English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ICCPR කලින් තිබුණනම් අපිත් හිරේ - විමුක්ති ජයසුන්දර
 

ICCPR කලින් තිබුණ නම් අපිත් හිරේ - ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර සම්මුතිය වෙනත් රටවල කි‍්‍රයාත්මක වන ආකාරයට නෙමෙයි අපේ රටේ කි‍්‍රයාත්මක වෙන්නේ. ඒකට හේතුව තමයි අපිත් අපේ රටේ නීති නවන්න යන එක. නීතියකට යම් අර්ථකතනයක් දෙන්න පුළුවන්. අර්ථකතනයන් දීමේ පරමාර්ථයන් තිබෙන්නේ අනර්ථය පිණිස පාවිච්චි කිරීම. නීති විශාදරයන්ගේ තියෙන කපටිකම තමයි සමහර නීති අර්ථකතනය කරනවා වෙනත් ආකාරයකට.  ඕනම වචන පේලියක්  ඕනම ආකාරයකට අර්ථකතනය කරන්න පුළුවන්. නමුත් ප‍්‍රගතිය කරා යන සමාජයක අපි ජීවිතය සඳහා දෙන අර්ථය තමයි නීතියටත් දෙන්නේ. අපි මිනිස් ජීවිතය සඳහා සමාජයක් විදියට දෙන අර්ථය තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ ආරක්ෂා වෙන්නේ. ඒය තමයි නීති පද්ධතිය තුළට යන්නේ. අනෙකාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ විශ්වාසය හා ආරක්ෂාව. ඒ දේ පිළිබඳව ජීවිතයක් සම්බන්ධව අපි තුළ, රට තුළ, මනුෂ්‍ය ජීවිතය සම්බන්ධයෙන් ලොකු අර්ථයක් නැහැ. ජීවත්වීම තුළ, වැඩි ආයු කාලයක් ලැබීම තුළ, හොඳ අධ්‍යාපනයක් ලැබීම තුළ, හොඳ සමාජය ජීවිතයක් ගත කිරීම තුළ, ලැබිය හැකි ජීවිත වටිනාකම් පිළිබඳව අර්ථය ගිලිහිල්ලා තියෙනවා. ඒක නිසා මේක හැම වෙලාවෙම භාවිතා කරනවා ජීවිතය පිළිබඳ අර්ථය වැනසීම සඳහා භාවිතා කරනවා. පුළුවන් තරම් කොහොමද ජීවිතේ හිරකරන්නේ කියලා. අපිට ජීවිතයේ අර්ථය නැති නිසා, ලොකේ තියෙන හොඳම දේත් අපි නරකට පාවිච්චි කරනවා.

මෙම නීතිය වහාම වෙනස් කළ යුතුයි!

ලෝකයම හොඳයි කියන. අන්‍යයන්ගේ භාෂණය, ප‍්‍රකාශනය ආරක්ෂා කරන නිතී රීති වලින් අපි කරන්නේ ඒක ව්‍යාජ අභිලාෂ ඇතිව එය භාවිතා කිරීමයි. මෙම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යයන්තර පනත සම්බන්ධයෙන් නිවැරදි අර්ථකතනයක් ගොඬනගා ගැනීම සඳහා වැඩ කිරීමයි. ඒකට නීති ක්ෂේත‍්‍රයේ සිටින ප‍්‍රගතිශිලී නීතිවේදීන් මැදිහත් විය යුතුයි. ඒ අය වහා එකතුවෙලා මේ පිළිබඳව නිවැරදි අර්ථකතනයක් ලබාගත යුතුයි. මෙම නීතිය ලංකාවට ගේනකොට බලාපොරොත්තු වුනු අර්ථයක් තියෙනවානේ, ඒ අර්ථය නැවතත් ස්ථාපිත කරන්න  ඕනා. ඇයි මේවගේ නීතියක් ගෙනාවේ. එම නීතිය ගෙන ඒමෙන් බලාපොරොත්තු වූ දේ දැන් වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ මෙතන යම් කිසි දෝෂයක් තියෙනවා. අන්න ඒ දෝෂය නිවැරදි කරන්න  ඕනා. එහෙම නැතුව ඒ දෝෂයට යන්න දීලා, බලන් හිටියොත් එය ඉතාම භයානකයි. 

