English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගෝඨා සහමුලින්ම ප්‍රතික්ෂේප කිරිමේ වගකීමක් රට හමුවේ ඇත. - ගාමිණි වියන්ගොඩ


ගෝඨා සහමුලින්ම ප්‍රතික්ෂේප කිරිමේ වගකීමක් රට හමුවේ ඇත. - ගාමිණි වියන්ගොඩ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  තමන්ගේ සුපිරිසිදුභාවය හා නිර්දෝෂිභාවය නීතිය ඉදිරියේ හා අධිකරණය ඉදිරියේ ඔප්පු කර පෙන්වනවා වෙනුවට පහුගිය කාලය පුරාවටම සිදු කලේ නීතිය සහ අධිකරණය ඉදිරියේ තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරිමට තිබෙන අවස්ථාවන් හැම ආකාරයකින්ම මැඩලීම බවත් ඉන් පෙනී යන්නේ ඔහු නිර්දෝෂිභාවය ඔප්පු කර ගැනිමට නොහැකිවේ යැයි භීතියකින් පසු වන බවත් පුරවැසි බලයේ සම කැඳවුම්කරු, සමාජ විශ්ලේෂක ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.

එවන් පුද්ගලයෙකු රටේ පළමු පුරවැසියා ලෙස අප පත් කර ගන්නේ කෙසේද යන්න අප සිතා බැලිය යුතු බවද ඔහු සඳහන් කර සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණයට දුෂණ හා අපරාධ චෝදනා එල්ල වී තිබෙන හිටපු ආරක්ෂක ලෙක්ම් ගෝඨාභය රාජපක්ෂ මහතා අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මෙහිදි ඔහු වැඩිදුරටත් මෙසේද සිය අදහස් විග්‍රහ කලේය.

විවිධ අවස්ථාවල රටේ මැතිවරණ වලට, ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වෙලා තිබෙන අපේක්ෂකයන්ගේ කැරැට්ටුව පිලිබඳ අත්දැකිම් අපට තිබේ. මීට පෙර අවස්ථා කිහිපයකදිම ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වු අයට විවිධ දුෂණ, අපරාධ චෝදනා තිබු බව දුටුවෙමි. නමුත් ඒ කිසිදු අවස්ථාවක එවැනි දේශපාලඥයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ නැත. ජනාධිපති ක්‍රමය ඇති වු දා පටන් පළමුවතාවට වැඩිම දුෂණ චෝදනාවන්ට ලක් වු එමෙන්ම බරපතල ගණයේ අපරාධ චෝදනා වලට ලක් වෙලා තියෙන සහ එම චෝදනා මේ වන විට නීතිය ඉදිරියේ විභාග වෙමින් තියෙන පුද්ගලයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් වු අපෙක්ෂකයෙකු  අපිට දකින්නට ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහුට විරුද්ධව විශාල මුදල් වංචාවන් පිලිබඳව, අක්‍රමිකතාවයන් පිලිබඳව දැනට අධිකරණය ඉදිරියේ පරික්ෂණ පැවැත්වේ. ඒ වගේම මේ රටම බිය වද්දපු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ සහ වෙනත් අධිකරණමය පැවැත්වෙමින් තිබේ. එවන් පුද්ගලයෙකු මෙවර අපට ජනාධිපති අපෙක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව ඇත.

