English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බන්ධනාගාර රැදවියන් ඝාතනය වීමේ පොදු ලක්ෂණය නම්, කිසිදු පුද්ගලයෙක් “වැරදිකරුවෙක්” නොවීමයි - නීතිඥ සේනක පෙරේරා (සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව)


බන්ධනාගාර රැදවියන් ඝාතනය වීමේ පොදු ලක්ෂණය නම්, කිසිදු පුද්ගලයෙක් “වැරදිකරුවෙක්” නොවීමයි - නීතිඥ සේනක පෙරේරා (සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව)

බන්ධනාගාර තුල සිදුවන වධහිංසා වල උපරිම ඵලය වන්නේ එහි සිදුවන ඝාතන. මෙම ඝාතන හා බන්ධනාගාර තුල සිදුවන වධහිංසාවන් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව සංවිධානයේ නීතිඥ සේනක පෙරේරා මහතා.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තියෙනවා 18 ක්. ඒවායේ රඳවා තබා ඉන්නවා සිරකරුවන්. මේ අය බන්ධනාගාර රැඳවියන්. මේ අතර දඬුවම් ලබපු අය ඉන්නවා. ඒවගේම සැකකරුවන් විදිහට නඩු වලට අදාළව රඳවා තබා ගන්නා අය ඉන්නවා. මේ පිරිස් වලට නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මම හිතන්නේ මේ ගැටලු සහ අනෙකුත් වධහිංසා සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාවට තියෙනවා. අපි අපේ දන්න ඉතිහාසය දිහා බැලුවොත් 1983 අධිආරක්ෂිත කලාපයක තියෙන මේ වැලිකඩ බන්ධනාගාරය බැලුවොත් සිරකරුවන් 58ක් ඝාතනය වුණා. මෙය සිද්ධ වෙන්නේ විශාල ආරක්ෂාවක් තියෙන පරිසරයක් තුළ. ඊට පස්සේ අපි දකිනවා බිඳුණුවැව. එතැනදිත් රැඳවියන් විශාල පිරිසක් ඉතාමත් අමානුෂික ආකාරයට ඝාතනය වුණා. සමහර අවස්ථා වලදි පොලිස් නිළධාරීන් පවා ඒ වධහිංසා කරන්න දායක වුණා. ඒ වගේම කලුතර බන්ධනාගාරයේත් සිරකරුවන් කිහිප දෙනෙක් සමූහ විදිහට ඝාතනය වුණා. ඒ වගේම අනුරාධපුර බන්ධනාගාරයේත් එසේම වුණා. අපි දන්නවා නිමලරූබන් කියන සිරකරුවා අනුරාධපුර බන්ධනාගාරයේදී ඝාතනය වෙච්ච සිර කරුවෙක්. ඒ වගේම 2012 දී වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙක් සමූහ ඝාතනයට ලක් වුණා. මෙය සිද්ධ වෙන්නේ රජයේ ආරක්ෂක අංශ බන්ධනාගාරය තුළට ගිහිල්ලා කරන ලද වෙඩි තැබීමකින් තමයි මේ ආකාරයට ඝාතනය වෙන්නේ.

