English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජාත්‍යන්තර අධිකරණයේ බලපෑම!


ජාත්‍යන්තර අධිකරණයේ බලපෑම!

ජාත්‍යන්තර අපරාධ අධිකරණය යනු ජාත්‍යන්තර ප්‍රජාව විසින් බිහිකරගන්නා ලද ස්වාධීන වූත් ස්ථිර වූත් අධිකරණ ක්‍රමයකි. මෙය ක්‍රියාත්මක වන්නේ 1998 ජූලි 17 වන දින සම්මත කරගන්නා ලද රෝම ව්‍යවස්ථාව තුළිනි. වර්ග ඝාතනය, මනුෂ්‍යත්වයට එරෙහි වූ වෙනත් අපරාධ, යුධ අපරාධ, සහ ආක්‍රමණික අපරාධ යන බරපතල අපරාධ සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට දඬුවම් දීම පිණිස විශ්ව රාමුවක් මෙයින් ස්ථාපිත කර ඇත. ඒ අනුව තනි පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමටත් නඩු පැවරීමටත් මෙම අධිකරණයට බලය ලැබී තිබේ. මෙම අධිකරණය ස්ථිර අධිකරණයකි. ඒනිසා ලෝකය පුරා සිදුවන අපරාධ සම්බන්ධයෙන් කඩිනම්, කාර්යක්‍ෂම විසදුම් ලබා දීමට මෙම අධිකරණයට හැකියාව පවතී. තවදුරටත් මෙම අධිකරණය දේශීය අධිකරණ මෙන් නොව අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාවේ යොදවනු ඇත.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රියාත්මක වන්නා වූ රෝම ව්‍යවස්ථාව අනුව එහි පූර්විකාව මඟින්ද පිළිගෙන ඇත්තේ බරපතල අපරාධ ලෝකයේ සාමය, ආරක්ෂාව සහ මනා පැවැත්මට තර්ජනයක් වන හෙයින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්වීම උදෙසා වඩාත් ඵලදායී උපාය මාර්ගයක් තිබීමේ හදිසි අවශ්‍යතාවයයි. මෙම රෝම ව්‍යවස්ථාවලිය කොටස් 13 කින්ද, ව්‍යවස්ථා128කින්ද සමන්විත වන අතර එහි සිව්වන කොටස මඟින් අධිකරණයේ සංයුතිය සහ පරිපාලනය පිළිබඳ විග්‍රහ කර ඇත. එහිදී අධිකරණයේ විනිසුරුවරුන්ගේ සුදුසුකම් සහ ස්වාධීනත්වයන් දක්වන අතර එම අධිකරණය විනිසුරුවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත බවද වේ. එම විනිසුරුවරුන් පත් කරනු ලබන්නේ මෙම ව්‍යවස්ථාවට අනුමැතිය දී ඇති රටවල 2/3ක ඡන්දයෙන් වන අතර ඔවුන්ගේ ධූර කාලය වසර 9කි. එම නිල කාලය නැවත දීර්ඝ කළ නොහැක. මෙම විනිසුරුවරුන් පූර්ව විභාග අවස්ථාව, විභාග අවස්ථාව සහ අභියාචන අවස්ථාව ලෙස අංශ තුනකට වෙන් කර ඇත.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බල සීමාවට ඇතුළත් වන අපරාධයන් සම්බන්ධ සාකච්ඡා කිරීමේදී, රෝම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාව ප්‍රකාශ කරනුයේ  ජාත්‍යන්තර සැලකිල්ලට ලක්වන වඩාත්ම බරපතල අපරාධ සම්බන්ධයෙන් එම අධිකරණයට බලය හිමිවන බවයි. එනම් ජන ඝාතන, යුධ අපරාධ, මානුෂිකත්වයට එරෙහිව සිදු කරන අපරාධ සහ ආක්‍රමණ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට එම අධිකරණයට හැකියාව පවතී.

ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට නඩු ගෙන එන්නේ කෙසේද යන්න සලකා බලන කල, මෙයට පාර්ශව වූ රාජ්‍යයන් විසින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්, නඩු මෙහෙයවන්නා විසින් ඉදිරිපත් කරනු ලබන මෝසමක් මඟින්ද නඩු කටයුතු පැවරිය හැකිය. අදාළ අපරාධය පිළිබඳව දැනුම් දීම හෝ පැමිණිල්ල යොමු කිරීම සිදු කළේ රාජ්‍යයක් විසින් නම් හෝ අභිචෝදකවරයා විසින් නම් එහිදී මෙම අධිකරණයට අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට නම්, අදාළ අපරාධය සිදු වූ ස්ථානයට අයත් රාජ්‍යය හෝ චූදිත තැනැත්තාගේ ජාතිකත්වය හිමිවන රාජ්‍යය අතරින් එක් රාජ්‍යයක් මෙම අධිකරණ බලය පිළිගෙන තිබීම අවශ්‍ය වේ. එසේ නැතිනම් ව්‍යවස්ථාවට අත්සන් කර තිබීම අවශ්‍ය වේ. මෙම ව්‍යවස්ථාවට අත්සන් තබා නොමැති හෝ අපරානුමත කර නොමැති රාජ්‍යයන් මෙම අධිකරණයේ අධිකරණ බල සීමාවට අයත් නොවූවද මෙම අධිකරණයේ අධිකරණ බලය පිළිගෙන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරවීමට සහාය දැක්විය හැකිය.