මෙය මා දකින ආකාරයට නම් ඉතාම භයානක සිදුවිමකි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන බවට විශ්වාස කරන රටක ඉදිරිපත් වන හැම අපේක්ෂකයෙක්ම නිකැළැල් මිනිසුන් විය යුතුය. චෝදනාවක් තිබු පමණින් ඔහු වැරදිකරුවෙකු බවට පිළිගත නොහැකි නිසා චෝදනා ඉවත දැමිය යුතුයැයි කෙනෙකුට පැවසිමට නොහැකිය. එය කිව හැක්කේ සාමාන්‍ය පුරවැසියෙකුට පමණි. සාමාන්‍ය පුරවැසියෙකු මීනී මැරුමකට, හොරකමකට චෝදනාවක් වු පමණින් වැරදිකරුවෙකු ලෙස ඔහුව සලකන්නේ නැත. අධිකරණයට ඉදිරිපත්කර වැරදිකරුවෙකු වු විට පමණක් වැරදිකරුවෙකු ලෙස සැලකේ. නමුත් ඒ න්‍යාය ධර්මය ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක පාලකයා සම්බන්ධයෙන් අදාල නොවේ. පාලකයෙකුට සමාන්‍ය පුරවැසියෙකුට වඩා තමන්ගේ සුපිරිසිදුභාවය ජනතාව ඉදිරියේ ඔප්පු කර පෙන්වීමට වගකීමක් තිබේ. නමුත් මේ ගොඨාභය රාජපක්ෂ කියන දේශපාලඥයා තමන්ගේ සුපිරිසිදුභාවය හා නිර්දෝෂිභාවය නීතිය ඉදිරියේ හා අධිකරණය ඉදිරියේ ඔප්පු කර පෙන්වනවා වෙනුවට ඔහු පහුගිය කාලය පුරාවටම සිදු කලේ නීතිය සහ අධිකරණය ඉදිරියේ තමන්ගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරිමට තිබෙන අවස්ථාවන් හැම ආකාරයකින්ම මැඩලීමය. නැතහොත් මර්දනය කිරිමය. මෙහි තේරුම වන්නේ අධිකරණයක් ඉදිරියේ ඔහුගේ නීර්දෝෂිභාවය ඔප්පු කර ගැනිමට නොහැකිවේ යැයි කියන තදබල විශ්වාසය හා  තමන් වැරදිකරුවෙකු වේ යැයි කියන භීතීයයි.

මීට පෙර නොයෙකුත් අවස්ථා වල යම් යම් දේශපාලඥයන් සම්බන්ධයෙන් සලකා බැලුවහොත් ඔවුන්ව අප බලයට පත් කර ගන්නා අවස්ථාවෙ ඔවුන් පිලිබඳ ඔවුන් අපරාධකරුවෙක්ද, දුෂිතයෙකුද යන්න අපට පුර්ව දැනුමක් තිබුණේ නැත. නමුත් ගෝඨාභය රාජපක්ෂ කියන දේශපාලඥයා ගත් විට මෙකී පුර්ව දැනුම අපට දැන් ඇත. එය පාරේ මිනිසුන් කථා වෙන ඕපාදුපයක් නොවේ. එය අධිකරණය ඉදිරියේ ඇති කටයුත්තකි. එහෙයින් එවන් දේශපාලඥයෙකු සහමුලින්ම ප්‍රතික්ෂේප කිරිමේ වගකීමක් රටකට ඇත.

