English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විධායකයේ ගනන් බැස්ස වූ 19



විධායකයේ ගනන් බැස්ස වූ 19


ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාකරණයේ ඉතිහාසය 19 වැනි සියවසේ මුල්භාගය දක්වා විහිදී යයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී පිළිවෙලින් කෝලබෘක්-කැමරන්(1833), කෘව්-මැකලම්(1910), මැනිං(1921), මැනිං-ඩෙවොන්ෂයර්(1924), ඩොනමෝර්(1931) සහ සෝල්බරි(1947) යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ අධිරාජ්‍යවාදීන් විසින් මෙරටට ප්‍රදානය කරන ලදී. නිදහසින් පසු ස්වස්ථානික හා දේශජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක උවමනාව තදින්ම දැනුණු හෙයින් එම දැඩි අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 දී බිහි විය. නමුත් වැඩි කලක් යාමට මත්තෙන් 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරමින් 1978 දී දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය විය. එතැන් පටන් අද වන තුරු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය වන්නේ මෙම දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

 

වර්තමානය වන විට 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නාමිකව සංශෝධන 19ක් හඳුන්වාදී ඇති අතර ඉන් 18ක් ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වී ඇත. පළමුවන ව්‍යවස්ථා සංශෝධනය 1978 වසරේදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වාදෙන ලදී. දෙවන සංශෝධනය  1979 දී ද තෙවන හා සිව්වන සංශෝධන 1982 දී ද සිදු වූ අතර පස්වන, සයවන හා සත්වන සංශෝධන 1983 දී සිදු විය. අටවන හා නවවන සංශෝධන 1984 දී සිදු කරන ලදී. දසවන සංශෝධනය  1986 දීත් එකෙළොස්වන සංශෝධනය  1987 දීත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලදී. දොළොස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වූයේ නැත. දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  හඳුන්වාදෙනු ලැබුවේ 1987 දී අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් වශයෙනි. 1988 වසරේදී දහහතර වන, පහළොස්වන හා දහසය වන ව්‍යවස්ථා සංශෝධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වාදුන් අතර මෑතකාලීනව හඳුන්වාදුන් ව්‍යවස්ථා සංශෝධන අතුරින් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2001 වසරේදීත් එම සංශෝධනය  බල රහිත කරමින් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2010 වසරේදීත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කරන ලදී. ආසන්නතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  වන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  හඳුන්වාදෙන ලැබුවේ 2015 දී ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  කළ යුතු ආකාරය 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XII පරිඡේදය තුළ දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය  කළ හැකි කාර්යපටිපාටික ක්‍රමවේද 2කි. පළමුවැන්න සාමන්‍ය කාර්යපටිපාටිය යි. එනම්, පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර අනුමැතිය මත සංශෝධනය  කළ හැකි අවස්ථා සහ දෙවැන්න විශේෂ කාර්යපටිපාටියයි. එනම්, පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර අනුමැතියට අමතරව ජනමතවිචාරණයකින්ද සම්මත කළ යුතු අවස්ථාවන් ය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යුහයට හා ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරයේ සංශෝධනයක් සිදුකිරීමේදී හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ප්‍රතියෝජනය කිරීමකදී හෝ විශේෂකාර්යපටිපාටිය අනුව එය සිදු කළ යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය  කිරීමේ පූර්ණ බලතල ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව වෙත හිමිව ඇති අතර අදාල ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පරික්ෂා කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත හිමි වී ඇත.

 

