English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නොදුටු සහතිකයේ නොදුටු පැත්ත - බ්‍රිටෝ ප්‍රනාන්දු

උතුරේ හා දකුණේ අතුරැදහන්වුන්වූවන් වර්තමානයේ මුහුණ දෙන ගැටලු හා නව රජය විසින් ස්ථාපිත කරනු ලැබූ අතුරැදහන්වුන්න් පිළිබදව සොයා බැලීම සදහා පත්කළ කාර්යාලය හා හානිපුර්ණය සදහා පත්කළ කාර්යාලයන් හි වර්තමනා තත්වයන් පිළිබදව අතුරැදහන්වුවන්ගේ පවුල් ඒකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විසින් 532 වෙනි සමබිම ඉරිදා සංග්‍රහය වෙත ලියා තිබු ලිපියක් අයිතිය පාඨකයින් සදහා මෙසේ උපුටා ගන්නා ලදී.


අතුරුදන් වූ අයගේ පවුල්වලට යෝජිත අතුරු දීමනාව ලැබෙයිද?

අතුරුදන්වූවන්ගේ පවුල්වලට රු. 6000ක මාසික අතුරු දීමනාවක් ගෙවීමට යහපාලන ආණ්ඩුව එකඟ වූ බව දන්නේ එම පවුල්වලින් කීයෙන් කී දෙනාද?

2018 නොවැම්බර් ඉදිරිපත් කිරීමට නියමිත වූ අයවැයේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ මුත් මෛත්‍රී – මහින්ද හොර ආණ්ඩුව පත් වීමත් සමඟ මෙම යෝජනාවත් සහිත එම අය වැය නැවත ඉදිරිපත් වූයේ 2019 අප්‍රේල් මසදීය. එමඟින් මේ සඳහා රුපියල් බිලියන 500ක් පමණ වෙන්වූ අතර එම නිසා මෙම මාසික දීමනාව පවුල් 700කට පමණ ලබා ගැනීමට අවස්ථාව එළැඹී තිබේ.

මෙම යෝජනාව අහසින් කඩා පාත් වූවක් නොවේ. අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) 2018 පෙරබරවාරියේදී, කොමසාරිස්වරු හත්දෙනා පත් කිරීමත් සමඟ (මෙම පනත 2016 සැප්තැම්බර්හිදී පාර්ලිමේන්තුවේ සම්මත වූවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එය සම්මත කරමින් අත්සන් තැබීමට වසරකට වැඩි කාලයක් ගත්තේය.) රට වටා දිස්ත්‍රික්කවල අතුරුදන්වූවන්ගේ පවුල් මුණගැසීම ආරම්භ කෙරුණේය. එම බොහෝ දිස්ත්‍රික් රැස්වීම්වලදී හානිපූරණ කාර්යාලය (Office of Reparations) නිසි පරිදි ක්‍රියාත්මක වන තෙක් එම පවුල්වලට යම් තාවකාලික මාසික දීමනාවක් ගෙවන ලෙස දිගින් දිගටම යෝජනා විය. 2018 අගෝස්තු මස 30, අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය ප්‍රථම වරට රාජ්‍ය උත්සවයක් ලෙස, සැමරීමේදී ඉදිරිපත් කළ අතුරු වාර්තාවේ, අතුරුදන්වූවන්ගේ පවුල් සඳහා රුපියල් 6000ක් මාසික දීමනාවක් ගෙවන ලෙස අඩංගු විය.

එතැන් පටන් එය යථාර්ථයක් කිරීම සඳහා OMP ය ගත් උත්සාහය අප අගය කළ යුතුය. 2019 අප්‍රේල් අයවැය යෝජනාවල අඩංගු වූයේ ‘දක්නට නොමැති බවට වූ සහතිකය’ (Certificate of Absence) ඇති අයට මෙම දීමනාව ගෙවන බවයි.

CoA හෙවත් ‘දක්නට නොමැති බවට සහතිකය’ යනු කුමක් ද ?