1983 සිට මේ දක්වා සිදු වී ඇති මේ ආකාරයේ බන්ධනාගාර රැදවියන් ඝාතනය වීමේ සෑම සිදුවීමක් දිහා බැලූ විට අපිට එක් පොදු ලක්ෂණයක් හඳුනාගත හැකියි. එම පොදු ලක්ෂණය තමයි මේ සියලුම ඝාතන සම්බන්ධයෙන් මේ දකවා කිසිදු පුද්ගලයෙක් වැරදිකරුවෙක් වෙලා නැහැ. බිඳුණුවැව සිද්ධියේ නඩුවක් තිබුණා. නඩුවෙදි වැරදිකාරයොත් වුණා. නමුත් ඉහළ අධිකරණයේදී ඒ අය නිදහස් වුණා. මෙය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ තියෙන සුවිශේෂී තත්ත්වයක් තමයි. සිරකරුවන්ට වධහිංසා කරලා ඝාතනය කරලා ගැලවෙන්න පුළුවන් කියන මානසිකත්වයක් අදහසක් අදාළ බන්ධණාගාර නිළධාරීන්ගේ සහ අනෙකුත් අයගේ තියෙනවා. එතකොට මේ තත්වය නිසා වධහිංසා වලට යම් රුකුලක් ලැබිලා තියෙනවා කියලා මට කියන්න පුළුවන්. පසුගිය දිනෙක අඟුළුකොළපැලැස්සේ සිද්ද වෙච්ච සිද්ධිය එනම් රැඳවියන්ට එළව එළවා පහර දීම සම්බන්ධයෙන් අපි අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට පැමිණිල්ලක් දැම්මා. නමුත් කියන්න කණගාටුයි එම පැමිණිල්ල සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් ගත්තේ නෑ. වීඩියෝ සාක්ෂි මගින් එම වධහිංසාව පැහැදිළිව පැමිණිලි කරලා තියෙන අවස්ථාවකදිත් රජය ආණ්ඩුවේ ඉන්න විමර්ශකයෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය මේ ආකාරයෙන් කටයුතු කරනවා කියන්නේ ඉතාමත් භයානක තත්ත්වයක්. බන්ධනාගාර රජයේ පාලනය යටතේ තියෙන්නේ. සමහර අවස්ථාවලදි අධිකරනයේ අධීක්ෂණය යටතේ තියෙන්නේ. රටක් විදිහට ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් කරලා තියෙනවා. එය 1953 දි ආරම්භ කළ සිරකරුවන්ට සැලකීම පිළිබඳ අවම ප්‍රමිතීන් අඩංගු ප්‍රඥප්තියක්. ඒ අනුව සිරකරුවන්ට අවම පහසුකම් ලබා දෙන්න ඒ අදාළ රාජ්‍යයන් බැඳිල ඉන්නවා.

එළියේ නම් ගහල තියෙනවා සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා. නමුත් ඇතුලේ වෙන්නේ ඉතාමත් අමානුෂික කටයුතු. මේ පැමිණිලි වලටවත් කිසිම ආකාරයක සාධාරණයක් වෙන්නේ නැහැ. පසුගිය කාලයේ කුරුවිට බන්ධනාගාරයේ ජීවානන්ද රාපක්ෂ කියන රැදවියාට බන්ධනාගාර අධිකාරිය වධහිංසා කළේ කළින් දවසේ කියලා. ඒ ආකාරයටම ඒ සිද්ධිය සිදුවුනා. කුරුවිට පොලිසිය සම්බන්ධ කරගෙන මේ බන්ධනාගාර අධිකාරී වහන් වෙන්න හැදුවා. අපි දිගින් දිගටම අරගල කරලා රත්නපුරේ මහේස්ත්‍රාත් අධිකරණයේ දිගින් දිගටම කරුණු දක්වලා කොහොමහරි අපි විත්තිකාරයෙක් කර ගත්තා. නමුත් ඒ නඩු කොතනින් ඉවර වෙයිද කියලා සහතිකයක් දෙන්න බෑ. පැමිණිල්ල මෙහෙයවන පොලිසිය මුල් අවස්ථාවේ පක්ෂපාතී වෙලා පස්සේ ඒ පොලිසිය සාධාරණව කටයුතු කරයි කියලා මට කියන්න බෑ. එමනිසා අපිට මෙම බන්ධනාගාර වල සිදුවන දේවල් සිද්ධි විදිහට අරගෙන පැමිණිලි දාලා ඒවාට නඩු දාලා යන ක්‍රියාවලියට අමතරව මම හිතන්නේ මේ බන්ධනාගාර වල විශාල ප්‍රතිසංස්කරණ සිදු වෙන්න ඕන කියලා. දැනට ක්‍රියාත්මක වෙන්නේ යටත් විජිත සමයේ ආපු බන්ධනාගාර ආඥා පනත. මේ ආඥා පනත අද කාලයට ගැලපෙන විදිහට නවීන තාක්ෂණයත් මුසු වෙච්ච අලුත් තත්වයන් වලට අනුරූප පනතක් විදිහට සැකසෙන්න ඕන. එහෙම නැතිවුනොත් අපිට මේ පරණ ආඥා පනතින් පමනක් යම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ.