ප‍්‍රකාශනයට දඬුවම් කිරීම විහිළුවක්

ලෝකයේ කොහේවත් කලාකරුවන්ට දඬුවම් කරලා නැත්නම් මේ නීතියෙන්, අපේ රටේ විතර නම් කලාකරුවාගේ ප‍්‍රකාශනයට දඩුවම් කරන්නේ, මේක මහා විහිළුවක්. ඒ අර්ථය කව්ද දෙන්නේ? එහෙම අර්ථයන් දෙන්න පුළුවන් ක‍්‍රමයන් තියෙන්න පුළුවන්ද? අපි මේ ගැන වහා සාකච්ඡා කර තීරණයකට ආ යුතුයි මේ සම්බන්ධව. මීට කලින් තිබුණු ප‍්‍රශ්න වලට වඩා මේ ප‍්‍රශ්නය ගැඹුරුයි. යම් කිසි ප‍්‍රගමනය සඳහා භාවිතා කළ හැකි දේවල්. අයුතු විදියට භාවිතා කරන විට මෙහි අගතියට එය ඉතා භයානකයි. එය කාලයක් ගිහින් එන අගතියට වඩා භයානකයි. අපගේ මූලයන්හී තිබෙන දේවල් වලට වඩා භයානකයි. ඒ කියන්නේ අලූත්ම අවියක් භාවිතා කරනවා අපිට විරුද්ධව. අපිට ලැබෙන හොඳම දේ අපිට විරුද්ධව භාවිතා කරනකොට අපි කොහොමද ගැලවෙන්නේ? එතන ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා.

කලාවේ දඬුවම නොසලකා හැරීමයි!

