English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපති අපේක්ෂකයන්ට කෙරෙන අවසාන යෝජනාව - රාජන් පිලිප්ස්

ජනාධිපති අපේක්ෂකයන්ට කෙරෙන අවසාන යෝජනාව: 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පළමු වසර තුළ සම්මත කරගන්නේ කවුද? - රාජන් පිලිප්ස්


පවතින පාර්ලිමේන්තුව මගින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන, ඡුන්දයෙන් රාජ්‍ය නායකයා පත්කර ගන්නා වර්තමාන ක‍්‍රමය අවසානයක් කර දැමීමට දැන් කල් ගත වුණා වැඩි ය. එසේම, ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගැනීම සඳහා තම තමන්ගේ පක්ෂවල මන්ත‍්‍රීවරුන්ව කුදලාගෙන යාමට තරම් වන ඉන්ද්‍රජාලික බලයක් රනිල් වික‍්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ අතරේ කෙරෙන අන්‍යොන්‍ය ගනුදෙනුවකින් ගොඩනැගෙතැයි සිතීමටත් දැන් පුළුවන් කමක් නැත. එසේම, රාජ්‍ය නායකයා තෝරාගන්නා මාදිලිය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක අනුමැතියත් අවශ්‍ය කරයිද යන ප‍්‍රශ්නයත් තවත් පැත්තක තිබේ. එසේම, ඒ කාරණය සම්බන්ධයෙන් තමන්ගේ විනිශ්චය ලබා දෙන ලෙස මේ මොහොතේ, එනම් ජනාධිපතිවරණයක් කට ළඟට පැමිණ ඇති අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමටත් දැන් ප‍්‍රමාද වුණා වැඩි ය. එය ඇත්ත වශයෙන්ම කළ යුතුව තිබුණේ, ගිය වර ජනාධිපතිවරයාව තෝරාගත් අලූතම ය. එහෙත්, වර්තමාන ජනාධිපතිවරයා මෙන්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව දීමෙන් බලය ලබාගෙන ඊට පසුව එයට පිටුපෑමේ අතීත චර්යාව ඉදිරියටවත් වළක්වා ගැනීමට තවම ප‍්‍රමාද වැඩි නැත.

ඇත්ත, 20 වැනි සංශෝධනය සම්මත කරගත යුත්තේ පාර්ලිමේන්තුව විසින් මිස ජනාධිපතිවරයා විසින් නොවේ. එහෙත් ජනාධිපතිගේ කස පහරට හීලෑ වීමට අපේ පාර්ලිමේන්තුව මොන තරම් ඇබ්බැහි වී ඇත්ද යත්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුව පවා ජනාධිපතිවරයාගෙන් ස්වාධීනව කටයුතු කිරීමේ පුරුද්ද ඇති කර ගැනීමට අපේ පාර්ලිමේන්තුව තවම සමත්ව නැත.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මුලින්ම මේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට ප‍්‍රතිඥා දුන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් ජය ගැනීම සඳහා ය. එහෙත් එදා පටන් අද දක්වා මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව තීරණාත්මක සටන් පාඨයක් වී ඇත්තේ ජනාධිපතිවරණවලදී මිස පාර්ලිමේන්තු මැතිවරණවලදී නොවේ. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ, අන් සියල්ලටම වඩා ජනාධිපතිවරණයක් ජය ගැනීමට ප‍්‍රමුඛ ස්ථානය දීමත්, පාර්ලිමේන්තු මැතිවරණ ඊට දෙවැනි වැදගත්කමකින් යුත් කාරණයක් වශයෙන් සැලකීමත් ය. මේ ක‍්‍රියාවලිය තුළ දේශපාලන පක්ෂ ගමන් කොට ඇත්තේ නිරන්තරයෙන් තමන්ව හෑල්ලූවට ලක්කරගන්නා මාවතකයි. කෙළවරක් නැති අභ්‍යන්තර ගහමරා ගැනීම් සහ මැතිවරණවලට කලින් ඇති කරගන්නා අනේක විධ සන්ධානගත වීම් නිසා එම තත්වය තවත් උග‍්‍ර කෙරී තිබේ. සෑම පක්ෂයකම කෑලි, විවිධ තැන්වල මේ වන විට විසිරී තිබෙනු අපට දක්නට ලැබෙන්නේ එබැවිනි. තවත් විදිහකින් කිවහොත්, විධායක ජනාධිපති ක‍්‍රමය තමාගේ පැවැත්ම සඳහා ලංකාවේ පක්ෂ ක‍්‍රමය ගිලගෙන තිබේ. එහි අවසාන ප‍්‍රතිඵලය වී ඇත්තේ, ජනාධිපති ක‍්‍රමය නැති කර ගැනීම සඳහා ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පුරුද්දකට අප ඇබ්බැහි වී තිබීමයි. 2015 පැවති ජනාධිපතිවරණයෙන් පෙන්නුම් කොට ඇත්තේ ඒ කාරණයයි. මෙවර සිදුවීමට යන්නේ කුමක්ද?

