English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ත්‍රිකුණාමලය රත් කළ "කලම්කාරිය"


ත්‍රිකුණාමලය රත් කළ "කලම්කාරිය"

බුදුන්ගේ රුවට සමාන යැයි සැලකෙන ආගමික මුහුණක් සහිත සාරියකින් දෙමළ කාන්තාවක් ත්‍රිකුණාමලය බස් නැවතුම්පළේ සිටියදි බෞද්ධ භික්ෂුවකගේ දැඩි දෝෂාරෝපණයට ලක් වුයේ ඉකුත් 30 වෙනිදාය. මෙම සිද්ධිය බොහෝ දෙනාගේ අවධානයට ලක් වු සිද්ධියක් විය.

ජනාකීර්ණ බස් නැවතුම්පළේදි සිදු වු මෙකී සිද්ධියෙන් මෙම කාන්තාව දැඩි ලෙස අපහසුතාවයට පත් වි සිටි අයුරු අපට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැක ගැනීමට හැකි විය. භික්ෂුවකට උචිත නොවන අයුරින් හැසිරුණු මෙම භික්ෂුව නිසා එම කාන්තාව ප්‍රසිද්ධියේ අවමන් සහගත සැලකීමට ලක් වුයේ ඇය හැඳ සිටි ඇඳුම නිසාවෙනි.

යාපනය පදිංචි මෙම කාන්තාව ඉන්දියාවේදි මෙම සාරිය මිලදි ගෙන ඇති බව පැවසේ. ඇය යාපනයට යාමට ප්‍රථම ත්‍රිකුණාමලයට පැමිණ කෝවිල් වන්දනා කිරිමෙන් අනතුරුව යාපනය බලා යාමට ත්‍රිකුණාමලය බස් නැවතුම්පලේ රුඳී සිටියේ තවත් වයස්ගත කාන්තාවක් සමඟිනි.

මෙහිදී එක්වරම එම ස්ථානයට පැමිණි ත්‍රිකුණාමලය ජයසුමනාරාමයේ විහාරාධිකාරී යැයි පැවසෙන පුජ්‍ය ඥාණකිත්තී හිමියන් මෙම සාරිය ඇඳ සිටි කාන්තාවට බැන වදින්නට වුයේ ඉතාම පහත් ලෙසිනි. හරියට සිංහල කථා කර ගැනීමටවත් නොහැකි වු ඇය භික්ෂුව බැණ වදිද්දී වැරැද්ද පිළිගන්නා ස්භාවයක් දැක්වුවද ඉන් සිදු වුයේ භික්ෂුව විසින් තව තවත් බැණ වැඳිමය. ඒ අසලම පොලිස් නිලධාරියෙකු සිටියද ඔහු එම සිද්ධියට මැදිහත් වීමක් සිදු නොවන බවද පෙනෙන්නට තිබුණි. මේ සිද්ධිය ත්‍රිකුණාමලය නගරය තුල ලැව්  ගින්නක් සේ පැතිර ගියේ නිමේෂයෙනි. මේ බව සැල වු මාධ්‍යවේදීන්ද එම ස්ථානයට පැමිණියේ  “ඥාණකිත්තී හාමුදුරුවෝ මේ පාර මොන එකක් පටලවගෙනද? දන්නේ නැතැයි” එකිනෙකා කථා වෙමිනි. සාරිය හැඳ සිටි කාන්තාවට බැන වැදීමෙන් සෑහීමකට පත් නොවු භික්ෂුව විසින් එම ස්ථානයට පැමිණි මාධ්‍යවේදීන්ටද ඇසෙන, පෙනෙන අයුරින් ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය වෙත ඇමතුමක් ලබා ගත්තේය.

එසේ දුරකතන ඇමතුම ලබා ගත් භික්ෂුව පොලිසියට තර්ජනාත්මකව පැවසුයේ “කෝල් 2 ක් දීලත් තාම පොලිස් ජිප් රථයක් එවන්න බැරි වුනාද? යන්නය. ඒ අනුව එහිදි එක් කරුණක් පැහැදිලි විය. එනම් පොලිස් ජිප් රථයක් ගෙන ආ යුතු බවට තීරණය කර ඇත්තේ මෙම භික්ෂුව විසින් බවය. එමෙන්ම එම භික්ෂුව විසින් කාන්තාවට ඝෝරණාඩු කරනුයේ ගෑණියෙක් නොවුනානම් උස්සා පොළවේ ගසන බවටය.