කලාවේ අදහසක් තියෙනවා කලාව සම්බන්ධව ප‍්‍රශස්ත අදහසක් ආවොත් තමයි කලාවේ නිදහස තිබිය යුත්තේ කියලා. කලාව පවතින්නේ කුමකටද? කලාව පවතින්නේ කලාව පිණිස නම්, කලාව ප‍්‍රශස්ත විය යුතුයි. කලාව තුළින් බලාපොරොත්තු වුනු දේ සිදුවුනාම තමයි කලා කෘතියක් බවට පත්වෙන්නේ. කලාකෘතිය ඒ වැඬේ කරනවා නම් ඔහු කලාකරුවෙක්. මෙහෙම නිර්ණයන් ටිකක් තියෙනවා. අපි කල්පනා කරන්න  ඕන කලාවට යොමුවන යම් පුද්ගලයෙක්. අපේක්ෂාවක් තියෙනවා සමාජයේ ඔහු හෝ ඇය බලාපොරොත්තු වෙනවා, මම මේ ලියන, කියන, අඳින නිර්මාණය හරහා සමාජය යළිත් අනික් පැත්තට, ප‍්‍රතිචාරයක් දක්වයි. ඒ ප‍්‍රතිචාරය යම් කිසි විදියක සාකච්ඡුාවක් සඳහා, යම් කිසි මැදිහත්වීමක් කරන්න  ඕනා කියලා හිතන නිසා තමයි ඔවුන් නිර්මාණකරණයේ නියැලෙන්නේ. ඒ සඳහා ඔහු තමා සතු විවිධ දක්ෂතා භාවිතා කරනවා ඇති. අපිට කියන්න බෑ දක්ෂතාවය හා අදක්ෂතාවය කියන එක හෝ පරිකල්පනය කියන එක ගැන හොඳ හෝ නරක කියන දේවල් කෘතියක අග තියෙන දේවල් මිසක් කෘතියක මුල තියෙන දේවල් නෙමෙයි. මේ යුගයේ බැහැර කරන කලාකෘති තවත් අවුරුදු 10 ක් ගියාට පස්සේ ඒවා, මහා නිර්මාණ බවට පත් වෙච්ච ඉතිහාසයක් තියෙනවා. කලාකෘතියක් කියන්නේ හොඳයි කියලා දැනගෙන හදන දෙයක් නෙමෙයි. හොඳ හෝ නරක කලානුරූපිකව තමයි අර්ථකතනය කරන්නේ. මේ මොහොතේ යම් පිරිසක් කියනවා නම් ඒ කෘතියේ ඒක වැඩක් නෑ ඒක කලා කෘතියක් නෙමෙයි කියලා, අපි කොහොමද මේ මොහොතේ ඒක කියන්නේ? ඒක අපි දන්නේ නැහැ. ඒ ගැන කරන සාකච්ඡාවට යම් කෙනෙක් අකමැති නම් නොකර ඉන්න. මං චිත‍්‍රපටයක් කළාම ඒකට අකමැති නම් නොබලා ඉන්න. කිසි ප‍්‍රශ්නයක් නැහැ. එහෙම කියන කෙනාට කිසිම අයිතියක් නැහැ මට ඒ නිර්මාණය නොකර ඉන්න කියන්න. එහෙම නොකර ඉන්න කියලා අයිතියක් හදන්නේ කෙහොමද? මට කරන්න පුළුවන් නිර්මාණයන් අනෙක් කෙනෙක්ට කරන්න බැරි වෙන්නේ කොහොමද? නිර්මාණ වලට නීති දාන්න බෑ. මේ කියන විදියට කලාව නිදොස් කරන්න බෑ. හැබැයි කලාව පැවතීම සඳහා නිදහස් කරන්න පුළුවන්. කලාවේ පැවැත්ම වෙනුවෙන් නිදහස දෙන්න පුළුවන්. නිදොස් කරනවා කියන්නේ වෙන වැඩක්. කලාකරුවන්, නිර්මාණකරුවන් හරිද වැරදිදද කියන එක ඓතිහාසික සංදර්භයක් මත කියවන්න  ඕනා. නිවැරදි නැත්නම් දඬුවම් කරන්න ක‍්‍රමයක් නැහැ කලාවට. කලාවේ දඬුවම තමයි ඒ නිර්මාණය නොසලකා හැරීම, ඒ ගැන වටිනාකමක් නොදැක්වීම. කලාකරුවෙකුට ලැබිය හැකි දැඩිම දඬුවම තමයි ඔහුගේ කෘතිය නොසලකා හැරීම. ඉන් එහා දඬුවමක් නැහැ කලාකරුවෙකුට. ඒකෙන් තමයි ලොකුම පීඩාව ලැබෙන්නේ කලාකරුවෙකුට. විශ්ව කලාවේ සියදිවිනසා ගන්නා කලාකරුවන්ගේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි තමාගේ කෘති සමාජය විසින් නොසලකා හැරීම ඒ යුගයේ ඔවුන් නියෝජන කරන ලද සමාජය. ඔවුන්ට හිතෙනවා වැඩක් නෑ මේ කරන දෙයින්. ඔහුගේ ජීවිත කාලයෙන් පසුව ඒ කෘති අනර්ගයි කියලා ඇගයෙනවා.

යම් කෙනෙකුට යම් කලාකෘතියක් පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා නම්, නොසලකා හරින්න. ඒ සංවාදය අවශ්‍ය නැහැ. අපි කොහොමද කලාකරුවෙක් හිතන දේ වාරණය කරන්නේ? ඔහු හිතන දේ අපි කොහොමද එපා කියන්නේ? එහෙම දෙයක් කරන්න කිසිම විදියේ හැකියාවක් නැහැ. යම් කෙනෙක් අපේ නිර්මාණවලට සම්බන්ධයෙන් සීමා පනවා නම් ඒක අපේ පරිකල්පනයට දාන සීමාවක්. මනුෂ්‍යයගේ තියෙන ඉහළම හැකියාව පරිකල්පනය. පරිකල්පනයක් කරන නිර්මාණකරුවෙක් එය තවත් කෙනෙක් සමග බෙදාගැනීමට ලැබෙන අවස්ථාව තමයි ඔහුට සමාජයක ලැබෙන පොහොසත්භාවය. කෙනෙකුට අපහාස කරන්නත් පුළුවන්. ඒකත් නිදහස. හිරේ දාන්න. නිර්මාණකරුවෙක්ගේ හැකියාව වෙනත් අපරාධයකට සම්බන්ධ කරන්න බැහැ.

ශක්තියක සමාජයට අගතියක් වෙන්නේ කොහොමද?

