English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


කැරලි මර්ධනය හා පොලීසියේ අවම බලය!


කැරලි මර්ධනය හා පොලීසියේ අවම බලය!

පොලිස් නිලධාරියකු විසින් නීතිය හා සාමය ආරක්ෂා කරනු ලබන අවස්ථාවකදී කැරළි මර්ධනයට හෝ තමාගේ හෝ අන් අයගේ ආත්මාරක්ෂාව පතා සිය ගිනි අවිය භාවිතා කළ යුතු ආකාරය පිලිබඳ විධිවිධාන පොලිස් ආඥා පනතේ 55 වන වගන්තියේ ප්‍රතිපාදන අනුව පොලිස්පතිවරයා වෙත හිමි වී ඇති බලතල ප්‍රකාරව 1986 දී පොලිස් නිලධාරීන් වෙත නිකුත් කරන ලද පොලිස් අත්පොතෙහි දක්වා ඇත.

පොලිස් නිලධාරින්ට තුවක්කු පාවිච්චි කිරීමට සිදුවන අවස්ථාවලදී ඔවුන් මතක තබාගත යුත්තේ අවම බලය පාවිච්චි කිරීමේදි අනුගමනය කළ යුතු වන සමානුපාතිකත්වයේ මූලධර්මයයි. එනම් බලය අවශ්‍ය ප්‍රමාණයට පාවිච්චි කිරීමය. තුවක්කු භාවිතා කළ යුතු වන්නේ විශේෂිත අවස්ථාවලදී වන අතර, ඒවා පාවිච්චි කළ යුතු වන්නේ ආත්මාරක්ෂාවට හෝ බරපතල තුවාල හෝ මරණීය තුවාල සිදුවීමට ඉඩ ඇති අවස්ථාවන්වලදී හෝ ඊට අත්‍යාසන්න අවස්ථාවන්වලදී ය.

ශ්‍රී ලංකාව තුල මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද කැරළි මර්ධනය කිරීම සඳහා කඳුළු ගෑස් සුලබව භාවිතා කරනු ලබයි. කඳුළුගෑස් යනු ස්වභාවික වායුවක් නොවේ. කඳුළුගෑස් උණ්ඩයක් තුල අධික පීඩනයක් යටතේ ගබඩා කර ඇති වායුමය රසායනික සංඝටක කීපයකි. xylyl bromide ඉන් ප්‍රධාන වේ. bromoacetone, සහ ළූණු වල ස්වභාවිකවම අඩංගු වන syn-propanethial-S-oxide නම් රසායනිකයේ සාන්ද්‍ර මාත්‍රාවන් කඳුළුගෑස් උණ්ඩ තුල ගබඩා වී ඇත. කඳුළුගෑස් උණ්ඩයක් විදිනු ලැබීමෙන් අනතුරුව තප්පර 5ත් 8ත් අතර කාලයකින් උණ්ඩය තුල ගබඩා කර ඇති රසායනික ද්‍රව්‍ය සුදු පැහැති වායුවක් ලෙස මුදාහැරීම ඇරඹේ. කඳුළුගැස් උණ්ඩයක් එල්ල කිරීමේ අරම්භක දැවීම සිදු කරනුයේ වෙඩිබෙහෙත් හෝ පෙට්‍රල් වැනි ද්‍රව ඉන්ධන මාධ්‍යයක් මඟිනි.

