English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බොදු භීෂණයේ මුහුණුවර !


ඔහුගේ මුහුණ, පිළිමයක් සේ ශාන්තදාන්ත ය. ‘‘බුරුම බින් ලාඩන්’’ නමින් ප‍්‍රකට බෞද්ධ භික්ෂුව ධර්ම දේශනය අරඹයි. සිය ගණනක් සැදැහැතියෝ ඔහු ඉදිරියේ දෑත් එක්කොට වාඩි වී සිටිති. රතට හුරු සිවුරක් හැඳ සිටින භික්ෂුව සමග එම පිරිස පිරිත් සජ්ජායනා කරති. ස්ථානය, විශාලත්වයෙන් රැන්ගුන් නුවරට පමණක් දෙවැනි වන, මන්ඩලේ නගරයේ පිහිටි පන්සලකි. සාමකාමී දර්ශනයක් සේ පෙනුනත්, විරතු නමින් හැඳින්වෙන එම භික්ෂුවගේ පණිවිඩය, වෛරයෙන් නලියයි. ‘‘මේක නිකං බලාගෙන ඉන්න වෙලාවක් නෙවෙයි, පින්වතුනි.’’ භික්ෂුව දේශනා කරයි. ජනගහනයෙන් බහුතරයක් බෞද්ධයන් වන එම රටේ වෙසෙන මුස්ලිම් සුළුතරය කෙරෙහි තමාගේ වන පිළිකුල විවිධ ආකාරයෙන් පැහැදිළි කරන ඔහුගේ ධර්ම දේශනාව විනාඩි 90 ක් දිගයි. ‘‘දැන් තමයි නැගිටින්න වෙලාව. ලේ රත්කර ගන්න තියෙන වෙලාව.’’ ඔහු කියයි.

මියන්මාරය නමින් ද හැඳින්වෙන බුරුමයේ දැන් බෞද්ධ ලේ රත්වෙයි. සෑහෙන මුස්ලිම් ලෙයක් වැගිරෙයි. පසු ගිය වසරක කාලය තුළ, සුළු ජාතික ප‍්‍රජාවට අයත් සාමාජිකයන් ඉලක්ක කරගත් බෞද්ධයන්ගේ ප‍්‍රහාර දියත්ව විය. විරතුගේ කුපිතකාරී දේශනා සහ වෙනත් රැඩිකල් භික්ෂූන්ගේ දේශනා මගින් ආගමික ස්වෝත්තමවාදයේ ගිනි දැල් එම රට පුරා ඇවිලවෙයි. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව සෑහෙන මුස්ලිම් ආගමිකයන් පිරිසක් මේ වන විට ඝාතනය කෙරී ඇත. ජාත්‍යන්තර මානව හිමිකම් සේවකයන්ට අනුව, එම ප‍්‍රමාණය සිය ගණනකි. හිංසනයට වඩාත්ම ගොදුරුවන්නේ රෝහින්ග්යා ප‍්‍රජාවයි. ලෝකයේ වඩාත් හිංසාවට පත් ජන ප‍්‍රජාවක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංගමය මගින් හඳුන්වනු ලබන, බොහෝ සෙයින් තමන්ගේම යැයි රටකට අයිතියක් නැති මේ මුස්ලිම් ජනයා ජීවත් වන්නේ, බුරුමයේ ඈත බටහිර පෙදෙස්වල ය. ජාතිවාදී ලේ වැගිරීම් මේ වන විට මධ්‍යම බුරුමයටත් පැතිරී ගොස් තිබේ. 46 හැවිරිදි විරතු ජීවත් වන්නේ සහ විසකුරු දේශනා පතුරුවන්නේ ඒ ප‍්‍රදේශයේ ය.

මිලියන 60 ක ජනගහනයක් වෙසෙන බුරුමයේ සියයට 5 ක් වන මුස්ලිම් ප‍්‍රජාව, තම රටටත්, සංස්කෘතියටත් තර්ජනයකැ යි මේ භික්ෂුව සිතයි. ‘‘මුස්ලිම් මිනිස්සු හරි වේගෙන් බෝ කරනවා. අපේ ගෑනුන්ව හොරකම් කරනවා. ඔවුන්ව දුෂණය කරනවා.’’ යි ඔහු පවසයි. ‘‘අපේ රට අල්ලගන්නයි ඔවුන් බලන්නේ. ඒකට මං ඉඩ තියන්නේ නැහැ. මියන්මාරය බෞද්ධ රටක් විදිහට අපි තියාගන්න ඕනේ.’’