අපේ සමාජයේ තියෙන අගතීන් වලට අපි කියන්නේ නැහැ හිරේ යන්න  ඕන නෑ කියලා. දූෂණ, වංචා, මිනීමැරුම් විවිධ දේවල් වලට මිනිස්සු හිරේ යනවා. ඒවා කවුරුත් ප‍්‍රශ්න කරන්නේ නැහැනේ. ශක්තියක වගේ කි‍්‍රයාදායමක් කොහොමද අගතියක් වෙන්නේ? ඒක කලාවේ තියෙන මූලික ලක්ෂණයක්. කෙනෙකුට තමාගේ අදහස සෞන්දර්යාත්මක ප‍්‍රකාශනයකින් එළියට දැක්වූවාම, ඔහුට ලැබෙන ප‍්‍රතිචාරය තමයි ඔහුට තෘප්තිය වෙන්නේ. ඒ ලැබෙන තෘප්තිය දෙන්න අකමැති නම්, සමාජයක් හැටියට ඒ කෘතිය සම්බන්ධයෙන් ඇගයීමක් කරන්න සූදානම් නැත්නම්, ඒකම ඇති ඔහුට ඒකෙන් පසුබහින්න. දැන් මෙවැනි කි‍්‍රයාත්මකවීම් වලින් එක පැත්තකින් වෙන්නේ, මේ කෘතියට නැති වටිනාකමක්, මේ හරහා ලැබෙන්නත් පුළුවන්. ඒත් වැඩක් නෑ. හිරේ යන්න නෙමෙයිනේ පොත් ලියන්නේ හරි වෙන නිර්මාණයක් කරන්නේ හරි. එහෙම ගිහින් ලබාගන්න දේ ගැන ගැටළුවකුත් තියෙනවා. ඒ වටිනාකම අනවශ්‍ය වටිනාකමක්. ඒක එක පැත්තකින්. මේ ගැන අපි දැන් සමාජයට දීලා තියෙන ආදර්ශය කුමක්ද? අපි සමාජයට කියනවා, මට මොන විදියේ පරිකල්පනයක් ලැබුණත්, ඔබ අපිට කියනවා නම් අපිට ගැලපෙන විදියට කියන්න  ඕනා.  ඕය අදහස, සීමා කලාකරුවෙකුට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැති දේ කීමම තමයි කලාව කියන්නේ. යම් සංගීත කණ්ඩයකින්, තවත් සංගීත කණ්ඩයක් වෙනස් වෙන්නේ, ඒ ඒ සංගීතඥයින් එකිනෙකාට වඩා වෙනස් විදියට හිතපු නිසා. වෙනම ස්වර ඇහෙන නිසා.

නිර්මාණය විනිශ්චය කිරීමේ අයිතිය පේ‍්‍රක්ෂකයාට හා විචාරකයාටයි

සිනමාකරුවන් හැටියට අපිට තියෙන චිත‍්‍රපටයක් අපිට ආපහු හදන්න බෑ. චිත‍්‍රපට සමාජගත වෙලා තියෙන විදියට කව්රු හරි හදපු චිත‍්‍රපටයක් අපි ආපහු හදන්නේ නැහැ. අපි හදන්නේ අලූත් එකක්. අලූත් වීම සඳහා තමන්ට තියෙන වුවමනාව, හැකියාව, තුළ යම් යම් සීමාකම් තියෙන්න පුළුවන්. ඒ සීමාකම් නිසා ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක ප‍්‍රශස්ත චිත‍්‍රපටයක් නෙමෙයි කියලා. ඒක බොළඳ එකක්, ඒක අගතිගාමී එකක් කියලා. ඒවා එහෙම තමයි. ඒවා විචාරකයෝ ඒක කාරණාව කරයි. මේ සමාජයට ගැලපෙන්නේ නැති කලාකෘති පවතින්නේ නැහැනේ. ඒක විශ්වාස කරන්න. අවශ්‍ය නැත්නම් නොබලා ඉන්න. කියවන්නේ නැතුව ඉන්න. ඒකට ගැටීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.