කෙසේ නමුදු ස්වල්ප වේලාවකින් පොලිස් කැබ් රියක් එම ස්ථානයට පැමිණි පසු සාරිය හැඳ සිටි කාන්තාව පොලිසිය වෙත රැගෙන යනු ලැබීය. දණ්ඩ නීතී සංග්‍රහයේ 290 සහ 291 වගන්ති වල ආගමට එරෙහිව සිදු කරන වැරදි සහ ඒවාට අදාල දඬුවම් පිළිබඳ සඳහන් වේ.

පොලිසිය තුලදී කාන්තාවට අවවාද කර සාරිය ගලවා වෙනත් අඳුමකින් සැරසී යන ලෙස උපදෙස් දීම නිසා ඇය සාරිය ගලවා වෙනත් ඇඳුමකින් සැරසි පිටත්ව යනු ලැබුණි.

ඥාණකිත්තී හිමියන් නිසා අපහසුතාවයට පත් වු පළමු පුද්ගලයා මෙම කාන්තාව පමණක් නොවන බව මේ බව සෙවීමේදි අපට හෙළි විය.

මීට පෙරද ත්‍රිකුණාමලයේ මුස්ලිම් වෙළඳසැලක බුද්ධරූපය සහිත රෙදි තිබුණු බවට සැල වීමෙන් මෙම භික්ෂුව එම වෙළඳසැලට ගොස් වෙළඳසැලේ සියලු දෙනාව දණ ගස්වා තිබේ. එමෙන්ම කන්නියා උණු වතුර ළිං ප්‍රශ්නයේදීද මෙම භික්ෂුව ඉදිරියෙන් සිටින අයෙකි.

කවුද මේ ?

ජපන් ජාතික මුහුණකට උරුමකම් පාන මෙම තරුණයාව එකල සිටම හැඳින්වුයේ “ජපනා” ලෙසිනි. ඔහු සිංහලකම ඇඟේ තබාගෙන කටයුතු කළ අයෙක් විය. එකල ඔහු උතුරු -නැගෙනහිර සිංහල සංවිධානයේ ක්‍රියාකාරී පුද්ගලයෙකද විය. 2007 වර්ෂයේදි ත්‍රිකුණාමලය නගරයට එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් මොහුගේ මව ජිවිතක්ෂයට පත් වී තිබේ.

ඉන් අනතුරුව බෞද්ධ භික්ෂුවක් ලෙස සසුනට එක් වු මොහුව හඳුන්වා ඇත්තේ ඥාණකිත්තී ලෙසිනි. කපුගොල්ලෑවේ ආනන්ද කිත්තී හිමියන් විහාරාධිපතිධුරය දරන ජයසුමනාරාමයේ විහාරාධිකාරි ලෙස දැනට වාසය කරනු ලබයි.

විහාරස්ථානයේ දියුණුවට ඇප කැප වී ක්‍රියා කරන මෙම භික්ෂුව නිතරම ප්‍රසිද්ධියට කැමති, ප්‍රචණ්ඩකාරී චරිතයක් බවද පැවසේ.

මෙම සිද්ධිය සමාජ මාධ්‍ය වල සංසරණය වීමේදි බොහෝ දෙනෙකු අදහස් දක්වමින් කියා තිබුණේ බෞද්ධ භික්ෂුවක් ලෙස මෙම කාන්තාවට අවවාද කර මුදා හැරිය යුතුව තිබු බවකි.

සමස්ථ බෞද්ධ සමාජයටම අපකීර්තියක් වන අයුරින්  මෙම භික්ෂුව හැසිරීම තුල සිදු වන්නේ විනාශයක් පමණි.

මෙම කාන්තාව හැඳ සිටි සාරිය ඉන්දියාවේ කලම්කාරී ලෙස හඳුන්වන සාරි විශේෂයකි. ඉන්දියාවේ යනඑන බොහෝ දෙනෙකු මෙම සාරිය මෙරටට ගෙනවිත් ඇතුවාට සැක නැත. එමෙන්ම මෙම සාරියේ ඇත්තේ බුද්ධ රූපයක්මදැයි කිසිවෙකුත් නිශ්චිතව ප්‍රකාශ කර නොමැත. මෙම සාරියේ ඇති රුවෙහි බුද්ධ රූපයකට වඩා සෑහෙන වෙනස්කම් පවතින බව පෙනෙන්නට තිබේ.