අපි දන්නවා බන්ධනාගාර අභ්‍යන්තරයේ සිදු වෙන සමහර සිද්ධි. රැඳවියන්ට හිරිහැර කරලා ඊට පස්සේ ඒ නිළධාරීන් බන්ධනාගාර විනිශ්චය සභාව කියලා ඇතුලේ පවත්වන විනිශ්චය සභාවකින් අවසානයේ රැඳවියාම වරදකාරයෙක් කර ගන්නවා. මේක ඉතාමත් කණගාටුදායක ඛේදජනක තත්ත්වයක්. බන්ධනාගාරයක් ඇතුලේ ඒ රැඳවියෙකුට වධහිංසාවක් කළාම ඒ වෙනුවෙන් සාක්ෂි දෙන්න කිසිම සිරකරුවෙක් වෙනත් රැඳවියෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද ඒ ගොල්ලෝ එහෙම සාක්ෂි දුන්නට පස්සෙත් ඉන්න වෙන්නේ ඒ බන්ධනාගාරයේමයි. ඒ හින්දා කිසිම අවස්ථාවක රැඳවියාට සාක්ෂි නැහැ. බන්ධනාගාර නිළධාරීන්ට ඕනතරම් සාක්ෂි තියෙනවා. ඒ අනුව එහිදී එම රැඳවියාට යුක්තියක් ඉටු වෙන්නේ නැහැ. මේ කාරණයත් ඉදිරියේ සැකසෙන බන්ධනාගාර ප්‍රතිසංස්කරණයකදී එක් විය යුතුයි. යුක්තිය කියන එක රැඳවියෙක් කියලා අහිමි විය යුතු දෙයක් නෙවෙයි. බන්ධනාගාර තුළ සිදු විය යුත්තේ පුනරුත්තාපනය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් ප්‍රතිපත්තිය තමයි පුනරුත්තාපනය කියන්නේ පුද්ගලයන් සමාජ ගත කිරීම කියන එක. පුද්ගලයන් සමාජයෙන් වෙන් කරන එක නෙවෙයි. ඉතාමත් කණගාටුයි කියන්න ලංකාවේ සිද්ධ වෙන්නේ බන්ධනාගාර ඇතුළෙදි දිගින් දිගටම සාමාජයෙන් වෙන් කරන එක තමයි කරන්නේ. රැඳවියන්ට කතා කරන භාෂාවේ ඉඳන්ම මේ සමාජයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියක් තමයි ඇතුළේ වෙන්නේ. මේ රැඳවියා එළියට ආවාට පස්සේ එයා මේ සමාජයට විශාල විරුද්ධවාදියෙක් වෙනවා. මේ වගේ තත්වයක් තුළ පුනරුත්තාපනය කියලා පොත් පත් වල සඳහන් කළාට සිදු වෙන්නේ මේක නම් අපිට එයට එකඟ වෙන්න බෑ. රජයේ මුදල් භාවිතා කරලා මේ ආකාරයට රැඳවියන්ගේ කටයුතු වැඩක් නැති විදිහට සිදු වෙන්නේ. මම කියන්නේ මෙතන තියෙන ඉතාමත් කණගාටුදායක තත්වය තමයි රජයේ මුදල් පාවිච්චි කරලා මේ පුනරැත්තාපන කටයුතු සිදු නොවීම. එතකොට ඇතුලේ ඉන්න රැඳවියෙක් සමාජයට වෛර කරන්නෙක් හැටියට තමයි එළියට එන්නේ. ඒ අනුව ඔහු සමාජයේ වැරදි වලට සම්බන්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. එමනිසා බන්ධනාගාර තුළ සැබෑ පුනරැත්තාපන ක්‍රියාවලියක අවශ්‍යතාවය අද මතු වෙලා තියෙනවා. මෙය හරියාකාරව ඉටු වන්නේ නැත්නම් රජයේ මුදලින් පවත්වා ගෙන යන සමාජයට බරපතල ප්‍රශ්න උත්පාදනය වෙන තැනක් බවට පත් වෙන තමයි වෙන්නේ. ආකල්පමය වෙනසකුත් අවශ්‍ය වෙනවා බන්ධනාගාරවල. උදාහරණයක් විදිහට කියන්න පුළුවන් ටිරෝන් මැල්කම් කියලා රැඳවියෙක් ඉන්නවා දැන් අවුරැදු 09 ක් තිස්සේ මීගමුව බන්ධනාගාරයේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉන්න රැඳවියෙක්. මේ රැඳවියා බන්ධනාගාරය තුළ ඉන්න වෛද්‍යවරයා ඉදිරියට වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගියහම ඔහුගෙන් වෛද්‍යවරයා අහන්නේ මොකටද ඉන්නේ කියලා. වෛද්‍ය වරයා ඇසිය යුත්තේ මොකක්ද අසනීපේ කියලනේ. වෛද්‍ය වෘත්තියේ තියෙන ආචාර ධර්ම උල්ලංඝනය කරලා තමයි වෛද්‍යවරයා වැඩ කරන්නෙත්. බන්ධනාගාර කාර්ය මණ්ඩල වල ආකල්පමය වෙනසක් ඇති විය යුතුයි. ඒවගේම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අවම ප්‍රමිතීන් සම්බන්ධයෙන් ඒවා යථාවත් කිරීමට බලධාරීන් වගබලා ගත යුතුයි. ලියවිලි අත්සන් කරලා කටයුතු නොකර සිටීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොලැබේවි. ඒ අනුව විශාල ප්‍රතිසංස්කරණයක් විය යුතුයි.