2016 අංක 16 දරන පාර්ලිමේන්තු පනතින් අතුරුදන් වූ අය සඳහා මරණ සහතිකයක් නිකුත් කිරීම වෙනුවට මෙම CoA හෙවත්  දක්නට නොමැති බවට වන සහතිකය වසර දෙකක කාලයකට නිකුත් කිරීමටත්, එම පවුල්වල අයගේ අවශ්‍යතාවය මත එය නැවත දීර්ඝ කිරීමටත් යෝජනා විය. ආණ්ඩුව වංචාකාරී ලෙස අතුරුදන් වූ අයට මරණ සහතික නිකුත් කරවා ගැනීමේ ආරම්භක පියවරක් ලෙස සහ සත්‍ය, යුක්තිය ඉටු කිරීම මඟහැරීමට ගන්නා උත්සාහයක් ලෙස මෙම ක්‍ද් සහතික නිකුත් කරන්නේය යන අදහස මත විශේෂයෙන් උතුරේ පවුල් මෙය ප්‍රතික්ෂේප කරන ලදී. 1989 භීෂණයට ගොදුරු වූ දකුණේ පවුල් මේ සම්බන්ධව උනන්දුවක් නොදැක්වූයේ, 1996 ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පත් කළ කොමිසමේ නිර්දේශයක් අනුව බොහෝ අයට මරණ සහතික නිකුත් කර තිබූ බැවිනි. කෙසේ හෝ දැනට මෙම ක්‍ද් සහතිකය ලබා ගෙන ඇත්තේ, 687ක පිරිසක් පමණි. දකුණෙන් එය ලබා ගෙන ඇත්තේ 50කටත් අඩු පිරිසකි.

රජය විසින් අයවැයේදී ගෙන ආ යෝජනාව අනුව රු. 6000 ලබා ගැනීමට නම් මෙම සහතිකය ලබා ගැනීම අනිවාර්ය වේ.

‘දක්නට නොමැති බවට වූ සහතිකය’ ලබා ගත හැක්කේ කෙසේද?

1. මරණ සහතිකය ලබා නොගත් අය
තිබෙන සාක්ෂිද සහිතව අතුරුදන්වීම් සම්බන්ධව සියලු‍ විස්තර අඩංගු කොට අයදුම් කරන තැනැත්තන් විසින් සකස් කරනු ලැබූ දිවුරුම් ප්‍රකාශයක් සහ වසරක කාලයක් තුළ අතුරුදන් වූ තැනැත්තා පිළිබඳව නොසිටි සහ දක්නට නොමැති බවට වන බවට ග්‍රාම නිලධාරී වාර්තාවක් සමග  රෙජිස්ටාර් ජෙනරාල් විසින් නිකුත් කළ ඉල්ලු‍ම් පත දිස්ත්‍රික්ක රෙජිස්ටාර් අංශයට ඉදිරිපත් කළ හැක.

2. මරණ සහතික දැනට ලබා ගත් අය
ඉහත ආකාරයටම සකස් කරන ලද දිව්රුම් ප්‍රකාශය, ග්‍රාම නිලධාරී මහතාගේ නොසිටි සහ දක්නට නොමැති බවට වූ වාර්තාව සහ අදාළ ඉල්ලු‍ම් පත්‍රය, මරණ සහතිකය, CoA සහ පරිවර්තනය කරන ලෙස ඉල්ලමින් මෙම ඉල්ලු‍ම් පත්‍ර දිස්ත්‍රික් රෙජිස්ටාර් වෙත හෝ රෙජිස්ටාර් ජෙනරාල් වෙත ඉදිරිපත් කළ හැක. එසේ ඉදිරිපත් වන ඉල්ලු‍ම් පත්‍ර, ප්‍රදර්ශනය කර විරෝධතා ඇද්දැයි සලකා බලා මෙම සහතිකය නිකුත් කිරීමට අවම ලෙස මසකට වැඩි කාලයක් ගතවනු ඇත.

මෙහිදී දැනට වාර්තා වී ඇති ආකාරයට,

මරණ සහතිකය නොමැති අය මුහුණ දෙන ගැටලු‍

1. පොලිස් පැමිණිල්ලක් හෝ කිසිදු ලේඛනයක් නොමැති වීම.
2. කිසිදු ජනාධිපති කොමිසම් වාර්තාවක් හෝ වෙනත් පරීක්ෂණ වාර්තාවක නම සඳහන් නොවීම.
3. තිබූ ලිපි ලේඛන සියල්ල විනාශ වී තිබීම.