මේ නිර්මාණය වෙන භූමිය ඉතාමත් අවසනාවන්ත එකක්. අපේ සමාජය තුළ තියෙන වටිනාකම්, ජීවිතයේ තියෙන අර්ථයන්, අපිට දී ගන්න බැරි වුනාම අවුරුද්දෙන් අවුරුද්දට අපි විඳින අවාසනාව නැවතත් අපිට විඳින්න සිද්ධ වෙනවා. අවුරුදු 20, 20 ට මේ රටේ කැරළි ඇතිවෙනවා. ඒවා මුලින්ම සමාජ ගැටුම්, ප‍්‍රදේශීය ගැටුම්, ඊට පස්සේ ඒවා රාජ්‍ය ගැටුම් බවට පත්වෙනවා. ඊට පස්සේ ඒවා රාජ්‍ය ව්‍යූහයට විරුද්ධ ගැටුම් බවට පත්වෙනවා. ඒ වගේ අත්දැකීම් තියෙනවානේ අපිට. ඉතින් මේ අත්දැකීම් වලින් අපි ඉගෙනගන්න ලෑස්ති නැත්නම්, අපි නැවතත් ඒ වැරදි ටික ඒ විදියටම කරන්න ලෑස්ති නම්, අනාගතය පිළිබඳව තිබෙන සිහිනය බියකරු මිසක් වෙනත් දෙයක් නෙමෙයි.

නිර්මාණවලට සමාජයෙන් ලැබෙන අර්ථකතන විවිධයි

සමාජයක තියෙන විස්වාස පද්ධතියකට, ඔවුන්ට තියෙන ගෞරවයට ප‍්‍රශ්නයක් මතු වෙලා තියෙනවා, කෙලෙසීමකට ලක් වෙලා කියලා හිතෙනවා කියලනේ චෝදනා කරන්නේ? එයින් ගම්‍ය වෙන්නේ අදහස් විවෘත අදහසක්. නිර්මාණ වලට දෙන විවිධ අර්ථ තියෙනවා. වෙනස් අර්ථයන් දෙන්නත් පුළුවන්. මේ අදහස නිවැරදියි කියලා හදපු අය කව්ද? කලා කෘතියකට මම දෙන අර්ථය නෙමෙයි වෙනත් කෙනෙක් දෙන්නේ. මේ අර්ථයමයි මේකේ තියෙන්නේ කියන අදහස කව්ද කිව්වේ. අපි කරපු නිර්මාණ නිරන්තරයෙන් ගැටුනා. ඒ ගැටුම තුළ අපි උත්සාහ කලා යම් කිසි සමාජයමය මැදිහත්වීමක් කරන්න ඒ ගැටුමේ ප‍්‍රමාණයක් එක්ක, අවදියකුත් ලබාගන්න. යම් කිසි අවදි කිරීමක් කරන්න. යුද්ධය ගැන අපි කළ නිර්මාණ සම්බන්ධයෙන් ලියුවුනු විවිධ විචාර අප කියවනවා. එහිදී අපි ගැන විවිධ විදියට අර්ථකතනය කර තිබෙනවා. සමහරු අර්ථකතනය කරලා තියෙනවා අපි යුධ විරෝධී භාවිතාව තුළ යුද්ධය පිළිබඳ දකුණේ මනස වෙනස් කලා කියලා. මේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක්. ඉතිහාසය කියන්නේ හරිම අමාරු විශයක්. අර්ථකතනයන් රාශියක් තියෙනවා. කෙනෙකුට අර්ථකතනය කරන්න පුළුවන් ඒ විදියට. අපි කරපු නිර්මාණ නිසා ඒ වෙලාවේ දකුණේ ජනයා යම් කිසි අවදිවීමක් වුනා. ඒ අර්ථකතනය කිරීම හරහා ඒ අය කියන්න පුළුවන් අපි යුද්ධයට උපකාර කලා කියලා. තවත් කෙනෙකුට කියන්න පුළුවන් මේ නිර්මාණකරුවන් සිදු කළ නිර්මාණ නිසා, යුද්ධය පිළිබඳව ලෝකයටම ගියා කියලා. මේ අර්ථකතන සියල්ල  ඕනම කෙනෙකුට  ඕනම විදියකට කරන්න පුළුවන්. ඒක කලාවේ හැකියාව.  

