English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පසුගිය වසර 10 තුල “මානව අයිතිවාසිකම්” විෂය “දේශපාලන වේදිකාව” තුලට පැමිණියා - පිලිප් දිසානායක


පසුගිය වසර 10 තුල “මානව අයිතිවාසිකම්” විෂය “දේශපාලන වේදිකාව” තුලට පැමිණියා - පිලිප් දිසානායක

“මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කියන විෂය 2010 වසරේ ඉඳලා ටිකක් ඉස්සරහට ආවා, පහුගිය කාලේට සාපේක්ෂව. 2010 මැතිවරණ වේදිකාවේත් 2015 මැතිවරණ වේදිකාවේත් මේ මානව හිමිකම් සම්බන්ධව වැඩිපුර කථා කරන්න පටන් ගත්තා. වෙනදා ඒවා කථා කළේ මානව හිමිකම් සංවිධාන කිහිපයක් හරි මානව හිමිකම් ක්‍රියාකාරි පුද්ගලයෙක් විතරයි.” යැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලීප් දිසානායක මහතා පවසයි. 

ඔහු  මේ බව අනාවරණය කර සිටියේ ඉකුත්දා හම්බන්තොට - නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති “නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම්” සම්බන්ධ මහජන මන්ත්‍රණ සභාවේදිය.

එහිදි තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසුවේය.

“නමුත් පසුව මාතෘකාව වෙනස් වෙලා මේක දේශපාලන වේදිකාවේ කථා කරන්න පටන් ගත්තා. අපි කථා කරන්න පටන් ගත් දේවල් හැමෝම, විශේෂයෙන් දේශපාලඥයෝ කථා කරන එක හොඳ දෙයක් හැටියට අපි දකින්නේ. කථාවෙන් එහාට ගිහින් ඒක ක්‍රියාවට නංවන්නත් බොහෝ අය කල්පනා කළා. වෙනදා මැතිවරණයකදී මැතිවරණ පත්‍රිකා වල තියෙන්නේ ආර්ථික ඉල්ලීම්. නමුත් පහුගිය මැතිවරණ දෙකේදීම ආර්ථික ඉල්ලීම් වලට අමතරව මැතිවරණ පත්‍රිකා වලට දාන්න වුණා, මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කොහොමද ආරක්ෂා කරන්නේ කියලා. කන බොන එක විතරක් නෙමේ මේකත් මුලික අයිතිවාසිකමක් කියලා මුලු ලෝකේම පිළිඅරන් තියෙනවා. ඒකට අපිත් එකඟ වෙලා තියෙනවා. ඒ ප්‍රඥප්ති වලට අත්සන් කරලා. එක්සත් ජාතීන්ගේ සංවිධාන වැනි සංවිධාන ඉදිරිපත් කරනු ලබන ගිවිසුම් අනුව ලංකාවේ නීති වලටත් බොහෝ නීති ඇතුලත් කරලා තියෙනවා. එසේ නීති ඇතුලත් කිරිම නිසා තමයි අපේ මේ අයිතිවාසිකම් සීමාව එන්න එන්න පුළුල්වෙලා තියෙන්නේ.

අපිව පාලනය කරන ආණ්ඩුව විසින් කරන්නා වු දේවල් පිලිබඳ තොරතුරු අපි දැන්ගන්න ඕනේ කියලා අපිට මීට කලින් හිතිලා තිබුණේ නැහැ. නමුත් අද තොරතුරු කියන එක මුලික දෙයක්. අපි දෙන බදු මුදල්, රටේ මහජන මුදල් මොනවට පාවිච්චි වෙනවද? සාධාරණව පාවිච්චි වෙනවද? කියලා සෙවිමේ වගකීම අපිට තියෙනවා. ඒක ලංකාවේ විතරක් නෙමේ ලෝකේම පිළිගත් කාරණයක්. පහුගිය දවස් වල ඒකට අවශ්‍ය නීති රීති සම්පාදනය වුණා. 1978 සිට ඇති අපේ මුලික අයිතිවාසිකම් කියන පරිච්ඡේදයට තව කොටසක් විදිහට තොරතුරු දැන ගැනිමේ අයිතිය ඇතුලත් වුණා. එමෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සඳහා වු යාන්ත්‍රණයද ඉකුත් වසර කිහිපය තුල වර්ධනය වෙලා තියෙනවා. පහුගිය වසර පහ තුල ඒ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කළා. 17 වෙනි සංශෝධනයෙන් ඒක ටිකක් පුළුල් වුණා. නමුත් 18 න් ආයේ ඒක හැකිලුණා. ඒත් 19 න් නැවත ඒ ක්ෂේත්‍රය පුළුල් වුණා. ඒ පුළුල් වීම නිසා තමයි අපිට අද යම්කිසි මට්ටමකට සාධාරණ අධිකරණයක්,සාධාරණ රාජ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත වෙලා තියෙන්නේ. ඒ නිසා දේශපාලඥයින්ට කළ හැකිව තිබු මැදිහත් වීම් කර ගැනීමට නොහැකි වී තියෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමා මෙහෙම යාන්ත්‍රණයක් තියෙන බවවත් ඒ සම්බන්ධයෙන් අප ක්‍රියාත්මක විය යුතු බවවත්, කියන අවබෝධය අපේ රටේ බහුතරයකට නැහැ. අපේ රටේ යාන්ත්‍රණ, නීති, වෙනත් ක්‍රමවේද තියෙනවා. ඒවා පාවිච්චි කිරිමේ අවබෝධයක්, උවමනාවක් බොහෝ අයට නැහැ. ඒ නිසා තවමත් පැරණි ක්‍රමයටම ක්‍රියාත්මක වෙමින් යනවා.