මරණ සහතික ඇති අය මුහුණ දෙන ගැටලු‍

1. මරණ සහතිකවල මරණයට සඳහන් කර ඇති හේතුව.
■ අතුරුදහන්වී වසරක් ගත වීම නිසා මිය ගියායැයි සිතමී.
භූමිදානය කළ ස්ථානය-නොදනී හෝ හිස්තැනක් හෝ ස්ථානයක් සඳහන් වීම.
■ නාඳුනන කල්ලියක් විසින් පැහැරගෙන ගොස් මරා දැමීම.
භූමිදානය කළ ස්ථානය-නොදනී හෝ හිස්තැනක්  හෝ ස්ථානයක් සඳහන් වීම.
■ කණ්ඩායම් දෙකක් අතර වෙඩි හුවමාරුවකදී වෙඩි වැදී මියයාම.
භූමිදානය කළ ස්ථානය-නොදනී හෝ හිස්තැනක් හෝ ස්ථානයක් සඳහන් වීම.

ඇතමුන් සතුව යම් ලියවිලි ඇති අතර වෙනත් කිසිදු ලියවිල්ලක් නොමැති අයද ඇත.

භූමිදානය සඳහා මෘත ශරීරය ලැබුණ අය සහ තමන්ගේ ඥාතියා ඝාතනය කළ පසු ඒ සඳහා ඇසින් දුටු සාක්ෂි පවතින අයට මේ සඳහා ඉල්ලු‍ම් කළ නොහැකිය. නමුත් අතුරුදන්වූ අයගේ ඥාතීන්ට මේ සඳහා ඉල්ලු‍ම් කළ හැකිය. සාක්ෂි ඇති හෝ නැති අය විසින් මොනයම් හෝ ජනාධිපති කොමිසමකට හෝ රජය විසින් පත් කළ කොමිසමකට පැමිණිල්ලක් ඉදිරිපත් කර, එම වාර්තාවේ අදාළ තැනැත්තා අතුරුදන් වූ බවට සහතික කර ඇත්නම් එය ප්‍රබල සාක්ෂියක් ලෙස පිළිගැනෙනු ඇත.

ඉදිරිපත් වන අයදුම්පත් ප්‍රදර්ශනය කර විරෝධතා කැඳවීමකින් තොරව කෙටි කලෙකින් මෙම    CoA සහතිකය ලබා ගත හැක්කේ ඉහත සඳහන් ආකාරයේ වාර්තාවල අදාළ පුද්ගලයා අතුරුදහන් බවට සහතික කර ඇති සටහනේ සත්‍ය පිටපත් ඉදිරිපත් කිරීමෙන් හෝ OMP මඟින් නිකුත් කරන අතුරුදන්වීම් සහතික කරන වාර්තාවක් ඉදිරිපත් කිරීමෙනි.

මීට අමතරව පොදුවේ තිබෙන ගැටලු‍
■ ක්‍ද් ලබා ගත් අයට හෝ මෙම රු. 6000 දීමනාව ගෙවීම තවමත් ආරම්භ වී නැත.
■ ඇතැම් ග්‍රාමසේවක නිලධාරීන්, ‘නොසිටි සහ නොදුටු’ බව සහතික කිරීමේ ලිපියක් නිකුත් කිරීමට ඔවුනට උපදෙස් නොමැති බව පැවසීම.
■ විශේෂයෙන් මරණ සහතික CoA බවට පරිවර්තනය කිරීම වැනි කරණා පිළිබඳ රෙජිස්ටාර් ජෙනරාල් කාර්යාලය තවමත් නිසි ලෙස දැනුවත් නොවීම.
■ පෙර පැවති ජනාධිපති කොමිසම් වාර්තාවල තම ඥාතීන්ගේ නම් අඩංගුදැයි දැන ගැනීමට නිසි ක්‍රමවේදයක් නොවීම.
■ OMP ය මඟින් මේ දක්වා අතුරුදහන් වී ඇති බවට සහතික කෙරෙන අතුරු වාර්තාවක් නිකුත් කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් මේ දක්වා ඉදිරිපත් නොකිරීම.
■ රු. 6000ක් ගෙවීම සිදුකළ යුත්තේ අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ වන අතර එය සිදුකෙරෙන ආකාරය පිළිබඳව මෙතෙක් ප්‍රචාරය නොවීම.
■ පොදුවේ OMP ය පිහිටුවීම ඇතුළු අතුරුදහන් කරවීම්වලට අදාළ ආණ්ඩුවේ අනෙක් පොරොන්දු පිළිබඳව, එම පවුල් දැනුවත් කිරීමට ආණ්ඩුව නිසි ලෙස උත්සාහ නොදැරීම.