මේ දාලා තියෙන්නේ භයානක මුට්ටියක්

මේ කියන විදියට මේ නීතිය කොයි තැනක නතර වෙයිද කියලා මම දන්නේ නැහැ. මේ නීතිය පිළිබඳව අර්ථකතනය අපි අරගෙන නීතියට යා හැකි දුරින් අපි නතර කරන්න  ඕනා. ඒ විදියට බැලූවොත් අතීතියේ අපි කරපු නිර්මාණවලට එල්ල වුනු චෝදනා බැලූවොත් අපි හිරේ යන්න  ඕන. මෑතකදී අපි දකිනවා ජනමාධ්‍යට ඇවිත් ප‍්‍රකාශ කරන හැමෝටම මේ ප‍්‍රශ්නය දැන් තියෙනවා. කලාකරුවන්ට පමණක් නෙමෙයි, ජනමාධ්‍යට ඇවිත් යම් කෙනෙක් තමන්ගේ අදහස ප‍්‍රකාශ කරනවා නම්, ඒ අවස්ථාවේදී යම් අදහසක් ප‍්‍රකාශ කිරීමෙන් තමන්ට නිදහසක් තියෙනවා කියලා, ඒ නිදහස තමයි දැන් තර්ජනයට ලක්වෙලා තියෙන්නේ. ඒකට තමන් මැදිහත්වෙන දේශපාලන කඳවුර වැඩකුත් නෑ. මේ අවස්ථාව දැන්  ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. මේ මොහොතේ යම් කෙනෙක් කියන්න පුළුවන් මේ පනත භාවිතා කරන්නේ මේ පිරිස කියලා. හෙට දවසේ ඒක තමාට විරුද්ධවත්, තමා කරගෙන යන මතවාදයට විරුද්ධවත් භාවිතා කරන්න පුළුවන්. එය දැන් භාවිතා වෙන විදිය භාවිතා කරන්න බැරි වෙනවා. මේ නීතිය  ඕනම කෙනෙකුට අර්ථකතනය කරන්න පුළුවන් වෙනත් ආකාරයකින්. මෙය ඉතාම භයානක එකක්. ඒ නිසා මේක වහාම නවත්වන්න  ඕනා. අපි කතාවට කියන්නේ මුට්ටිය දාලා ලබනවා කියලා. මුට්ටිය සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම වැටෙන්නේ කලාවට තමයි සාමාන්‍යයෙන්.  ඕනම රටක යුද්ධයට පසුබිම සකස් කරන්න මුලින්ම ගහන්නේ කලාකරුවන්ට. ඒක සාමාන්‍ය ස්වභාවයක්. තට්ටුවක් දාලා ලබනවා හෙලවෙනවද කියලා.කලාව කියන්නේ සංවේදීම දේ නේ. සාමාන්‍ය සමාජයක ව්‍යූහයක,  තර්ජනය සිදුවන අවදිය තියෙන්නේ කලාකරුවාගේ භූමියේ. එතනට තට්ටුව දාලා හරි ගියාම, තියෙන්නේ ඉතුරු ටික කරගෙන යන්න. ඉතිහාසයේ හැමදාම  ඕක වුනා. ඒ මුට්ටිය එනකොට දැනගන්න  ඕනා ඒක එන්නේ කලාවට නම් ඉතුරු ටික නොකලාවටත්, අනික් තැන්වලටත් එනවා කියලා.

කෙටිකතා නිර්මාණයට නීතිදාන්න බෑ

මේ කසකාරයොගේ පැමිණීමයි මේ. ශක්තික ලියපු කතාව හොඳද, නරකද? විශිෂ්ඨ ද නැද්ද කියන එක නෙමෙයි මෙතන සාකච්ඡුාව. ඔහු කෙටි කතාවක් ලියලා තියෙනවා. ඉන් එහාට ඉතුරු ටික අයිතිවෙන්නේ කලා විචාරකයින්ට, පාඨකයන්ටයි. කෙටි කතාවක් ලිවීම නිසා හිරේ යන්න වෙනවා නම්, ප‍්‍රශ්නය තියෙන්නේ කෙටි කතාවේ මිසක් ලිවීමේ නෙමෙයි. මොකක්ද මේ නීතිය. අන්න ඒ නීතිය දෙස බලලා කෙටිකතා ලියන්න පුළුවන් විදිය හදාගන්න වෙනවා. පොදුවේ කෙටිකතාවන් ලියන්න පුළුවන් විදිය සඳහා නීතියක් හදන්න පුළුවන් ද ලෝකේ. එහෙම දෙයක් කරන්න බෑ. කෙටි කතාවක් කියන්නේ ප‍්‍රබන්ධයක්. අපි ලියන්නේ සියළු නම් ගම් මනකථකල්පිතයි කියලා. ඒක දැම්මට පස්සේ සියල්ල ඉවරවෙන්න  ඕනා. එහෙම තැනකට ගේන්න  ඕනා. ඒක තුළ අපිව නිදහස් කරනවා.
පරිකල්පනයට නිදහස අවශ්‍යයි