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  පිළිබඳ සාකච්ඡා කිරීමේදී අනිවාර්යයයෙන්ම 17 වන හා 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ද යම් හැඳින්වීමක් සිදු කළ යුතුය. 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  හඳුන්වාදෙනු ලැබුයේ 2001 ඔක්තෝබර් මස 03 වන දිනයි. පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මත වූ මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ වූයේ විධායක ජනාධිපති ධූරය වටා ගොඩනැංවී තිබුණු අත්තනෝමතික බලය සීමා කිරීමයි. 17 වන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  හඳුන්වාදුන් කාලය වන විට මෙරට දේශපාලන ව්‍යුහය තුල පැවතියේ යම් වියවුල් සහගත සහහැසිරීම් අවස්ථාවකි. එවකට විධායක ජනාධිපති ධුරය හිමිව තිබුණේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට වූ අතර ආණ්ඩු බලය හිමිවී තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයක් වෙතටයි. අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය හා නිදහස් පක්ෂයේ ජනාධිපතිනිය අතර ඇතිවූ විවිධ මතගැටුම් වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලිය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් විය. විපක්ෂයේ සහයෝගය ද ඇතිව රජය විසින් එම කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කළ අතර අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කරන ලදී. 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලිකම ප්‍රතිසංස්කරණය වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අලුතෙන් හඳුන්වාදුන් VII(අ) පරිච්ඡේදය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නම් ආයතනයක් නිර්මාණය කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ප්‍රධාන කාර්යභාරය වූයේ අදාල පරිච්ඡේදයේ උපලේඛනයන්හි දක්වා ඇති ස්වාධීන කොමිෂන් සභා සහ රාජ්‍ය සේවයේ හා අධිකරණ සේවයේ ඉහළ නිලධාරීන්ගේ පත් කිරීම් සිදු කිරීමේදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද යෝජනා නිර්දේශ කිරීමයි. මෙම සභාවේ නිර්දේශයකින් තොරව අදාල උපලේඛනයන්හි සඳහන් ආයතන හා තනතුරු සඳහා කිසිඳු පුද්ගලයකු පත්කිරීමට ජනාධිතිවරයාට හැකියාවක් නොවීය. ඒ අනුව ජනාධිපතිවරයා සතු විධායක බලය හරහා රාජ්‍ය සේවය වෙත හෝ අධිකරණ ක්ෂේත්‍රය වෙත හෝ බලපෑම් කිරීමට ඇති ඉඩ ප්‍රස්ථාව මෙම ආයතනයේ ක්‍රියාකාරීත්වය තුළින් සීමා විය. 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධානතම අරමුණ වූයේ විධායකයේ බලපෑමෙන් තොර වූ ස්වාධීන රාජ්‍ය සේවයක් හා ස්වාධීන අධිකරණයක් නිර්මාණය කිරීමයි. එබැවින් 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  වඩාත් ප්‍රජාතාන්ත්‍රික මුහුණුවරක් ගනු ලැබූ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ලෙස හැඳින්විය හැක.




2010 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ හඳුන්වාදුන් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය තුළින් 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධය මඟින් හඳුන්වාදුන් බොහෝ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ නිශේධනය කරන ලදී. විශේෂයෙන්ම VII(අ) පරිච්ඡේදය සංශෝධනය  කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව යන නව ආයතන ව්‍යුහයක් හඳුන්වා දෙන ලදී. පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙන් වැදගත් බලතල කිසිවක් පාර්ලිමේන්තු සභාවට හිමි නොවීය. එය හුදෙක් නාමික ආයතනයක් පමණක් වූ අතර මේ නිසා ජනාධිපතිවරයා සතුව රාජ්‍ය සේවයේ හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් පත්කිරීමේ බලතල අත්නෝමතික ලෙස වැඩිදියුණු විය. තවද 31(2) වැනි ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පරිච්ඡින්න කරමින් ජනාධිපතිවරයා හට ධූරය දැරිය හැකි වාර ගණනේ සීමාවද ඉවත් කරන ලදී. මාස තුනකට වරක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතිය යුතු බවට වන විධිවිධානයක් 32(3) අනුව්‍යවස්ථාව සංශෝධනය  කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලදී. කෙසේ වෙතත් 18 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයේ අරමුණ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ වූ එකක් විය. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ලෙස සැලකිය හැක්කේ එබැවිනි.

 

දේශපාලනික වශයෙන් සිදුවූ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන තන්ත්‍රයේ බිඳවැටීමත් සමඟ යහපාලනතේමාව මූලික කරගනිමින් බලයට පත් වූ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවේ මූලිකම පොරොන්දුවක් වූයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දීමයි. ඒ අනුව කඩිනමින් කෙටුම්පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබූ පසු 2015 මැයි 15 දින සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලදී.

19 වන ව්‍යවස්ථා සංශෝධනය  මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිඡේදය වන මූලික අයිතිවාසිකම් පරිඡේදයට නව එකතු කිරීමක් සිදු කරන ලදී. 14.අ. අනු ව්‍යවස්ථාව හරහා තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඇති අයිතියමූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කරන ලදී. ඒ අනුව සෑම පුරවැසියකුටම රාජ්‍ය අමාත්‍යංශයක දෙපාර්තමේන්තුවක හෝ, පළාත් සභා ප්‍රඥප්තීන්ට අනුව පිහිටුවනු ලැබූ ආයතනයක හෝ, පළාත් පාලන ආයතනයක හෝ, පුරවැසියකුගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා වූ හෝ ආරක්ෂා කිරීම සඳහා වූ යම් තොරතුරක් ඇතිනම්, නීතියේ සලසා ඇති පරිදි ප්‍රවේශ වීමේ අයිතිවාසිකම ඇත්තේය.

