English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විධායක ජනාධිපතිවරණයට අපි තුන් වතාවක් රැවටුනා, මේ අවසන් අවස්ථාව - මහාචාර්ය සරත් විජේසුරිය


විධායක ජනාධිපතිවරණයට අපි තුන් වතාවක් රැවටුනා, මේ අවසන් අවස්ථාව - මහාචාර්ය සරත් විජේසුරිය

ගෝඨාභය රාජපක්ෂ මේ රට පාලනය කිරිමට මොනම ආකාරයකින්වත් සුදුසු නැති පුද්ගලයෙකු බව සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ “යහපාලනයේ ඉදිරි මඟ” නමැති 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන පුරවැසි න්‍යාය පත්‍රය එළිදැක්වීමේ උත්සව සභාවට එක් වෙමිනි.

මෙම උත්සවය සාධාරණ සමාජයක් උදෙසා වු ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, වමේ කේන්ද්‍රය ඇතුලු පුරවැසි ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබුණි.

මෙම උත්සව අවස්ථාව සඳහා කථානායක කරු ජයසුරිය, අමාත්‍ය රවී කරුණානායක, පීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා, දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කුමාර වෙල්ගම, තිස්ස අත්තනායක, මුඛර්ජී රහුමාන් ආදි ආරාධිතයින් රැසක් එක් විය.

මෙහිදි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ ලේකම් පාලිත ළිහිණියකුමාර මහතා විසින් යහපාලනයේ ඉදිරි මග පුරවැසි න්‍යාය පත්‍රය මහා සංඝරත්නය ඇතුලු ආරාධිතයින් වෙත පිළිගන්වනු ලැබීය.

මෙහිදි තවදුරටත් අදහස් දැක් වු මහාචාර්ය සරත් විජේසුරිය මහතා ,

ඔහු බලයක් නොමැතිව නීතිය අවභාවිතා කළ පුද්ගලයෙකු බව අප සැලකිල්ලට ගත යුතුයි. ඔහු රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු කාලය තුල මේ රටේ  අපරාධ, මනුෂ්‍ය ඝාතන, මාධ්‍ය ආයතන වලට ගිනි තැබිම්, මාධ්‍යවේදින් මරා දැමිම්, අහිංසක දරුවන් සාපරාධි ලෙස අතුරුදහන් කරවීම් මොන තරම් සිදු වුවාද? ඔහුට ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගත් උත්සහයන් ව්‍යවර්ථ වෙලා තියෙනවා. ඔහු බලය නැතිව බලය පරිහරණය කරමින් රැකවරණය ලබමින් රටේ නායකයා වන්නට මඟ එළි කර ගෙන ඉන්නවා. මේක මොන තරම් භයානක තත්වයක්ද? මේ තත්ත්වයට මුහුණ දිම තමයි මේ රටේ ඉදිරි ජනාධිපතිවරණයේදි නීති ගරුක පුද්ගලයින්ට සිද්ධ වෙලා තියෙන්නේ.

ඔහු මේ රටේ පාලකයා බවට පත් වීම වළක්වාලීම මේ රටේ යුක්ති ගරුක වැසියාගේ පරම යුතුකමයි.

විධායක ජනාධිපතිවරණය කියන කාරණයට අපි තුන් වතාවක් රැවටී තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා ප්‍රතිඥා දුන් තුන් දෙනෙක්ම ඒ ප්‍රතිඥා කඩලා තියෙනවා. අපි කොහොමද මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුව මේ රට පාලනය කරන ක්‍රමයක් හදන්නේ? මම හිතන විදිහට ඒකට ලැබිලා තියෙන අවසාන අවස්ථාව මේ එළැඹිලා තියෙන්නේ. මේ අවස්ථාව ගිලිහී ගියොත් නිසැක වශයෙන්ම මේ රට නැවත වරක් ඒකාධිපතියෙකුගේ අණසකට යටත් වෙන බව සැක හැර දැන ගන්න පුලුවන්. මේ ක්‍රියාදාමය තුල වැදගත්ම දේ, ගැටලුව වන්නේ ව්‍යවස්ථාවේ ගැටලුවයි. 1978 ව්‍යවස්ථාව පදනම් වී ඇත්තේ පාලකයා ජනතාවගෙන් ආරක්ෂා වීමට මිස ජනතාවගේ ආරක්ෂාව සාක්ෂාත් කර දිමට නොවේ. මේ කාරණය ඇත්ත බව තේරුම් ගැනිමට පාස්කු ඉරිදා සිදු වු ප්‍රහාරය හොඳම නිදසුනයි. ඒකට වගකිව යුතු පුද්ගලයාට මේ ව්‍යවස්ථාවෙන් ආරක්ෂාව සැලසිලා තියෙනවා. ඒත් විනාශ වෙච්ච ජිවිත, මනුෂ්‍ය දේපළ වලට යුක්තිය ඉටු කිරිමට මේ පාලකයා බැඳිලා නැති තත්වයක් අද ඇති වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව වි ඇත්තේ 1978 ව්‍යවස්ථාවෙන් ජේ.ආර්.ජයවර්ධන මහතා ඇති කර ගත්තා පාලකයන්ට අත නොතබන්න ගණ පවුරක්. මහජනතාව වහලුන් බවට පත් කර ගත්තා. ඒ තත්වය මේ දිගටම ආවේ.

මෙම අවස්ථාවේදි පුරවැසිබලය ව්‍යාපාරයේ සම කැඳව`ම්කරු නීතිඥ, මාධ්‍යවේදි කේ.ඩබ්ලිව්.ජනරංජන, නීතිඥ  ජාවේඩ් යුෂොප්, පුරවැසි බලය ව්‍යාපාරයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන අයද සභාව ඇමතූහ.

 

-ශානිකා මාධවී-




2019-08-27
Advertisement

Find us on Facebook