English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජාතික ජන බල වේගයේ අපේක්ෂකයා වමේ මාවත නමින් පැමිණි “රූකඩයක්” - සිරිතුංග ජයසුරිය


ජාතික ජන බල වේගයේ අපේක්ෂකයා වමේ මාවත නමින් පැමිණි “රූකඩයක්” - සිරිතුංග ජයසුරිය

එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසුරිය මහතාගෙන්  රටේ මේ වන විට පවතින දේශපාලන තත්ත්වය පිලිබඳ අයිතිය වෙබ් අඩවිය වෙනුවෙන් අප  විමසා සිටියෙමු. මේ ඔහු එහිදි පළ කළ අදහස්ය.

ජනාධිපතිවරණය

රටේ ඉතාමත් අර්බුදකාරී තත්ත්වයක් තුල මෙවර ජනාධිපතිවරණය එළැඹි තිබේ. එය මේ රටේ සෑම පුරවැසියෙකුම දන්නා කරුණකි. විවධාකාර අත්දැකීම් කිරීමෙන් අනතුරුව 1971 න් පසුව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙන් වෙන්වද පසුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා වාමාංශික පක්ෂද සමගින් ආදි නොයෙකුත් ආකාරයේ සන්ධානගත වී 2015 දි එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කොටසකුත් එක් වී යහපාලන ආණ්ඩුවක් සාදා ගත්හ. ඒ අත්දැකීම් සියල්ලන්ගෙන්ම පසුව මෙකී ජනාධිපතිවරණය එළැඹේ. එහිදී රට ගැන තීන්දු තීරණ ගැනිමේ වරමක් රටේ ජනතාවට ලැබි තිබේ.

පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයා

මේ ජනාධිපතිවරණයට රාජපක්ෂ පවුලෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කර තිබේ. පොදුජන එක්සත් පෙරමුණ යනු ඔවුන් ජනතාව රැවටීමට සෑදු නමකි. එය රාජපක්ෂ සහෝදර සමාගමකි. ඉන් ඉදිරිපත් කර තිබෙන ඔවුන්ගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ ගැන හොඳ කරැට්ටුවක් ජනතාවට තිබේ. සුදු වෑන් සංස්කෘතිය, මාධ්‍යවේදින් ඝාතනය කිරිම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම් ආදි ඉන් සමහරකි. පිටකොටුවේ ඇවිදීමට තැනු මංතීරු වැනි නගර අලංකරණය වැනි සෝබන දේවල් පමණක් ඔහු කළේ නැත. එහෙයින් මෙවර ජනාධිපතිවරණයේදී ජනතාවට දෙවරක් සිතීමට අවශ්‍ය නැත. විශේෂයෙන්ම ප්‍රජතන්ත්‍රවාදය ආරක්ෂා කරන ජනතාව, දෙමළ ජනතාව මේ ගැන සිතනු ලබන බව මා සිතමි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ නාම යෝජනා භාර ගැනීම වෙනුවෙන් ඔහුගේ ඇමරිකන් පුරවැසිභාවය අත්හැර ගැනීම තුලින් ඔහු මේ රටට මොන තරම් ආදරය කරන්නේද? යන්න වටහා ගත හැකිය. මහින්ද රාජපක්ෂ ඔහුට නාම යෝජනා ලබා දීමට තීරණය නොකළේනම් ඔහු තවමත් ඇමරිකන් පුරවැසියෙකි. එහෙයින් ජනතාව ඒ ගැනද සිතිය යුතුව ඇත.

නමුත් වැරදීමකින් හෝ ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වුවහොත් මේ රටේ ආර්යාව ඇමරිකන් පුරවැසි කාන්තාවකි. මෙය ලාංකීය ජනතාවට අලුත් අත්දැකීමකි.

එක්සත් ජාතික පක්ෂය

එක්සත් ජාතික පක්ෂය පහුගිය වසර පහ තුල ඔවුන්ගේ අසමත්කම පෙන්වා තිබේ. 70 වෙනි ව්‍යවස්ථාවේ අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව කීවත් එහි කෙටුම්පතක්වත් ඉදිරිපත් කිරිමට නොහැකිව තිබේ. ගෝඨාභය පරාජය කරන්නට එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දිම මිත්‍යාවක් ලෙස මා දකිමි. මන්ද ? 2015 දි ඡන්දය ලබා දී මෛත්‍රිපාල සිරිසේනව මේ රටේ ජනාධිපති කරවීය. එහිදී සිදු වුයේ ජනතාව විසින් කොළඹින් ගෙදරටම පන්නා දැමු රාජපක්ෂලා නැවත කොළඹට පැමිණිමය. එහෙයින් මේ රටේ පීඩීත, කම්කරු හා දෙමළ ජනතාව දැන් කළ යුතුව ඇත්තේ අලුත් මාවතකට එක් වීමය.

ජනතා විමුක්ති පෙරමුණ

වමේ මාවත නමින් එක්තරා රූකඩයක් දැන් පැමිණ තිබේ. ඒ අනුර කුමාර දිසානායකය. මා පෙර කී ලෙස රාජපක්ෂ සමාගම මෙන් ජාතික ජන බල වේගය කියා එකක් නැත. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාය. ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 20-25 ක් ධනපති පංතියට අත්පය ගෙවෙනකම් වළං සේදු අයය. 94 චන්ද්‍රිකාට සහාය දුන්නේය. 2005 මහින්දට සහාය දුන්නේය. 2010 දි පීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා දිනවීමට කටයුතු කලේය. 2015 දි මෛත්‍රිපාල සිරිසේන දිනවීමට ක්‍රියා කලේය. ඔවුන් පහුගිය කායල පුරාවටම වැඩ කර ඇත්තේ ධනපති පංතිය වෙනුවෙනි. අද ඔවුන්ට යනඑන මං අහිමි වි ඇත. ඔවුන් දැන් කරන්නේද ධනේශ්වර ක්‍රමය පිරිසිදු කිරීමට යාමය. ඔවුන් රතු පාට අතහැර, පන්ති අරගලය අතහැර, සමාජවාදය අතහැර කම්කරුවන් පාවාදෙමින් වෙන පාටකින් ඔවුන් සමාජයට පැමිණ තිබේ.

පක්ෂයක් ලෙස මේ අවස්ථාවේ ක්‍රියා කරන්නේ

මෙම සමය තීරණාත්මක සමයකි. ඒ වෙනුවෙන් තම පක්ෂය පෙනී සිටිමින් තම අදහස් ජනතාව අතරට ගෙන යා යුතුය. මෙය වාමාංශික පක්ෂ, කම්කරු පක්ෂ වෘත්තිය සමිති, යම් ප්‍රගතිශීලි කණ්ඩායම් සමඟ එකඟත්වයක් ඇති කර ගන්න අප උත්සහ කළ නමුත් එම කටයුත්ත විවිධ න්‍යායන් නිසා එය සාර්ථක වුයේ නැත.

එහෙයින් එහිදී මාක්ස්වාදී පක්ෂයක් ලෙස ගැනීමට තිබු හොඳම පියවර වුයේ මෙම ජනාධිපතිවරණයට පක්ෂයක් ලෙස වෙනමම තරඟ වැදීමය.

එළැඹෙන ජනාධිපතිවරණයේදි පක්ෂයක් ලෙස කටයුතු කරන්නේ කෙසේද? කියා පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉකුත් සතියේදී යාපනය නගරයේදි රැස් වී ඒකමතිකව මෙම තීරණයට පැමිණියේ ඒ නිසාය.

 

-ශානිකා මාධවී-




2019-09-01
Advertisement

Find us on Facebook