 

30(2) ව්‍යවස්ථාව සංශෝධනය  කරමින් ජනරජයේ ජනාධිපතිවරයාගේ ධූරකාලය අවුරුදු 5ක් ලෙස සීමා කරන ලදී. 18 වන සංශෝධනයෙන් ඉවත් කරන ලද 31(2) ව්‍යවස්ථාව නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරමින් ජනාධිපතිවරයාට ධුරය දැරියහැකි වාරගණන දෙවතාවක් බවට සීමා කරන ලදී. 33 වන ව්‍යවස්ථාව ප්‍රතියෝජනය කළ අතර ඒ අනුව 33(1) අනු ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ කාර්යයන් ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කිරීම හා ආරක්ෂා කිරීම; ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය; ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා VII(අ) පරිච්ඡේදයේ සඳහන් ආයතන වල නිසි ක්‍රියාකාරිත්වය පහසුකරවීම; මැතිවරණ කොමිසමේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වතාවරණයක් තහවුරු කිරීම යන කාර්යභාරයන් හඳුන්වාදෙන ලදී. 33.අ ව්‍යවස්ථාව හඳුන්වාදීම මඟින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු ය.යන විධිවිධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරන ලදී. ජනාධිපති විනිර්මුක්තිය පිළිබඳ සඳහන්වන 35 වන ව්‍යවස්ථාව සංශෝධනය  කළ අතර 35(1) අනු ව්‍යවස්ථාවේ දෙවන ඡේදය අනුව ජනාධිතිවරයා නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකරන ලද කිසිවක් සම්බන්ධව නීතීපතිවරයාට විරුද්ධව ඉල්ලීමක් කිරීමට 126 වන ව්‍යවස්ථාව යටතේ අයිතිය ඇති ඇති බවට සඳහන් කරන ලදී. එනම් ජනාධිපතිවරයා විසින් නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකරන ලද ක්‍රියාවක් මඟින් යමකුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතිනම් ඊට නීතිපතිවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කොට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හැකි බව මෙම ව්‍යවස්ථාවේ දක්වා ඇත. 35(2) අනු ව්‍යවස්ථාව අනුව කිසියම් තැනැත්තකුට කවර හෝ කාරණයක් සම්බන්ධව නඩු පැවරීමකදී එකී තැනැත්තා ජනරජයේ ජනාධිපති ධූරය දරා ඇත්නම්, නඩුව පැවරිය හැකි කාලසීමාව නිශ්චය කිරීමේදී ඒ තැනැත්තා ධූරය දැරූ කාලය ගණනය නොකළ යුතු බව දක්වා ඇත. කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකරන ලද කිසිවක් සම්බන්ධව ඔහු විරුද්ධව සිවිල් හේ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යා නොහැකි යැයි දක්වා තිබූ ජනාධිපති විනිර්මුක්තික අයිතිය මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් එලෙසම තහවුරු කර ඇත. 92(අ) ව්‍යවස්ථාව තුළ දක්වා තිබූ ජනාධිපති ධුරය සඳහා වූ අවම වයස් සීමාව අවු.35 ලෙස සංශෝධනය කරන ලදී.