නිදහසෙන් පස්සේ අපේ රටේ විශාල කැරළි කෝලහාල කිහිපයක් වුණා. මේ කාලය තුල රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වුණේ අර හදලා තිබුණ නීති රිතී තුල නෙමේ. නීතිය ඉක්මවා ගිහිල්ලා, අභිබවා ගිහිල්ලා. ඒ තුල මේක ආපස්සට ගේන්න අපට හැකියාවක් තිබුණේ නැහැ. ඒ දෙවල් වලට සම්බන්ධ නිලධාරීන් පුනරුත්ථාපනය කරන්නවත් අපට යාන්ත්‍රණයක් තිබුණේ නැහැ. ඒ සඳහා වු බලපෑමක් සමාජය තුලින් ආවේත් නැහැ. ඒක නිසා ඒ පරණ අය පරණ විදිහටම වැඩ කරනවා. ඉතිං එහෙම අය වහාම පුනරුත්ථාපනය හෝ පුහුණු කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒක කරන්න බැරි වීම නිසා තමා මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ.

මානව හිමිකම් කඩ කිරිම සම්බන්ධයෙන් අපේ රට ඓතිහාසිකයි. අපි ඒ ගැන ලෝක වාර්තා තියෙලා තියෙනවා. අපි තමා වැඩියෙන්ම පුද්ගලයින් අතුරුදහන් කරවු රට බවට පත් වුණේ. දුෂණ, අපරාධ සම්බන්ධයෙනුත් ඉහළින්ම තියෙනවා. නමුත් පහුගිය කාලේ කරපු වෙනස්කම් නිසා අපිට ක්‍රම ක්‍රමයෙන් ඒ තත්ත්වය වෙනස් කරගන්න හැකි වුණා.

අතුරුදහන් කරවීමක් කියන්නේ ඒක කිසිලෙසක සාධාරණයක කරන්න බැරි එකක්. බලහත්කාරයෙන් පුද්ගලයෙක් විශේෂයෙන් රජය මැදිහත් වෙලා පුද්ගලයෙක් අතුරුදහන් කරනවානම් ඒක අපරාධයක්. එවැනි දේවල් අපේ රටේ කාලයක් තිස්සේ සිද්ධ වුණා. මේ ගණයට වැටෙන තවත් දෙකක් තියෙනවා. ඒ තමා වධහිංසා කිරිම හා නීති විරෝධි ආකාරයට ඝාතනය කිරිම්ය. ඒවා පහුගිය අවුරුදු හතරක කාලය තුල සියයට විසි පහක පමණ අඩුවක් පෙන්නුවත් අතුරුදහන් කරවීම් නතර කළා වගේ නවත්වන්න හැකි වෙලා නැහැ. නීති විරෝධී ඝාතනය කිරිම් කියන්නේ අධිකරණයට යන්න කලින් පොලිසිය විසින්ම සැකකරුවන් වරදකරුවන් කරලා ඝාතනය කිරිම්ය. ආයුධ බලන්න, ඇඳුම් බෑග් බලන්න යන්නේ එවැනි පුද්ගලයින්ය.

අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා ඉදිරියට එන්න නම් නීතියට පිටින් කෙරෙන ඝාතන නවතින්න ඕනේ. ඒක නවත්වන්න නම් අපේ අපරාධ පරික්ෂණ කරන ව්‍යුහයන් තවදුරටත් දියුණු කරන්න ඕනේ. ක්‍රමවේදයන් ශක්තිමත් කරන්න ඕනේ. තවමත් අපේ නිලධාරීන් අපරාධ පරික්ෂාව කරන්නේ වදහිංසාව කරලා. ඒ නිසා අපි මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ.”



-ශානිකා මාධවී -




2019-08-23
Advertisement

Find us on Facebook