අතුරුදහන් වීම් සම්බන්ධව පොරොන්දු වූ යාන්ත්‍රණවලින් කාර්යාල සහිතව දැනට ක්‍රියාත්මක වන්නේ OMP ය සහ හානිපූරණ කාර්යාලය පමණි. OMP යේම යෝජනාවක් පරිදි ගෙවීමට එකඟ වූ රු. 6000 ගෙවීම් ඉක්මන් කරවීමට මැදිහත් වීම OMP ය සතු වගකීමකි. මේ මොහොතේ අතුරුදන්කරවූවන් වෙනුවෙන් වෙනත් යාන්ත්‍රණයක් නොමැති නිසාම එහි ප්‍රමාදය පිළිබඳව ඇඟිල්ල දිගුවන්නේ OMP ය වෙත වීම වැළැක්විය නොහැකිය.

අප බරපතළ ලෙස කල්පනා කරන්නේ අතුරුදහන්වූවන්ගේ පවුල් විශාල සංඛ්‍යාවකට සහන සැලසීමට අවුරුදු 30කට පසු රජයක් විසින් මෙවැනි සහනයක් ඉදිරිපත් කළත් මෙයට ප්‍රචාරය ලබාදීමට හෝ මෙම ගෙවීම් ඉක්මන් කරවීමට හෝ ආණ්ඩුවට ඇති උනන්දුවේ මඳකම පිළිබඳවයි. අතුරුදන්වූවන්ට සත්‍ය හෙළිකිරීමට, යුක්තිය, වන්දි ලබා දීමට සහ නැවත සිදුවීම වැළැක්වීමට පොරොන්දු වෙමින් ගෙන ආ මෙම යෝජනාවලට දකුණේ මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ නඩය මෙන්ම සමහර භික්ෂුන් වහන්සේලා ගෙනයන පදනම් විරහිත විරෝධතාවයන්ට නිර්භයව මුහුණ දීමට ආණ්ඩුවට හයියක් නොමැති වීම අපේ අභාග්‍යයක් කොට දකිමු.

මෙම සංහිඳියා යෝජනා පිළිබඳව ජනාධිපතිගේ කතා සහ හැසිරීම පෙන්නුම් කරනුයේ ඔහුද මේ විෂයෙහිලා පෙනී සිටීමට අකමැත්තක් දක්වන බවයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ දක්වා ඉදිරිපත් වන සහ ඉදිරිපත්වන බව පෙන්නුම් කරන ප්‍රධාන පක්ෂ දෙකෙහි අපේක්ෂකයින් දෙදෙනාම (ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස) අතුරුදහන් පවුල්වලට බලපාන ජිනීවා යෝජනා පිළිබඳ කිසිවක් කතා කරනවා අසන්නට නැත. ඔවුන්ගේ ජනප්‍රිය මාතෘකා අතර අතුරුදන් තැනැත්තන්ගේ පවුල්වල යුක්තිය ඉටු කිරීම පිළිබඳ කිසිවක් නැත. සැබැවින්ම ඔවුන් දෙදෙනාම එම පොරොන්දු ඉදිරියට ගෙන නොයන බව ඉතා පැහැදිලි කාරණයක්ව පෙනෙන්නට තිබේ.

එළැඹෙන මැතිවරණයෙන් ජයගන්නේ කවුරුන් වුවද මෙම ජිනීවා පොරොන්දු ඉටු කරවා ගැනීමට නම් කළ යුත්තේ අතුරුදහන් පවුල්වල සාමාජිකයින් ජාති, ආගම්, භාෂා, උතුර සහ දකුණ යන්න ප්‍රශ්න බවට පත් කර නොගෙන එම අරමුණ පෙරදැරිව එක්ව කටයුතු කිරීම බවද මෙහිලා අවධාරණය කරමු.

532 වන සමබිම ඉරිදා අතිරේකය සඳහා අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් ලියන ලද ලිපියකි.

http://www.samabima.com/?p=20000



2019-08-30
Advertisement

Find us on Facebook