ශතවර්ෂ භාගයකට ආසන්න කාලයක් තිස්සේ හමුදා පාලනයෙන් පීඩා විඳ මෑතකදී නිදහස ලද, අඩු වශයෙන් ජාතීන් 135 ක් ජීවත් වන රටක සුකුමාර දේශපාලනික සමබරතාව එවැනි වෛරී භාෂණයෙන් තර්ජනයට ලක්වෙයි. රෝහින්ග්යා ජාතියට අයත් ගැහැනුන්ට ළමුන් දෙන්නෙකුට වඩා වැදීම තහනම් කෙරෙන නීතියක් ක‍්‍රියාත්මක කරන්නැ යි ඇතැම් රාජ්‍ය නිලධාරීහු දැනටමත් ඉල්ලා සිටිති.

ආසියාවේ වෙනත් රටවල්වල ද, රැඩිකල් බුද්ධාගම සරුවට වැඩෙමින් තිබේ. රාජ්‍යයේ ඉහළම තැන් සමග සම්බන්ධකම් ඇති, මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි දේපළ වනසන බෞද්ධ ජාතිකවාදී ව්‍යාපාර, මේ වසරේ ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රමුඛ ස්ථානයට පත්වෙමින් තිබේ. 2004 සිට ජීවිත 5000 ක් පමණ බිළිගෙන ඇති තායිලන්තයේ දකුණුදිග් භාගයේ මුස්ලිම් කැරලිකාරීත්වය ඉදිරියේ එරට හමුදාව සිවිල් ප‍්‍රහාරකයන් පුහුණු කරමින් තිබෙන අතර, ඔවුන් සමග බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද බොහෝ විට ගැවසෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ආයුධ සන්නද්ධ ය. එසේ හමුදා සොල්දාදුවන් සහ භික්ෂූන් වහන්සේලා අතර සම්මිශ‍්‍රණයක් පැවතීමෙන්, තායිලන්තයේ සුළුතර මුස්ලිම් ප‍්‍රජාව තවදුරටත් පරාරෝපණය වෙති.

සෑම රටකම රැඩිකල් බුද්ධාගමේ ගමන් මග, එම රටේ ඉතිහාස කාරණා විසින් නිශ්චය කරනු ලැබෙතත්, අන්තර්ජාල පහසුකම් ද තිබීම, ජාතික අගතීන් සහ දුෂමාන පුවත්වලට තෝතැන්නකි. එවිට හිංසනය, දේශසීමා ඉක්මවා යන්නට පිළිවන. බුරුම සංක‍්‍රමණිකයන් ලක්ෂ ගණනක් රැකියා කරන අසල්වැසි මැලේසියාවේ වෙසෙන බෞද්ධ බුරුම ජාතිකයන් කිහිප දෙනෙකු ජුනි මාසයේ ඝාතනය කෙරුණි. එම ඝාතන, බුරුමයේ වෙසෙන මුස්ලිම් මිනිසුන් ඝාතනය කිරීමට පළිගැනීමක් වශයෙන් කරන ලදැ යි මැලේසියානු බලධාරීහූ කියති.

