනවා කියන එක. හැබැයි කවුරුත් පරීක්ෂා කර බලන්නේ නැහැ මේ ලිපිගොනු වල තත්වය. පරීක්ෂණ ගොනුවේ ස්වභාවය. පරීක්ෂණ ගොනුව හදන්නේ කවුද? ඒක හදන්නේ පොලිසිය. මට නම් ප්‍රශ්නයක් තියෙනවා මේ පරීක්ෂණ ගොනු අධිචෝදනා නැගීමට ගෙන ඒමට තරම් අවශ්‍ය කරන සාක්ෂි සහිතව නීතිපති දෙපාර්තමේන්තුවට යනවද කියන එක. එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. ඒකට මම දකින දේ තමයි මම සාධාරණ පුරවැසියෙක් විදිහට පොලිසිය ඇතුලේ පොලිසියේ නිළධාරියෙකුට විරැද්ධව කරන පරීක්ෂණ පිළිබඳව බැලූ බැල්මටම ප්‍රශ්නයක් තියෙන එක. ඉතින් ඒකට වෙනත් විකල්පයකුත් අපේ රටේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහය හා තියෙන අණපනත් අනුව ඒකට වෙන විකල්පයකුත් නැහැ. අනෙක් කාරණය තමයි වින්දිතයන්. වින්දිතයන්ගේ ක්‍රියාකාරකම්, ඔවුන්ට සාහය දෙන කණ්ඩායම්, ඔවුන්ගේ නීති උපදේශකයන් ඔවුන්ට මේ පිළිබඳ විධිමත් ආකාරයක පුහුණුවක් තියෙනවද, බොහෝ විට වින්දිතයා වෙනුවෙන් නීතිඥයෙක් පෙනී සිටින්නෙත් නැහැ. ඔහු රජයේ නීතිඥයා මතම යැපෙනවා. අපේ රටේ නීතියට අනුව වින්දිතයෙකුට නීතිඥයෙකුගේ සහාය ලබා ගැනීමෙන් අධිකරණයට යාමේ හැකියාවක් තියෙනවා. ඒ තත්වය අපේ රටේ වින්දිතයන් පාවිච්චි කරනවද ඒ වගේම වෛද්‍ය වෘත්තිය මුලික අයිතිවාසිකම් නඩු වලදි දැකලා තියෙනවා මුල් අවස්ථා වලදි වෛද්‍ය වාර්තාවට වඩා වෙනස් වෛද්‍ය වාර්තා ලැබෙනවා. කිසිදු තුවාලයක් නැහැ කියලා වෛද්‍ය වාර්තා ලබා දීලා ඊට පස්සේ වෙනත් වෛද්‍යවරයෙක් පරීක්ෂා කරන කොට තුවාල විසිගණනක් ඇති වෙලා තියෙනවා. එතකොට එවැනි තත්ත්වයකුත් වධහිංසා නඩුවක් අසාර්ථක වෙන්න බලපානවා. විශේෂයෙන් වෛද්‍ය සාක්ෂිය හරිම වැදගත් වෙනවා. ඒ වගේම වින්දිතයා වෛද්‍යවරයාට කරන ප්‍රකාශය, රෝහලකට ඇතුල් වන විට වින්දිතයා කියන රෝග ඉතිහාසය හරිම වැදගත් වෙනවා. ඒ වගේම සමහර විට ඔහු අත්අඩංගුවේ පසුවන කෙනෙක් නම් ඔහුට ස්වාධීනව අදහස් ප්‍රකාශ කරන්න බැරි වෙනවා. නමුත් ඔහු දුන්න ප්‍රකාශය අධිකරණය ඉතාම ඉහළින් පිළිගන්නවා. ඒ වගේ තාක්ෂණික ප්‍රශ්න තියෙනවා. එතකොට මෙතනදි තමයි වැදගත් වෙන්නේ වධහිංසා වින්දිතයන්ට සහාය දැක්වීමේ කණ්ඩායම් වල නීතිමය හා තාක්ෂණික දැනුම. ඒක හරිම තීරණාත්මකයි. අපි යම් අවස්ථාවකදී වින්දිතයෙකුට සහාය දෙනව නම් ඔහුට ඒ පිළිබඳව නිසි අවබෝධයක් තියෙන්න ඕන. සාක්ෂි ආරක්ෂා වෙන්නේ කොහොමද, ඒවා බිඳ වැටෙන්න තියෙන ඉඩකඩ නැතිවෙන්නේ කොහොමද අත්අඩංගුවේදී මෙය සිදුවුනාද යන කාරණය පිළිබඳව නිසි අවබෝධයක් තිබෙන්නට අවශ්‍යයි. ඒ වගේම මානව හිමිකම් පිළිබඳව වැඩ කරන ස්වේච්ඡා කණ්ඩායම් ඉන්නවා නම් ඔවුන්ට ඒ පිළිබඳව නිසි අවබෝධයක් ඒ යාන්ත්‍රන වල සහාය ලබා ගැනීම ආදිය පිළිබඳ අවබෝධයත් තියෙන්න ඕන. එහෙම කළොත් තමයි සාර්ථකව වධහිංසා වින්දිතයෙක් ගේ නඩුවක් ජය ගත හැක්කේ. මම දකින පළමු කාරණය තමයි වධහිංසා වින්දිතයෙක්ගේ ජීවිත අවදානම තියෙනවා නම් ජීවිතය බේරා ගැනීම කියන කාරනය. ඊට පසුව ඔහුට තියෙන කායික ආබාධයන්ට ප්‍රතිකාර ලබා දීම කියන කාරණය, ඔහුට ඇති වෙලා තියෙන මානසික තත්වයන්ට ප්‍රතිකාර ලබා දීම සහ එවැනි දේ ඇතිවීම වැළැක්වීම ආදිය කළ යුතුයි. ඉන්පසුව තමයි අධිකරණ ක්‍රියාවලියට යොමු කරන්න වෙන්නේ. මේ කාරනා අතරේ කොහොමද නඩුව සාර්ථකව ගෙන යන්නේ කියන එකට මූලිකත්වය ටිකක් අඩුවෙන් ලැබෙන්නේ. මම හිතනවා  ඒකත් සමහර නඩු අසාර්ථක වෙන්න එක හේතුවක්. වධහිංසාවට ලක්වුනොත් කවුරුත් බලන්නේ පළමුවෙන් ඔහුගේ නඩුව ගැන නෙවෙයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම ගැන. මේ වගේ වෙලාවට කණ්ඩායම් කිහිපයක් සම්බන්ධ විය යුතුයි. නීතිඥයෙක්, මානව හිමිකම් ක්‍රියාකරුවන්, වෛද්‍ය වරැන්ගේ, මානව හිමිකම් කොමිසමේ ආදී වශයෙන්. එතකොට අනිකාගේ කාර්යයට බාධාවක් නොවන විදිහට කළමනාකරණය කර ගන්න පුළුවන්. ඉතින් ඒ තත්වය තමයි රටක ඇති වෙන්න ඕන.


-නීතිඥ ජගත් ලියනාරච්චි-





2019-09-04
Advertisement

Find us on Facebook