මේ දවස් වල යනවා මරණ දඬුවම ගෙනඑන්න ඕනය කියලා. ලෝකයේ සමාජ විද්‍යාත්මකව පිළිගත්ත දේ තමයි අපරාධ බිහිවන්නේ සමාජ විෂමතාවය නිසයි. සමාජ විෂමතාවය යම් දේශයක තියෙනවා නම් එහිදී අසහනයට පත් වන විශාල ජනතාවක් ඉන්නවා. මේ ජනතාව තමයි අපරාධ වලට පෙළඹෙන්නේ. ඉන්පසුව මෙම අපරාධ සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක් මරණදඬුවම දෙන්න ඕනය කියලා යෝජනා කරනවා නම් ඒක සමාජ විද්‍යාත්මක නැහැ. ඒක ඒ අදාළ පුද්ගලයන්ගේ දේශපාලන ප්‍රතිරූප හදා ගන්න කියන කතා වෙන්න පුළුවන්. රැඳවියෙකුට මරණ දඬුවම පමුණුවනවා කියන්නේ රැඳවියෙකුට කරන්න තියෙන උපරිම වධහිංසාවක්. සිරකරැ අයිතිවාසිකම් කමිටුව විදිහට අපි ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරනවා. රටේ ප්‍රධානියාට අපි කියනවා මේ රටේ සමාජ විෂමතාවය සමාජ අසහනය නැති කරන්න. ඔබ මිනිසුන්ට සමානව සලකන්න. ඊට අදාළ ප්‍රතිපත්ති හදන්න. අන්න එදාට මේ රටේ සමාජ විෂමතාවය තුරන් වීමේ ගමන ආරම්භ වෙනවා. අපරාධ අඩුවීම ආරම්භ වෙනවා.