සිවිල් සමාජ සංවිධාන වර්තමාන ජනාධිපති අපේක්ෂකයන් වෙත ඉදිරිපත් කළ යුත්තේ, ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළු තඩි දේවල් නොවේ. ඒ වෙනුවට, බලයට පත්වී එක වසරක් ඇතුළත, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා බවටත්, ඒ සමගම පාර්ලිමේන්තු සහ පළාත් සභා ඡුන්ද ක‍්‍රමය සංශෝධනය කරගන්නා බවටත් පොරොන්දුවකින් ඔවුන්ව බැඳ ගත යුතුව තිබේ. එම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් අනතුරුව, එකී ජනාධිපතිවරයා ‘පශ්චාත්-ජනාධිපති’ ජනාධිපතිවරයා බවට පත්වනු ඇත. එය පළමු ජනරජ ව්‍යවස්ථාව යටතේ සිටි ජනාධිපතිවරයාට සමාන වනු ඇත. වෙනත් වචනවලින් කිවහොත්, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාධනය කර දීමට කැපවන ජනාධිපතිවරයා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කර ගැනීමට පෙර පත්කරගත් ජනාධිපතිවරයා මෙන් තමන්ගේ මුළු ධුර කාලය තිස්සේ එම නිලයේ රැඳී සිටින්නේ නැත. තවත් විදිහකින් කිවහොත්, ඔහු තවත් මෛත‍්‍රීපාල සිරිසේන කෙනෙකු නොවන්නේය.

ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය තුළ මෙවැනි යෝජනාවක් බලපැවැත්වෙනු ඇත්තේ කෙසේද යන්න සලකා බැලීමට කලින්, ඉදිරි මැතිවරණය එකී යෝජනාව ඔස්සේ ජයගත්තොත් ඇති විය හැකි තත්වය කෙසේ වනු ඇත්දැයි සලකා බැලීම වටී. දේශපාලනිකව ගත් විට, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා පොරොන්දුව පිට ඊළඟ ජනාධිපතිවරණය ජයගන්නා තැනැත්තාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ඒ සඳහා ලබා ගැනීම අපහසු නොවනු ඇත. එසේ අලූතෙන් පත්වන ජනාධිපතිවරයාගේ ‘ජනවරම’ නමැති සාධකයත් අතැතිව, ජනමත විචාරණයක අවශ්‍යතාව පිළිබඳ කාරණය, ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටිය හැකි වනු ඇත. එහිදී, ආචාර්ය නිහාල් ජයවික‍්‍රම මේ ප‍්‍රශ්නය දෙස බලන ආකාරයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒ දෙස බලා, ජනමත විචාරණයක් ඒ සඳහා අවශ්‍ය නැතැයි නිගමනය කිරීමට ඉඩ ඇතැයි අපට අපේක්ෂා කළ හැකිය. මේ කාරණය අරභයා අතීතයේ ගෙන තිබෙන අධිකරණමය ස්ථාවරයන් යළිත් මෙහි සඳහන් කිරීම අවශ්‍ය නැත. එහෙත්, ඒ සම්බන්ධයෙන් අද ආචාර්ය නිහාල් ජයවික‍්‍රම දරණ මතයට සමාන මතයක් එදා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා දැරූ බව පමණක් සඳහන් කළ හැකිය. ඒ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍යද යන්න සම්බන්ධයෙනි. එවැන්නක් අවශ්‍ය නැතැයි එදා ශ්‍රේෂ්ඨාධිකරණයත් වැඩි ඡන්දයෙන් තීන්දු කෙළේය.