 

ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නඩුවක් භාර ගැනීමට නම් එම නඩුව සම්බන්ධයෙන් දේශීය ප්‍රතිකර්ම භාවිතා කර තිබීම අවශ්‍ය නැත. මක්නිසාදයත් මෙම අධිකරණය අභියාචනා අධිකරණයක් නොවන හෙයිනි. එසේ වුවත් කිසියම් නඩුවක් දේශීය අධිකරණ මඟින් නිසි ලෙස විභාග කර තිබේ නම් හෝ එසේ කරමින් පවතින්නේ නම් එවැනි නඩුවක් විභාග කිරීම සඳහා භාර නොගන්නා බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ප්‍රකාශ කළ හැකිය. රෝම ව්‍යවස්ථාවේ 1 වැනි ව්‍යවස්ථාව මඟින්ම දක්වනුයේ අදාල අපරාධ සම්බන්ධව වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව දේශීය අධිකරණයක නඩු පැවරීම පිළිබඳ වගකීම දරන රාජ්‍යය විසින්, එම චූදිත තැනැත්තා එම රාජ්‍යයේ පදිංචිකරුවෙකු හෝ රට වැසියෙකු වන විටක, එම තැනැත්තාට එරෙහිව නඩු පැවරීම මගහරින විට පමණක් එකී අපරාධය සම්බන්ධයෙන් පියවර ගැනීමේ බලය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හිමිවන බවයි. මේ අනුව දේශීය අධිකරණ එලෙස කටයුතු කිරීමට අපොහොසත් වන විටක අපරාධ නඩු පැවරීමට හා විභාග පවත්වාගෙන යාමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රියා කරනු ලබයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් නම් රාජ්‍ය නායකයන්ට ලබා දෙන විනීර් මුක්තිය ඉන් බැහැර කර තිබීමයි. එනම් රාජ්‍ය හෝ ආණ්ඩුවක නායකයෙකු හෝ සාමාජිකයකු හෝ පාර්ලිමේන්තු සාමාජිකයකු හෝ යන කිසිම අයෙකු අපරාධ වගකීමෙන් බැහැර නොවන බව රෝම ව්‍යවස්ථාව පැහැදිලිවම පිළිගනී.

රෝම ව්‍යවස්ථාව යටතේ විත්තිකරුවන්ගේ, විපතට පත්වූවන්ගේ හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකරදීම උදෙසාද ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව සාධාරණ නඩු විභාගයක් පවත්වාගෙන යාම සහ විධිමත් ක්‍රියාදාමයන් සඳහා වූ සියළු ජාත්‍යන්තර සම්මතයන් අදාල කර ගැනීමට ක්‍රියා කර ඇති අතර නඩු විභාගයේ සෑම අදියරකදීම විත්තිකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ඇත. මෙහිදී නීතීඥ සහාය ලබා ගැනීමේ අයිතිය සැකකරුවන්ට මෙන්ම චූදිතයන්ටද ලබාදී ඇත. වරදකරුවකු කිරීමට පෙර සෑම චූදිතයකුම නිර්දෝෂී බවට පූර්ව නිගමනය කරනු ලබයි. එසේම විත්තිකරු නොමැතිව නඩු විභාග පැවැත්වීමට අවසරයක් නොමැති අතර කෙතරම් බරපතල වූ අපරාධයක් සිදු කළ පුද්ගලයකු වුවද මරණ දඬුවම පැනවීමේ බලයක් මෙම අධිකරණයට නැත.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණ නියෝග බලාත්මක කිරීම සම්බන්ධව සලකා බැලීමේදී රෝම ව්‍යවස්ථාවලියට පාර්ශව වූ රාජ්‍යයන් මෙම අධිකරණය සමඟ සම්පූර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු කිරීමට නීතිමය වශයෙන් බැඳී සිටී. එහිදී තම දේශීය නීතියේ විධිවිධාන නිසි පරිදි පවතින බවට සහතික කිරීමේ වගකීම රාජ්‍යයන් සතු වනු ඇත. විශේෂයෙන්ම මෙම අධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් ලැබුනු විට, එක්සත් ජාතීන්ගේ සියළුම සාමාජිකයන් ඒ සඳහා සහයෝගය දීමට බැඳී සිටී. එවිට රාජ්‍යයන් මෙම ව්‍යවස්ථාව අනුමත කර තිබේද නැද්ද යන්න අදාල නැත. යම් හෙයකින් රාජ්‍ය පාර්ශවයන් එසේ සහයෝගය නොදී සිටී නම් එහි ප්‍රථිඵලද රෝම ව්‍යවස්ථාවේ දක්වා තිබේ. එහිදී අදාළ රාජ්‍ය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා රාජ්‍ය පාර්ශව සම්මේලන වෙත යොමු කිරීමට මෙන්ම එසේ සහාය නොදී සිටිනුයේ ආරක්ෂක මණ්ඩලය විසින් යොමු කරන ලැබූ කරුණක් සම්බන්ධයෙන් නම් එම සහාය නොදීම පිළිබඳව ආරක්ෂක මණ්ඩලයට දැනුම් දීමටද හැකිය.

හිරෝශාන් ලක්ෂාන්




2019-08-24
Advertisement

Find us on Facebook