VII(අ) පරිච්ඡේදයේ ප්‍රතියෝජනය කරමින් පාර්ලිමේන්තු සභාව වෙනුවට නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් හඳුන්වා දෙන ලදී. එම නව ආයතනයේ ව්‍යුහය හා බලතල 17 වන සංශේධනය මඟින් හඳුන්වාදුන් ආයතනයේ ව්‍යුහයට හා බලතලවලට වඩා ඉදිරිගාමී තත්වයක පවතී. 41.අ(1) ව්‍යවස්ථාව අනුව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් වන්නේ අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂනායකවරයා, ජනාධිපතිවරයා පත්කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, අගමැතිවරයා හෝ විපක්ෂනායකවරයා හෝ නියෝජනය කරන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ හෝ නොවන පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල එකඟත්වය මත නම් කරන ලද මන්ත්‍රීවරයෙක්, අගමැති හා විපක්ෂනායකවරයාගේ නාමයෝජනා මත ජනාධිපතිවරයා විසින් පත් කරන ලද දෙදෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන තැනැත්තක් පස් දෙනෙක් ය. මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සාමාජිකයන් තිදෙනා සිවිල් සමාජ නියෝජිතයන් වන අතර ඔවුන් ස්ත්‍රී-පුර්ෂ හා ජනවාර්ගික පදනම් මත තෝරාපත් කරගනු ලැබේ. 41.ආ(1) ව්‍යවස්ථාව අනුව උපලේඛනයෙහි දැක්වෙන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් අනිවාර්යයනේම මෙම සභාවේ නිර්දේශ ලබාගත යුතුය. එම කොමිෂන් සභා වන්නේ, මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව,සීමා නිර්ණය කොමිෂන් සභාව හා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යි. 41.ඇ(1) ව්‍යවස්ථාව අනුව උපලේඛනයේ දක්වා ඇති අධිකරණ සේවයේ හෝ රාජ්‍ය සේවයේ ඉහළ ධූරයන් සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ද ජනාධිපතිවරයා විසින් අනිවාර්යයනේම මෙම සභාවේ නිර්දේශ ලබාගත යුතුය. එම ධුරයන් වන්නේ, අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, අභියාචනාධිකරණ සභාපති හා අභියාචනාධිකරණ විනිසුරුවන්, අධිකරණ සේවා කොමිසමේ සෙසු සාමාජිකයන්, නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් සහ පාර්ලිමේන්තු මහලේකම් ය. මේ අනුව රාජ්‍ය සේවය හෝ අධිකරණ ක්ෂේත්‍රය කෙරෙහි ජනාධිපතිවරයා හට සිදුකල හැකි අත්තනෝමතික බලපෑම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ක්‍රියාකාරීත්වය මඟින් සීමා වේ.

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් VIII වන පරිච්ඡේදය ප්‍රතියෝජනය කළ අතර ඒ අනුව අමාත්‍යමණ්ඩලය සම්බන්ධ ව්‍යවස්ථාමය විධිවිධාන සංශෝධනය කරන ලදී. 43(1) අනු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ සංඛ්‍යාවද, අමාත්‍යවරු සංඛ්‍යාවද, අමාත්‍යවරුන්ට පවරන විෂය හා කාර්යභාරය ද තිරණය කරන අතර 43(2) අනු ව්‍යවස්ථාව අනුව එසේ තීරණය කරන ලද අමාත්‍යංශ  සඳහා අමාත්‍යවරු පත් කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් මතය. 44(1) අනු ව්‍යවස්ථාව අනුව අමාත්‍යමණ්ඩල සාමාජිකයන් නොවන අමාත්‍යවරුන් හා 45(1) ව්‍යවස්ථාව අනුව නියෝජ්‍ය අමාත්‍යවරුන් ද පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් ලබාගත යුතුය. 46(1)අ. අනු ව්‍යවස්ථාව අනුව අමාත්‍යමණ්ඩලයේ  මුළු අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතුය. 46(1)ආ. අනු ව්‍යවස්ථාව අනුව අමාත්‍යමණ්ඩල සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ එකතුව 40 නොඉක්මවිය යුතුය. 46(4) අනු ව්‍යවස්ථාව අනුව ජාතික ආණ්ඩුවක්පවතින අවස්ථවකදී අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුය. 46(5) අනු ව්‍යවස්ථාවෙහි ජාතික ආණ්ඩුවක්යන්න විග්‍රහ කර ඇත.

62(2) ව්‍යවස්ථාව සංශෝධනය කරමින් පාර්ලිමේන්තුවේ ධූර කාලය වසර 5ක් ලෙස දක්වන ලදී. 70(1) අනු ව්‍යවස්ථාව සංශෝධනය කළ අතර සංශෝධිත ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 2/3ක ගේ ඉල්ලීමක් අනුව මිස පත්ව වසර 4ත් මාස 6ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවාලිය නොහැක. 78(1) ව්‍යවස්ථාව අනුව සෑම පනත් කෙටුම්පතක්ම න්‍යාය පත්‍රයට ඇතුලත් කිරිමට දින 14ට පෙර ගැසට් පත්‍රයේ පලකළ යුතු බවට වන විධිවිධානයක් ඇතුලත් කරන ලදී.

 

ඉහත දක්වා ඇති ආකාරයට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් වැදගත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ රැසක් සිදු විය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික අරමුණ හා සමපාත වූ අතර පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලට වඩා පුළුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු විය.

හිරෝෂන් ලක්ෂාන්



2019-08-29
Advertisement

Find us on Facebook