ඇත්තෙන්ම නිල බලය පාවිච්චි කරලා තමන්ට යටත් වෙලා ඉන්න පුද්ගලයන්ට වධහිංසා කිරීම බන්ධනාගාරය තුළ පමනක් නොවෙයි පොලිසිය තුළත් සිදුවෙනවා. වධහිංසාව කාලයක සිටම ලංකාවේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව වගේ නොදියුණු රටවල් එය ඉතාමත් හොඳට කරගෙන යනවා. සමාජයේත් මතයක් තියෙනවා ගැහුවේ නැත්නම් අහගන්න බැහැ කියලා. එය ඉතාමත් වැරදි මතයක්. මොකද මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් වල දියුණුවක් නැත්නම් ඒ රටේ සංවර්ධනයක් තියෙනවා කියලා  පිළිගන්න බෑ. ඒනිසා මෙය නතර වෙන්න ඕන. මේවා වැඩි වෙන්න හේතුව මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම. 1983 ඉඳන්ම මේ දක්වා බන්ධනාගාර තුළ සිදුවූ වධහිංසා සම්බන්ධයෙන් කිසිම  වැරදි කාරයෙක් නැහැනේ. මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම තුළ වරදකරැවන්ට යම් මුක්තියක් ලැබිලා තියෙන බව තමයි පෙන්නේ. ඊට අමතරව යම් පුද්ගලයන්ගේ පුද්ගලික චර්යාවන් වලත් යම් යම් හේතූන් තියෙනවා. ඒ වගේම සමාජයේ යම් අදහසක් තියෙනවා මේ සිරකාරයෝ කියන්නේ වැරදිකාරයෝ. අපිට මතකයි 2012 නොවැම්බර් 09 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේ 27 ක් ඝාතනය වෙච්ච අවස්ථාවේ සමහර පිරිස් කියන්න පටන් ගත්තා ඔවුන් මැරැවට කමක්නෑ කියලා. මේක යම් මට්ටමකට සමාජ ගත වෙලා තියෙනවා. මේ නිසාත් යමිකිසි ආශිර්වාදයක් ලැබිලා තියෙනවා වැරදි කාරයන්ට බේරිලා ඉන්න. වැලිකඩ බන්ධනාගාර සිද්ධිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටපු යුක්තිය ඉල්ලා හඬනගපු අය අපි. අපේ සුදේශ් නන්දිමාල් සහෝදරයා ඒ සිදුවීමේ සාක්ෂිකාරයෙක් විදිහට එයට විශාල දායකත්වයක් සපයලා තියෙනවා. නමුත් මිනිමරැවන්ගෙ පැත්තෙන් කියන්නේ මේගොල්ලෝ හොඳ මිනිස්සු නෙවෙයි. කුඩු විකුණනවා. මේ ගොල්ලෝ වැරදි කාරයෝ කියලා වක්‍රාකාරයෙන් කියනවා මැරැවට කමක් නෑ කියලා. පසුගිය කාලය පුරා තිබුන යුද්දෙන් පසු ඇතිවෙච්ච සමහර ආකල්ප තියෙනවා මේ අය රණවිරැවෝ. රණවිරැවෝ තමයි මේකට ගියේ. මේ රණවිරැවෝද වැරදි කරපු සිරකරැවොද කියලා කිරා මැන බැලීමකුත් කරනවා සමහර අවස්ථා වලදි. මේ සම්පූර්ණ දේ අධ්‍යනය කරලා බැලුවහම සිරකරැවාට වධහිංසා කරලා පවතින්න පුළුවන් කියන මානසිකත්වය තියෙනවා.