ජනමත විචාරණයක් අවශ්‍ය නැති බවට අධිකරණය තීන්දු කළොත් ප‍්‍රශ්නය එතැනින් නිරාකරණය වන්නේය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යථාර්ථයක් බවට පත්වන්නේය. ඊට වෙනස්ව, ජනමත විචාරණයක් අවශ්‍ය බවට අධිකරණය තීන්දු කළොත්, ඒ කාරණය ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කළ හැකිය. එපමණක් නොව, කුමන හේතුවක් නිසා හෝ අවශ්‍ය කෙරෙන තුනෙන් දෙකේ අනුමැතිය වර්තමාන පාර්ලිමේන්තුවෙන් ලබාගත නොහැකි වෙතොත්, 2020 අගෝස්තු වන තෙක් නොසිට, අලූත් ජනාධිපතිවරයාට පවතින පාර්ලිමේන්තුව 2020 පෙබරවාරියේදී විසුරුවා හැරිය හැකිය. එවිට, එම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යථාර්ථයක් කර ගැනීම, අලූත් පාර්ලිමේන්තුවට සහ අලූත් ජනාධිපතිවරයාට පැවරෙනු ඇත. සාරාංශයක් වශයෙන් ගතහොත්, බලයට පත්වීමෙන් පළමු වසර තුළ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා උරදීමට සපථ කරන අපේක්ෂකයෙකුට එම කාර්යය වැඩිමනත් මාර්ග බාධකවලින් තොරව සාක්ෂාත් කර ගැනීමට එවිට හැකි වනු ඇත.

ශක්‍යතා සහ අභියෝග

ජනාධිපතිවරණයෙන් පසුව මුහුණදීමට සිදු විය හැකි එක් අවදානමක් වන්නේ, තෝරාගත් පුද්ගලයා බලය ලබා ගැනීමෙන් පසු එම ඉල්ලීමට පිටුපෑමට ඇති අවකාශයයි. ඒ අවදානම මෙවර අවම ය. මන්ද යත්, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාධනය කර දීමට පොරොන්දු වන ඕනෑම කෙනෙකුට ඒ සඳහා සෑම අනුබලයක්ම තිබීමත්, පෙරදී මෙන් ඊට පිටුපෑමට තරම් පෙළඹවීමක් නොතිබීමත් ය. ඊට වඩා ලොකු අභියෝගයක් වන්නේ, එසේ 20 වැනි සංශෝධනය සාර්ථක කර ගැනීමට ප‍්‍රතිඥා දෙන අතරේම ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි කෙනෙකු ද සොයා ගැනීමයි.

මේ පොරොන්දුව සෑම ජනාධිපති අපේක්ෂකයෙකු විසින්ම ඉදිරිපත් කරනු ලැබීම ඒ සම්බන්ධයෙන් වඩාත් යහපත් වනු ඇත. එහෙත් එම පොරොන්දුව දෙන්නේ එක අපේක්ෂකයෙකු විසින් පමණක් නම් සහ එම පුද්ගලයා ඉදිරි ජනාධිපතිවරණයේදී හොඳ තරගයක්ද දිය හැකි කෙනෙකු වන්නේ නම්, එම තැනැත්තාව ජයග‍්‍රහණය කැරැවීම සඳහා සෑම ප‍්‍රයත්නයක්ම ගත යුතුව තිබේ. අනිත් අතට, එම පොරොන්දුව දෙන අපේක්ෂකයන් ප‍්‍රමාණය එක් අයෙකුට වැඩි නම්, තත්වය තරමක් සංකීර්ණ වන අතර, උපායික වශයෙන් ඡන්දය පාවිච්චි කිරීමක් ගැන සිතා බැලීමට සිදුවනු ඇත. අනිත් අතට, ඉදිරිපත් වන කිසිවෙකු එම පොරොන්දුව නොදෙන්නේ නම් එය වෙනම තත්වයකි. එය, අපෙන් බොහොමයකගේ නිරුවත හෙළිදරව් කරන්නක් වනු ඇත.