හින්දු භක්තිකයන්, මුස්ලිම් සටන්කාමීන්, මූලධර්මවාදී කිතුණුවන් සහ සත්‍යලබ්ධික යුදෙව්වන් ආදී ආගමික අන්තවාදයන් අතරේ, බුද්ධාගම මෙතෙක් කල් බොහෝ සෙයින් නිරුපද්‍රිතව තිබුණි. වසර 2500 කට පෙර සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය, අවිහිංසාවාදී විය. මහා කාරුණික විය. එහෙත් වෙනත් ඕනෑම ආගමක අනුගාමිකයන් මෙන් බෞද්ධයන් සහ ඔවුන්ගේ ශුද්ධවන්තයෝ ද, දේශපාලනයට හසුවෙති. ඉඳහිට, කල්ලිවාදී ජාතිවාදයට ගොදුරු වෙති. අධිරාජ්‍යවාදයට සහ විදේශ මර්දනයට එරෙහිව ආසියාව නැගී සිටි අවස්ථාවේ, පිරිස් බලයෙන් ශක්තිමත්ව සිටි සහ සදාචාරමය වශයෙන් උසස් පිළිගැනීමකට පාත‍්‍රව සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරවලට නායකත්වය දුන්හ. ගිහි ප‍්‍රජාව වෙනුවෙන් අත්ථකිලමතානුයෝගයේ යෙදෙමින්, අධිරාජ්‍යවාදයට එරෙහිව සමහරු මාරාන්තික උපවාස කළෝය. වියට්නාම් ජාතික තික් කුවන් ඩුක් නැමැති භික්ෂුවගේ ප‍්‍රතිරූපය ඒ කාලයේ වඩාත් කීර්තිමත් විය. වසර 50 කට පෙර උන්වහන්සේ දකුණු වියට්නාම් රජයේ මර්දනයට එරෙහිව සයිගොන් නුවර දී එරමිනියා ගොතාගෙන ඇඟට ගිනි තියාගත්හ. 2007 දී බුරුමයේ අසාර්ථක ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැගිටීමට නායකත්වය දුන්නේ බෞද්ධ භික්ෂූන් ය. පාත්තර අතින් ගත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා හමුදා ජුන්ටාවට එරෙහිව සාමකාමීව පා ගමනක යෙදෙද්දී, ඔවුන්ව ඝාතනය කළ හමුදා සොල්දාදුවන්ගේ නැතත්, ලෝකයාගේ අනුකම්පාව ඔවුහූ දිනා ගත්හ. එහෙත්, මෙවැනි දේශපාලනික ක‍්‍රියාකාරීත්වයන් අවසන්ව, දේශපාලනික සටන්කාමීත්වය පටන්ගන්නේ කොතැනින් ද? සෑම ආගමක්ම, ආගමේ මූලික ප‍්‍රඥප්තීන්ට පටහැනි මතවාදවල ගොදුරු බවට පත්විය හැකිය. දැන් පැමිණ ඇත්තේ බුද්ධාගමේ වාරය යි.

වෛරයේ මන්ත‍්‍රය

මන්ඩලේ නගරයේ පිහිටි ස්වකීය අසපුවේ, තමාගේ විශාල ප‍්‍රමාණයේ ආලේඛ්‍ය චිත‍්‍රයක් සිතුවම් කළ බිත්තියකට පිටුපා, උස් වේදිකාවක එරමිනියා ගොතාගෙන වාඩි වී හුන් ‘බුරුම බින් ලාඩන්’, තම ලෝක දැක්ම විස්තර කරයි: ඔහුට අනුව, ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා, ‘කළු ජාතික, මුස්ලිම් ලේවලින් කිළිටි’ පුද්ගලයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය අරාබි ජාතිකයන් විසින් ආක‍්‍රමණය කොට ඇතැ යි ඔහු සිතයි. එහෙත්, අරාබි ජාතික ත‍්‍රස්තවාදියෙකුගේ නමක් තමාට අන්වර්ථ වී තිබීමෙහි ඇති උත්ප‍්‍රාසය ඔහුට නොවැටහෙයි. බුරුමයේ ජීවත් වන මුස්ලිම්වරුන්ගෙන් සියයට 90 ක්ම, ඔහුට අනුව, අන්තගාමී, නරක මිනිසුන් ය. ඔහුමත් 2003 දී මුස්ලිම් විරෝධී ඝාතනවලට රුකුල් දීමට වැරදිකරු වී සිරගතව සිටි පුද්ගලයෙකි. අංක 969 නමින් හැඳින්වෙන සංවිධානයක් දැන් ඔහු මෙහෙයවයි. මෙම අංකය, බුදුන් වහන්සේගේ විවිධ ගුණ ලක්ෂණ නිරූපණය කරන්නකි. බෞද්ධයන් සමග පමණක් සම්බන්ධකම් පවත්වන්නැ යි ඉල්ලා සිටින ඔහුගේ සංවිධානය, වෙනත් ආගමිකයන් සමග ආශ‍්‍රයට නොයන්නැ යි අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටී. ‘‘අපේ ආගම සහ ජාතිය ගැන බලාකියා ගැනීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට වඩා වටනේ’’ යැයි ඔහු කියයි.