මීට පෙරද මහියංගනය ප්‍රදේශයේ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගනු ලැබුයේ ධර්ම චක්‍රය සහිත ගවුමකින් සැරසී සිටි බවට චෝදනා කරමිනි. නමුත් අවසානයේ හෙළි වුයේ එය ධර්ම චක්‍රයක් නොව නැංඟුරමක ඡායාරූප බවය. නමුත් ඒ වනවිට එම කාන්තාව වැරදිකරුවෙකු කර මාධ්‍ය මඟින්ද අනාවරණය කර තිබුණි.


එමෙන්ම 2014 දි කටුනායක ගුවන්තොටුපලේදි විදේශික තරුණියක් අත්අඩංගුවට ගනු ලැබුයේ නෙලුම් මලක වැඩ සිටි බුදු රුවක් අතේ පච්චයක් ලෙස කොටා ගෙන සිටිම නිසාවෙනි. අධිකරණයට ඉදිරිපත් කිරිමේදි ඇය කියා සිටියේ තමන් දැඩි ලෙස බෞද්ධාගමට ලැදි හෙයින් මෙම පච්චය කොටා ගත් බවය. නමුත් ඇයව මෙරටින් පිටුවහල් කිරිමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග දුන්නේය. මෙහිදී පසු නොබැස ගිය ඇය සිය මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කල අතර එහිදි ඇයට වන්දි සහ නඩු ගාස්තු ලෙස රුපියල් අට ලක්ෂයක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ බව අප අමතක කළ යුතු නැත.

ඇතැම් විට මෙහිදී පොලිසිය මෙම කාන්තාව පොලිසිය තුලට රැගෙන ගියද ඇයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අත්සනින් යුතුව ඉකුත් දා නිකුත් කළ චක්‍රලේඛය හරස් වුවා විය හැකිය.

මන්ද පොලිසිය විසින් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් ඉහළ යන බවට පැමිණිලි ලැබෙන හෙයින් මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයාට දන්වා තිබුණේ අත්අඩංගුවට ගැනීමකදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් වලට මුල් තැන දෙන ලෙසය.

පුද්ගලයෙකු අත්අඩංගුවට ගත යුත්තේ තොරතුරු ලැබීමෙන් පසු සාධාරණ සැකයක් මත බවත් එසේ නොමැතිව අත්අඩංගුවට ගැනීමෙන් පසු එකී අත්අඩංගුවට ගැනීම සාධාරණිකරණය කිරීමට වැරදි සෙවීම නොකළ යුතු බවද මානව හිමිකම් කොමිෂන් සභාව විසින් දන්වා තිබුණි.

එමෙන්ම අත්අඩංගුවට ගන්නා සෑම මොහොතකම නිසි විමර්ශනයක් කර සාධාරණ සැකයක් ඇති කිරීමට හැකි ස්ථිර සාක්කි තිබීමත් අත්අඩංගුවට ගැනීම් හුදෙක් ප්‍රවාදක සාක්කි මත පමණක් පදනම් විය යුතු නැති බවද දන්වා ඇත.

තවද විවිධ සංස්කෘතීන් පදනම් කර ගනිමින් ආගමික සංකේත හඳුනා ගැනිම හෝ ඊට අදාල භාෂාවන්ගෙන් සටහන් කර ඇති වදන් වල අන්තර්ගතය හඳුනා ගැනීම වැනි ගැටළු ඇති වු විට ඒ පිලිබඳ විශේෂඥ මතයක් ලබා ගත යුතු බවද මානව හිමිකම් මාර්ගෝපදේශනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එහෙයින් සෑම පුද්ගලයේකුගේම අයිතිවාසිකම් හා මානව හිමිකම් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරිම සියලු දෙනාගේම යුතුකමක්  හා වගකීමක් වන්නේය.

-මාධවී-




2019-09-03
Advertisement

Find us on Facebook