දැනටමත් අප ඉදිරියේ එක් අපේක්ෂකයෙක් සිටී. ඒ, ගෝඨාභය රාජපක්ෂයි. ඔහු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පෙනී නොසිටින බව පැහැදිලි ය. එසේ වීමට ඔහුට ඇති හේතුව සරල ය. ඔහුගේ දේශපාලනික පැවැත්මම, ජනාධිපතිත්වයම ය. එය නොවන්නට, දේශපාලනයේ රැඳී සිටීමේ අරුතක් ඔහුට නොමැත. තමාගේ ඇමරිකානු පුරවැසිභාවය, හුදු මන්ත‍්‍රීකමක් වෙනුවෙන් ඔහු අත්හරිතියි කෙනෙකුට සිතිය නොහේ. දැන් ප‍්‍රශ්නය වන්නේ, එම කාරණය ඔහු පිළිනොගැනීම, වෙනත් අයටත් එය බැහැර කිරීමට හේතුවක් වේද, නැතහොත් වෙනත් ප‍්‍රධාන තරගකරුවෙකු හෝ තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකුම ඒ පොරොන්දුව දුන්නොත් එය ගෝඨාභය රාජපක්ෂව කොටුවීමකට හේතුවක් වේද යන්නයි.

ඊළඟ අපේක්ෂකයා වන්නේ අනුර කුමාර දිසානායකයි. ඔහු එන්නේ ප‍්‍රගතිශීලි ජනතා බලවේගයේ අපේක්ෂකයා වශයෙනි. ඔහුගේ ඉදිරිපත් වීම, ගෝඨාභයගේ ඉදිරිපත් වීමට වඩා ආන්දෝලනාත්මක විය. එහෙත් ඔහු සම්බන්ධයෙන් ඇති බරපතල සැකයක් වශයෙන් පවතින්නේ මේ දක්වා 20 වැනි සංශෝධනයක් ගැන ඔහු කතා කර නොතිබීමයි. ඊළඟ විධායක ජනාධිපතිවරයා වශයෙන් තමාව පත්කරගතහොත් තමා එම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේද යන්න මේ දක්වා ඔහු කියා නැත.

ඒ මගහැරීම, සිතාමතා කළ දෙයක් වේවා, නොදැනුවත්ව සිදුවූවක් වේවා, බරපතල සැක දනවන්නකි. මන්ද යත්, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේම ඔවුන් වන බැවිනි. ඡුන්දයෙන් පත්වන පුද්ගලයෙකු සහ ඡුන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවක් අතර තිබෙන විකාරය අහෝසි කිරීම සඳහා තමන් එම සංශෝධනය ගෙන එන බව කීවේ ඔවුන්ම වන බැවිනි. එකී 20 වැනි සංශෝධන ගෙනාවේ ‘එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ ටී.එන්.ඒ. සමග සාංගමෙන්ද’ නැද්ද යන්න දැන් අදාළ නැත. වැදගත් වන්නේ, අපේ මහා පාර්ලිමේන්තුව එකී ජනතා විමුක්ති පෙරමුණේ 20 වැනි සංශෝධනය තවදුරටත් සැලකිල්ලට ගන්නේ නැති කම ය. ඉතිං, දැන් ජනතා විමුක්ති පෙරමුණමත් ජනාධිපති තරගයට බැස ඇති තත්වය තුළ ඒ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය පැහැදිලි කිරීමේ වගකීමක් ඔවුන්ට තිබේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය තුළ සිදුවෙමින් ඇත්තේ කුමක්ද? එම පක්ෂය තුළ පමණක් නොව, වෙනත් සෑම පක්ෂයක් තුළමත් මේ මොහොතේ සිදුවෙමින් ඇත්තේ ශ‍්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලට විධායක ජනාධිපති ක‍්‍රමය මගින් සිදු කෙරෙමින් ඇති වින්නැහියයි. එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු 20 වැනි සංශෝධනයක් ගැන කතා කරන්නේ නැත. හිටිහැටියේම, පළාත් සභා ඡුන්ද පැවැත්වීමක් ගැන ඔවුන්ගේ උනන්දුවක් ඇවිස්සී තිබේ. මා දන්න පරිදි, මේ දක්වා සජිත් පේ‍්‍රමදාස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන හෝ වචනයක්වත් කතා කොට නැත. සියල්ලන්ගේ අනුමැතිය ඇතිව අපේක්ෂකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව කරූ ජයසූරිය පැවසූ අවස්ථාවේ ඔහු කීවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දැමීමේ කාර්යය සඳහා පමණක් එම තනතුරට පත්වීම තමන්ගේ අදහස වන බවයි. මේ වන විට ඔහුගේ අදහස් කවරේදැයි අපි නොදනිමු.