මොහු ධර්මය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැති, ආධානග‍්‍රාහියෙකු වශයෙන් බැහැර කිරීම අපහසු නැත. එහෙත්, ඔහු ජනකාන්ත ය. බලගතු ය. ඔහුගේ පණිවිඩය ජනතාව අතර රැව් දෙයි. ඉස්ලාම් ආගම විසින් තමන්ව වට කරනු ලැබෙති ය යන හැඟීමක්, රටේ බහුතර ජනතාව වන බර්මාර් ජාතිය අතරේ මෙන්ම, ආසියාවේ බෞද්ධයන් වෙසෙන වෙනත් කලාපවල ද පැතිරෙමින් තිබේ. ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය වැනි අතීතයේ පැවති බෞද්ධ රටවල් ඉස්ලාම් ආගමට යටකර ගත්තා සේ, දැන් අළුත් රටවල් ගොදුරු කර ගැනීමට එම ආගම තැත් කරති ය යන හැඟීමක් බෞද්ධ ජනතාව අතර තිබේ. තමන්ගේ ජනතාවට වඩා මුස්ලිම් ජනගහනය වේගයෙන් බෝ වෙති යි යන බියක්, සනාථ කළ හැකි සාක්ෂිවලින් තොරව, බෞද්ධ ජාතිකවාදියෝ නිර්මාණය කරති. එසේම, මැද පෙරදිග රටවලින් එන සල්ලිවලින් මුස්ලිම් පල්ලි ගොඩනැගෙති යි යන විශ්වාසය ඔවුන් කලබල වන තවත් කාරණයකි.

බුරුමය පාලනය කළ හමුදා ජුන්ටාව, 2011 දී අර්ධ සිවිල් ආණ්ඩු ක‍්‍රමයකට ඉඩ හැරීම හේතුවෙන් ඇති වූ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රවාහයත් සමග බුරුමයේ අන්තවාදී බලවේග ද හිස එසැවීය. කැති මන්නා රැගත් සාහසික බෞද්ධ කල්ලි, රෝහින්ග්යා ජනතාව වෙසෙන පෙදෙස්වලට ගිය වසරේ ප‍්‍රහාර එල්ල කිරීමත් සමග ප‍්‍රශ්න උග‍්‍ර විය. ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානයට අනුව, එක දවසක් ඇතුළත රෝහින්ග්යා ජාතික මුස්ලිම්වරුන් 70 ක් එක ගමක දී ඝාතනය කරන ලදි. මේ හිංසනය නතර කිරීමට ආණ්ඩුව උනන්දුවක් ගත්තේ නැත. ඉන් පසු එය වෙනත් පෙදෙස්වලට ද පැතිරුණි. මාර්තු මාසය අග භාගයේ දී, මුස්ලිම්වරුන් විසින් බෞද්ධ භික්ෂුවක් ඝාතනය කිරීමෙන් පසු, බෞද්ධයන් ගොස් මුස්ලිම් ගම්මාන පිටින් විනාශ කරන ලදි. නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, මෙම ගැටුම්වලදී බෞද්ධයන් දෙන්නෙකු ඝාතනය වූ අතර මුස්ලිම්වරු අඩු වශයෙන් 40 ක්වත් ඝාතනය කෙරුණි. තවමත් දහස් ගණන් මුස්ලිම්වරු අනාථ කඳවුරුවල ගත කරති. ඒවාට ඇතුලූ වීමට මාධ්‍යවේදීන්ට අවසර නැත.

පන්සල සහ රාජ්‍යය

බුරුමයේ අසල්වැසි රට වන තායිලන්තයේ දකුණු පළාතේ පීඩාවට පත්වන්නෝ බෞද්ධයෝ ය. මේ ප‍්‍ර‍්‍රදේශය, බෞද්ධ රටක් වන තායිලන්තයට ගිය සියවසේ මුල් භාගයේ දී ඈඳා ගැනීමට කලින් පාලනය කෙරුණේ මුස්ලිම් සුල්තාන්වරයෙකු යටතේ ය. එනිසා, එම පළාතේ ජනගහනයෙන් සියයට 80 ක් අදටත් මුස්ලිම් ආගමිකයන් ය. 2004 දී බෙදුම්වාදී කැරැල්ලක් මේ ප‍්‍රදේශයේ දියත් වීමත් සමග, එම ප‍්‍රදේශයේ බෞද්ධයන් තායිලන්ත රාජ්‍යය සමග ආගමෙන් බැඳී සිටීම හේතුවෙන්, බෙදුම්වාදීන්ගේ ඉලක්ක බවට පත්විය. එහි දී බොහෝ බෞද්ධ භික්ෂූන් ද ප‍්‍රහාරයට ලක්ව තිබේ. කෙසේ වෙතත්, මේ වන විට එම ප‍්‍රදේශයේ වෙසෙන බෞද්ධයන් ආයුධ බලයෙන් ශක්තිමත්ව සිටින අතර, තායිලන්ත රජයේ හමුදාව එම ප‍්‍රදේශයේ බෞද්ධ පන්සල්වල ලැගුම්ගනු දක්නට ලැබේ.