කඳුළු වායුවේ ඝනත්වය සාමාන්‍ය වායුගෝලයේ ඝනත්වයට වඩා වැඩි අගයක් ගනු ලබන අතර ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය ඉතා ඉහළ අගයක් ගනී. මූලික වශයෙන් කඳුළු වායුව ප්‍රතික්‍රියා දක්වන්නේ ශරීරයේ තෙතමනය රැඳී ඇති ස්ථාන හරහාය. මෙම වායුව ආග්‍රහණයෙන් අනතුරුව අවසන් ගර්ත කුහරය දක්වා ස්වසන පද්ධතියේ සෑම ස්ථානයක්ම අධික වේදනාවක් සහිතව දැවීමට ලක්වේ. ඉන් අනතුරුව ආශ්සවාස කිරීම හෝ ප්‍රාශ්වාස කිරීම සිදු කළ නොහැක. දෑස් සහ දහඩිය හෝ ජලයෙන් තෙත් වී ඇති සම, කඳුළුවායුව සමඟ ඉක්මනින් ප්‍රතික්‍රියා දක්වයි. කඳුළු වායුව රැඳි ප්‍රදේශයෙන් ඉක්මනින් ඉවත් වීම හා ගලායන ජලයෙන් ශරීරයේ දැවෙන ස්ථාන සෝදාහැරීම මඟින් වේදනාව අවම කරගැනීමේ හැකියාව පවතී. කඳුළු වායුව ආග්‍රහණය කිරීම දීර්ඝකාලීන ස්වසන ආබාධ සඳහා හේතු විය හැක. ස්වසන පද්ධතියේ සජීවි සෛල වෙත ඉන් වැඩි බලපෑමක් සිදුවේ.

කෙසේ වෙතත් හේග් සම්මුතින් වල හා 1925 අතිරේක ජිනීවා සංධානය තුල දක්වා ඇති සීමාවන් මෙන්ම මූලික වශයෙන් 1993 රසායනික අවි පිලිබඳ සම්මුතියේ විධිවිධාන අනුව තවදුරටත් විෂ වායූන් යුද්ධ භූමින් තුල සතුරාට එරෙහි අවියක් ලෙස භාවිතා කිරීම නීත්‍යානුකූල නොවේ. මෙය අන්තර්ජාතික මානුෂවාදී නීතියේ නියමයකි. එහෙත් කඳුළු වායුව තවදුරටත් නිරායුධ කැරළිකරුවන් මර්ධනය කිරීම සඳහා භාවිතා කිරීමට නීතියෙන් අවසරය ඇත. එම කඳුළු වායුව සහිත උණ්ඩ එල්ල කළ යුතු වන්නේ අංශක 45ක ආනතියක් සහිතව පිරිසක් සිටින ස්ථානයකට ඉහළින් පතිත වීමට මිස පුද්ගලයන් ඉලක්කගත කරගෙන නොවන බව අන්තර්ජාතික වශයෙන් වන නියමයක් පවතී. එම නියමය සෑම කඳුළු වායු උණ්ඩයකම මුද්‍රණය කර තිබීම අදාල නිෂ්පාදන සමාගම විසින් සිදු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිඡේදයේ 11 වන ව්‍යවස්ථාව අනුව දක්වා ඇති වධ හිංසා හෝ කෘර අමානුෂික සහ අවමන්සහගත සැලකීම් වලින් මිදීමේ අයිතිය සහ 13 (1), (2) සහ (4) ව්‍යවස්ථා යටතේ අත්තනෝමතික සිරභාරයට ලක්නොවීමේ අයිතිය සහ නීතියෙන් නියම කරනු ලබන කාර්යපටිපාටියට අනුව මිස මරණීය දණ්ඩනයට යටත් නොකිරීමට සහ බන්ධනාගාරගත නොකිරීමට ඇති අයිතිය යන මූලික අයිතිවාසිකම් වලට යටත්ව නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයක දී පොලීසිය විසින් කිසියම් පුරවැසියකුට එරෙහිව සිය අවම බලය භාවිතා කළ යුතුව පවතී. 1994 අංක 22 වධ දීම හා අනෙකුත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත අනුව පුද්ගලයකු කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීමකට ලක් කරන විධායක හෝ පරිපාලන නිලධාරියකු පෞද්ගලිකවම අදාල ක්‍රියාවට වගකිව යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙක් ව්‍යවස්ථාවන්ට අමතරව ශ්‍රී ලංකාව අපරානුමත කර ඇති මානව හිමිකම් සම්මුතීන් සහ බන්ධනාත්මක ප්‍රඥප්තීන් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී සහ කැරළි මර්ධනය කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපිලිවෙත තුල කිසිඳු අකාරයට මානව හිමිකම් උල්ලංඝණය වීමක් සිදු නොවිය යුතුය.  

-හිරෝශාන් ලක්ෂාන්-

 

 

 

 

 

 

 




2019-08-14
Advertisement

Find us on Facebook