සුපුරුදු පරිදි රනිල් වික‍්‍රමසිංහ බොහෝ සෙයින් කතා කරයි. එහෙත් කියන්නේ ස්වල්පයකි. ඔහු කියන කතාවලින් මගේ වඩාත් සිත්ගත්තේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළු ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණවලට රටේ බහුතරයක් එකඟ බවට ඔහු තුළ ඇතැයි පෙනෙන විශ්වාසයයි. එසේ සිතන්නේ ඔහු පමණක් නොවේ. ආචාර්ය එන්. එම්. පෙරේරාගේ 40 වැනි මරණ සංවත්සරයේදී ඩිව් ගුණසේකරත් ඒ මතයම ප‍්‍රකාශ කෙළේය. එම අදහස දරන තවත් බොහෝ දෙනා සිටිත්.

වික‍්‍රමසිංහට ඉදිරිපත් කළ යුතු ප‍්‍රශ්නය වන්නේ මෙයයි: එක්සත් ජාතික පක්ෂ/එක්සත් ජාතික පෙරමුණු සන්ධානයකින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු නිවැරදි පුද්ගලයා තමන් යැයි ඔහු සිතන්නේ නම්, බලයට පත්වූ පසු වසරක් ඇතුළත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක කර ගැනීමට ඔහු උරදෙන්නේද? නැතහොත්, ඔහුගේ වෙනත් දේවල් මෙන් මෙහිදීත්, එක වාරයක් ජනාධිපති පුටුවේ වාඩි වී ඉන් අනතුරුව තවත් වාරයක් වාඩි වී, 2030 දී නායකත්වය වෙන කෙනෙකුට පැවරීමක් ගැන සිතන්නේද?

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක කර ගැනීම ආරම්භ කිරීමේ වගකීම පැවරෙන්නේ රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායකට බව කිව යුතුය. ඔවුන් එය පටන්ගත්තොත්, සෙසු අයත් ඊට සහභාගී වනු ඇත. එක්සත් ජාතික පක්ෂය තුළ කකුලෙන් අදින අය සිටිය හැක. එය ගණන්ගත යුතු නැත. සියලූ දෙනා එක්ව මෙය පටන්ගත්තොත්, ගෝඨාභය රාජපක්ෂත් ඒ මාතෘකාව සම්බන්ධයෙන් අසීරු තත්වයකට පත්වනු ඇත. එබැවින් මේ අවස්ථාවේ සිවිල් ව්‍යපාර සංවිධාන, 20 වැනි ව්‍යවස්ථා සංශෝධන සාකච්ඡාව නොමරා පවත්වාගත යුතුව තිබේ.

රාජන් පිලිප්ස්

*2019 අගෝස්තු 24 වැනි දා ‘කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළවූ Ultimatum To Presidential Candidates: Who Will Deliver The 20th Amendment In The First Year? නමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා




2019-08-29
Advertisement

Find us on Facebook