පන්සලේ වෙසෙන සොල්දාදුවන්ගෙන් තමන්ට ආරක්ෂාව සැපයෙති යි මේ ප‍්‍රදේශයේ බෞද්ධයන් විශ්වාස කළත්, මුස්ලිම් ආගමිකයන්ට ඒ මගින් සන්නිවේදනය වන්නේ වෙනම පණිවිඩයකි. ‘‘ආණ්ඩුව කරන්නේ පන්සලට හමුදාව බන්දලා දීමක්’’ යැයි, දකුණු තායිලන්ත වාර්ගික ගැටුම සම්බන්ධයෙන් බුද්ධාගමේ භූමිකාව පිළිබඳ ග‍්‍රන්ථයක් රචනා කොට ඇති, ඔහියෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ආගමික අධ්‍යයයනයන් පිළිබඳ සහාය මහාචාර්යවරයෙකු වන, මයිකල් ජෙරිසන් ප‍්‍රකාශ කරයි. මේ ප‍්‍රදේශයේ බහුතරය මුස්ලිම් වෙතත් ඔවුන් ද සිටින්නේ බියෙනි. මෙතෙක් ඇතිව ඇති ප‍්‍රචණ්ඩත්වය තුළ වැඩියෙන් මියගොස් ඇත්තේ ද ඔවුන් ය. (එහෙත් ජනගහනයට සමානුපාතිකව වැඩිපුර මියගොස් ඇත්තේ බෞද්ධයන් ය). කෙසේ වෙතත්, වැඩියෙන් රාජ්‍ය ආරක්ෂාව ලැබෙන්නේ බෞද්ධයන්ටයි. අප කතා කළ සෑම බෞද්ධ භික්ෂුවක්ම කීවේ, මුස්ලිම්වරුන්ගේ නොහොඳමයි. මුස්ලිම් පල්ලිවල ආයුධ එකතු කරති යි චෝදනා කරන ඔවුහූ ‘‘ඉස්ලාම් කියන්නේ, ප‍්‍රචණ්ඩ ආගමක්’’ යැයි ද කියති.

එය, ‘‘බුරුම බින් ලාඩන්’’ ද අනුමත කරන අදහසකි. තමා අදහන ආගමේ දේශනා කෙරෙන සාමකාමී ධර්ම සූත‍්‍ර, බෞද්ධයන් බහුතරයක් වෙසෙන තමාගේ රටේ දැනට පැතිරෙමින් ඇති මුස්ලිම්විරෝධී ප‍්‍රචණ්ඩත්වය සමග ගැළපෙන්නේ කෙසේදැ යි ප‍්‍රශ්න කරන ලදුව, ඔහු මෙසේ කීය: ‘‘බුද්ධාගමට අනුව අපිට පුලූවන් කමක් නැහැ පහර දීමකට යන්න. ඒත්, අපේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න අයිතියක් අපිට තියෙනවා.’’ පසුව, සන්ධ්‍යා ධර්ම දේශනාවකට සහභාගී වෙමින්, රැුස්ව සිටි ගෘහනීන්, ශිෂ්‍යයන්, ගුරුවරුන් සහ ආච්චිලා ආදී සෑම තරාතිරමකම බැතිමතුන් ලවා මෙසේ හඩ නගා කියන්නට ඔහුගේ දේශනාවෙන් පොළඹවන සැටි මම අසා සිටියෙමි. ‘‘බර්මාර් ජාතිය වෙනුවෙන් මම මගේ ජීවිතය පූජා කරමි.’’

විරතු හිමියන් පිළිබඳව TIME හී පලවු ලිපියේ සිංහල පරිවර්තනය

සටහන උපුටා ගැනීම - ලංකා ෆෝකස් 

-MMP





2014-09-30
Advertisement

Find us on Facebook