මොහුට එල්ල වන චෝදනා සියල්ල අයත් වන්නේ ඔහුගේ වැඩිමහල් සහෝදර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති  පදවිය දැරු කාලයටය. සාමාන්‍යයෙන් වැඩිමහල් සහෝදරයා  රටේ ජනාධිපති වී සිටින විට බාල සහෝදරයා බලය ඉක්මවා කටයුතු කිරිමට බොහෝ විට ඉඩකඩ ඇත. නමුත් අලුත්ම තත්ත්වය වන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මේ යහපාලන ආණ්ඩුව යටතේම නැවතත් පෙර ලෙසින්ම දුෂිත ක්‍රියාවක යෙදි තිබේ. එනම් ද්විත්ව පුරවැසිභාවයක් තබාගෙන ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙකුට ලැබෙන විදේශ ගමන් බලපත්‍රයක් මොහු අයථා අන්දමින් ලබා ගෙන තිබේ. එමෙන්ම ඉකුත් කාලයේදි ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පවා ඔහු ලබාගෙන කියනවා යැයි කියන ක්‍රමය ඉතාමත් අක්‍රමික ක්‍රමයක් බව පරික්ෂණ වලදි හොයා ගෙන තිබේ. නමුත් මෙහිදි මා ඒ ගැන කථා කරන්නේ නැත. එය 2005 වසරේ සිදු වු සිද්ධියකි. මෙවැනි දුෂණ ක්‍රියාවන්ට විරුද්ධව, මේවා නතර කළ යුතු යැයි කියා බලයට පත් වු යහපාලන ආණ්ඩුවක් යටතේ පවා මොහුට හැකි වී ඇත්තේ පරණ පුරුදු වලින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනිමටය. ඒ බව පෙනී යන්නේ මොහු ලබා ගත් විදේශ ගමන් බලපත්‍රය නිසාය. ඇමරිකානු පුරවැසියෙකු වු ගෝඨාභය රාජපක්ෂ 2005 ජනාධිපතිවරණයේදි මේ රටට පැමිණ තමන්ගේ සහෝදරයා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර ඇත්තේ ශ්‍රි ලාංකිකයෙකු ලෙස නොව ඇමරිකානුවෙකු ලෙසිනි. ඒ අනුව ඇමරිකානුවෙකු ලෙස ඔහු හොර ඡන්දයක් භාවිතා කර ඇත. එමෙන්ම මෙම ආණ්ඩුවේදීද ඔහුට නීතිමය බාධාවක් පැන නැගුණු විට එනම් ද්විත්ව පුරවැසියෙකුට මේ රටේ පාර්ලිමේන්තුවට හෝ ජනාධිපති, අගමැති ලෙස හෝ පත් විමට හැකියාවක් නොමැති බව දැනගත් අවස්ථාවේ නැවතත් සුපුරුදු සොරකමේ යෙදි තිබේ. ඔහු ඉකුත් මැයි මාසයේදි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ගොස් මෙරට පුරවැසියෙකු ලෙස අලුත් ගමන් විදේශ බලපත්‍රයක් ලබා ගෙන තිබේ. ඔහු වැනි අයෙකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනිමේදි ක්‍රම දෙකක් පවති. එනම් ද්විත්ව පුරවැසියෙකු ලෙස ඔහුට ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනිමට හැකියාව තිබේ. ද්විත්ව පුරවැසිභාවය යනු එකවිට ඇමරිකානු හා ශ්‍රි ලංකා පුරවැසිභාවය තබා ගැනිමය. එය නීත්‍යානුකූලය. එයට අපේ ප්‍රතිපාදන ඇත. නමුත් එසේ ගන්නේ නම් ඔහු තමන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ සහතිකය ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කල යුතුය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ විසින් එවැනි සහතිකයක් ඉදිරිපත් කර නොමැත. එසේනම් අප උපකල්පනය කල යුත්තේ ද්විත්ව පුරවැසිභාවය අහෝසි කල අයෙකු ලෙස ගමන් බලපත්‍රය ඉල්ලා ඇති බවය. පෙර කී විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනිම සඳහා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කළාය කියන සහතිකය ඉදිරිපත් කළ යුතුව ඇත. නමුත් එවැනි සහතිකයක්ද මොහු ඉදිරිපත් කර නොමැත. ඒ අනුව පැහැදිලිවම පෙනි යන්නේ මොහු නැවත වරක් පරණ ආකාරයටම තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගෙන ඇති ආකාරයය. මම මේ පිලිබඳ පොලිස්පතිවරයාටත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර, මේ වන විට එහි පරික්ෂණ කටයුතු සිදු වෙමින් ඇත්තේය. බලයට පත්වීමට පෙර මෙසේ නම් බලයට පත් වු විට මොන තරම් නීතිය නවයිද ? නීතිය කඩයිද? යන්න රට්ටු සිතා බැලිය යුතුය. එහෙයින් තීරණයක් ගැනිමට පෙර රටේ ජනතාව මේ පිලිබඳ බරපතල ලෙස සිතා බැලිය යුතුව ඇත.

-ශානිකා මාධවී-




2019-08-18
Advertisement

Find us on Facebook