කලාකරුවන්ට නිදහස නැත්නම් කලාව පවතින්නේ නැහැ. කලාව කියන්නේ මානව සමාජයේ ජීවත්වෙන හැම මනුස්සයෙක්ටම ලැබිලා තියෙන පරිකල්පනය වෘත්තීයව භාවිතා කරන පිරිස. දොස්තරවරු, ඉන්ජිනේරුවරු, මේ හැමෝටම පරිකල්පන හැකියාවක් තියෙනවා. ඒ අයගේ පරිකල්පනය තමාගේ එකක් විතරයි. සමාජය ව්‍යූහයක් විදියට පරිකල්පනය අරගෙන යන්නේ කලාකරුවන් හරහා. ඉදිරියේ පිළිබඳ දැක්මක් ඒක. තාක්ෂණික නම් විදයාඥයා විසින් ඒක කරගෙන යනවා. ඉන්ජිනේරුවරුන්ගේ ඒක ඉංජිනේරු විද්‍යාඥයින් විසින් කරගෙන යනවා. වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යා විද්‍යාඥයින් විසින් කරගෙන යනවා. නමුත් සමාජය පිළිබඳව, සමාජය පිළිබඳව පරිකල්පනය තියෙන්නේ කලාකරුවන්ට. ඒක සමාජ විද්‍යාවන් එක්ක සම්බන්ධයි. දේශපාලනය එක්ක සම්බන්ධයි. ආර්ථිකය, සංස්කෘතිය එක්ක සම්බන්ධයි. ඒ අයට තියෙන කොන්ත‍්‍රාත්තුව ඒකයි. ඒ සමාජ ප‍්‍රගමනය කරා සිතීමේදී ඒ නිදහස තිබෙන නිසා, ප‍්‍රගමනයත් වෙන්න පුළුවන් ඒ ගමනේ, බොහෝම හුදෙකලා සිද්ධීන් වෙන්න පුළුවන්. වෙන කෙනෙක් වෙන විදියකට කලා නිර්මාණයන් කරන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ මහා සාගරය වගේ කලා නිර්මාණ තුළ ඒක නැතිවෙලා යනවා ඒකට වැදගත් කමක් ලැබෙන්නේ නැහැ. එවැනි මේ සුළු කාරණාවක් අල්ලගෙන, යම් විදියකින් මේ ප‍්‍රධානතම අවකාශයට බලපෑමක් කිරීම ඉතාම භයානකයි. ශක්තික ලිව්වේ එක කෙටි කතාවක් විතරයි. ඒ එක කෙටි කතාවක තහංචිය, මුළු මහත් සමාජයක කෙටි කතාකරුවන්ට අදාළ කරන්න පුළුවන්ද? පනවන්න පුළුවන්ද? කොහොමද එහෙම කරන්නේ? ඒක තුළම විශාල ප‍්‍රශ්නයක් නැද්ද? මේ තර්ජනය එල්ල වෙන්නේ එතනට. කළ යුත්තේ මහා කලා සම්ප‍්‍රදාය නිසා මේ නිර්මාණයට අවසර දෙනවා මිසක, සුළු සිද්ධියක් පදනම් කරගෙන මේ මහා දහරාව නවත්වන එක නෙමෙයි. මේ වෙලාවේ අපි නීතිය වෙනස් කරනවා මිසක් කෙටි කතාව වෙනස් කරලා හරියන්නේ නැහැ.


සාකච්ඡා හා  සටහන සුදේශ් ද සිල්වා  





2019-08-28
Advertisement

Find us on Facebook