 

පසුගිය 25 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 40 වන මානව හිමිකම් සැසිවාරය ආරම්භ වුණා. ඒ මානව හිමිකම් සැසිවාරයට නියෝජිතයෙක් විදිහට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. එහිදී මගේ ඉදිරිපත් කිරීම වුනේ සිරකරැවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්. පසුගිය කාලය පුරාම මේ සම්බන්ධයෙන් එම සභාවේ යම් කරැණු ඉදිරිපත් කිරීමක් සිදු වෙලා තිබුනේ නැහැ. මම දකින්නේ මෙය නව ප්‍රවණතාවයක් විදිහට. එතනදි ලංකාවේ සිරකරැවන්ගේ තත්වය සම්බන්ධයෙන් විදේශීය තානාපති කාර්ය මණ්ඩල වලට සහ ඒ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතවරැන්ට කරැණු දක්වන්න මට අවස්ථාව ලැබුනා. එතනදි මා පැහැදිළි කළා ලංකාවේ බන්ධනාගාර තුළ රැඳවියන්ව වධහිංසාවට ලක් කරන කිසිම කෙනෙකුට රජයෙන් දඬුවම් ලැබෙන්නේ නැති බව. ඒක පොදු සාධකයක් විදිහට තමයි මම දැනුම් දුන්නේ. පැමිණිලි කර තිබියදිත් ලංකාවේ ආණ්ඩුව නිශ්ෂබ්දව සිටීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ පුදුමයට පත් වුනා. සිරකරැවන්ට සැලකීම සම්බන්ධයෙන් එ.ජා. ප්‍රඥප්තියට අත්සන් කරලා තිබුනත් මේවා සිදුවීම සම්බන්ධයෙන් ඔබලාටත් වගකීමක් තිබෙන බව මා ප්‍රකාශ කළ අතර ඔවුන් එය පිළිගත්තා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දුන්නා. මේ අනුව ශ්‍රී ලංකාවේ බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින ආඥා පනත සංශෝධනය කරලා වර්තමාන යුගයට ගැලපෙන පරිදි සකස් කරලා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බවත්, පසුගිය කාලයේ 2012 සිරකරැවන් 27 ක් අමානුෂික වධහිංසා කරලා මරලා දැමූ සමූහ ඝාතනයේ සියලු තොරතුරැ ද මා ඒ අයට දැනුම් දුන්නා. අප විසින් කළ දැනුම්දීමට අනුව සමුළුවේ න්‍යාය පත්‍රයටත් එය ඇතුල් කරලා තිබුනා.

ඊට පසු මට අවස්තාව ලැබුනා වධහිංසා වලට එරෙහි කොමසාරිස්වරිය මුණගැහෙන්න. එතුමියටද මා පැහැදිළි කළා ලංකාවේ විමර්ශනය කරන කණ්ඩායම් ඉහළ දේශපාලන අධිකාරියෙන් කටඋත්තරයක්වත් ගන්නේ නැති තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම පසුගිය කාලයේ වැලිකඩ බන්ධනාගාර සිද්ධිය වෙද්දී එය සැලසුම් කරපු ඉහළින් නියෝග ලබා දුන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයාගෙන් අද වනතුරැ කටඋත්තරයක්වත් අරගෙන නැහැ. විමර්ශන කටයුතු කරන පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙය නොසලකා හැරීම බරපතල තත්ත්වයක්. ලංකාවේ නීතිය අනුව බන්ධනාගාර රැඳවියන් වේවා වෙනත් අපරාධකරැවෙක් වේවා ඔවුන්ට මුක්තියක් නෑ. වධහිංසාව බන්ධනාගාරවල ඒ වගේම පොලිසියේ දිගින් දිගටම සිදු වෙනවා. රත්ගම සිද්ධිය ඊට හොඳම උදාහරණයක්. පොලිසිය ඇතුලේ ඉද්දි තමයි මේ අය වධහිංසාවට ලක් වුනේ.

සමාජ ප්‍රගමනයේ මුල් කාලයේදී මෙය ඇති වුනේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට. නොදියුණු ශිෂ්ඨාචාර වල ප්‍රබලයන් විසින් දුබලයන්ට වධහිංසා කරන විට ඒ අයට ආරක්ෂා වෙන්න.





2019-09-03
Advertisement

Find us on Facebook